සමස්තයේ සර්වබලධාරීයානන් වන්නේ අල්ලාහ් දෙවිඳුන්ය. උන්වහන්සේ අති ශ්‍රේෂ්ඨය. ආරම්භයත් අවසානයත් උන්වහන්සේමය. නැමදීමට සුදුසු එකම දෙවියන් අල්ලහ්. දෙවිඳූන්ය උන්වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවය වේවා! ප්‍රශංසා වේවා!

හජ් හා උම්රා වන්දනාවන් ඉටු කිරීමේදී “ඉහ්රාම්” යනු අතිශය වැදගත් ආගමික සංකල්පයකි. එය සරලව ඇඳුමක් පමණක් නොව, ආත්මීය තත්ත්වයක්, භාවනාවක් සහ අල්ලාහ් දෙවිඳුන්ට පූර්ණයෙන්ම යටත් වීමේ සංකේතයකි.
"ඉහ්රාම්" ඇඳුම පැළඳීමත් සමඟම, ඉස්ලාම්වරයා ලෝකීය ජීවිතයේ සාමාන්‍ය පුරුදු හා පහසුකම් වලින් වෙන්වී, පිරිසිදු, සමාන හා විනයගරුක ජීවිතයක් වෙත පිවිසෙයි. එබැවින්, ඉහ්රාම් පිළිබඳ අවබෝධය හජ් වන්දනාව නිවැරදිව ඉටු කිරීමට අත්‍යවශ්‍ය වේ.
ඉහ්රාම් ඇඳුමේ සුවිශේෂත්වය පළමුවෙන්ම එහි සරලත්වය තුළ දැක්වෙයි. පිරිමි පුද්ගලයන් සඳහා, ඉහ්රාම් යනු අවිසිල් කළ, සිවුරු දෙකක් වැනි සුදු රෙදි කැබලි දෙකකින් සමන්විත වේ. එකක් ශරීරයේ පහළ කොටස ආවරණය කිරීමට (ඉසාර්), අනෙක ඉහළ කොටස ආවරණය කිරීමට (රිදා) භාවිතා කරයි. කාන්තාවන් සඳහා විශේෂ ඇඳුමක් නියම නොවුවද, සම්පූර්ණ ශරීරය ආවරණය වන, සරල හා ලජ්ජාව රකින්නා වූ ඇඳුමක් පැළඳීම අනිවාර්ය වේ. මෙම සරලත්වය මඟින් මනුෂ්‍යයන් අතර ඇති ධනයකම, තත්ත්වය, හෝ සමාජ පදවිය වැනි වෙනස්කම් ඇති පිටු දකිමින් සමානත්වය ඉස්මතු කරයි.
ඉහ්රාම් ඇඳුම තුළ ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ එය මරණය සිහිපත් කරන සංකේතයක් වීමයි. මෙම සුදු රෙදි කැබලි, මනුෂ්‍යයාගේ අවසාන අවස්ථාවේ භාවිතා කරන කෆන් (මරණ ඇඳුම) සමඟ සමාන වන අතර, ජීවිතයේ අස්ථිරභාවය සහ අල්ලාහ් ඉදිරියේ සියලු දෙනා සමාන බව සිහිපත් කරයි. එමඟින්, ඉහ්රාම් ඇඳුම ඇඟලා ගත් විට.ඒ තුළ සිටින පුද්ගලයා ආත්මීයව පිරිසිදු වීමට, පව්වලින් වෙන්වීමට හා අල්ලාහ් දෙවිදානන්ට ආසන්න වීමට උත්සාහ කරයි.
ඉහ්රාම් තත්ත්වයට පිවිසීමේදී කිසිදු අනිවාර්ය ක්‍රියාවලියක් නොමැතිව, නීයත් (අරමුණ) හා තල්බියහ් කියවීම මඟින් එය ආරම්භ වේ. “ලබ්බයික් අල්ලාහුම්මා ලබ්බයික්…” යන තල්බියහ් කියවීම, අල්ලාහ්ගේ කැඳවීමට පිළිතුරු දීමක් ලෙස සැලකේ. එය හජ් වන්දනා කරුවාගේ කැපවීම හා භක්තිය ප්‍රකාශ කරයි.

ඉහ්රාම් තත්ත්වය තුළ පවතින නියමයන් විශේෂයෙන්ම විනය හා පිරිසිදුකම උදෙසා යොදා ඇත. ඉහ්රාම් ඇඳුම පැළඳීමට පෙර පිරිසිදු වීම (ගුස්ල්), නිය කැපීම, හිස කප්පාදු කිරීම වැනි ක්‍රියා සිදු කිරීම සුදුසුය. එමෙන්ම, ඉහ්රාම් තුළ සිටින කාලය තුළ, නිරන්තරයෙන් අල්ලාහ්ව සිහි කිරීම, දුවා කිරීම, හා නරක වචන හා ක්‍රියාවලින් වෙන්ව සිටීම අත්‍යවශ්‍ය වේ.
ඉහ්රාම් තත්ත්වය තුළ තහනම් කරුණු ද ඉතා පැහැදිලිව සදහන් වේ. පළමුව, පිරිමි පුද්ගලයන්ට සිව්වූ ඇඳුම් (sewn garments) පැළඳීම තහනම්ය. එමෙන්ම, සුවඳ ද්‍රව්‍ය භාවිතා කිරීම, හිස හෝ මුහුණ ආවරණය කිරීමද තහනම් වේ. කාන්තාවන්ට මුහුණ හා අත් වැසුම් (gloves) භාවිතා කිරීම තහනම්ය.
තවත් වැදගත් තහනම් කරුණක් වන්නේ, හිසකෙස් කැපීම, නිය කැපීම, හෝ ශරීරයෙන් රෝම ඉවත් කිරීමයි. එමෙන්ම සතූන් මැරීම කිරීම හෝ ගස් වැල් විනාශ කිරීමද තහනම් වේ. විවාහ වීම, විවාහ ගිවිසුම් කිරීම, හෝ ලිංගික සම්බන්ධතා ඇති කිරීමද ඉහ්රාම් තුළ සම්පූර්ණයෙන්ම තහනම්ය.
ඉහ්රාම් තුළ තවත් වැදගත් නියමයක් වන්නේ, කෝපය, වාද විවාද, හා අසභ්‍ය වචන වලින් වෙන්ව සිටීමයි. කුරානයේ සඳහන් වන පරිදි, “හජ් කාලය තුළ ලිංගික ක්‍රියා, පව්, සහ වාද විවාද නොවිය යුතුය” යන මූලධර්මය මෙහි පදනම වේ. එය මනුෂ්‍යයාගේ චරිතය පිරිසිදු කිරීම හා ආත්මීයව උසස් කිරීමේ අරමුණින් යොදා ඇත.

මෙම සියලු නියමයන් හා තහනම් කරුණු, හජ් වන්දනා කරුවාගේ ජීවිතය පරිවර්තනය කිරීමට, ඔහුට අල්ලාහ් දෙවිඳුන්ට ආසන්න වීමට, හා පිරිසිදු හදවතක් ඇති කර ගැනීමට උපකාරී වේ. ඉහ්රාම් යනු සරල ඇඳුමක් පමණක් නොව, මනුෂ්‍යයාගේ ජීවිතයේ නව ආරම්භයක් සංකේත කරන ආත්මීය තත්ත්වයකි.
අවසාන වශයෙන්, ඉහ්රාම් ඇඳුමේ සුවිශේෂත්වය, එහි සරලත්වය, සමානත්වය, හා ආත්මීය ගැඹුරු. ශික්ෂණය අර්ථවත් කරයි. එය මනුෂ්‍යයාට ලෝකීය ආඩම්බරය අතහැර, අල්ලාහ් ඉදිරියේ නිහතමානීව සිටීමට අගන්වයි. එමෙන්ම, එහි නියමයන් හා තහනම් කරුණු මඟින්, හජ් වන්දනාව නිවැරදිව හා ආත්මීයව සාර්ථකව ඉටු කිරීමට මාර්ගය සලසයි.
සකස් කලේ :
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති සහ
මහනුවර විශ්වාසවන්තයන්ගේ කණ්ඩායමේ
සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී
සරත් කුමාර දුල්වල





0 Comments