ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් ඉමහත් ගෞරව භක්ති ප්‍රණාමයෙන්, ඉමහත් හරසරින් සමරනු ලබන මිලාද් -උන් -නබි උත්සවය අදට යෙදී තිබේ.
ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් වලට අනුව සර්ව බලධාරී අල්ලාහුතලා දෙවිදූන් විසින් මහ පොළොවට එවන ලද අවසාන උතුම් නබීවරයා වන්නේ මොහොමඩ් නබිතුමායි.
ඒ අනුව මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය වන අද දිනය ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත ස්ලාමීය බැතිමතුන්ට ඉතාමත් වැදගත් පූජනීය සැමරුම් දිනයක් වේ. ඉස්ලාමීය බැතිමතුන්ගේ විශ්වාසය අනුව ඔවුන්ට සිය මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කර ගැනීම සඳහා සර්වබලධාරීයානන් වහන්සේ විසින් අවසන් වරට එවන ලද පණිවිඩකරුවා වන්නේ මොහොමඩ් නබිතුමායි.
ඒ නියරින් ගත්කල එතුමා අවසාන මහෝතම නබී වරයා වන හෙයින් ද එතූමාගේ ජන්ම දිනය සමරන අද දිනය සකල ලෝකවාසී ඉස්ලාමීය ජනතාවට ඉතාමත් අනුස්මරණීය දිනයක් වනු ඇත.
ඉස්ලාම් දහමට අනුව සර්වබලධාරි අල්ලාහුතලා සැමවිටම මිනිසුන්ට මග පෙන්වනූ ලබන්නේ උන් වහන්සේගේ අනාගත වක්තෘවරුන් මගිනි. එනිසා ලොව සෑම ඉස්ලාම් භක්තිකයෙක්ම අදට දින 12කට පෙර සිට නබිනායකතුමා සිය ජීවිත ආදර්ශයන් පෙන්වූ අති මහත් ගුණ සමුදාය සිහි කරමින් ද, එතුමන් වෙත සර්වබලධාරී යන්වහන්සේ ලබාදුන් ඉස්ලාමීය ධර්මයට අනුව පිළිවෙත් රකිමින් ද ආගමික මේහෙවරයන්ගේ යෙදෙමින්ද තම ශ්‍රේෂ්ඨ ආගමික නායකයන්ගේ ජන්ම දිනය සමරති.
මොහොමඩ් නබි තුමන් පහලවන අවදියේ මැදපෙරදිග පැවති මිත්‍යා ආගමික විශ්වාස සහ ඇදහිලි හේතූවෙන් මිනිසා විසින්ම මිනිසුන් පීඩාවට පත් කරන යුගයක් නිර්මාණය වී පැවතිණි.
එලෙස එදා පැවැති ඝෝරතර ජන හිංසක ඊනියා ආගමික පිළිගැනීම් වලට අභියෝග කරමින් මානව ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික පරිවර්තනයක් සනිටුහන් කරමින් එතුමන් විසින් සර්වබලධාරීයානන් වහන්සේගේ මග පෙන්වීම මත මිනිසුන්ට මිනිසුන් ලෙස මෙලොවත් මරණයෙන් පසූ මතු ලොවත් සාර්ථක කර ගැනීමට ඉවහල් වන අගනා ධර්මයක් දේශනා කළේය.
ලෝකයේ බොහෝ ශ්‍රේෂ්ඨ ආගම් අතර අසමසම ව සිටිමින් මොහොමඩ් නබිතුමන් දේශනා කළ ධර්මය මගින් මිනිසා කරන කවර ක්‍රියාවකට වුවද ප්‍රතිවිපාකයක් තිබෙන බවත් එනිසා මැවුම් කරුවාණන් ගේ අභිප්‍රාය වන යහපත් දේම කළ යුතු බවත් එකී යහපත් දේ මොනවා ද යන්න ගැනත් එතුමා වක්තෘත්වයට පත් වී සූජීවත්ව සිටි කෙටි කාලය තුළ අඛණ්ඩව දේශනා කරමින් ද ජීවිත දර්ශයෙන් එවා පෙන්නා දෙමෙන් ද කටයුතු කළහ.
එනිසා මොහොමඩ් නබිතුමාගේ ජීවිතයෙන් වහනය වූ සුවඳ මේ විශ්වය පවතින තුරා පවතින බව නියත වේ. සාමය, සහෝදරත්වය, සංහිදියාව, සහජීවනය, අන්‍යෝන්‍ය ගරුත්වය, ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රිය, සත්‍ය ගරුක වීම, විශ්වාසවන්ත වීම, ආදී උසස් අගනා මානව හිතවාදී ගුණධර්ම රැසකින් පිරී ඉතිරී යන දහමක් එතුමන් දේශනා කර තිබීමත් විශේෂයෙන් එතුමාන්ගේ ආදර්ශමත් ජීවිතයේන් ජනනයකල ගුණ කදම්බයේ සර්වකාලීන භාවය එතුමන්ගේ ජීවන සුවඳ මේ ලොව පවතිනා තාක් කල් නොමැකී තිබීමට හේතුවක් ලෙස එතුමාට අත්‍යන්ත ගෞරවයෙන් එතුමාට උපහාරයක් ලෙස සඳහන් කරමු!
එතුමන් යම් සංග්‍රාමයකින් මක්කම දිනා ගැනීමෙන් පසුවත් ප්‍රකාශ කළේ "මිනිසකු තවත් මිනිසෙකුට වඩා උසස් යයි සිතීමත් මිනිසුන් දෙදෙනකු අතර ඇති වෛරයත් එතුමන් විසින් හෙළා දකින බවයි".
එමගින් එතුමන් වීශ්වීය සහෝදරත්වයේ ධජය මානව ප්‍රේමයේ මහා සුවිසල් කූළුණ මත ඔසවා ලෙල දෙන්නට සලස්වා තිබේ. එනිසා එතුමන්ගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් වලින් සහ නායකත්ව ආදර්ශයෙන් හික්මවණු ලැබූ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට අදට යෙදී ඇති එතුමාගේ ජන්ම දිනය මහත්වූ අභිමානයෙන් ගෞරවයෙන් සාඩම්බරයෙන් සමරමින්, සෙසු ජාතික හා ආගමික සහෝදරයන් ගේ සුභ පැතුම් පිළිගැනීමට සිය හස්තය ලෝකවාසීන්ට අභිමානයෙන් දිගු කළ හැකිය.
මොහොමඩ් නබී තුමා ගේ ශ්‍රේෂ්ඨ වන්දනීය පූජනීය ඉගැන්වීම් වලින් ශික්ෂණය වූ අප රටේ වාසය කරන අපේ ඉස්ලාම් භක්තික සොයුරන් අවුරුදු එක්දහස් පන්සියයක් පමණ වන ඔවුන්ගේ මෙරට ඉතිහාසය තුළ ස්වදේශික අනෙකුත් ජනයා සමඟ දිගු කලක් සාමයෙන් සංහිඳියාවෙන් සහයෝගයෙන් සතුටෙන් අන්‍යෝන්‍ය උපකාරයෙන් ජීවත් වීමේ රහස වන්නේද මොහොමඩ් නබි තුමා දේශනා කළ දහමෙහි උතුම් බව සහ එතුමාන්ගේ ජීවන ආදර්ශය බව පැහැදිලිව පෙනී යන සත්‍යයකි. ඒ වගත් මෙහි සටහන් කරන්නේ එතුමන්ගේ ශ්‍රේෂ්ඨ උපන්දිනය සමරන දින එතුමාට උපහාර වනු පිණිසය.
මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය සමරන අද දවසේ සර්ව බලධාරියානන් එතුමාණන්ට පැවරූ අතිශය බැරෑරුම් වගකීම එතුමන් මහත් කැපවීමෙන් භක්තියෙන් ඉටුකර එහි ජයග්‍රහණය සර්වබලධාරී දෙවිදුන්ගේ පාමුල පූද කළ බව අප මනා සිහියෙන් යුතුව මෙනෙහි කළ යුතුය.
එදා මොහොමඩ් නබිතුමාණන් ජීවත් වූ සමාජයේ විවිධ විෂමතාවයන්ට ලක්ව තිබිණි. ම්ලේච්ඡත්වය උතුරා යමින් තිබිණි. අන්ධානුකරණයෙන් අන්තවාදයේ ගැළුනූ අය ජන පීඩක භේද භින්නතා ඇතිකලහ. ඇණ කොටා ගැනීම්, මිනීමැරුම්, සුලභ විය. විරෝධී ආකල්පයන් ගහන සමාජයක් විය.
මොහොමඩ් නබිතුමා සර්වබලධාරියානන්ගේ දේව ආශිර්වාදයත් මගපෙන්වීමත් භක්තිමත්ව පිලිගනිමින් ඉහත කී මෙලේච්ඡ තත්ත්වයන් පරාජය කිරීමට සිය ජීවිතය පරදුවට තබා බුද්ධිමත්ව කටයුතු කරමින්, ඔවුන්ට සත්‍යය අවබෝධ කර දෙමින්, බේද භින්නතා ඇනකොටාගැනීම් සාමනය කරමින් සහජීවනය සංහිඳියාව එම සමාජයට පුහුණුකර ශිෂ්ඨාචාර සම්පන්න එක්සත් මධ්‍යස්ථ ස්ලාමීය අභිමානවත් ජන සමාජයක් බිහි කිරීමට ජව සම්පන්නව මැදිහත් විය.
එනිසා අද එතුමන්ගේ ජන්ම දිනය සමරන දින අප අපේ රට තුළත් එකී උතුම් ආදර්ශය පිළිපදිමින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමට අධිෂ්ඨානයක් කර ගත යුතුය. එම අධිෂ්ඨානය එතුමන්ගේ ශ්‍රේෂ්ඨ අදර්ශමත් ජීවිතයට උපහාරයක් කොට එතුමන්ගේ උපන්දිනය සැමරීම වශයෙන් ඇති කරගන්නා ඉතාම වටිනා උපන්දින සුභ පැතීම වනු ඇත.
විශ්කලා විගමනික සංසදය මිලාද්- උන් -නබි උත්සවය සමරන ශ්‍රි ලාංකීය මුස්ලිම් ජනතාවට මෙන්ම ලෝක මුස්ලිම් ජනතාවටද අපගේ උණුසුම් ආදරණීය සුභ පැතුම් ඉදිරිපත් කරමු.
0 Comments