සමස්තයේ සර්වබලධාරීයානන් වන්නේ අල්ලා දෙවිඳානන්ය. උන්වහන්සේ අති ශ්‍රේෂ්ඨය ආරම්භයත් අවසානයත් උන්වහන්සේමය උන්වහන්සේගේ නාමයට ගෞරවය වේවා !ප්‍රශංසා වේවා!

ඉස්ලාම් ආගම යනු මනුෂ්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම නිවැරදි මාර්ගයකට යොමු කරන දර්ශනයකි. එහි පදනම වන්නේ “පස් කුලුනු” හෙවත් Five Pillars of Islam යන මූලික කර්තව්‍යයන්ය. ඒ අතරින් පස්වන කුලුන (කර්තව්‍යය) ලෙස “හජ්” විශේෂිත ස්ථානයක් හිමි කරගෙන ඇත. හජ් යනු සෞදි අරාබියේ මක්කා නගරයේ පිහිටි අති පූජනීය ස්ථානයක් වන කාහ්බාවට වාර්ෂිකව සිදු කරන සූවිශාල ආගමික වන්දනාමය කර්තව්‍යයකි. ශාරීරික හා ආර්ථික හැකියාව ඇති සෑම මුස්ලිම් පුද්ගලයෙකුම තම ජීවිතයේ අවම වශයෙන් වරක් හජ්(වන්දනාව) කිරීම අනිවාර්ය වේ.
“හජ්” යන වචනය අරාබි භාෂාවේ “ගමන් කිරීම” හෝ “විශේෂ අරමුණක් සඳහා යාම” යන අර්ථයන් දරයි. මෙය සාමාන්‍ය සංචාරයක් නොව, අල්ලාහ් දෙවිඳුන්ට සම්පූර්ණයෙන්ම යටත් වීමේ, පව් කමා කර ගැනීමේ හා ආත්මීය පිරිසිදු වීමේ ගමනක් වේ.. හජ් යනු මනුෂ්‍යයාගේ භෞතික ජීවිතයෙන් ඉහළට ගොස් ආත්මීය ජීවිතයට සම්බන්ධ වන උතුම් වන්දනීය.ක්‍රියාවකි.
හජ් වන්දනාවේ වැදගත්කම සහ හරය සාකල්‍ය වශයෙන්ම ආගමික, සමාජීය හා ආත්මීය අංශයන්හි පැතිරී ඇත. මුල් වශයෙන්, එය අල්ලාහ් දෙවිඳානන්ට සම්පූර්ණයෙන් යටත් වීමේ ආත්මීය ප්‍රකාශයක් වේ. හජ් කරන විට සියලු දෙනාම එකම වර්ණයේ(සුදු පැහැයෙන්) ඉහ්රාම් ඇඳුම පැළඳීමෙන් අල්ලා දෙවිඳුන් ඉදිරියේ, ධනය, ජාතිය, තත්ත්වය වැනි සියලු වෙනස්කම් අතහැර දමන ලද . මනුෂ්‍යයන් අතර සමානත්වය සහ සහෝදරත්වය ප්‍රදර්ශනය කරයි.
ලෝකයේ විවිධ රටවල, විවිධ භාෂා හා සංස්කෘතික පසුබිම් වලින් පැමිණෙන ඉස්ලාමීය බැතිමතුන් එක් ස්ථානයක එකමුතු වීම, ඉස්ලාමයේ එක්සත්භාවය එක්සිත් භාවය පෙන්වයි.
.jpg)
හජ් යනු පව් කමා කර ගැනීමට අවස්ථාවක් සපයන උතුම් වන්දනාවකි. නබි මොහම්මද් (සල්) තුමාගේ උපදේශය අනුව, නිවැරදි ලෙස හජ් කරන පුද්ගලයා නව ජන්මයක් ලැබූ දරුවෙකු මෙන් පව්වලින් පිරිසිදු වන බව සඳහන් වේ. ඒ නිසා "හජ්" වන්දනාව යනු මනුෂ්‍යයාගේ ජීවිතය නැවත ආරම්භ කිරීමට ඉඩ සලසන ආත්මීය විප්ලවයකි.
එලෙසින්ම "හජ්"වන්දනාව මඟින් ඉවසීම, විනය, හා ආත්ම පාලනය වර්ධනය වේ. ලක්ෂ ගණනක් ජනතාව සමඟ එකට වන්දනාව කිරීමේදී, විවිධ අපහසුතා හා අභියෝගයන්ට මුහුණ දීමට සිදු වේ. එවැනි අවස්ථාවන්හි ඉවසීමෙන්, සාමකාමී ලෙස හැසිරීමෙන්, හා අල්ලාහ්ව සිහි කිරීමෙන්, හජ් වන්දනා කරුවාගේ චරිතය ශක්තිමත් වේ.
ඉස්ලාමයේ පස් කුලුන අතර හජ් වන්දනාවට හිමි ස්ථානය ද ඉතා වැදගත්ය. එය අවසාන කුලුන වන අතර, මුස්ලිම් ජීවිතයේ සම්පූර්ණත්වය නිරූපණය කරයි. ශහදා (ඇදහිල්ල ප්‍රකාශ කිරීම), සලාත් (නමස්කාරය), සකාත් (දානය), සහ සව්ම් (රමදාන් උපවාසය) වැනි අනෙකුත් කුලුනු හජ් වන්දනාව තුළ එකට එකතුවන අයුරු අපූරුවට දැකිය හැක. හජ් වන්දනාව යනු මේ සියලු කර්තව්‍යයන්ගේ සාරගර්භ සාරාංශයක් ලෙසද හැඳින්විය හැක.
අවසාන වශයෙන්, හජ් වන්දනාව යනු මනුෂ්‍යයාගේ ආත්මීය ජීවිතය උසස් කරන, සමාජීය සම්බන්ධතා ශක්තිමත් කරන, සහ අල්ලාහ් දෙවිඳුන් සමඟ සම්බන්ධතාවය ගැඹුරු කරන උතුම් වන්දනාගමනකි. එය සරල සංචාරයක් නොව, ජීවිතයම වෙනස් කරන අත්දැකීමකි. ඒ නිසාම, හජ් ඉස්ලාමයේ පස් කුලුන අතර වැදගත් ස්ථානයක් හිමි කරගෙන, සෑම ඉස්ලාම් භක්තිකයෙකුගේම ජීවිතයේ ඉටු කළ යුතු මහා කාර්යයක් ලෙස සලකනු ලබයි.
සරත් කුමාර දුල්වල විසිනි





0 Comments