SRI LANKA


 

මහනුවර නගරයේ වූ මගේ පැරණි පොත් මිතුරා(උගත් දෙයින් සිත් ගත්දේ)

ඔහු නමින්  යූසුෆ් සුල්ෆිකාර් ( Yoosuf Yoosuf Zulfikar ) ය. උපතින් මුස්ලිම් ජාතිකයකු වූ  හෙතෙම මහනුවර 

ඩී.එස් සේනානායක වීදීයේ ( මහනුවර නගරසභා හංදිය හා ත්‍රිත්ව විද්‍යාලයට අතර ස්ථානයක ) තමුන්ගේම කියා ස්ථානයක කුඩා පරිමාණයෙන්  Macsons Book Shop යන නමින් පරණ පොත් කඩයක් පවත්වාගෙන යයි. 

මොහු මගේ දීර්ඝ කාලයක පටන්ම කළණ මිතුරෙකි. සැබවින්ම මගේ පමණක් නොවේ මහනුවර අවට පොතපතට ආදර කරන සෑම තරාතිරමකම අයෙකුගේ කළණ මිතුරෙකි. සැබෑ මිත්‍රත්වයට ජාති,කුල හා ආගම් යනාදී  සාධක කිසිවක් අදාල නොවන බව අපූරුවට කියා  පෑමට අප අතර තිබෙන මිත්‍රත්වයත්  මහනුවර පොත් ලෝලීන් මොහුත් සමග පවත්වන මිත්ත්‍රත්වයත් කදිම ආදර්ශයක් බව හදුන්වාදුනහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත.

එපමණක්ද නොව පොතපත මානව වර්ගයාගේ චර්යාධර්ම හා මානව සහසම්බන්ධතා විවිධාකාරයෙන් ශක්තිමත් කරන අපූරු මිත්‍රත්ව 

පාලමක් යයි පෙන්වාදීමටද මෙය 

තවත් ආකාරයකින් උදාහරණයක් ලෙස ගර හැකිය. 

මොහුගේ පරණ පොත් කඩේ ඉඩකඩ ප්‍රමාණයට අනුව විවිධ විෂයයන්ගෙන් සමන්විත වූ සැලකිය යුතු පරණ පොත් සංඛ්‍යාවක් ගොඩගසා.ඇත. එහිලා සාහිත්‍යය, ඉතිහාසය යනාදී පොත්පත්වලට අමතරව පාසැල් හා විශ්ව විද්‍යාල දරුවන්ට අවශ්‍ය වන ගණිතය, භූගෝලය, විද්‍යාව, සෞබ්‍ය විද්‍යාව, ඉංජිනේරු ශිල්පය ,සේම පරිගණක විද්‍යාව යනාදී විෂයයන් 

සම්බන්ධයෙන් රචිත පෙල  - පොත් 

(Texts Books) වගේම තව තවත් විවිධ විෂයයන්ට අදාලව රචිත දෙස්/විදෙස් පොත්පත් සැලකිය යුතු සංඛ්‍යාවක් විකිණීමට තිබේ. එපමණක්ද නොව පොත්පත් වලට  අමතරව විවිධ සගරා , ඉංශ්‍රීසි, හින්දි ,දමිල හා සිංහල යනාදි භාෂාවන්ට අදාළ  DVD චිත්‍රපට එකතුවක්ද පැරණි දෙස් ,/ විදෙස් මුද්දර එකතුවක්ද මොහු ළග ඇත.

මොහු තවත් සේවාවක් මෙයට සමගාමීව පවත්වාගෙන යයි.එනම් ඒ පරිවර්තන සේවාවකි. එහිලා සිංහල, ඉංග්‍රීසි හා අරාබි යනාදී  භාෂාවල පරිවර්තන කටයුතු සිදුකරයි. 

මොහුගේ මිල - ගණන් ඉතා සාධාරණය. සැබවින්ම මෙය ව්‍යාපරයකට වඩා මහජන සේවාවක් කිවහොත් එය වඩාත් නිවැරදි යයි මම විශ්වාස කරමි. එයට හේතු කාරණා කීපයක් වේ. එනම් මොහුට එම ව්‍යාපාරය ස්ථානය වැඩි කොටසක් වෙනත් ව්‍යාපාර කටයුත්තකට  මාසික හෝ බද්දට ලබාදී ඇත. එබැවින් තමගෙන් පොතපත මිලදීගන්න පැමිණෙන කුඩා පාසැල් දරුවාගේ පටන් සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ට අධික මිලගණන් කියා පොතපත විකිණීමට මොහුට අවශ්‍ය නැත. මෙය ඔහු කරන්නේ හුදෙක්ම ව්‍යාපාරයකට වඩා තමාගේ ආත්ම - තෘප්තිය පතා බව වරක් මට පවසා ඇත.

මොහු ඉතා සුන්දර පුද්ගලයෙකි.ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක් වන මොහුට සිංහල, දමිල හා ඉංග්‍රීසි යන භාෂා ඉතා චතුර ආකාරයෙන් කතා කළ හැකිය. එපමණක්ද නොව දෙස් / විදෙස් සාහිත්‍යය, ඉතිහාසය පිළිබඳව ඉතා පුළුල් දැණුමක් ඇත. මෙම දැනුම සමහර මෙරට විශ්ව විද්‍යාල ඇදුරන්ටවත් නොමැති බව නම් නොකියාම බැරිය. කිසියම් පොතක්පතක් අවශ්‍ය නම් එය තමා ළග නොමැති වුවත් එය කෙසේ හෝ ඉතා සුළු කාලයකදී සොයා දිමට හෙතෙම පසුබට නොවේ. 

මම වේලාවක් ලද විගසින්ම මෙම පරණ පොත් කඩේට ගොඩවැදීමට කිසිසේත් අමතක නොකරමි. මහනුවර නගරයේ ඇතැම් පොත් සාප්පුවල පවා නොමැති ඉතා දුර්ලභගණයේ පරණ පොතපත සමහර වේලාවට මොහු ළග තිබේ . එසේම කවුරුන් හෝ පොත් තොගයක් විකිණීමට රැගෙන පැමිණි විට එහි මගේ විෂයයන්ට එනම් ,ඉතිහාසය, සාහිත්‍යය, සාහිත්‍යය විචාරය හා නාට්‍ය- සිනමාව

යනාදී විෂයයන්ට අදාල සුවිශේෂී පොතපත ඇතිනම් ඒවා තෝරා වෙනම වෙන්කර තැබීමටත් එම පණිවුඩය එසැනින්ම මට දැන්වීමටත් මෙම 

සුන්දර මිනිසා අමතක නොකරයි. 

මගේ පුස්තකාලයේ ලෝකයේ විවිධ රටවල්වලින් රැගෙන පැමිණි අගනා පොතපතින් පිරී ඇත. එසේම මෙම පරණ පොත් මිතුරා සොයාදුන් ඉතා දුර්ලභගණයේ පොතපතද එහිලා විරාජමාන වන බව මතක් කර සිටින්නේ... ඔහුට කරන ගෞරවයක් වශයෙනි. 

තවද මම කොළඹ ගිය විටකදී වේලාවක් ඇත්නම් මරදානේ පරණ පොත් කඩවලට ගොඩ වැදීමටද අමතක නොකරමි. එනමුත් එහි සිටින  වෙළද මහතුන්ගෙන් මිනිස්කමක් ඇති අයෙකු සොයා ගැනීමටත් බැරි තරම්ය. ඔවුන් තමන් සොයා පැමිණෙන විවිධ තරාතිරමේ පොත් ලෝලීන් සලකන්නේ 

තම කරදරකාරයන් ලෙසිනි. එසේම ඔවුන්ගේ වෙළද න්‍යාය වන්නේ "එක්කෝ අපි කියන ගාණට ගනිං ,නැතිනම් පලයං" යන්නයි. ඔවුන් තම පරණ පොතපතෙහි ගණන් නියම කරන්නේ පුද්ගලයා බසින වාහනය හා එම පුද්ගලයාගේ භාහිර පෙනුම අනුවය. ඒ අතින් බලන කල්හි මගේ පොත් පරණ මිතුරා ඉන්නේ බොහෝ ඉහළ තැනක බව පවසන්නේ ඉතා සෙනෙහසිනි.

පසුගිය සතියේ මොහුගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිලා

කීවේ ... "අපේ මංගල හාමුදුරුවනේ  

අද වටිනා කියන පරණ පොත් වගයක් ආවා. වෙන් කරලා තියෙන්නේ පුළුවන් නම් ඇවිත් බලන්න".... කියලා.   

ඒ පොතපත ඉතා සරු අස්වැන්නක් වැනිය . එහි ඉතා පරණ හා වටිනා පොතපත පිරී තිබුණි. එයින් කීපයක් මෙසේ සදහන් කරමි. 

1.Rubaiyat by Omar Khayyam  - 1938

(Painted in USA)

2.The English Novel by Walter Alien - 1954.

3. Some inner Fury by Kamala Markandaya - 1956 ( A Novel )

4.My Story of My Life by Helen Keller- 1958.

5.Man and Superman by Bernard Shaw-1960. 

මෙම පොත්වලට අමතරව තවත්  ඉතා වටිනා චීන - ජපන් නවකතා පහක් පමණ මෙම පොත් ගොන්නේ තිබුණි.  මේ පොත් සියල්ලටම මගෙන් මුදලක් වශයෙන් කියා ගත්තේ රු 500/= පමණි. මට මෙම පොත් ගොන්න මිල කළ නොහැකි අමිල නිධානයක් බදුය.

මහනුවර අවට පොතපතට පෙම්බදින අයෙකු වේද කරුණාකර ඉඩක් ලැබුනොත් මෙම සොඳුරු මිනිසාගේ පරණ පොත් කඩයට විනාඩියකට හෝ ගොඩවැදී  බලන්න. එය ඔබට සුන්දර අත්දැකීමක් වේවි. ( 077 - 6271762 )

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සුන්දර මිනිසුන් ලොව කොතැන සිටිත්ද , නිසැකවම එතැන සුන්දරමයැ ..... 

මා කළණ මිතු යූසුෆ් සුල්ෆිකාර්..

ඔබට ආයුවඩා-ආයු බොහෝ වේවා.


        


Post a Comment

0 Comments