SRI LANKA


 

මාමා කල දේ බෑනා නොකළොත් පුදුම නොවන්න!


මාමා ජේ. ආර්. ජයවර්ධනය. බෑනා රනිල් වික්‍රමසිංහ ය. මාමා සියළු ගුරු හරුකම් බෑනාට ලබා දුන් බව රහසක් නොවෙයි. මාමා 77 සිට කල කී දේ බෑනා හොඳින් දනී. මාමා බෑනාට පෙර පුහුණුවීම් කිරීමට අවස්ථාව ලබා දුන් අතර ඔහු ඒවා හොඳින් ප්‍රගුණ කල බව එකල තරුණ වියේ සිටි අපි හොඳින් දනිමු. බෑනා ඉගෙන ගත් ශිල්ප අත් හදා බැලූ එක් අවස්ථාවක් වන්නේ බටලන්ද සැපගාරය ය. එවැනි දේ ඉදිරියේදී වුවද බලාපොරොත්තු වීමේ වරදක් නැත.

පෙරෙයිදා දිනයේ උදේ 11 සිට ජනාධිපති ගෝටාභය Zoom හරහා සම්බන්ධ වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක ප්‍රධානීන් අතර පැවති පැය හතරක සාකච්ඡාව ඉදිරි වැඩපිළිවෙළ සැළසුම් කිරීමට මූලික අඩිතාලම දමා ගැනීමට ගත් උස්සාහයක් බව  දැන ගන්නට ඇත. කෙසේ වෙතත් ජුලි 20 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු බොහෝ අප්‍රසන්න සිදුවීම් ලංකාව තුල සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත.

පොහොට්ටු පක්ෂය මේ වන විට ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගෙන අවසන්ය. ඔවුන් ඊයේ වනතුරු ඩලස් අලහප්පෙරුම නම් කරන බවට ඉඟි පලකොට තිබුණත් අද වන විට තීන්දු කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහ එම තනතුරේ රඳවා ගැනීමටය. ඔවුන්ගේ අගමැති වරයා වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ දිනේෂ් ගුණවර්ධනයි. රෝයල් කොලිජියේ බාලාංශ පන්තියේ රනිල් වික්‍රමසිංහගේ ඉතා සමීප මිතුරන් දෙදෙනාගෙන් කෙනෙකු වූ දිනේෂ් නමට වාමාංශික එහෙත් අන්ත දක්ෂිණාංශික ප්‍රභූ දේශපාලනඥයෙකි. 

මාගේ ඊයේ ලිපියේ සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති වීමේ අභිප්‍රාය ගැන සඳහන් කළත්, ඔහුට එය සැබෑ කරගැනීමට තිබෙන අවස්ථා දැන් සීමා සහිත වී ඇත. අවසානයේ මෛත්‍රීපාලගේ කණ්ඩායම , වීරවංශගේ කණ්ඩායම , අනුර ප්‍රියදර්ශනගේ කණ්ඩායම , සහ ගුණපාල රත්නසේකරගේ කණ්ඩායම සජිත් ප්‍රේමදාසගේ අඩුපාඩු ගැන කියමින් රනිල් වික්‍රමසිංහ පැත්තට තල්ලු වනු ඇත. ඔය අතර ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායකටත් Side Kick එකක් ගසාගෙන යෑමට ඔවුන් වග බලාගනී. අනුර කුමාර දිසානායක මේ ගැට වේලාසනම දකින නිසා ඔහුගේ ස්ථාවරය කල් වේලා ඇතිව පක්ෂ නායකයින්ට ප්‍රකාශ කලේ එම නිසයි. එහෙත් , රනිල් වික්‍රමසිංහගේ චර්යාව නොදන්නා ඔහුගේ පැරැණි ගෝලයන් තවමත් වික්‍රමසිංහට රැවටෙන බව දැකීමෙන් පෙනී යන්නේ තවමත් ඔවුන් රනිල් වික්‍රමසිංහ හොඳින් කියවාගෙන නැති බවයි.  අවසානයේ වන්නේ , නැවත වරක් ජූලි 20 වන දා සිට සජිත් ප්‍රේමදාස ගේ අඬෝවැඩියාව ඔබගේ දෙසවන් සිසාරා යාමට පටන් ගැනීමයි .

අරගල කරුවන් බට නන්දේ පන්නා දැම්මාට, බටලන්දේ රනිල් පන්නා දැමීමට ගන්නා උස්සාහයන් ලත් තැන ලොප් කිරීමට රනිල් වික්‍රමසිංහ පසුබට නොවනු ඇත. ඔහු එතරම් ශූර කපටි බෑනා කෙනෙකු බව ඔහු ගැන හොඳින් කියවා ඇති අය දනී. එමනිසා , අරගල කරුවන් නව සටන් ක්‍රම ගැන සිතීම වඩා වැදගත්‍ ය

මැද පංතියේ අවශ්‍යතාව වන ඉන්ධන ලබා දීමට රනිල් වික්‍රමසිංහ විවිධ උස්සාහයන් ගනු ඇත. ගෑස් ප්‍රශ්නය මාස දෙකකට විසඳාගැනීමට ලෝක බැංකු ණය යොදාගෙන ඇත. කෙසේ හෝ මැද පංතිය අරගලයෙන් ඈත් කර තැබීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇත. ඔහුගේ සමාජ මාධ්‍ය මේ දිනවල පැය 24 ම ක්‍රියාත්මක කොට මොළ සේදීම පටන් ගෙන ඇත. අර්බුදයට විසඳුම් නැත. අරගලයත් ක්‍රමානුකූලව අතුරුදන් කරනු ඇත.

අද දින ගෝටාභය ඉල්ලා අස්වීම නිවේදනය කල හොත් රනිල් වික්‍රමසිංහ තාවකාලික ජනාධිපති බවට ව්‍යවස්ථානුකූලව පත්වනු ඇත. ඉන් පසු බොහෝ දුරට ඔහු ලියාගත් කෙටි පණිවිඩයක් ජනයා ඉදිරියේ කියවනු ඇත. ඉන් අරගල කරුවන්ටත් , අනෙකුත් විරුද්ධ මතධාරීන්ටත් ඔහුගේ ඉදිරි සැලසුම් ගැන  ඉඟි සපයනු ඇත. විටෙක ඉල්ලීම් ලෙසත්, තවත් විටෙක තර්ජන ලෙසත් ඔහුගේ ස්වරය වෙනස් විය හැක. කෙසේ වෙතත්  ජූලි  20 වෙනිදායින් පසු ගිජු ලිහිණියා අහසේ පියෑඹීම ආරම්භ කරනු ඇත. ඔහුගේ ගොදුරු බවට බොහෝ අය පත් වනු ඇත.

දැනට සැඟවී සිටින කහසිවුරු පොරවාගත් පිරිස් දිවා රෑ මාධ්‍ය  වල දැක ගැනීමට හැකි වනු ඇත. පිස්සෙක් එළවා යක්ෂයකු කැඳවාගෙන ඔහුව පැන්නීමට අළුත් යකැදුරන් සෙවීමට සිදුවනු ඇත. කෙලවර  බොහෝ දුක්ඛ දෝමනස්සයන්ගෙන් අවසන් වනු ඇත.

බොහෝ අය මෙය මනෝ විකාරයක් ලෙස දැකිය හැක. එහෙත් සිදුවීමට ඇති සම්භාවිතාවය 99% තහවුරු ය. පිටපත මුහුදෙන් එතෙර ආසන්න රටකදී ලියවෙන අතර  අධ්‍යක්ෂණය දුරු රටක සිට සිදුවනු ඇත . එහෙත් , මෙය එසේ සිදු නොවේවායි එතෙර සිටින මා ප්‍රාර්ථනා කරමි.

ශාන්ත ජයරත්න 
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය 
SLIDA 
13.7.22
ලන්ඩනයේ සිට............


Post a Comment

0 Comments