
සෑම වසරකම ජුනි මස තුන්වෙනි ඉරිදා ලෝක පියවරුන්ගේ දිනය ලෙස ලොව බොහෝ රටවල් පිය ගුණ සැමරීමට යොදාගනිති. එය අද සමස්ත ලෝකයම සංස්කෘතික ලක්ෂණයක්ව පවතී.. ලෝක පියවරුන්ගේ දිනය සැමරීම 1910 දී ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ බව සඳහන් වේ.
1916 දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති "වූඩ්රෝ විල්සන්" මෙම දිනය සියලු ඇමරිකානුවන් අත්‍යවශ්‍යයෙන් සැමරිය යුතු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. නමුත් ලොව ඇතැම් රටවල් ලෝක පියවරුන්ගේ දිනය සමරන්නේ නොවැම්බර් මස 19 වෙනි දිනයි. තවත් රටවල් පියවරුන්ගේ දිනය සැමරීමට ඒ ඒ රටවලට ආවේණික දින වෙන්කරගෙන තිබේ. පියවරුන්ගේ දිනය සැමරීමේ ඓතිහාසික කතා පුවත එසේ වුවත්. පෙරදිග රටවල දෙමාපියන්ට සැලකීම දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස සලකති. විශේෂයෙන් ශ්‍රි ලාංකික ජනතාව අනාදිමත් කාලයක සිට මා පිය උපස්ථානය සිය දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස හදවතින් වටහා ගෙන ගෞරවයෙන් ඉටුකරනු ලබති.අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරය ඈත අතීතයේ සිටම ශ්‍රි ලාංකික ජනතාවට එම ශිෂ්ට සම්පන්න ජාතික පුරුද්ද අඛණ්ඩව අවිච්ඡින්නව පවත්වාගෙන ඒමට මග පෙන්වා තිබේ. ශ්‍රී ලංකාවේ පවතින බෞද්ධ, හින්දූ,ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී සියලු ආගම් වලින් ද එකී මා හැඟි උත්තම ක්‍රියාවට මගපෙන්වීම එම තත්ත්වය එසේ පැවතීමට ඉමහත් පිටුවහලක් ව තිබේ.
නමුත් මෑත කාලීනව සුළු වශයෙන් දෙමාපිය උපස්ථානය නොසලකා හැරෙන සිද්ධිද වාර්තා නො වන්නේ නැත. එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව සඳහන් කළ යුතුය.
ඒසේ වෙතත් දෙමාපිය උපස්ථානය හෝ දෙමව්පියන්ගෙ ගුණ සිහිකිරීම අප එක දිනකට සීමා කරගෙන නැත. තවමත් අප දෙමාපියන්ට සැලකීම සෑම පවුලකම අනිවාර්ය වගකීමක් ලෙස සලකනු ලබේ.
එනිසා ලෝක පියවරුන්ගේ දිනය සමරන අද
සමස්ත ලෝකයට ආදර්ශයක් ලෙස අපේ සංස්කෘතිය අභිමානවත්ව හඳුන්වා දිය හැකිවතිබේ.
අපේ රටේ වැඩිදෙනා අදහන බුද්ධ ධර්මයෙන් මෙන්ම අනෙක් ආගම් වලින් ද මව්වරුන් පියවරුන් වෙන් නොකොට දෙමා පිය උපස්ථානය එක ලෙස වැදගත් බවට මගපෙන්වීම අද දින සුවිශේෂව ව සිහිපත් කළ යුතු ය.
බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට අනුව දෙමාපියන්ට මහා බ්‍රහ්මයාගේ තත්ත්වය පිරිණමා ඇත. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සිව් බඹ විහරණ යන්ගෙන් සම්පූර්ණ වන්නේ දෙමාපියන් බව උන්වහන්සේ දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ "සිඟාලෝවාද සූත්‍රයේ" දී සිගාල අමතා දේශනා කරන්නේ වන්දනා කර යුතු දිසා හයෙන් එකක් දෙමාපියන් වශයෙන් උපමා කරමිනි. එසේම උන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් තමන්ට පුළුවන්කම තිබිය දී මවට පියාට නොසැලකීම "පරාභවයට" හෙවත් පිරිහීමට හේතු වන බවයි.එසේම ක්‍රිස්තියානි ධර්මය අඩංගු උතුම් ග්‍රන්ථය වන ශුද්ධ බයිබලයේ හිතෝපදේශය පොතේ සඳහන් වන්නේ "මාගේ පුත්‍රය ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම හා හික්මවීම පිළිගන්න. ඔබේ මවගේ උපදෙස් වලට පිටුනොපාන්න ඒවා ඔබේ හිසට අලංකාර ඔටුන්නක් මෙන්ද ඔබේ ගෙල පලඳනා අනර්ඝ මාලයක් මෙන් ද වන්නේ ය" යනුවෙනි ඒ අනුව ක්‍රිස්තියානි ධර්මය දෙමාපියන්ට සැලකීම ඉතා උසස් කොට සලකන බව ඉතා පැහැදිලිය.ඉස්ලාම් භක්තිකයන්ගේ උතූම් ආගමික ග්‍රන්ථය වන ශුද්ධ වූ අල්කුරාණයේ සඳහන් වන්නේ "මිනිසාට ඔහුගේ දෙමාපියන් ගැන අවධාරණය කර ඇත්තෙමු"මටද නුඹේ දෙමව්පියන්ටද කෘතඥ වන්න. පිවිසුම මා වෙතටමය" යනුවෙනි. ඒ අනුව දෙමාපියන්ට සැලකීම ශුද්ධ වූ අල්ලාහ්ට කෘතඥ වීමක් ලෙසත් එතුමන් වෙතට යෑමට මාර්ගය වන බවත් සඳහන් කර ඇති බව පැහැදිලි ය.හින්දු ආගමේ ශ්‍රේෂ්ඨ ආගමික ග්‍රන්ථ වූ වේද ග්‍රන්ථ වල මෙසේ සඳහන් වේ "අන්නේයූම් පිදාවූම් මූන්නේරි දෙයිවූම්"
එහි අදහස වන්නේ දෙමාපිය දෙදෙන මිනිසා දුටු ප්‍රථම දෙවියන් බවයි.
ඒ අනුව අදට යෙදී ඇති ලෝක පියවරුන්ගේ දිනය අපට උරුම වූ අපේ ශ්‍රේෂ්ඨ ආගම් වල ඉගැන්වීම් වලට අනුව පිළිවෙතින් සමරමු.











0 Comments