වර්තමාන සමාජය-5
නීතිය අබිබවා කටයුතු කරන්නන් රඟ පාන්නේ අප කුඩා කළ කියැවූ ‘වෘකයා හා බැටළු පැටියා’ නම් වෘතාන්තයේ වෘකයාගේ චරිතය යැයි අපට සිතේ. දිනක් දිය කඩක ජලය8 බොමින් සිටි බැටළු පැටියෙකු දුටු වෘකයෙකුට මෙම බැටළු පැටියාව තම භෝජනය බවට පත්කර ගන්නට සිත් විය. මෙසේ සිතු වෘකයා බැටළු පැටියා සමග ගැටුමක් ඇති කර ගැනීමේ අදහසින් කටයුතු කරන්නට විය.
වෘකයා: මා පානය කරන්නා වූ ජලය ඔබ කෙසේ නම් බොර කරන්නේද?
බැටළු පැටියා: ස්වාමීනි, ඔබ පානය කරන්නා වූ ජලය බොර වන්නේ නම් එයට හේතුව මා විය නොහැක. මා ජලය පානය කරන්නේ ඔබ වහන්සේ ට පහළින් ය, ස්වාමීනි.
වෘකයා: එසේ නම් වසරකට පෙර ඔබ ඇයි මට නරක නාමයන්ගෙන් ආමන්ත්රණය කළේ?
බැටළු පැටියා: එය එසේ විය නොහැක ස්වාමීනි. මාගේ වයස මාස හයක් පමණි, ස්වාමීනි.
වෘකයා: මට ඒ කිසිවක් පිළිබඳ තැකීමක් කිරීමට අවශ්ය නැත. එසේ කළේ ඔබ නොවුයේ නම් එය ඔබගේ පියා විය හැක.
යනුවෙන් පවසා අහිංසක බැටළු පැටියා ව තමාගේ භෝජනය බවට පත් කර ගත්තේය.
“සාහසිකයෙකුට ඕනෑම කරුණක් තමන්ගේ සාහසිකත්වය සාධාරණීය කර ගන්නට යොදා ගත හැක” යැයි අහිංසක බැටළු පැටියා උගේ අවසන් හුස්ම හෙළන්නට පෙර පවසා සිටියේය.
වර්තමාන සමාජයේත් සාමයික සහජීවනය බිඳ දමන්නට කටයුතු කරන්නන් රඟ පාන්නේ මෙම වෘතාන්තයේ වෘකයාගේ භූමිකාව බව අමුතුවෙන් විග්රහ කිරීමට අවශ්ය නොවන්නේයැයි සිතන්නෙමු. එහෙයින් සාමයික සහජීවනයට හානිකර අයුරින් කටයුතු කරන සියලු චරිත තරාතිරම නොබලා නීතියේ ආධිපත්යය යටතට ගෙන ඒමේ අවශ්යතාව වර්තමානයේ ඉතා දැඩි ලෙස මතු වී ඇත. මෙම ප්රයත්නය සාර්ථක කර ගැනීම පිණිස නීතිය යුක්තිය සාධාරණය අගයන සැමගේ හඬ ප්රබල ලෙස ඉස්මතු කිරීම ඉතා වැදගත් වෙයි.
යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන සතුරන් හඳුනා ගනිමු. පශ්චාත් යුද සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතු ව ඇත.
එහෙයින් වෛරය ක්රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්යයෙන් සපිරි සංවර්ධිත ශ්රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.( end )
0 Comments