
තිහාරියේ පදිංචි සාමාන්‍ය පවුලක අවුරුදු විසි දෙකක ඉස්ලාමීය තරුණයෙක් පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලය විසින් දියත්කර ඇති කෲර, තුච්ච, අමානුෂික වද හිංසාවන්ට හා ඝාතනයන්ට එරෙහිව ඔහුගේ සිතේ ඇති වූ කම්පනය ප්‍රකාශ කිරීම සඳහා ඔහු විසින්ම සැකසූ ස්ටිකරයක් ඇලවූ හේතුව මත අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි විසි දෙක හෝ ආසන්න දිනයක එසේ අත්අඩංගුවට රැගෙන ඇත්තේ මොහොමඩ් රුස්වි නම් තරුණයෙකි. පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව රඳවාගෙන, විමර්ශන කටයුතු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද රැඳවුම් නියෝගයට එම පනත යටතේ ඇති නෛතික ප්‍රතිපාදන යටතේ ජනාධිපතිතුමා විසින් අත්සන් කොට ඇත.
ඒ නමූදූ මෙම ලිපිය ලියන මොහොත දක්වාම එම තරුණයා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් කරන ලද විමර්ශන පාදක කරගෙන ඔහුට විරුද්ධව නිශ්චිත චෝදනා ඉදිරිපත් කර, ඔහු නියමිත අධිකරණයකට ඉදිරිපත් කරන ලද බවක් අපට දැනගන්නට නැත.
මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍යවල සඳහන් වන තොරතුරු අනුව රුස්වි නමැති මෙම විසි දෙහැවිරිදි තරුණයා තමන් විසින් එවැනි ස්ටිකරයක් සාදා ඇල වූ බව පිළිගෙන තිබේ. ඔහු එසේ කළේ පලස්තීනය තුළ අද සිදුවන කෲර ම්ලෙච්ඡ අමානුෂික ඝාතන දකින විට ඉස්ලාමීය ප්‍රජාවේ තරුණයකු ලෙස ඔහු තුළ ඇතිවූ කම්පනය හේතුවෙන් ඔහුට රාත්‍රී නිදාගැනීමට පවා නොහැකි ආතති තත්ත්වයක් ඇතිව තිබෙන බවයි. එනිසා ඔහුට දැනෙන දුක, වේදනාව, ශෝකය, සන්තාපය හේතුවෙන් මෙම අමානුෂික කෲරත්වයට එරෙහිව තමන්ට කළ හැකි එකම දේ ලෙස ඊට විරෝධය පළ කර තමන්ට වැටහෙන තේරෙන ලෙස විරෝධතා ස්ටිකරයක් සාදා ඇල වූ බව ඔහු ප්‍රකාශ කර තිබේ. "ෆක් ඊශ්‍රායල්" යන වචන එහි සඳහන්ව තිබූණ බවද කියැවේ
ඒ අනුව මෙය වෛරී ප්‍රකාශයක් ලෙස ගෙන එම තරුණයා අත්අඩංගුවට ගෙන, ඔහු පිටුපසින් යම් අන්තවාදී කණ්ඩායමක් සිටී ද? නොඑසේ නම් එවැනි කණ්ඩායමකට ඔහු සම්බන්ධ ද? යනුවෙන් විමර්ශනය කිරීමට මතු කී රැදවුම් නියෝගය ලබාගත් බවක් කියැවේ.
මේ සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන්නේ ඔහු යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවේදීතාවයක් ඇතැයි සැකයක් ඇති බව, මිස ඔහුට එරෙහිව යම් ත්‍රස්ත කණ්ඩායමක් සමග සම්බන්ධතාවයක් හෝ යම් ත්‍රස්ත ක්‍රියාවක් සැලසුම් කිරීමක් ගැන හෝ සාක්ෂි ලැබී ඇති බව නොවේ.
ඒ අනුව ඉතාම පැහැදිලිව පෙනෙන්නේ මෙතෙක් කරනලද විමර්ශනයන්ගෙන් ඔහුට විරුද්ධව යම් සාක්ෂියක් නොමැති බවයි. එය තවදුරටත් තහවුරු වන කාරණයක් වන්නේ පොලිසිය විසින් ඔහුගේ දෙමාපියන්ට ඔහු නිදහස් කිරීමට නම් මින් මත්තට දරුවා හොඳින් බලාගන්නා බවට හා මෙවැනි ක්‍රියා නොකරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන ලෙස කල ඉල්ලීමයි(එවන් ලිපියක් එකී දෙමව්පියන් විසින් ලබා දුන් බව ද සඳහන් වේ)
ඒ අනුව මෙම තරුණයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යම් නිශ්චිත චෝදනා ගොනු කිරීමට අවැසි සාක්ෂි මේ වනතුරුම අදාළ විමර්ශන කණ්ඩායම්වලට හෝ බුද්ධි තොරතුරු ඒකකවලට ලැබී නොමැති බව පැහැදිලිය.
එවැනි සාක්ෂි ලැබී ඇත්නම් එම සාක්ෂි පදනම් කරගෙන චෝදනා ගොනුකර ඔහු නියමිත අධිකරණයකට ඉදිරිපත් කළ යුතුව තිබේ. එවැනි තත්ත්වයක් පවතිද්දී අප්‍රේල් පළමුදා "ඊදුල් ෆිත්ර්" හෙවත් රාමලාන් උත්සවය පැවති දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බී.බී.සී ප්‍රවෘත්ති නාලිකාවට ප්‍රකාශ කර ඇත්තේ ජමියතූල් උලමා සභාව විසින් මෙම තරුණයාගේ හැසිරීම සාමාන්‍ය මුස්ලිම් තරුණයකුගේ හැසිරීම නොවන හෙයින් ඔහු පුනරුත්ථාපනය කළ යුතු බවට නිර්දේශ කළ බවයි.
ආණ්ඩුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පැවසුව ද පසුව එම ප්‍රකාශය කේන්ද්‍ර කරගෙන ජමිය තුල් උලමා සභාව විසින් එම සභාවේ නියෝජිතයන් පොලිස්පතිතුමාගේ නියෝගයෙන් පොලිසියට කැඳවූ අවස්ථාවේ එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව සඳහන් කර මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
මෙම රඳවා තබා ගැනීම සාධාරණකරණය කිරීමට බොරුවක් ප්‍රකාශ කළාද? යන ප්‍රශ්නය මතුවන්නේ උලමා සභාවේ මාධ්‍ය නිවේදනයට එතුමා කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙනි.

මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද?
පෙබරවාරි 22 අත්අඩංගුවට ගත් තරුණයා මේ වනතුරු රඳවාගෙන සිටියි. සිදුවීම ස්ටිකරයක් ඇලවීමයි. එය අපරාධයක් ද? ඊශ්‍රායලය අනුගමනය කරන පලස්තීන විරෝධී නීච, තුච්ච, අමන, පාහර ක්‍රියාවන්ට එම ස්ටිකරයේ සඳහන් වචන භාවිතා කොට මීට පෙර ලංකාවේ කොතරම් විරෝධතා පැවැත්වූවාද? ඒවායේ එවැනි තවත් සටන් පාට කොතෙක් තිබුණාද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශ ය අනුව යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවේදීතාවයක් ඇති බවට ඔවුන්ට මතුවන සැකය පදනම් වන්නේ කුමන සාක්ෂි මතද ?කුමන කරුණු මතද? හුදෙක් පොලිසියේ නිලධාරියෙකුට ඇතිවූ සැක සාංකාවක් මත පුද්ගලයෙකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට රටේ උත්තරීතර පුරවැසියා වන ජනාධිපතිතූමා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ඉහළම වගකීම දරන රටේ සේනාධි නායකයා ලෙස අත්සන ලබාදීමේදී මීට වඩා සැලසිය යුතු නොවන්නේ ද?ආදී ප්‍රශ්න අපේ රටේ නීතිය මත පාලනයක් ගොඩනැගීමට බලය ලබාදුන් පුරවැසියන් වන අපට ඇතිවන ප්‍රශ්නයකි.
අපට එවැනි ප්‍රශ්නයක් ඇතිවන්නේ ඇයි?
වත්මන් ජනාධිපතිවරයා මේ රටේ බලයට පත්වන්නේ නීතිය මත පාලනයක් ගොඩනගන බවට එතුමාගේ මැතිවරණ ප්‍රකාශය වූ "පොහොසත් රටක් - ලස්සන හෙටක්" යන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට දෙන ලද පොරොන්දුව ජනතාව විසින් පිළිගෙන විශ්වාස කළ හෙයිනි.
අනෙක් අතට එයින් කියැවෙන අනෙක් සරල අර්ථය වන්නේ, නිදහසින් පසු අපේ රටේ මෙතෙක් පැවති පාලනයන් තුළ නීතිය මත පාලනයක් නොතිබි බවයි. එනිසා එවැන්නක් දිනා ගැනීම පොදු ජනතාවගේ අපේක්ෂාව ද වූ බවයි.
ඒ අනුව එතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන" පොහොසත් රටක්- ලස්සන හෙටක්" යන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 199 වන පිටේ සිට 202 පිට දක්වා නීතිය මත පාලනයක් ගොඩ නගන ආකාරය පැහැදිලි කරන කොටස ජනතාව විසින් අනුමත කොට තිබේ .
එහි පහත සඳහන් මූලධර්ම මත පිහිටා කටයුතු කරන බවට ජනාධිපතිවරයා මැතිවරණ අපේක්ෂකයා ලෙස ජනතාවට පොරොන්දු වෙයි.
01. සාධාරණ හා සමානව නීතියේ රැකවරණය
02. විනිවිද භාවය හා කාර්යක්ෂමතාවය
03. ස්වාධීනත්වය හා ජනතා විශ්වාසය
තිහාරියේ මුස්ලිම් තරුණයා ඊශ්‍රායලයේ පවතින ජන ඝාතනයට හා ප්‍රචණ්ඩ කෲරත්වයට විරුද්ධව තම මතය හෝ පිළිකුල ප්‍රකාශ කර ස්ටිකරයක් ප්‍රදර්ශනය කරන්නේ ඉකුත් පෙබරවාරි 22 ට පෙර දිනකයි. ඒ සිද්ධිය මත ඔහු අත්අඩංගුවට ගන්නේ පෙබරවාරි 22 වෙනිදායි. අද වනතුරුත් අපට දැනගන්නට ඇති ලෙස ඔහුට එරෙහිව ඇති සාක්ෂි මත චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කර නැත. ඔහු පිළිබඳව ඇති හුදු සැකය මත ජනාධිපතිතුමාගේ ද අනුමැතිය ඇතිව රැඳවුම් භාරයේ තබාගෙන සිටියි.
ඔහුට සාධාරණ හා සමානව නීතියේ රැකවරණය හිමිව ඇති ද?
ඔහු පිළිබඳ විමර්ශන හා නීති කෘත්‍යය කාර්යක්ෂමව විනිවිදව ඉටුවනවා ද?
ඔහු සම්බන්ධයෙන් අනුගමනීය වැඩ පිළිවෙළ ස්වාධීන හා ජනතා විශ්වාසයට හේතුවන ලෙස සිදුවනවාද?
ඒ කිසිවක් නොවන බව ඉතා පැහැදිලිය.
නීතිය මත පාලනයකදී
01.යමෙක් ප්‍රත්‍යක්ෂ ලෙසම නීතියක් උල්ලංඝනය කළහොත් මිස දඬුවම් නොකළ යුතුය.
02. කිසිවකු නීතියට ඉහළින් නැත. සෑම පුද්ගලයෙකු ම ඔහුගේ තත්ත්වය හා නිලය කුමක් වුවත් සාමාන්‍ය නීතියට හා අධිකරණයට අවනත විය යුතුය.
03 සෑම පුද්ගලයෙකුගේම පුද්ගල නිදහස පිළිබඳ ව අයිතිය සුරැකිය යුතුය.
යමෙකුට සිය හෘද සාක්ෂියට අනුව මතයක් දැරීම ,අදහස් ප්‍රකාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමකි. මේ තරුණයාට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස එම අයිතිය තිබේ. එනයින් ඔහු මතයක් දැරීම හා සිය අදහස් ප්‍රකාශ කිරීම මත ප්‍රත්‍යක්ෂ ලෙස නීතියක් උල්ලංඝනය කළ බව තහවුරු නොකර ගෙන, යම් නිලධාරීන්ට ඇති සැකය හෝ අවිශ්වාසය මත ඔහුගේ පුද්ගලික නිදහස අහිමි කිරීම කළ හැකිද?
ඒ අනුව ජනාධිපතිවරයා මැතිවරණ සමයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නීතිය මත පාලනයක් ගොඩනඟන බවට කළ ප්‍රකාශයේ සඳහන් මූලධර්ම කඩ කිරීමක් කර නැතිද? ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමක් කර නැතිද? ජනතා විශ්වාසය පලුදු කර නැති ද?යන ප්‍රශ්න රජය බලයට පත් කිරීමට කටයුතු කළ පුරවැසියන්ට පැන නොනැගේ ද ?
මෙහිදී ආණ්ඩු පාර්ශවයේ කෙනෙක් ජනාධිපතිවරයා ක්‍රියාකර ඇත්තේ පවතින නීතියට අනුව බවත්, ඉදිරියේදී මෙම නීති වෙනස් කරන තුරු ජනතාව ඉවසිය යුතු බවත් ප්‍රකාශ කළ හැක. නමුත් ජනාධිපතිවරයා එවැනි අත්සන් කිරීමට පෙර සොයා බලා කරුණු විමසා සාධාරණ හේතුවක් ඇත්දැයි විමර්ශනය කර එසේ කළ යුතුව ඇත. එසේ නොකිරීමෙන් යම් නිලධාරියකු කළ වැරදි මඟ පෙන්වීම හෝ නිර්දේශයක් එතුමා අනුමත කළා වනු ඇත. එවිට එයින් හානි පැමිණෙන්නේ එතුමන්ගේ ප්‍රතිරූපයටය.
.
මතුකී නෛතික කාරණා පසෙකින් තැබුව ද එතුමා නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ එතුමාගේ දේශපාලනය තුළ තරුණයන්ගේ සිතුම් පැතුම්, අසහනයන්, ප්‍රකෝපකාරී ගති ගුණ ආදිය ගැන හොඳ අවබෝධයක් එතුමාට ඇත. අසූ අට, අසූ නවය කාලයේ "ජේ. ආර්. මරමු" යන පෝස්ටර් රට වටා තරුණයන් තම දිවි දෙවැනි කොට ඇලෙව්වේ මන්ද යන්න එතුමාට අමතක විය නොහැකිය.
ඒ නිසා මේ තරුණයා පිළිබඳ නියෝගය අත්සන් කිරීමට ප්‍රථම එතුමාට යම් විමසීමක් කිරීමට හැකියාවක් සංවේදීතාවයක් තිබිණි. එසේ නැත්නම් දැනටත් ප්‍රමාද නැත. ඔහුට විරුද්ධව සාක්ෂිය ඇත්නම් කාර්යක්ෂමව ඔහුට එරෙහිව නඩු පවරන ලෙසට නියෝග කිරීමට ද එතුමාට හැකිය. නොඑසේ නම් ඔහූ නිදහස් කරන ලෙස නියෝග කිරීමටද පිළිවන.

නමුත් අද සිදුවන්නේ කුමක් ද?
එතුමා මෙම සිදුවීම ගැන වේදිකාවල සිට මුස්ලිම් ප්‍රජාවට "මේ ඔයගොල්ලන් හැමෝටම නොවේ. මේවා කරන කෙනෙක් දෙන්නෙක් ගැන අපි තදින් ක්‍රියා කරනවා." වැනි උත්තර දීම විහිළුවක් නොවන්නේ ද?
මැතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු නොකර ඒ වෙනුවට මෙවැනි බොළඳ ප්‍රකාශ යළි වේදිකාවේ සිට කීම "දවල් මිගෙල් රෑ දනියෙල්" රැඟුමක් නොවන්නේද? පරණ ආණ්ඩුවල නායකයන් කළේ ද ඒ දේම නොවන්නේ ද?.
ඒ පැරණි දේවල් කිරීමට එතුමන්ට ජනවරමක් නොමැති බව එතුමාට දැන් අමතක වෙලාද? එතුමන්ට මේ රජය ගොඩනගා ගන්නට ඡන්දය දුන් පුරවැසියන් විදිහට අපට එසේ සිතුනොත් එය වැරදිද?
අදාළ තරුණයා නීතිය උල්ලංඝනය වන ලෙස යම් වරදක් කර ඇති බවට සාක්‍ෂි තිබේ නම්, ඔහු අධිකරණයට ඉදිරිපත් කර යුක්තිය පසිඳ ලීමක් කරනවාට අප ද එකඟය. නැත්නම් ඔහුගේ පුද්ගලික නිදහස උල්ලංඝනය නොකර ඔහුගේ දෙමාපියන්ට ඔහු භාරදිය යුතුය. නැත්නම් අත්දැකීම් අඩු, පරිණත නොවූ , මෙවන් තරුණයන් තුළ හටගන්නා සමාජ වෛරය පාරාවලල්ලක් වීමට ද ඉඩ ඇත.
ප්‍රවීණ මාධ්‍යවේදී
සරත් කුමාර දූල්වල
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති
0 Comments