සමස්තයේ සර්ව බලධාරියානන් වන්නේ අල්ලාහ් දෙවිඳුන්ය. උන්වහන්සේ අති ශ්‍රේෂ්ඨය.ආරම්භයත් අවසානයත් උන්වහන්සේමය.නැමදීමට සුදුසු එකම මැවුම්කාර දෙවියන් වහන්සේය උන්වහන්සේට ගෞරවය වේවා! ප්‍රශංසා වේවා!

හජ් සහ උම්රා වන්දනා කටයූතූ වල අතිශය වැදගත් ආගමික ක්‍රියාවක් පිළිවෙතක් ලෙස “තවාෆ්” හැඳින්වේ. තවාෆ් යනු මක්කා නගරයේ පිහිටි පූජනීය කාබාව වටා වම් පැත්තෙන් වාර හතක් ගමන් කිරීමයි. (පැදකුණු කිරීමයි) මෙය ඉස්ලාම් ආගමේ අතිශය ගැඹුරු ආත්මීය වන්දනාවක් . පූජාවීමක් වන අතර, අල්ලාහ් දෙවිඳුන්ට සම්පූර්ණයෙන්ම යටත් වීම, භක්තිය, සහ ජීවිතයේ මධ්‍යම ස්ථානය ලෙස අල්ලාහ් දෙවිඳුන් පිළිගැනීම නිරූපණය කරයි.
“තවාෆ්” යන වචනය අරාබි භාෂාවේ “වටා ගමන් කිරීම” යන අර්ථය ලබා දෙයි. නමුත්, එය මතු කී ලෙස සාමාන්‍ය වටා යෑමක් නොව, ගැඹුරු ආගමික හා ආත්මීය අර්ථයන්ගෙන් පිරුණු ශුද්ධ වූ වන්දනා ක්‍රියාවකි.
ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම්වරුන් එකම එකම අරමුණකින්, එකම දිසාවකට කහ්බාව වටා ගමන් කිරීම, ඉස්ලාමයේ ඒකීයභාවය, එක්සත්භාවය, හා සමානත්වය, මනාව ප්‍රකාශ කරයි.
කහ්බාව යනු ඉස්ලාමයේ අති පූජනීයම ස්ථානය වන අතර, එය ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) හා ඔහුගේ පුත්‍රයා වූ ඉස්මාඊල් (අලෙයිහිස්සලාම්) යන පිය පුතු දෙදෙනා විසින් අල්ලාහ් දෙවිඳුන් ගේ නියෝගයට අනුව ගොඩනගන ලද්දකි.
එය පෘථිවියේ අල්ලාහ් දෙවිඳුන්ට පමණක් වන්දනා කිරීම සඳහා ඉදි කළ පළමු මන්දිරය ලෙස සැලකේ. ඉස්ලාම්වරුන් ලෝකයේ කොතැන සිටියත් නමස්කාරයේදී මුහුණ යොමු කරන්නේද කහ්බාව වෙතටය.
එබැවින්, තවාෆ් යනු මෙම පූජනීය මධ්‍යස්ථානය වටා සිදු කරන ආත්මීය වන්දනා ගමනකි. ආත්මීය පැදකුණු කිරීමකි.
තවාෆ් ආරම්භ වන්නේ “හජ්රුල් අස්වද්” හෙවත් කළු ගල පිහිටි කෝණයෙන්ය. හැකි නම්, එය සිප ගැනීම හෝ අතින් ස්පර්ශ කිරීම සුන්නා ක්‍රියාවකි. එය නොහැකි නම්, අතින් එම දිශාවට සංඥා කිරීම ප්‍රමාණවත් වේ. එතැන් සිට වම් පැත්තෙන් කාබාව වටා ගමන් කිරීම ආරම්භ වේ.
තවාෆ් වාර හතක් සිදු කළ යුතු අතර, සෑම වටයක්ම හජ්රුල් අස්වද් අසලින් ආරම්භ වී එතැනින්ම අවසන් වේ. පිරිමි පුද්ගලයන් සඳහා පළමු වට තුනේදී වේගවත් හා ශක්තිමත් ගමනකින් යාම (රමල්) සුන්නත් ක්‍රියාවකි. එමෙන්ම, ඉහ්රාම් ඇඳුමේ එක් පැත්තක් උරහිසකින් ඉවත් කර තබා ගැනීම (ඉද්තිබා)ද සිදු කරයි.

තවාෆ් අතරතුර විශේෂ දුවා කියවීම අනිවාර්ය නොවුවද, අල්ලාහ් දෙවිඳුන් සිහි කිරීම, ශුද්ධ කුරානය කියවීම, හා දුවා කිරීම ඉතා වැදගත් වේ. මෙය හදවත අල්ලාහ් දෙවිඳුන් සමඟ සම්බන්ධ කරමින්, වන්දනාවේ ආත්මීය ගැඹුර වැඩි කරයි. විශේෂයෙන්ම, “රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතව්…” යන දුවාව බොහෝ දෙනා කියවති.
තවාෆ් තුළ ඇති සුවිශේෂත්වය වන්නේ, එය විශ්වයේ පවතින ස්වාභාවික පද්ධති සමඟ සමානත්වයක් දැක්වීමයි. ග්‍රහ ලෝක සූර්යයා වටා භ්‍රමණය වන ආකාරය, ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා ගමන් කරන ආකාරය මෙන්ම, ඉස්ලාම්වරුන් කාබාව වටා ගමන් කිරීමද අල්ලාහ් දෙවිඳුන් ගේ පාලනය යටතේ පවතින විශ්වයේ එකමුතුභාවය පෙන්වයි. මෙය තවාෆ්හි ආත්මීය හා බුද්ධිමය ගැඹුර තවත් ඉහළ නංවයි.
තවාෆ් යනු මනුෂ්‍යයාගේ ජීවිතය පිළිබඳ වැදගත් පාඩම් ඉගැන්වීමකි. එය අල්ලාහ් දෙවිඳුන් ජීවිතයේ මධ්‍යම ස්මථානයේ තබහ්ගත යුතු බව මතක් කරයි. කහ්බාව වටා ගමන් කරන ඉස්ලාම්වරයා, තම ජීවිතයේ සියලු අරමුණු හා ක්‍රියා අල්ලාහ් දෙවිඳුන් වෙත යොමු කළ යුතු බව අවබෝධ කර ගනී.
තවද, තවාෆ් මඟින් සමානත්වය හා සහෝදරත්වය ප්‍රකාශ වේ. එහිදී රජවරුන්, ධනවතුන්, දුප්පතුන්, විවිධ ජාතිකයන් හා භාෂා කතා කරන ජනතාව සියලු දෙනාම එකම ඇඳුමෙන්, එකම ස්ථානයේ, එකම ආකාරයෙන් වන්දනා කරති.
මෙය ඉස්ලාමයේ මානව සමානත්වය පිළිබඳ විශිෂ්ට උදාහරණයකි.
තවාෆ් අවසන් වූ පසු, “මකාමු ඉබ්‍රාහිම්” අසල රකාත් දෙකක නමස්කාරයක් ඉටු කිරීම සුන්නා ක්‍රියාවකි. ඉන් පසු සම්සම් ජලය පානය කිරීමද සාමාන්‍යයෙන් සිදු කරයි. මෙය මගින් තවාෆ්හි ආත්මීය අත්දැකීම තවත් සම්පූර්ණ කරයි.

තවාෆ්හි තවත් වැදගත් අංගයක් වන්නේ, එය පව් කමා කර ගැනීමේ අවස්ථාවක් වීමයි. භක්තියෙන් හා අවංකත්වයෙන් තවාෆ් කරන පුද්ගලයාගේ හදවත පිරිසිදු වන අතර, ඔහු අල්ලාහ් දෙවිඳුන්ට තවත් ආසන්න වේ. එය ජීවිතයේ නව ආරම්භයක් ලබා දෙන ආත්මීය අත්දැකීමක් ලෙස සැලකේ.
අවසාන් වශයෙන්, තවාෆ් යනු කහ්බාව වටා ශාරීරිකව ගමන් කිරීමක් පමණක් නොව, හදවත අල්ලාහ් දෙවිඳුන් වෙත ගමන් කරවීමකි. එය භක්තිය, යටත් වීම, සහ ආත්මීය පිරිසිදුභාවය නිරූපණය කරන උතුම් වන්දනා ක්‍රියාවකි. එබැවින්, තවාෆ් හජ් වන්දනාවේ හෘදය ලෙස සැලකිය හැකි අතර, එය සෑම ඉස්ලාම්වරයෙකුගේම ආත්මයට ගැඹුරු බලපෑමක් නිරාමිස ප්‍රීතියක් ගෙනදෙන
අතිශය පූජනීය අත්දැකීමකි.
සකස් කළේ
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති
සහ මහනුවර විශ්වසවන්තයන්ගේ
සංගමයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී
සරත් කුමාර දුල්වල විසිනි.





0 Comments