
CNN ප්‍රවෘත්ති වාර්තා වලට අනුව සහ එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව මෙම ගැටුම නිසා ඊශ්‍රායලයේ 1400ක් පමණ දෙනාත් ගාසා තීරයේ1800ක් පමණ දෙනාගේත් මිනිස් ජීවිත මේ වන විට ලොවට අහිමි කර තිබේ. තුවාල ලැබූ සහ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති තවත් දහස් ගණනක් මිනිසුන් ගේ ජීවිත මෙලොවට අහිමිවීමේ අනතුරේ මුවවිටට පැමිණ තිබේ ආහාර, ඉන්ධන, ජලය, විදුලිය සහ වෛද්‍ය පහසුකම් ඊශ්‍රායලය විසින් අවහිර කිරීමෙන් පලස්තීන ගාසා තීරයේ අහිංසක සිවිල් වැසියන් දස දහස් ගණනකගේ ජීවිත වලට එලෙස තර්ජනයක් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ.
විසි එක්වන සියවසේ දියුණු මානව සංහතියේ මානවයන් ලෙස එලෙස මූලික මිනිස් අයිතීන් අහිමි කරන යුධ අපරාධ කවරාකාරයකින් සාධාරණීයකරණය කළ හැකිද? යන ප්‍රශ්නය ලෝකය හමුවේ විවෘතව පවතී.
ලෝකයේ සියලු මිනිසුන්ට පොදූ ස්වාභාවික සම්පත් සිය භුක්තියට සවි කර ගැනීමේ කෑදර අපේක්ෂාව ඉටුකර ගැනීමට ඇවැසි දේශපාලන බලය නතුකර ගැනීම සඳහා "මැකියාවලී" න්‍යායට අනුව කටයුතු කරමින් සියලු යුත්ති ධර්මයන්ගෙන් හා සදාචාරයන් ගෙන් බැහැරව ඒවා නොසලකා හරිමින් අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ ගැත්තන් ක්‍රියාත්මක වෙමින් සිටී.
ඒ සඳහා ඔවුන් ලෝකවාසී මානව වර්ගයා ත්‍රස්තකරමින් මානසිකව බිය වද්දමින් සටකපට ලෙස රවටමින් සහ ඇත්ත වසන් කර ඔවුනට වංචා කරමින් ඊනියා මානව ප්‍රේමයක් පිළිබඳව නන් දොඩවමින් ලෝකය සූරා කෑමේ සිය කෑදර උවමනාව සඳහා ඇවැසි දේශපාලන බලය තහවුරු කර ගැනීමේ කුමන්ත්‍රණයක නියැලී සිටිති.
ඒ සඳහා ඔවුන් ලෝකය බෙදීමටත් එම බෙදුම් රේඛාවන් හරහා ගැටුම් නිර්මාණය කිරීමටත් එකී ගැටුම් සන්නද්ධ ක්‍රියාකාරකම් දක්වා වර්ධනය කිරීමටත් එකී සන්නද්ධ ක්‍රියාකාරකම් උග්‍ර අතට හැරවීමට උදව් ලබාදීම මගින් බලය සඳහා තමන් මත යැපෙන ලෝකයක් නිර්මාණය කිරීමටත් ප්‍රයත්න දරමින් සිටිති.
ඒ සඳහා ඔවුන් මිනිස් සමාජයේ පවතින ජාති, ආගම්, වර්ණ, සංස්කෘතික විවිධත්වයන්, වෙනස්කම් එම බෙදීම් සඳහා සූක්ෂම ලෙස උපයෝගී කර ගනිති.
අද ඇතිවී තිබෙන පලස්තීන ඊශ්‍රායල් ගැටුම විග්‍රහ කරන ඇතැම් ඉතිහාසඥයන්, සමාජ විද්‍යාඥයන්, විචාරකයන්, බුද්ධිමතුන්, යුධ විශේෂඥයන්, ත්‍රස්ත විශේෂඥයන්, මාධ්‍යකරුවන් බොහෝ දෙනකු එකී යථාර්ථය නොදනිති. නැතහොත් දැන දැනත් නොදන්නා සේ මතුපිට සිදුවීම් ඔස්සේ තම ගැති භාවයන් හෝ ලැදියාවන් අනුව අර්ථකථන දෙමින් සිය විග්‍රහයන් ඉදිරිපත් කරති.
එකී ලක්ෂණය පහුගිය සති කීපය තුළ ඊශ්‍රායල් පලස්තීන අර්බුදය පිළිබඳව ලංකාවේ විවිධ පුවත්පත්වල පළ වූ ලිපි වලත්, සමාජ මාධ්‍ය හරහා කරන විග්‍රහයන්වලත්, කොළඹ කේන්ද්‍ර කරගෙන පැවති උද්ඝෝෂණයවලදී පළ කළ අදහස් වලත්, මාධ්‍ය සාකච්ඡාවලත් දක්නට ලැබිණි.
ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට හෝ කණ්ඩායමකට යම් මතයක් දැරීමට එය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අප පිළිගනිමු. විසම්මුතියට ඇති එම අයිතියට අප නිතැතින්ම ගරු කරමු.
ඒ අනුව සාමය හා සංහිදියාව අරමුණු කරගත් "සිතිජය" පුවත් සඟරාවට ලියන මෙම ලිපියේ අරමුණ එකී මත පරාජය කිරීම, විවේචනය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොව ශ්‍රී ලාංකික අප මෙම ගැටුම තේරුම් ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමයි.
මතූකී ලෙස ලංකාවේ ඇතැම් සිංහල පුවත්පත් වල සහ සිංහලෙන් සමාජ මාධ්‍ය තුළ කෙරුණු බොහෝ විග්‍රහයන් තුළත්, ඍජුව හා අනියමින් ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ ඉතිහාසය විකෘති කර දක්වමින් පලස්තීන මුස්ලිම්වරුන් පරාජිතයන් ලෙසත්, ඊශ්‍රායල් ජනතාව මහා වීර වික්‍රමාන්විත ආදර්ශමත් පිරිසක් ලෙසත්, එක් පැත්තකින් හුවා දක්වා තිබූ අතර අනෙක් පැත්තෙන් මුස්ලිම් මිනිසුන් බහුතරයකින් සැදුම්ලත් අරාබි ලෝකය යුධමය වශයෙන් දිගින් දිගටම පරාජය කරමින් තම යුදකාමී ආධිපත්‍යය ඊශ්‍රායලය විසින් පවත්වාගෙන යන බවත්, ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් ගේ ආශිර්වාදය රැකවරණය ඔවූනට හිමිවී තිබීම අසිරිමත් සිදුවීමක් ලෙසත්, ඔවුන් දක්වා තිබිණි. තවත් අතකට බහුතරයක් මුස්ලිම්වරුන් අන්තවාදී සටන්කරුවන්ට සුභ පතන්නන් බවත්, එනිසා මේ අවස්ථාවේ ඔවුන්ට ද හොඳ පාඩමක් ඉගෙන ගැනීමට ඊශ්‍රායලය අවස්ථාවක් උදා කර ඇති බවද ප්‍රකාශ වී තිබිණි.
සැබැවින්ම එය ඇත්තක්ද?
එහිලා මුලින්ම සඳහන් කළ යුත්තේ මෙම ගැටුමට පාදක වූ ඓතිහාසික, සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, හා මානව විද්‍යාත්මක, කාරණා පිළිබඳව මනා හඳුනා ගැනීමකින් තොරව පටු ජාතිවාදය ආගම්වාදය හෝ දේශපාලනය මුල් කරගෙන මෙම අරගලය දඩමීමා කරගෙන ශ්‍රී ලාංකීය සමාජයේ බෙදුම් රේඛාවක් නිර්මාණය කරන ප්‍රකාශ සහ විග්‍රහ කිසිවෙකු විසින්වත් නොකළ යුතු බවයි .

මේ ඊශ්‍රායල ජාතිකයන් සරණාගතයන් ලෙස පලස්තීනයට පැමිණියා
වෙනත් වචන වලින් කියනවා නම් ඊශ්‍රායල් පලස්තීන අර්බුදය ගැන සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවත්නා "බොරදියේ මාළු බාන ප්‍රකාශයන්ගෙන්" ශ්‍රී ලාංකීය සමාජය නොමග යැවීමට කටයුතු නොකළ යුතු බවයි.
පසුගියදා මෙම ගැටුමට විරෝධය පළ කරමින් සියළු දේශපාලන වාද භේද පැත්තකට දමා, ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලන නායකත්වය සහ ප්‍රජාව එකතුවී කොළඹදී උද්ඝෝෂණයක් පවත්වා පලස්තීන ඊශ්‍රායල් ගැටුමට යුදමය විසඳුමක් වෙනුවට මෙම ගැටුම නිර්මාණය වීමට බලපෑ ඓතිහාසික සමාජ ආර්ථික දේශපාලන සාධක පිළිබඳ යළිත් සාමකාමීව යථාර්තවාදීව කච්ඡා කර විසඳුමකට එළැඹිය යුතු බවට සිය මතය ප්‍රකාශ කරමින් වහාම යුධ ගැටුම් නවතාලිය යුතු බවත් ශ්‍රී ලංකාව රටක් ලෙස සුපුරුදු නොබැදි පිළිවෙතේ සිට කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කර සිටියේය
පසුව එම උද්ඝෝෂණය පිළිබඳ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කුප්‍රකට ජාතිවාදියෙකු වන "ඩෑන් ප්‍රියසාද්" මුස්ලිම් විරෝධය පෙරට ගනිමින් සිංහල ජාතිවාදය උසිගන්වමින් ඊශ්‍රායල් සංචාරකයන් මෙරටට පැමිණීමේදී මෙවැනි උද්ඝෝෂණ නිසා බලපෑමක් සිදුවන බවට පදනම් විරහිත මෝඩ අදහසක් ප්‍රකාශ කරමින් සහ ඊශ්‍රායලය අප රටට උදව් කරන ප්‍රධාන රටක් ලෙස හදූන්වමින්ද "හමාස්" සංවිධානයේ නායකයා කළා යැයි කියන ප්‍රකාශයක් ගැන සඳහන් කරමින් මෙරට මුස්ලිම් වරුන්ට එරෙහිව ඔවුන්ගේ කෝපය ජනිත කරවන වෛරී ප්‍රකාශයක් කරනු ලැබිණි. එහිදී ඔහු මෙරට මුස්ලිම් ජනතාවට මෙහෙ ඉන්න "හමාස්"ලටත් යනුවෙන් ඉතා පහත් නින්දිත නීච නොවැදගත් ප්‍රකාශයක් ද කළේය.
සමහර විට ඔහු පලස්තීන ඊශ්‍රායල් ගැටු මේ පවතින සංකීර්ණකම නොදන්නවාද විය හැකිය. නොදැන දන්නා සේ මතුපිටින් යම් යම් සිද්ධීන් උපුටා දක්වමින් තමන්ගේ අධිරාජ්‍ය ගැති පටූ ජාතිවාදී අදහස් පතුරනවා ද විය හැකි ය.
ඔහුගේ ප්‍රකාශයෙන් සිංහල බෞද්ධ බහුතරය ඊශ්‍රායලයට සහාය දෙන බවත් ඉස්ලාමීය සුළු පිරිසක් පලස්තීනයට සහාය දෙන බවත් කියයි. ඔහුගේ මෙම ප්‍රකාශයෙන්ම කාට හෝ කඩේ යෑම සඳහා සකස් කර දුන් පිටපතක් ශ්‍රී ලාංකීය සමාජය නොමඟ යැවීමට ඉදිරිපත් කරන බව පැහැදිලිය. එසේම ඊශ්‍රායලයට පක්ෂව සිංහල බෞද්ධයන් උද්ඝෝෂණය කරන බව ප්‍රකාශ කරමින් උද්ඝෝෂකයන් අතර ගැටුමක් නිර්මාණය කිරීමට ප්‍රයත්න දැරීමක්ද ඔහූ කරයි.
නමුත් මෙවැනි ජාතිවාදී උන්මත්තකයන් කුමක් කීවත් ශ්‍රී ලාංකීය බුද්ධිමත් ජනතාව ඉතිහාසය පුරාම ජාත්‍යන්තර දේශපාලන ගැටුම්වලදී සිටගත්තේ නොබැඳි ප්‍රතිපත්තියක බවත්, අරාබි රටවල් සමඟ අපේ රටේ ඉතිහාසය පුරාම අන්‍යෝන්‍ය වාසි සැලසෙන මිත්‍රත්වයක් පවත්වා ගත් බවත් දනිති.
එලෙස පටු ජාතිවාදී අධිරාජ්‍ය ගැති අවස්ථාවාදී ලෙස ජනතාව මුලා කිරීමට වෙර දරණ පිරිස් වලට පලස්තීන ඊශ්‍රායල් ගැටුමට අදාල ඓතිහාසික දේශපාලන හා සමාජ ආර්ථික හා මානුෂීය යථාර්ථයන් මතක් කර දීම අපේ යුතුකම කොට සලකමූ.
අප සියළු දෙනා දැනගත යුතු ඓතිහාසික යථාර්ථය කුමක්ද?
ඊශ්‍රායල්වරුන් සහ පලස්තීනූවන් අතර ගැටුම ඉතා ඈත අතීතයට විහිදෙන විග්‍රහ කිරීම ඉතා සංකීර්ණ ඓතිහාසික ප්‍රපංචයකි. ඊශ්‍රායල්වරුන්ගේ සහ පලස්තීනුවන්ගේ ඉතිහාස කතාව වසර හාරදාහක් පමණ පැරණි එකක් බව පුරාවෘත්ත හා ඓතිහාසික මූලාශ්‍රවලට අනුව පැහැදිලි වේ. මෙම ජනවර්ග දෙකම එකම මූලාශ්‍රයකින් එනම් ආබ්‍රහම්තූමා ගෙන් පැවත එන්නන් ලෙස විශ්වාසයක්ද පවතී. ඔවුන්ගේ ශුද්ධ ආගමික ග්‍රන්ථ වන හීබෲ බයිබලය හා ශුද්ධ කුරාණයට අනුව ප්‍රකාශ වන ආබ්‍රහම් තුමා එක් පුද්ගලයෙක් නම් ඔවුන් දෙපාර්ශවයම ආබ්‍රහම්තූමාගෙන් පැවත එන්නෝ වෙති.
තවත් පුරාවෘත්තයකට අනුව ආබ්‍රහම් තුමාගේ බිරින්දෑවරු දෙදෙනෙකුට උපන් පිරිමි දරුවන් දෙදෙනකු අතර දේපළ මත ඇතිවූ අරගලය හේතුවෙන් මෙකී ජන වර්ග දෙක පාරම්පරිකව බිහිවූන බවද සඳහන් වේ. එසේම ජේසුස් වහන්සේ ද යුදෙව් ජාතිකයෙකු බවත් ශූද්ධ කුරාණයට අනුව උන්වහන්සේ "ඊසානබී" වශයෙන් අල්ලා දෙවියන් වහන්සේ මහ පොළවට එවන ලද එක් නබිවරයකු ලෙසත් පිළිගැනේ. පලස්තීනයේ පිහිටි ජෙරුසෙලමට ආගමික වශයෙන් කිතුනුවන් මුස්ලිම්වරුන් යුදෙව්වන් එක ලෙස උරුමකම් කියති. එසේම ක්‍රිස්තුපූර්ව 500 දී පමණ රෝමන්වරුන් පලස්තීනයෙන් යුදෙව්වන් සමූලඝාතනය කර පන්නා දැමීමෙන් පසු ඔවුනට ජෙරුසලම තහනම් ප්‍රදේශයක් වුවත් ක්‍රිස්තු වර්ෂ 500 දී අරාබි ලෝකය එක්සේසත් කළ මොහොමඩ් නබිතුමාගේ ගෝලබාලයන් ඊශ්‍රායෙල්වරුන්ට ජෙරුසලමට පැමිණීමේ තහනම ඉවත් කළ බව ද පිළිගැනේ. ඒ අනුව යුදෙව් හා අරාබි ජනවර්ග දෙකම ඉතිහාසය තුළ එකට ජීවත් වූ සාමකාමී ඉතිහාසයක්ද ඇත. තවද හීබෲ බයිබලයට අනුව යුදෙව් රජවරුන් අතර ඥානවන්තම රජූ සොලමන් රජතුමාය. ඊජිප්තුවේ වහලුන් ලෙස ජීවත් වූ යුදෙව් ජාතිකයන් රතු මුහුද හරහා පොරොන්දු දේශය හෙවත් ඊශ්‍රායලයට රැගෙන එන ලද්දේ මෝසෙස් විසිනි.
ඒ අනුව පලස්තීන සහ ඊශ්‍රායල්වරුන් අතර පවතින මෙම ඓතිහාසික ආගමික සබඳතාවයන් සහ විශ්වාසයන් මෙන්ම මතූ කීලෙස සාමකාමීව ජීවත් වූ ඉතිහාසය පරෙස්සමින් විග්‍රහකර වර්තමාන ගැටුම විසඳාගැනීම සඳහා යම් ප්‍රවේශයක් ගැනීමේ ඉඩකඩ තිබේ.
තවද ඊශ්‍රායල් ජනතාවගේ ඉතිහාසය පුරාම ඔවුන් ලෝකයේ විවිධ ආක්‍රමණිකයන්ගේ වෛරයට පාත්‍රවූ ජන කණ්ඩායමක් ලෙස ලෝකය පුරා විසිරී ජීවත් ව තිබේ. දෙවන ලෝක යුද්ධ සමය වන විට ඊශ්‍රායල් ජාතිකයන් ලෝකයේ රටවල් 86ක පමණ පැතිර සිටි බවත්, ශ්‍රී ලංකාවේ පවා ඔවුන්ගෙන් කොටසක් ජීවත් වූ බවත් ප්‍රකාශ වේ. දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වූන යුරෝපයේ ජීවත්වූ යුදෙව් ජාතිකයෝ හිට්ලර්ගේ HOLOCAUST ක්‍රියාන්විතයෙන් මිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් අමු අමුවේ ඝාතනය කරනු ලැබූ බව ප්‍රකාශ වේ. මෙම යුදෙව් සංහාරය හේතුවෙන් එතෙක් යුරෝපය පුරා විසිරී සිටි යුදෙව් සරණාගත යන් ලක්ෂ ගණනින් සිය අතීත වාසභූමියවූ ජෙරුසලමට පැමිණෙන්නට විය. දෙවන ලෝක යුද්ධයෙන් වඩාත් හානියට පත් වින්දිත ජන කොට්ඨාසය බවට පත්ව සිටි යුදෙව්වන් කෙරහි එවකට ලෝක ප්‍රජාව ගේ අනුකම්පාව බෙහෙවින් යොමුව තිබීම හා ඔවුන්ට ලෝකයේ රටක් ලබා දීමේ අවධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රයට ඇතුළත් ව තිබිණි.
මේ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් මැදපෙරදිග කලාපයේ තුර්කියේ "ඔටෝමාන්" පාලනය බිඳ දමා පලස්තීන කලාපයේ රටවල් සිය යටත් විජිත බවට පත් කරගෙන තිබිණි. ඒ අනුව පලස්තීනය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ1947 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය පලස්තීනය තුළ වෙනම යුදෙව් රාජ්‍යයක් සහ අරාබි පාලනයක් ඇති කිරීමටත් ජෙරුසලමේ ඇති ඓතිහාසික වැදගත්කම අනුව ක්‍රිස්තියානි යුදෙව් හා අරාබි ජාතිකයන්ගේ ආගමික උරුමයක් ලෙස සලකා එම කොටස කිසිවෙකුටත් අයිති නැති ජාත්‍යන්තර කලාපයක් කිරීමටත් තීරණය කර එය ක්‍රියාවට නැංවීම බ්‍රිතාන්‍ය අධිරාජය්‍යට පවරණූ ලැබිණි. ඒ අනුව 1917 දී එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ "ආතර් බැල්ෆොර්" පලස්තීනය තුළ වෙනම යූදෙව් රාජය්‍යක් පිහිටවීමේ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබිණි.
මෙම සිදුවීමත් සමඟ පළමුවන හා දෙවන ලෝක යුද්ධ දෙක අතර දශක තුනක කාලයක් ලොව පුරා විසිරී සිටි යුදෙව්වන් විශාල ප්‍රමාණයක් පලස්තීනයට පැමිණීම සිදුවිය. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයේදී අනේකවිධ හිංසාවට ලක්වූ යුරෝපයේ සිටි යුදෙව්වන් දසදහස් ගණනින් පලස්තීනයට සංක්‍රමණය විය. මේ අනුව එතෙක් පලස්තීනයේ පැවති ජන සංයුතිය වෙනස් වූ අතර ඒ අනුව යුදෙව්වන් හා අරාබිවරුන් අතර ගැටුම් පැන නැගිණි.
1947පලස්තීනය තුල යුදෙව් රාජ්‍යයක් පිහිටවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් තීන්දුවට අරාබි රටවල් විරුද්ධ වුවත් එක්සත් ජාතීන් විසින් හඳුන්වාදෙන මායිම් තුළ ඊශ්‍රායල් රජය පිහිටුවා ගැනීමට යුදෙව්වන් කටයුතු කරනු ලැබිණි. මුලින් වර්ග කිලෝ මීටර් 15 ක පමණ කුඩා භූමි ප්‍රදේශයක ඊශ්‍රායෙල් රාජ්‍යය ස්ථාපිත කරනු ලැබිණි. එක්සත් ජාතීන් ඇතුළු ලෝක බලවතුන්ගේ අනුග්‍රහයෙන් ඊශ්‍රායල් රජය පලස්තීන භූමිය තුළ පිහිටුවීමට එරෙහිව පලස්තීනුවන් හා අරාබිවරුන් එක්සත්ව සටන් කළත් අධිරාජ්‍යවාදීන්ගේ සහාය මත ඊශ්‍රායලය එම සටන් ජයගනිමින් මුලින් තමන්ට හිමිකර දුන් භූමි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අල්ලා ගනු ලැබිණි. එහිදී ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සියලු නියමයන් කොන්දේසි කඩකළ ද බලවත් ජාතීන්ගේ අනුග්‍රහය මත සෑම විටම ඔවුන් සාධාරණීයකරණය කරනු ලැබිණි.
එම සෑම අවස්ථාවකදීම. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එවකට අරාබි ලෝකයේ නිල නොවන නායකයා ලෙස කටයුතු කළ ඊජිප්තුව අනුගමනය කළ සෝවියට් හිතවාදී ප්‍රතිපත්තිය නිසා මැදපෙරදිග කලාපයේ තම හස්තය ඊශ්‍රායලය හරහා තබාගැනීමට කටයුතු කළ බව ඉතා පැහැදිලිය.
අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

මැදපෙරදිග කලාපය තුළ අරාබි නොවන ඊශ්‍රායලයට බටහිර බලවතුන් එතරම් උදව් කරන්නේ මන්ද? ඊශ්‍රායලය ඔවුන් විසින් ස්ථාපනය කළ නිසාම ද? නොඑසේනම් වෙනත් හේතු තිබේ ද? යන්න විමසා බැලිය යුතු ප්‍රශ්න කීපයකි.
අද ලෝකයේ ආර්ථික සංවර්ධනයේ දියුණුව යුරෝපා කලාපයේ සිට පෙරදිග කලාපයට මාරු වෙමින් තිබේ. එහිදි මැදපෙරදිග රටවල් සතුව පවත්නා ඛනිජ තෙල් සම්පත් අදටත් ලෝකයේ බලශක්ති උත්පාදන විෂයේ ප්‍රමුඛතාවක් ගනී. එකී සම්පතට ඇති කෑදරකම මත එය කොල්ලකා ගැනීමට යොදන දේශපාලනික උපක්‍රම තුළ ඔවුනට මැදපෙරදිග කලාපයට ඇතුළු වීමට ද්වාරයක් අවශ්‍ය වෙයි. එම ද්වාරය ඊශ්‍රායලය හරහා ගොඩනගා ගැනීමට මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායලය බලවත් කළ යුතුය. එය ඔවුන්ගේ එක් අභිප්‍රායකි. තවද අරාබි කලාපය තුළම ඔවුන්ට හැසිරවිය හැකි බලළ්අතක් පැවැතීම මැදපෙරදිග අස්ථාවර කිරීමට බෙහෙවින් ප්‍රයෝජනයට ගත හැකි වීම අනිත් කරුණ ලෙස දැක්විය හැකිය.
තවද ඇමරිකාවට මහත් අභියෝගයක්ව ඇති චීනය සහ සෝවියට් රුසියාව සමඟ ඉරානය මිත්‍රශීලී ස්ථාවරයක සිට කටයුතු කරයි. ඒ අනුව අනාගතයේදී ඉරානය මැදපෙරදිග ලෝකයේ හූදකලා කිරීමට ඊශ්‍රායලය බලවත් කර ඒ වටා මැදපෙරදිග අනෙක් රාජ්‍යය ගොඩනැඟීම ද ඔවුන්ගේ තවත් උපක්‍රමයක්ව පවතින බව පෙනේ.
ඊට අමතරව අවි වෙළඳාම තුළ තම ජාතික ආදායමෙන් විශාල ප්‍රමාණයක් උපයා ගන්නා බලවතුන්ට සිය ආයුධ වෙළඳාම සඳහා වෙළඳපළක් තිබිය යුතුය. මැදපෙරදිග කලාපය තුළ ඒ සඳහා අවි ආයුධ තාක්ෂණය අතින් දියුණුවක් ලබා සිටින ඊශ්‍රායලය භාවිත කොට ගැටුම් ඇති කොට එම වෙළඳපල දියුණු කර ගැනීම ඔවුන්ගේ ඊළඟ අභිප්‍රාය ලෙස පෙනේ.
මානව හිමිකම් හා විශ්ව සාධාරණත්වය ගැන ප්‍රකාශ කරමින් ජාතීන් අතර ආගම් අතර සංස්කෘතීන් අතර වෙනස්කම් හෝ විවිධත්වයන් ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවට වෙස් මුහුණක් පැළඳ ගෙන එක් එක් කණ්ඩායම් හුදකලා කොට බෙදා වෙන්කරමින් ගැටුම් නිර්මාණය කරන්නේ ඔවුන්ගේ අවි වෙළඳාමේ ඉලක්ක ජය ගැනීමට හැර අනෙක් කවර කරුණක් සඳහා දැයි? මෙහිලා තේරුම් ගත යුතුය.
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ නිරායුධ මිනිසුන් මරා දමමින් දියත් කළ ත්‍රස්ත ප්‍රහාරය මිලේච්ඡ බියගුළු ප්‍රහාරයක් ලෙස අප තරයේ හෙලා දකිමු.
නමුත් අද ඊශ්‍රායලය විසින් ඉතා කුඩා භූමි භාගයක් තුළ විශාල ජන ඝනත්වයක් ඇති ගාසා තීරයට බෝම්බ හෙලීම සහ ඔවුන්ට අවශ්‍ය විදුලිය ජලය හා ආහාර පාන සහ ඖෂධ සැපයුම කප්පාදු කිරීම ගැන මෙම අධිරාජ්‍යවාදී බලවතුන් මුනිවත රකිමින් සිටීම තුල ඔවුන්ගේ ප්‍රෝඩාකාරී ඊනියා මානව දයාව මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රේමය ඉතා පැහැදිලිව ප්‍රෝඩාවක් බව පෙනෙනවා නොවේද?
නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන ත්‍රස්තවාදය පරාජය කිරීමට ලෙස දක්වමින් ඔවුන් තුළ වෛරය ජනිත කරමින් සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සහජීවනයෙන් විසදුම් සොයනවා වෙනුවට අවි ආයුධවලින් විසඳුම් සෙවීමට ලෝකයා පොළඹවමින් ඒ එක් එක් සන්නද්ධ පාර්ශවය පැත්ත ගනිමින් බටහිර අධිරාජ්‍යවාදීන් කරන්නේද ත්‍රස්තවාදයක් ම බව ඉතා පැහැදිලිය.
ඒ අනුව ලංකාවේ අප බහුජන වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික රටක ජනතාව ලෙස ඉතාමත් සිහි බුද්ධියෙන් මෙම ගැටුම් දෙස බැලිය යුතුය. අද පලස්තීනය හා ඊශ්‍රායලය තුළ ඔවුන් කරන තක්කඩිකම අපේ සුළු නොහොඳ නෝක්කාඩු කමක් උපයෝගී කරගෙන අප රටේ ද මහා බෙදුම්වාදී අරගලයක් බවට එය පරිවර්තනය කිරීමට ඔවුන් කටයුතු කරනු නොඅනුමානය.
අද ලෝකයේ රටවල් 186 ක් පමණ ඉතා විශාල ප්‍රමාණයක් පලස්තීනයට 1967 වන විට ඔවුන් සතුව තිබූ භූමිභාගය ලබාදීම සාධාරණ බවත්, පලස්තීන භූමිය තුළ එම රටවල් දෙක පැවතිය යුතු බවත්, ඊට ඔවුන් සහාය දෙන බවත් ප්‍රකාශ කර තිබේ. වතිකානුව ද රාජ්‍යයක් ලෙස එම අදහස පුකාශ කර තිබේ. නමුත් ඊට එරෙහි වන්නේ අමෙරිකාව, කැනඩාව ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක් පමණි.
ඒ අනුව ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් ලෝක ජනමතය පිළිනොගන්නා බවත් ඔවූන්ගේම න්‍යාය පත්‍රයක් බලහත්කාරයෙන් ක්‍රියාවට නැංවීමට වෙර දරණ බව ද ඉතා පැහැදිලිය. මෙම වටපිටාව තුළ අප රටක් ලෙස ජාතියක් ලෙස තීන්දු ගැනීමේදී ලෝකයේ සෙසු ජාතීන්ගේ අවමානයට ලක් වන තීන්දු ගැනීම නොකළ යුතුය. විවිධ දේශපාලන මතිමතාන්තර අනුව අධිරාජ්‍යවාදී බලවතුන්ට හිස නමන තත්ත්වයෙන් මිදිය යුතුය
එසේම ලෝකයේ තවත් කවර හෝ රටක් වෙනුවෙන්, කවර හෝ පාර්ශවයක් වෙනුවෙන්, අප රටක් ලෙස දෙන විනිශ්චය තීන්දුව ජනමතය අප එවැනි රට ඉරණමකට පත්වූවොත් පෙරලා ඔවුන් අපට ලබාදෙන බවද වටහා ගත යුතුය.
ඉතා කෙටියෙන් වෙනත් වචනවලින් කියනවා නම් අද අප ජනතාවක් ලෙස පලස්තීනුවන් හෝ ඊශ්‍රායල් වරුන් වෙනුවෙන් ප්‍රකාශ කරන මතය සාධාරණ සාමකාමී සහජීවනාත්මක එකක් විය යුතුවා මිස පක්ෂග්‍රාහී එකක් නොවිය යුතුය.
තවද අප සිහි තබා ගත යුතු බොහෝ කරුණු ඇත. මෙම ගැටුම දුරදිග යාම නිසා ඇති වන ආර්ථික අර්බුදය අපටද ඉතා තදින් බලපාන බව එම කාරණයයි. අප රටේ ජනගහනයෙන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් විදේශ රටවල රැකියාවන් කරති. ඉන් සියයට පනස් එකක් පමණ එනම් හරි අඩකට වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයේ සේවය කරති. ඊශ්‍රායලයේ ද දහ දාහකට ආසන්න ප්‍රමාණයක් සේවය කරති. ඒ අනුව ඊශ්‍රායල් නොවන අනෙක් මැදපෙරදිග කලාපයේ නව ලක්ෂ අනූ දාහක් පමණ සේවය කරති. අදත් අප රටට ණය බරක් නැතුව විදේශ විනිමය ලැබෙන එකම මූලාශ්‍රය වන්නේ එම රටවල ශ්‍රමය වගුරා එවන මුදල් පමණි. ණය බරක් නොමැතිව රටේ ගෙවුම් ශේෂයේ හිගය අවම කරගත හැකි එකම මූලාශ්‍රය එය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .2022 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ප්‍රකාශ කරන්නේ රටට සෞභාග්‍යය උදා කරන විනිමය ගලා එන නොසිඳෙන උල්පත එම ආදායම බවයි.

"ඩෑන් ප්‍රියසාද්" වැනි ජාතිවාදයෙන් උමතුව වාචාලව කටමැත දොඩවන අයට ජාතිවාදී වර්ගවාදී ප්‍රකාශ පහසුවෙන් නිකුත් කළ හැකිය. ඩෑන් ප්‍රියසාද් කියන ආකාරයටම ලංකාවේ උද්ඝෝෂණ හේතුවෙන් ඊශ්‍රායලයේ සංචාරකයන් ලංකාවට නොපැමිණීමට ලංකාවේ මුස්ලිම්වරුන්ගේ උද්ඝෝෂණ බලපෑමක් වෙනවා නම් ලක්ෂ දහයකට ආසන්න මැදපෙරදිග මුස්ලිම් රටවල වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට ඔහූගේ ප්‍රකාශ විශාල විසකුරු අත්දැකීමක් ගෙන දීමට හේතුවක් නොවන්නේද?
එපමණක්ද නොව අපේ රටේ මං මාවත් සෑදීමට පාලම් ඉදිකිරීමට ආරෝග්‍ය ශාලා ඉදිකිරීමට ත්‍යාග මුදල් ලෙස මැදපෙරදිග රටවල් වලින් ලැබී ඇති පරිත්‍යාගවල වටිනාකම මිල කළ හැකිද ?අඩසියවසකට වැඩි කාලයක් අපේ රටේ විරැකියා ප්‍රශ්නය යම් ප්‍රමාණයකට සමනය වී පවතින්නේ මැදපෙරදිග කලාපයේ අපේ ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා ලැබිම නිසා නොවේද? එම රැකියා නොමැති නම් අපේ රටේ විරැකියා අනුපාතය සියයට 26 කින් ඉහළ යන බව ශ්‍රී ලංකා මහ බැංකුව කරන ප්‍රකාශය සුළුකොට තැකිය හැකිද?
එසේම තේ ඇතුළු අපගේ අපනයන බෝග රැසක් අප අලෙවි කරන්නේ මැදපෙරදිග මුස්ලිම් රටවලට නොවේද?
අපේ රටට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් යම් යම් චෝදනා එල්ල වූ අවස්ථාවලදී මැදපෙරදිග මුස්ලිම් රටවල් අපේ රට සමග එකට හිට ගත් බව අප අමතක කළ යුතු ද?
එසේම පසුගිය තිස් අවුරුදු යුද්ධය පැවති අවස්ථාවේදී අප රටට පරණ ආයුධ විකුණා එල්ටීටීඊ සංවිධානයට නව ආයුධ සහ තාක්ෂණය දුන් බවට ඊශ්‍රායලයට එරෙහිව ඔහු විසින්ම චෝදනා නැගූ බවත් අප ඔහුට මතක් කළ යුතුව තිබේ.
පාට පක්ෂ භේදයකින් තොරව අප රටේ සියලුම මුස්ලිම්වරු එක්සත්ව එක්සිත්ව පලස්තීන ජනතාවට සාධාරණය යුක්තිය ඉටුකර වහාම ගැටුම් නවතා සාමකාමී සාකච්ඡා වලට එළඹෙන ලෙස ගැටුමේ සිටින දෙපාර්ශවය ට සහ ගැටුමට උඩගෙඩි දෙන අධිරාජ්‍යවාදීන්ට ප්‍රකාශ කර සිටීම වරදක්ද?
අප රටේ ජනතාව අනුවණ නැත. අපේ රටට ඉතිහාසය පුරාම ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන්නේ නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්තිය තුළ 1948 සිට එම ප්‍රතිපත්තියේ නායක කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙනි. ඒ නිසා අද අප මෙම අර්බුදකාරී අවස්ථාවේදී ද එම ප්‍රතිපත්තියේ සිට කටයුතු කරන බව අපි විශ්වාස කරමු. අප ඒ වෙනුවෙන් පෙනී සිටිමු.
සභාපති
විශ්ව කලා පුරවැසි සංසදය





0 Comments