
අපි සිරිත් විරිත් හඳුනා ගෙන පිළිපදිමූ! (1)
වර්තමාන ලෝකයේ ඕනෑම ශිෂ්ඨාචාරයකට අයත් රටකට, ජාතියකට, ආගමකට, අයත් ජන සමාජයකට ඔවුන්ටම ආවේණික සිරිත් විරිත් පවතී. එකී ආවේණික භාවය නිසාම "සිරිත් විරිත්" වල විවිධත්වයන්, සේම සමානකම්ද, සුවිශේෂීකම්ද, පවතී. සිරිත් විරිත් සමාජයේ යහ පැවැත්මට බොහෝ සෙයින් උපකාරී වීම සිරිත් විරිත් වල ප්‍රධානතම ලක්ෂණයයි. "සිරිත්" යනු කළ යුතු දේ හෙවත් කළමණා දෙයයි. "විරිත්" යනු නොකළ යුතු දේ හෙවත් නොකළ මනා අත්හල යුතු දේයයි."චාරිත්‍ර වාරිත්‍ර" ලෙස හඳුන්වන්නේද සිරිත් විරිත් ම වේ.
විසි එක්වන සියවසේ දියුණු විද්‍යා තාක්ෂණික ලෝකයක ජීවත්වෙන අප සැම දැනුම්වත්ව හෝ නොදැනුවත්ව "සිරිත් විරිත්" සමුදායක් අනුගමනය කරමින් සිටිමූ.
එලෙස අප අනුගමනය කරන "සිරිත් විරිත්" බොහෝමයක් අප විසින් හැඳින ගන්නේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ආගමික පූජකවරුන්ගෙන් සහ සමාජය ඇසුරෙනි.
සමාජය පිළිගනු ලබන දේශීය හෝ ජාතික හෝ ආගමික "සිරිත් විරිත්" පිළිපැදීම පූර වැසි සභ්‍යත්වයේ අනුල්ලංඝනීය. ලක්ෂණයක් ලෙස පිළිගැනේ.
ඒ අනුව සාමූහිකව ජීවත් වන පිරිසක් සමාන හැඩ ගැස්මකින් යුතු වීමත්, සමාජ සම්මත "සිරිත් විරිත්" අනුගමනය කිරීමත් සමාජයේ යහ පැවැත්මට හේතූ වන බවට දැඩි විශ්වාසයක් පවතී. එනිසා "සිරිත් විරිත්" පිළිපැදීම සභ්‍යත්වයේ ලක්ෂණක් මෙන්ම ශීලාචාර බවේ ලක්ෂණයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. ඒවා නොසලකා හැරීම අශිෂ්ට බවේ ලක්ෂණකි.
පුද්ගලයෙකුගේ හැදුනු නොහැදූනූ කම ශිෂ්ට අශිෂ්ට කම තීරණය වන්නේ එම පුද්ගලයාට හෝ සමාජයට අයත් පිළිගත් "චාරිත්‍ර වාරිත්‍ර" වලට ගරු කරන හා පිළිපදින ප්‍රමාණය අනූවයි. ඒ අනුව "සිරිත්ව්රිත්" සමාජයේ ජීවනාලිය ලෙස පෙන්වා දිය හැකිය.
ගති ගුණ, නීති රීති, ලෙසම "සිරිත් විරිත්"ද කාලානුරූපව වෙනස් විය හැකිය. කලකදී විශිෂ්ට ලෙස පිළිගත් "සිරිතක්" තවත් කලකදී අශිෂ්ට ලෙස සැලකිය හැකිය. කලකදී අශිෂ්ට යැයි සැලකූ "සිරිතක්" තවත් කලකදී ශිෂ්ට ලෙස පිළිගැනීමට ඉඩකඩ තිබේ. එවැන්නක් ඕනෑම සමාජයක සිදුවිය හැක්කකි.
සමාජයක පවතින "සිරිත් විරිත්" මෙපමණයයි ප්‍රමාණයක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකිය. ඒවා හරිහැටි හඳුනා ගැනීමට ලැබෙන්නේ කාලාන්තරයක් ඒවා සාමූහික ක්‍රියාවට නැංවෙන සමාජයක ජීවත් වීමෙන් හෝ ඇසුරු කිරීමෙන් ලැබෙන අත්දැකීමෙනි. තවද යම් නිශ්චිත "සිරිත් විරිත් "සමුදායක් සාමූහිකව කාලාන්තරයක් අනුගමනය කිරීමෙන් තත්කාලීන සමාජයේ යහපැවැත්මට ඉන් ලැබෙන පිටුබලය අනුව එම "සිරිත් විරිත්" වල කාලානූරූප යෝග්‍ය අයෝග්‍ය තාවය පිළිබඳ තක්සේරුවකට පැමිණිය හැකිය. එමගින් කාලානුරූපව එම "සිරිත් විරිත්"වඩාත් සුදුසු ලෙසට වෙනස් කරගත හැකිය. නැතහොත් පිළිපැදීමෙන් වැළකී සිටිය හැකිය.
යම් සමාජයක් චාරිත්‍රවාරිත්‍ර හෙවත් "සිරිත් විරිත්"ඇතිකර ගැනීමට එම සමාජයේ පවතින විශ්වාස, ඇදහීම්, පිළිගැනීම්, වටිනාකම්, සංස්කෘතික ලක්ෂණ, ආගමික ඇදහීම්, ආර්ථික කටයුතු, සමාජ කටයුතු, දේශපාලන තීන්දු තීරණ ආදිය මෙන්ම කාලගුණික, දේශගුණික, සාධක වැනි කරුණුද බලපාන බව අප අවබෝධ කරගත යුතුය.එනිසා සැමවිටම "සිරිත් විරිත්" බිහි වීමට බලපෑ සාධක වලට සාපේක්ෂව "චාරිත්‍රවාරිත්‍ර" හැඳින ගැනීමත්, ඇගයීමත්, කළ යුතුව තිබේ.
පොදුවේ ගත් කළ යම් ජන සමූහයක් අනුගමනය කරන "චාරිත්‍ර වාරිත්‍ර" වලින් ප්‍රකාශ වන්නේ එම සමාජයේ විශ්වාසයන්ගේ සහ අගයන්ගේ පැවැත්මට අදාළ වන ශිෂ්ටාචාරමය ලක්ෂණ විනා උසස් පහත් බවක් නොවන බවද අප අවබෝධ කරගත යුතුය.
එනිසා යහපත් සමාජයක පැවැත්මට නිරතුරුව පුරුදු පුහුණු කළ යුතු "සිරිත් විරිත්" සමුදායක් පවතින බවත්, ඒවා පෙන්වා දෙමින් අනුගමනය කරන ලෙස මග පෙන්වීම මගීන් බාල, තරුණ, වැඩිහිටි, මහළු, සෑම පුරවැසියෙකුටම ගුණගරුක සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට දායකවීමට අවස්ථාවක් සැලසෙන බව පෙන්වාදිය හැකිය.





0 Comments