SRI LANKA


 

රාමසාන් උපවාස සමයේ විශ්වීය අගයන් ගෞරවයෙන් භක්තියෙන් පිළිගනිමු!


අද ඉස්ලාමීය චන්ද්‍ර මාස දින දර්ශනය අනුව හෙවත් හිජ්රි දින දර්ශනයට අනුව 

හිජ්රි වර්ෂ 1447 රාමසාන් මාසයේ පළමුවැනිදායි.අදින් ඇරඹෙන රාමසාන් සමය ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආගමික දර්ශනයක් වූ ඉස්ලාම් ආගමික දර්ශනය  මෙලොවට පහළ වූ සමය හෙයින් පිළිවෙතින් සමරනු ලබයි.

එලෙස අදින් ඇරඹෙන රාමසාන් සමය 

ලෝකයට වැදගත් වන්නේ ආගමික දර්ශනයක් පහළ වූ මාසයක් ලෙස පමණක්ම නොවේ. එම ආගමික දර්ශනය මගින් ලොවට පැහැදිලි කරන මනුෂ්‍යත්වයට අදාල විශ්වීය අගයන් 

යළි යළිත් මිනිසුන්ට සිහිපත් කරන කාලයක්ද වශයෙනි.

*ආත්ම සංයමය හා ස්වයං පාලනය 

*කරුණාව සහ සමාජ සහකම්පනය 

*සමාජමය ඒකත්වය සහ එකමුතුව 

*ආත්ම පවිත්‍රතාවය හා ආවර්ජනය 

*සාමය සංහිඳියාව සහ ධාර්මික අගයන් 

ආදී වශයෙන් එම විශ්වීය අගයන් සාරාංශ කර පෙන්වා දිය හැකිය.

රාමසාන් සමයේ සුරකින උපවාසය මගින් 

ශාරීරික අවශ්‍යතා පාලනය කර ගැනීමෙන් 

ආත්ම බලය වැඩි කර ගැනීමේ කලාව ප්‍රගුණ කරවයි . 

යම් නිශ්චිත වේලාවකින් පසු යම් නිශ්චිත වෙලාවක් දක්වා  ආහාරපාන වලින් සහ ලිංගික කටයුතුවලින් වැලකී සිටිමින් සහ ඒ අනුසාරයෙන් කයෙන් වචනයෙන් සහ සිතෙන් කිසිම අකටයුතතක් නොකරමින් 

මහත් වූ බැතිබර චේතනාවෙන් ආගමේ දහමේ ඉගැන්වීම් යළි යළිත් සිහිපත් කරගනිමින් දන් දෙමින් ලෝභ මසුරුකම තමාට ගොඩගසාගැනීම අත හරිමින් දයා කරුණා ගුණයන් ප්‍රගුණ කිරීම තුළින් ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සහ ශක්තිය වර්ධනය කර ගැනීමක් කරයි.

ඉහත කී අගය දාමය ආගමකට සීමා නොකර කාටත් ජීවිතයේ අත්‍යවශ්‍ය  කුසලතාවයක් ලෙස ප්‍රගුණ කළ හැකි විශ්වීය වැදගත්කමකින් යුත් වටිනාකමක් අගයක් බව ඉතාමත් සුපැහැදිලිය.

එසේම උපවාසය තුළ දිවා දවස පුරා    

කෑමෙන් බීමෙන් වැළකී සිටිමෙන් කුසගින්නේ සහ පිපාසාවේ විරහ වේදනාව අත්දැකීම තුළින්  දුගී දුප්පත්කමේ කටුක අමිහිරි ස්වභාවය වටහාගෙන ඔවුන් කෙරෙහි සහ කම්පනයෙන් දයාවෙන් කරුණාවෙන් නැගිටින්නට අත් උදව් ලබාදීම සහයෝගය ලබාදීම වැනි සමාජ ගුණයන් අවබෝධයට ලක්වේ. 

මෙම ගුණාංගය ද ආගමකට සීමා නොකර විශ්වීයව මිනිසා විසින් ප්‍රගුණ කළ යුතු  ගුණයක් බව වත්මන් ලෝකයේ කාටත් ඉතාම පැහැදිලිව හඳුනාගත හැකිව තිබේ. 

එසේම දිනපතා ඉර බැස යාමෙන් පසුව 

උපවාසයෙන් මිදීම සඳහා ඉෆ්තාර් කිරීමට 

පවුලේ සාමාජිකයන් නෑදෑයන් අසල්වැසියන් මිතුරන් එකම ස්ථානයේ වැඩ කරන සහෝදර වෘත්තිකයන් ලෙස එකට එකතු වෙති. එසේ  එකට එකතු වී බෙදා හදාගෙන කුසගින්න නිවා ගැනීමේ චාරිත්‍රය තුළින් පවුලක් අසල්වැසි එකමුතුවක් මිතුරු කැලක් ලෙස ඒකීයත්වයත් එකමුතුකමත් ඇති කරගැනීම ප්‍රගුණ වේ.

මෙම ඒකත්ව සහ එකමුතුවීමේ ගුණාංගය ආගමකට සීමා නොවිය යුතු විශ්වීය යහ ගුණයක් බව ඉඳුරාම පැහැදිලිය.

එසේම රාමසාන් උපවාස සමය පුද්ගලයාට තම කාර්යබහුල ජීවිතයෙන් පියවර කීපයක් පිටුපසට ගොස් තම ජීවිතයේ සිදුවූ වැරදි අඩුපාඩු ආදිය ගැන  මෙනෙහි කිරීමටත් ඒවා ගැන පසුතැවිලි වීමටත් යලි එවැනි වැරදි අඩුපාඩු නොවන සේ හදා ගැනීමට අධිෂ්ඨාන කර ගැනීමටත් සේම තම වටිනාකම් හැසිරීම් රටා සිතන පතන ආකාරය ගැන 


ආපසු හැරී බැලීමට ඉසිඹුවක් හෙවත් විවේකයක් ලබාදෙන අවස්ථාවකි. 

එමගින් ආධ්‍යාත්මික පිරිසිදුභාවයක් අත්පත් කර ගැනීමටද  පිළිවන.

රාමසාන් උපවාස සමයේ උපවාසය රකින පුද්ගලයා අත්දකින මෙම අගයන් ආගමකට සීමා විය යුතු නැත. සැබවින්ම ඒවා සකල මානව සංහතියට වටිනා  විශ්වීය අගයන් බව සැමට පැහැදිලිව ඒත්තු ගත හැකිය.

රණ්ඩු සරුවල් කෝප හැසිරීම් අසාධාරණකම් අවමන් කිරීම අපහාස කිරීම් හෙලාදැකීම් පහත් කිරීම ආදී වශයෙන් විශේෂයෙන් වචනය හා හැසිරීම් මුල් කරගෙන සාමාන්‍ය ජීවිතයේදී සිදුවන

වැරදි ක්‍රියාවලින් වැළකී මහත් වූ බිය බැතිභාවයෙන් යුතුව  ආගම ධර්මය

ඉගෙන ගනිමින් විග්‍රහ කරමින් අන්‍යයන්ට උපකාර කරමින් පිහිට වෙමින් සහයෝගීතාවය දක්වමින් රාමදාන් උපවාස සමය තුළ හැසිරීමෙන් ලබන ශික්ෂණය සාමකාමී සංහිඳියාවෙන් යුතු  ධාර්මික දිවි පැවතකට අවැසි පන්නරය ලබාදෙයි. 

ඉදින් මේ ගුණාත්මක තත්ත්වයද  ආගමකට සීමා නොකර විශ්වීය වශයෙන් සියලු මානවයන් ප්‍රගුණ කළ යුතු ගුණයක් අගයක් බව වත්මන් සමාජයේ පවතින ගැටුම් දෙස බලන විට මනාව පැහැදිලි වේ 

ඒ අනුව  සකලාකාරයෙන් සලකා බලන විට  රාමසාන් උපවාස සමය බහුවිධ විශ්වීය අගයන්ගෙන් මහත් වූ වටිනාකම් සමුදායක් සමස්ත මානව සංහතියට 

තිළිණයක් ලෙස සන්නිවේදනය කරන

ලෝකයේ වටිනාම සාමූහික ආගමික චාරිත්‍රයක් /වතාවතක් ලෙස ඉඳුරාම ප්‍රකාශ කල හැකිය.

 රාමසාන් උපවාසය මගින් ප්‍රකට කරන 

එම විශ්වීය ගුණාංග වටිනාකම් සහ අගයන් ලෝක ජනගහනයෙන් සියයට විසිපහක් එනම් දළ වශයෙන් බිලියන දෙකක් පමණ ඉස්ලාම් භක්තිකයන් සෑම වසරකදීම ආදර්ශයෙන් ලොවට පෙන්වා දෙති 

තවත් ලෙසකින් කියනවනම් ලෝකයේ සිටින මිනිසුන් අතරින් සෑම  හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් සෑම වසරකම රාමසාන් මාසයේදී මතු කී විශ්වීය වටිනාකම් අගයන් ආදර්ශයෙන් ලොවට පෙන්වා දෙති. 

තවත් ලෙසකින් ආසියාවේ අප්‍රිකාවේ යුරෝපයේ ඇමරිකාවේ සමස්ත ලෝකය පුරා ජීවත් වන විවිධ ජාතිකත්වයන්ට අයත් ඉස්ලාම් භක්තිකයන් එකම මාසයේ එකම ආත්මික අරමුණකට කැපවෙමින් එකම ආත්මික අරමුණක් පෙරදැරි කරගෙන එකම නිශ්චිත නිමේෂයකදී (ඉර උදාවෙන මොහොතට කලින්) ආහාරපාන ගැනීමෙන් සහ ලිංගික කටයුතුවලින් ඉවත්වී එකම නිශ්චිත වෙලාවක් දක්වා (ඉර බැස යන මොහොත දක්වා) සිත කය වචනය මනා හික්මීමකට හසුරවා ගනිමින් ලෝකයේ විශාලතම පිරිසක් 

මාසයක් වැනි දිගු කාලයක් පූරා එකම ආගමික නීති සමූහයකට අවනතව ආගමික වගකීමක් ලෙසින් එකම  දෙවිඳුන් කෙනෙක් උදෙසා ඉටුකරන 

ආගමික චාරිත්‍රය වත් පිළිවෙත වන්නේද 

රාමදාන් උපවාසයයි.

ඒ අනුව විවිධ රටවල වෙසෙන විවිධ ජාතිකත්වයන් හිමි ඉස්ලාම් භක්තිකයන් 

සිය ආගමික පිළිගැනීම විශ්වාසය සඳහා 

සියලු විවිධත්වයන් පසෙකලා එක්සත්ව එක්සිත්ව එකම ආගමික නීති සමූහයකින් බැඳී බහු විවිධත්වය තුළ ඒකත්වය ගොඩනැගෙන ලෙස කටයුතු කළහැකි බවට මහර්ග වූ අති උදාර විශ්වීය සාම පණිවිඩයක් රාමසාන් උපවස සීලය හරහා ලබා දෙති.

එනයින් ගත් කළ  ලෝකේ කිසිම ආගමකින් දහමකින් ආගමික සිරිත් විරිත් 

පුද  පූජාවලින් ලබා නොදෙන විශ්වීය අගයන් රැසක් පණිවිඩ රැසක් රාමසාන් උපවාසයෙන් වාර්ෂිකව ලොවට තිළිණ කරන බව ඉඳුරාම පැවසිය යුතුය. 

විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති 
සරත් කුමාර දුල්වල

Post a Comment

0 Comments