SRI LANKA


 

විනාශ වෙමින් පවතින ශ්‍රී ලංකාව.

මගේ ආදරණීය සිංහල ජනතාව සමග මගේ අවංක අදහස් කිහිපයක් හුවමාරු කර ගැනීමට අදහස් කරමි. මා මුස්ලිම් ජාතිකයෙකු වූවත් මුස්ලිම් ජාතිය ගැන පමණක් හිතන ආකල්පයක් ඇති පුද්ගලයන් නොවන බවත් ,සර්ව ජාතියම මානුෂීය ලෙස බලන ප්‍රගතිශීලී මනසක් ඇති පුද්ගලයෙක් බවත්  පවසා සිටීමට කැමැත්තෙමි.

ලංකාවේ  අපට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය තුළ අවුරුදු දහසක් ඉක්මවා ගිය ඉතිහාසයක් මුස්ලිම් අපටත් තිබෙනවා. මේ ඉතිහාසයේ කිසිම තැනක මුස්ලිම් ජාතිකයෝ මව්බිමට හෝ මහජාතියට පිටුපෑවා , පාවාදුන්නා ,ද්‍රෝහි වුණා කියලා ඉතිහාසයක් නැත. මේ රට ආක්‍රමනය කරන්න ආ සියලු විදේශ බලවේග පලවාහරින්න සිංහලයා සමග කරට කර ඉඳලා ජීවිත දහස් ගණනක් මව්බිම වෙනුවෙන් පූජා කළ ජාතියක් මුස්ලිම් ජාතිය බව සියලු දෙනාම පිළිගත යුතුයි .ඒ පිළිබඳව කට ඇරලා කියන්න කවුරුත් නැති වීම මෙම ජාතීන් අතර විරසක භාවය ඇති වීමට හේතු වෙලා තිබෙනවා. මෙම ජාතීන් දෙක අතර මතභේද කෝලාහල සිදුවීමට හේතු රාශියක් තිබෙනව ඒවා තෝරා බේරාගෙන සත්‍ය අවබෝධ කරගන්න සිංහල ජනතාවට ප්‍රමාණවත් අවස්ථාවන් නැති බව කවුරුත් දන්නා කරුණකි. එය වගේම එම කරුණ මුස්ලිම් අපගේ මහත් දුර්වලතාවයක් බව අපි දැන ගත යුතුය. මුස්ලිම් අපේ ඉතිහාසය සිංහල සමාජයට කියා දෙන්න මුස්ලිම් විද්වතුන් ප්‍රමාණවත් උත්සාහ නොදැරීම කණස්සල්ලට කරුණකි. නමුත් එය සිංහල මහ ජාතියේ කරට පටවලා නිදාගෙන සිටීම උචිත වෙන්නේ නැත.

සත්‍ය මෙසේ තිබුණාද මුස්ලිම් විරෝධී යම් යම් අකටයුතුකම් සිදු වීමට දේශපාලන පටු අවශ්‍යතා තිරය පිටුපස ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට මග හරින්න බැරි කරුණකි. එවගේම අපි දෙයක් පිළිගත යුතුයි. එනම් මුස්ලිම් ජාතියේ බහුතරයක් එසේ නැත්නම් එයින් සිටින වැඩි පිරිසක් ධාර්මිකව ජීවත් වීමට හා සිංහල ජනතාව එක්ක හොඳ සුහදශීලී ලෙස සම්බන්ධතා පවත්වාගෙන යාමට ප්‍රිය කරන නමුත්, ඇතැමුන් ඉස්ලාම් විරෝධී ලෙස ඔවුන්ගේ ජීවිත රටාව කරගෙන යන නිසා, ඔවුන් කරන වැරදි සියල්ල සමස්ත මුස්ලිම් ජනතාවගේ කර මත වැටෙන නිසා සමස්ත මුස්ලිම් ජාතියටම එයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කාලේ මුස්ලිම් ලෙස පෙනී සිටි අයට තිබුනු මහත් ගෞරවය විශ්වාසය අද පලුදු වෙලා .අවුරුදු 50 සීයකට පෙර සිංහල ජනතාව ඉදිරියේ මුස්ලිම් කියන නම කියවෙන විට ඔවුන් අතර මහත් ගෞරවයක් විශ්වාසයක් තිබුණා. තමන්ගේ දරුවන් සහෝදරයන් අභිබවා මුස්ලිම් කියන නමට ඔවුන් විශ්වාසය තැබුවා. සමහරවිට ඔවුන්ගේ මුදල් වස්තු ආරක්ෂා කිරීමට බැංකු තිබුනේ නැති කාලයේ ඒ සියල්ල මුස්ලිම් මුදලාලි මහතුන් අතට පවරා ආරක්ෂා කරපු විදිහට සාක්ෂි තිබෙනවා .ඒ තරමට මුස්ලිම් ජනතාව කෙරෙහි ඒගොල්ලන්ට විශ්වාසයක් තිබුණා. එය අපි දැන් මතක් කරන විට අපිටම ලැජ්ජ හිතන තත්ත්වයයි අද තිබෙන්නේ එම නිසා අපි අපිව නිවැරදි කර ගන්නේ නැතුව සිංහල ජාතියට පමණක් ඇඟිලි දික් කිරීමක් කිරීම සාධාරණීය වෙන්නේ නැත.

ඉහත දුර්වලතාවය තමන්ගේ යැපීම සඳහා දේශපාලුවෝ ප්‍රයෝජනයට අර ගැනීම අද අපූරුවට සිදුවෙලා වෙලා ඉවරයි. දේශපාලකයකු නැත්නම් දේශපාලනය කරන කෙනෙකුට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ මේ වගේ දේවල් බව අපි තේරුම් ගත යුතු ය. දේශපාලන නායකයන්ගෙන් ජනතාව බලාපොරොත්තු වන දේවල් බොහෝය. නමුත් ඔවුනට ලබා දිය හැකි දේවල් බොහොම අඩුයි . මේ අතරතුර තියෙන පරතරය පහසුවෙන් පුරවා තමන්ගේ පැවැත්ම පවත්වා ගෙන යාමට හොඳම දේ තමයි මිනිසුන් අතර කලකෝලහල මතභේද භේද භින්න ඇති කරලා කාලය ගත කිරීම. මෙය ලංකාවේ අපූරුවට ම සිද්ධ වුණා. දේශපාලනයේ අපි දන්නවා නිදහස ලබා ගැනීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට


පැමිණීම සඳහා බහුතර ඡන්ද පදනම දිනාගැනීමට නිල් කොල පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට පොරොන්දු දීම හා ජාතිවාදය ප්‍රයෝජනයට ගත් බව. මෙම නායකයෝ නොදැන නෙවෙයි ඔවුන් කරන වැරදි නිසා රටට විනාශය සිදුවන බවත්,  ජාතීන් අතර අසමගිය  ඇති වෙලා කලකෝලාහල ඇති වෙනවා කියලත්. නමුත් ඒවා තමා ඔවුන්ගේ  ප්‍රබල ආයෝජනය. මේ භේදභින්න තමයි තියුණු  ආයුධ. මේවා සඳහා මිනිස් සිත් වල ආකල්පමය වෙනසක් ඇති කරන්න අවශ්‍යයි. බියගැන්වීම් ඇති කරන්න අවශ්‍යයයි. එවිටයි දේශපාලනය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙන්නේ . නැත්නම් ජනතාව සමගියෙන් සිටියොත්, ජනතාව ඉල්ලන සියල්ල මේ දේශපාලකයාට ලබා දෙන්න බැරි නම් ඔහුට බේරුමක් හෝ පැවැත්මක් නැත. නමුත් මේ ජනතාව තුළ ම කළකෝලාහල ඇති කරලා ඒ ප්‍රශ්න විසඳන්න දේශපාලන මැදිහත්වීම හෝ සහය කෙරෙහි ජනතාව  අවධානය යොමු කරන විට, එම ප්‍රශ්නය ඇදගෙන යාමේදී, ඒගොල්ලන්ට ලබාදිය යුතු දේ  ලබා නොදී මඟ හැරීමට ඉඩ සැලසෙනවා .මේ ක්‍රමවේදය ජනතාව හරියට තේරුම් ගන්නේ නැත.

දේශපාලනය කියන්නෙ ලෝකෙම තියෙන ඉතාම නපුරු ක්‍රීඩාවක් . එය තුළ තියෙන්නේ තනිකරම කුහකත්වයයි. අවංකත්වය නැහැ. අවංකත්වය යටතේ දේශපාලනය කරන්න ඉදිරිපත් වන කෙනෙකුට අනාගතයක් නැහැ. ජනතාව ඉදිරියේ බොරු පවසලා බිය ගන්වලා ලණු දීලා යමක් ලබා ගැනීමට පහසුයි. නමුත් අවංකවම රටක් ගොඩනගන්න ඉදිරිපත් වන විට එය සඳහා එවැනි නායකයන්ට සහය දෙන්න තරම් අපේ බුද්ධි මට්ටම නැති විට, අපි අපේම වල කපා ගන්නවා කියන එක තේරුම් ගත යුතුයි.

අපි සියලු දෙනාම දන්නවා මෑත කාලයකදී මුස්ලිම් ජනතාවට විරුද්ධව ලොකු භේදභින්න ආකල්පමය විප්ලවයක් එහෙම නැත්නම් බිය ගැන්වීම සිදු වුණා. ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයෝ ඔවුන්ගේ ජාතිය බෝ කරනවා දරුවෝ වැඩි වැඩියෙන් හදාගන්නව .අනිත් සිංහල ජාතිය වඳ කරනවා වඳ කොත්තු ලබා දෙනවා වඳ ටොපි ලබා දෙනවා . ඒ වාගේ ම නොයෙකුත් දේවල් මිනිසුන් අතර බොරු ප්‍රචාරයක් පතුරුවා හැරියා. ඒ මදිවට වඳ සැත්කම් කියලා මහා ප්‍රචාරයක් ලබා දුන්නා .මෙයින් සිංහල ජනතාවට ඇති වුනේ මුස්ලිම් ජනතාව කෙරෙහි ඉතාමත් වැරදි රූපයක් . කලකිරීමක් වෛරයක් .නමුත් අද දින ජනතාව දන්නවා මේ කොතරම් දුරට බොරු ප්‍රචාරයක්ද ලබා දුන්නේ කියලා.එහෙම එකක් සිදු වුණාද නැහැනේ කියන එක දැන් සිංහල බහුතර ජනතාවට ම ලැජ්ජාවක් ගෙන දෙන මාතෘකාවක් වෙලා තිබෙනවා. එතකොට අපිට හිතන්න වෙනවා මේවා පිටුපස හිටියේ කවුද? මේ මාධ්‍ය මෙහෙයවූ තිරය පිටුපස සිටියාවූ තැනැත්තා කවුද ?

මෙම ප්‍රචාරය ගෙන යන විට බොහෝ අයට නිකමට හෝ හිතන්න බැරි වුණා_ මුස්ලිම් ජනතාව කියන්නේ සුළු හෝ විශාල ප්‍රමාණයේ ව්‍යාපාරික කටයුතුවල අවධානය යොමු කර ඇති ජනතාව කියලා. එවිට මහාජාතිය වඳ කරලා දරුවෝ හදන්නේ නැතුව මේ විදිහට එකක් කරනවා නම් ඔවුන් කාටද  ව්‍යාපාරික දේවල් විකුනන්නෙ කරන්නේ කියලා. ඒ වගේම මුළු ලෝකෙටම ලබාගත නොහැකි මෙම වඳ බෙහෙත් මේ මුස්ලිම් ජනතාව විතරක් කොහෙන්ද හොයාගත්තේ ?මේවා නිෂ්පාදනය කරගන්න පුළුවන්  මහා විද්වතුන් මුස්ලිම් ජනතාව තුළ සිටිනවා ද කියලා. විමසා බැලීමෙන් තොරව විචාර බුද්ධියෙන් තොරව මේ දේශපාලන අධිකාරියෙන් නැත්තමි මේ කුහකයන් පතුරුවා හරින බොරු දේවල් විශ්වාස කර මුස්ලිම් ජාතියට තාඩන පීඩන සිදු කළේ කුමන විශ්වාසයකින් ද.?

මේ මදිවට මුස්ලිම් විරෝධය තවත් තවත් තහවුරු කරන්න මුස්ලිම් ජනතාවට විරුද්ධව මහා විනාශයක් කරන්න ඒ වගේම සිංහල ජාතිවාදය පණ ගැන්වීම සඳහා සිදු වෙච්ච එක්තරා සිදුවීමක් තමයි මේ සහරාන් ගේ ක්‍රියාකලාපය. ඇත්ත වශයෙන්ම මේ පාප ක්‍රියාව මුස්ලිම් ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන එකක්ද ?නැහැ .මෙය ඉස්ලාමීය ආගමේ උගන්වන දෙයක්ද? ඒකත් නැහැ . එතකොට ඉස්ලාමය ද නොවන මුස්ලිම් ජනතාවට ද අවශ්‍ය නැති මෙවැනි පාපකර්මය මොහු හා කණ්ඩායම කළේ කුමක් සඳහාද? කාගේ අවශ්‍යතාවයට ද ?මේ පිටුපස සැඟවුණු හස්ත  තිබෙන බව දැන් තහවුරු වෙලා තිබෙනවා .මුලදී මේ සැඟවුණු හස්ත කාටත් හොයාගන්න බැරිව තේරුම් ගන්නත් බැරි වෙලා සමස්ත දේම මුස්ලිම් අයගේ  කැමැත්ත උඩ සිදුවුණා මෙන් මේ අහිංසක කිතුනු ජනතාවට විරුද්ධව  මහා මිනිමැරීම ලෙස මාධ්‍ය ප්‍රචාරය කරා .ඇත්ත අද හෙළි වෙලා ඉවරයි දැන් සිංහල ජනතාව දුක් වෙනවා අපේ මුස්ලිම් ජනතාවට නිකරුණේ චෝදනා එල්ල කළා කියලා. එම නිසා මින් ඉදිරියට සියලුම සිංහල බහුතර සහෝදරයන්ට ලොකු වගකීමක් තියෙනවා බොරු ප්‍රචාර හා මිත්‍යා පතුරුවන, ආගම් ජාතිභේද වලට තුඩුදෙන ලණු වලට හසු නොවන්නට .එය දමිළ ජාතිකයන්ට වෙන්නත් පුළුවන් මුස්ලිම් ජාතිකයන්ට වෙන්නත් පුළුවන් කිතුනු ජාතිකයන්ට වෙන්නත් පුළුවන්. අපි සියලු දෙනාම ලාංකිකයෝ එක මවකගේ දරු කුල බැවිනා කියලා ජාතික ගීයේ කියනවා පමණක් නොවේ, ප්‍රායෝගිකව අප ජීවිතයේ ඒක කරන්න අවශ්‍යයි. සිංහල බහුතරය කියලා කියන්නේ එක පවුලක ලොකු අයියා වගේ .ඒ කියන්නේ සුළුතර ජනතාවට මඟ පෙන්වන , සුළුතර ජනතාව කෙරෙහි කරුණාව ආදරය දක්වන විදිහට තිබීම තමා වාසනාවක් වෙන්නේ. එය අපි තේරුම් අරගෙන මුස්ලිම් ජනතාව හෝ  දමිළ ජනතාව හෝ කිතුනු ජනතාව හෝ බහුතරයේ නියෝජනය ට ඉඩ දී ඔවුන් සමග සාමයෙන් සමාදානයෙන් ජීවත් විය යුතුයි. මේ ශ්‍රී ලංකා භූමිය සිංහල බෞද්ධ රාජ්‍යයක් යයි අපි සියලු දෙනාම පිළිගත යුතුයි. කිසිම හේතුවකින් මේ රටේ නාමය සිංහල බෞද්ධ රාජ්‍යය කියන එක වෙනස් කළ නො යුතුයි. මෙය මගේ මගේ දැඩි ඉල්ලීමක්. ඒ කියන්නේ සමහර විට ඇතැම් විද්වතුන් පවසනවා මේ රට multicultural  එක විදිහට විවිධ සමාජ හා ජාතීන් ජීවත් වන රටක් . මේක සිංහල බෞද්ධ කියන නම ඉවත් කරන්න අවශ්‍යයි කියලා. ඒ කිසිදා නොකල යුතුයි .මේ අවුරුදු දෙදහස් ගාණක සිංහල බෞද්ධ පසුබිමක් තියෙන රටක , පසුව අපි පැමිණ ජීවත් වෙමින් මුස්ලිම් හෝ කිතුනු ජාතිකයන් ඒ සිංහල බෞද්ධ කියන නමට එරෙහි විය නොයුතුයි .එය සිංහල බෞද්ධ ජනතාවගේ අනන්‍යතාවය. එම නිසා ඔවුන්ගේ අභිලාෂයන්ට හැඟීම් වලට විපතක් නොවන විදිහට  එයට ගරු කළ යුතුයි .ඒ වගේම සිංහල මහජනතාව තමන්ගේ සහෝදර ජනතාවට සමාන තාවයෙන් සැලකිය යුතුයි මිරිකා  අඩත්තේට්ටම් කිරීම් කිසිදා කළ නො යුතුයි.

බහු සංස්කෘතික රටක් ලෙස මෙම රට නම් කළොත් මෙම රටට සදාචාර විරෝධී හා සංස්කෘතික විරෝධී ලෙස සිදුවෙන හානියට පෙනී සිටීමට කිසිවෙකුට හැකියාවක් නැති වෙනවා .යම් කිසි සමාජයක සිට මෙය වැරදියි කියනකොට ඔබට වැරදි නම් ඔබ ඉවත්  වෙලා සිටින්න. අනිත් සමාජයට එය අවශ්‍යයි කියා පිළිතුරු ලැබෙනු ඇත. ලංකාව තුළ මොන මොන සමාජ විරෝධී දේවල් සිදු වුනත් ,එයට පෙනී සිටින්න කාටත් බැරි වෙනවා එය ඉතාම භයානක දෙයක්. නමුත් සිංහල බෞද්ධ රට කියන කොට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට විරුද්ධව සදාචාර විරෝධී ව කිසිවක් මෙහි පවත්වාගෙන යන්න බෑ. එහෙම දෙයක් කරන්න යනකොට ඒවාට විරුද්ද වෙන්න හැකියාව තියෙන්නෙ බහුතර සිංහල ජනතාවට නැත්නම් බුදුදහම අදහන බහුතරයට බව අපි ප්‍රායෝගිකව සිතා ගත යුතුයි.

වර්තමානයේ ලංකාවට සිදුවෙලා තිබෙන, සිදු වෙමින් යන, සිදුවීමට නියමිත දේවල් පිළිබඳව ටිකක් සිතා බැලිය යුතු. තීරණාත්මක අවස්ථාවකයි අපි සිටින්නේ. විශේෂයෙන්ම අද සිංහල බෞද්ධ රටක බුදු දහමට කුමක්ද වෙලා තියෙන්නෙ කියලා අපිට බලන්න අවශ්‍යයි .ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිවිතුරු නිර්මල බුදු දහම ලංකාවේ කොපමණ දුරට පවතිනවාද කියලා. කාටහරි කියන්න පුළුවන්ද ඇත්තටම අද ලංකාවේ බුදුදහමට වෙලා තියෙන දේ ?කොසල් රජතුමා දුටු සිහින දාසයක් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන මට්ටමට පැමිණ තිබෙනවා ඇත්ත.  ඒ පිළිබඳව බෞද්ධ විද්වතුන් සිතට අරන් කටයුතු  නොකළහොත් අවසානයේ දී අපිට සිද්ධවෙන්නේ තායිලන්තය බුරුමය වියට්නාමය ඒ වගේම චීනයද වැනි රටවල් වල බුදු දහම නමට ආගමක් ලෙස තිබුනට බුදුදහමේ හරය එහි නැත. නාමිකව දහම හා ජීවිතය තිරිසන් ජීවිතයක් විදිහට  මේ රටටත් බුදු දහම  පරිවර්තනය වෙනු ඇත. වැරදි වැරදි දේශපාලන නායකත්වය මෙයට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් . මා මුස්ලිම් ජාතිකයෙකු වෙලා මට බුදු දහම ගැන කණස්සල්ලට පත් වෙන්න තියෙන අයිතිය කුමක්දැයි ඔබ කවුරුත් සිතන්න පුළුවන්. නමුත් එසේ නෙවෙයි. රටක බහුතරයක්  වී සිටින බහු ජාතිය කොතරම් ශක්තිමත්ද? කොතරම් සදාචාර සම්පන්නද? කොතරම් පිවිතුරු දහමක මගපෙන්වීමෙන් ජීවත්වෙනවද? එය සෘජුවම සුළු ජාතීන්ට බලපානවා. 

එවගේම මහජාතිය කොතරම් දුරට දුරාචාර වී විනාශ වී යනවා ද _එයටත් වඩා වේගයෙන් සුළු ජාතීන්ට හානි සිදු වෙනවා. එම නිසා මම විශ්වාස කරනවා මුස්ලිම් හෝ දමිළ හෝ ක්‍රිස්තියානි ජනතාවට ඔවුන්ට  සුළු ජාතීන් හැටියට නිදහසේ ජීවත්වීමට, මේ ලංකාවේ නිර්මල බුදුදහම නිසියාකාරව පිළිපදිනවා නම්  තමයි ඉඩ සැලසෙන්නේ කියා. එක තර්කානුකූලව පිළිගත යුතුයි.

ජනතාවට ආගම උගන්වා දෙන දේශණා කරන ඇතැම් අයම පක්ෂය , පක්ෂපාතීත්වය හා ලාභ ප්‍රයෝජන සඳහා තමන්ට ලැබෙන යම් ලාභයක් සඳහා ආගම විකෘති කර, ආගමට පටහැනි දේවල් කරිමට උදව් උපකාර කරන උදවිය ලෙසට පත්වෙලා හමාරයි. අද මම මෙය කියන්න  අවශ්‍ය නෑ එදිනෙදා ජීවිතයේ මේවා දැකගන්න පුළුවන්. ධර්මය දේශනා කරන්න චීවරයක් දරා සිටින එසේ නැත්නම් තමන්ගේ ජීවිතයේ සියලු දේම කැප කරලා චීවරයක් පොරවා ගත් චීවරධාරියෙක් ලෞකික සම්පත් සඳහා ලෞකික සුඛවිහරණ සඳහා ආගම විකුණන විට එම චීවරය පිටුපස යන සාමාන්‍ය මනුස්සයෙක් මොන තරම් විදිහට ඔහුගේ ආකල්ප වෙනස් කර ගැනී විද ?මෙය අද සිදු වෙලාද නැද්ද.?

අද ලංකාවේ සිංහල සමාජය සංස්කෘතික පරිහානිය ගැන ප්‍රමාණවත් අවධානය නිසි ලෙස යොමු කරල නැහැ. දැන් බලන්න අවුරුදුව්ස්සක් තිහකට පෙර ශ්‍රී ලංකාවේ සිංහල ගැහැනුන් ගෙදරදි ඇඳුම් අඳින විදිහ, උත්සවයකට සහභාගී වන විට අඳින ඇඳුම් පැළඳුම් කෙසේද තිබුනේ? අද කෙසේද තිබෙන්නේ? යම් උත්සව වල තරගවල  සහභාගි වෙලා යම්කිසි ජයග්‍රහණයක් ලබාගන්නා විට සිංහල කාන්තාවට තිබුනෙ පිරිමින්ට හෝ සෙසු අයට දෝත උස්සලා  වැඳලා ආචාර කිරීම පමණි .නමුත් අද එය ස්ටාර් මේ ස්ටාර් කියා ගිහින් ජයග්‍රහණය කරලා අම්මා තාත්තා ඉදිරියේ මුළුමහත් ජනතාවම ඉදිරියේ ලංකාවම බලා සිටින මොහොතක තමන්ට හිමි නැති සහෝදරයාද  නොවන කාමුකයන් බදාගෙන ඉඹගෙන නටන මට්ටමට , මදිවට තමන්ගෙ අඩ නිරුවත පෙන්නලා මුළු ලෝකෙටම පෙන්නා නටන තරමට කාන්තාවන් පිරිහිලා. තරුණ තරුණියන් පිරිහිලා

. මේකටත් එහා ගිය සමාජයේ සිටින ගණිකාවන් වෛශ්‍යාවන් කියන්නේ පිළිගත් චරිතයක් නොවේ . ඒක රහසේය හැංගි හැංගි යම් ගැහැනුන් කරගෙන ගිය රැකියාවක්. නමුත් අද එම රස්සාවට පවා මාධ්‍ය ඉඩ ලබා දී වෛශ්‍යාවන් මාධ්‍ය ඉස්සරහ ගෙනැවිත් සම්මුඛ සාකච්ඡා පවත්වලා එම පහත්  ගණිකා වෘත්තිය සමාජ ගත කරන්න ඕන කියලා ආඩම්බරයෙන් කතා කරන මට්ටමට විලි ලැජ්ජාවක් නැති සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. මෙ විදිහට තව ටික කලක් ගියා නං අපේ රටට කුමක්ද වෙන්නේ අපේ ආර්ථිකය ලොකු අභියෝගයක තිබෙනවා. ඒ අවස්ථාවේදී මෙලෙස පිරිහී ගිය  සංස්කෘතිය තුළ ලිංගික අනාචාරය නැත්තං කාමුක සුඛවිහරණ සඳහා මේ ගණිකා වෘත්තිය තවත් කොපමණ දුරට උඩට යාවිද? මෙයින් සමාජයට කුමක්ද සිද්ධවෙන්නේ භයානක ලෙඩ රෝග පැතිරිලා මේ ජාතිය විනාශ වෙලා යන්නේ නැතුව සිටීද?මෙවැනි දෙයක් ඇති වෙනකොට සෘජුවම එය සිංහල ජනතාවට පමණක් බලපාන දෙයක් වෙන්නේ නැත. කෙලින්මම ඒ හා සමානව මෙය  අනෙකුත්  සුළුතර ජනතාවටද අනතුරක් ගෙනදෙන්නක් බව අපි දනිමු.

ආර්ථික වශයෙන් අපේ දේශය ලොකු පරිහානියට පත් වෙලා ඉවරයි .දිනෙන් දින බඩුමුට්ටු මිල යන, අපේ ජීවන වියදම ඉහළ යන තත්ත්වයක් තිබෙනවා .මිනිසුන්ට වේලක් කාලා තව වේලක් කන්න බැරිව බඩගින්නේ ඉන්න ජනතාව  වැඩිවෙලා. දැනටම මේ තත්වයෙන් නම් ඉදිරියට කුමක්ද වෙන්නේ? මේ රටේ ජනතාවගේ ණය බර අහස උසට නැගී ගිහින්ය .පාලකයෝ වෙනස් වුණාට කවුරු පාලනයට ආවත් මේ ණය ගෙවන්න අවශ්‍යයි. ණය ගෙවන්න කුමක්ද අපිට තිබෙන්නේ ?අපේ ආර්ථිකයේ ස්වභාවික සම්පත් වැඩියෙන් තියෙන රටක්. ස්වභාවික විපත් අඩුවෙන් තියෙන රටක්. ඇමරිකන් සුද්දෙකුට වඩා සුඛෝපභෝගී ලෙස ජීවත් වෙන්න පුළුවන් මේ ලක්බිමේ,  අප්‍රිකානු ඉතියොපියාව ටත් වඩා පහළට අපි වැටුනෙ කෙසේද ?අපේ නායකයෝ අපේ තියන සම්පත් මංකොල්ලකෑම නිසා නොවේද? මවා මේවා ප්‍රධාන ගැටළු නොවේද? මේවාට වඩා මුස්ලිම් ගැහැනියගේ බුර්කාව ,ශරීයා උසාවියයි එසේ නැත්නම් මහ බොරු මිථ්‍යාවන් ද අපේ අභියෝගයන් ?අපි අභියෝග රාශියක් ඉදිරියේ සිටිනවා. ඒවා ගැන මිනිස්සු අවධානය යොමු නොකර පලකට නැති ගැටළු මවා පෙන්වා අපිව වෙන දිසාවකට යොමු කර තිබෙනවා. සහෝදරවරුනි මෙව්වා නොවේඅපේ ඇත්තම ප්‍රශ්නය.



අපිට අනාගතයේ රටක් ඉතුරු වේ ද? ඒකීය ශ්‍රී ලංකාව බේරෙයිද?  මහා අනතුරුදායක පසුබිමක අපි සිටින්නේ. අපි දන්නවා අපි ලබාගෙන තිබෙන ණය සඳහා අපේ ආර්ථික මර්මස්ථාන රටේ ඉතා වටිනා සම්පත් විජාතිකයන්ට දෙන්නම සිදුවෙනවා. පසුව අපිට එම විජාතිකයන් යටතේ සේවය කරන වහලුන් ආකාරයට අපේ පරපුරට ජීවත් වෙන්නත් සිද්ද වෙනවා. ඒ මදිවට ජාත්‍යන්තර දේශපාලනය ඉදිරියේ දැන් රටවල් එකිනෙක අතර තියෙන මිත්‍ර සම්බන්ධතා බිඳී යුදමය තත්ත්වයක් එනම් තුන්වැනි ලෝක යුද්ධයකට සමාන තත්ත්වයක් දැන් අලුයට ගින්දර වගේ පවතිමින් තිබෙනව. මෙවන්නක් වෙනවිට ඉන්දියානු චීන යුද්ධයක් පවා ඇතැම්විට ඇති වෙන්න පුළුවන් .එම අවස්ථාවකදී අපිට ලංකාවේ ඉඳගෙන ටීවී බලන්න ලැබෙන්නේ නැහැ. අපෙ තියෙන භූමිය කවුරු කවුරුත් බලෙන් අත්පත් කරගෙන ලංකාවේ ඉඳන් ලෝකෙටම පහර දෙයිද  අපි දන්නේ නෑ .වෙන අයට ගහන මිසයිල අපේ ඔළුවට වැටෙයි ද දන්නේ නැහැ. මෙවගේ තත්වයක් දැනටමත් තිබෙනවා ඒ වගේම අපිට එක්සත් ජනපදය එහෙම නැත්නම් දමිළ ඩයස්පෝරාව විසින් ගෙන යන වැඩ කටයුතු ඉදිරියේ ඉන්දියාව ඇමරිකාව වැනි රටවල් එකතුවෙලා ඊලම ලබාදීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා .මෙයින් අපි ජය ගන්න පුළුවන්ද නැත්තං අපිට ඊළම ලබාදෙන්න සිදුවේදැයි අපි නොදනිමු .එවන් අවස්ථාවක රටෙන් කොටසක් ඊලමක් වශයෙන් ගිහින්  ඊලම ආසියාවේම සුන්දර ධනවත් රටක් වී ඔවුන් දාන ඉඳුල් ආධාරයෙන් කුසගින්න පුරවා ගන්න අනාගතයේ අපිට සිදුවේද කියා පවා සිතන්න වෙලා තිබෙනවා .ඉන්දියාව චීනය ඇමරිකාව තැනින් තැන අපේ භූමිය අල්ලගෙන එයින් බාගයක් හා රටෙන් භාගයක් දීලා ඉතිරි ටික පාලනය කරන්න අපිට රජවරුන් ජනාධිපතිවරුන් අවශ්‍යය නෑ. ග්‍රාමසේවක වරු පමණක් ඇති.   එක එක දේශ වල සිට ආ සමාගම් වල කම්කරුවෝ  අපිව පාලනය කරන  අනාගතය අපිට ඇතැම් විට සිදු වෙන්න පුළුවන් දෙයක් බව දැම්මම වටහාගෙන ,අපි මේවයින් බේරෙන්න අවශ්‍ය නම් කුමක් කළ යුතුද කියා තීරණය ගැනීම සුළුතර දමිල සිංහල ක්‍රිස්තියානිය හෝ වෙන කිසිවෙක් ගේ උත්සාහය මත රැඳී නැහැ.සිංහල බෞද්ධ ජනතාව තුළ සිටින බුද්ධිමත් විද්වතුන් අත මතයි කියා මා සිතමි.

Post a Comment

0 Comments