SRI LANKA


 

වාර්ගික - ආගමික බහුවිධතාව හා සමාජ සංහිඳියාව-1(ලිපි,)


 1 


තම පිළිවෙත පමණක් සත්‍යයැයි විශ්වාස කිරීමට, පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට කෙනෙකුට අයිතියක් ඇත. එය එසේ වුවද එම සමාජ අවකාශය තුළ ම අනෙකුත් සංස්කෘතීන්, සම්ප්‍රදායන්, පිළිවෙත් හා විශ්වාසයන්ට ද කිසිදු ගැටුමකින් හෝ කිසිවෙකුගේ අයිතීන් උල්ලංඝනය කිරීමකින් තොරව එවැනිම මතයක් දැරීමේ හා ක්‍රියාත්මක වීමේ අයිතියක් ඇති බව පිළිගැනීම වාර්ගික - ආගමික බහුවිධතාවයේ (pluralism) යථාර්ථය බවත් සමාජ සංහිඳියාවේ නොබිඳිය හැකි පදනම බවත් අර්ථ දැක්විය හැක. මෙය ලෝකව්‍යාප්ත යථාර්ථයකි.  

ආගමික, වාර්ගික හා සංස්කෘතික බහුවිධතාව ලොව සැමතැන දැකිය හැකි යථාර්ථයක්  බවට පත් ව ඇත. එහෙයින් සමාජ සංහිඳියාව ඇති කිරීමට නම් බහුවිධතාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙයි. 

1.බහුවිධතාව යනු හුදෙක් විවිධත්වය පමණක් නොවේ. පවතින සමාජ විවිධත්වය තුළ අර්ථවත් හා උද්‍යෝගිමත් අයුරින් අන්තර් ක්‍රියාකාරකම් හි යෙදීම බහුවිධතාවයේ ප්‍රධාන ලක්ෂණයකි. විවිධත්වය යනුවෙන් බොහෝ විට අදහස් කෙරෙන්නේ කිසිදු අන්තර් හෝ අන්තඃ ක්‍රියාකාරකමකින් තොරවූ ආගමික හෝ වාර්ගික පදනමකින් යුත් සමාජ ස්ථරයන්හි පැවැත්මය. වර්තමාන සමාජ සන්දර්භය තුළ ආගමික හා වාර්ගික විවිධත්වය නිරායාසයෙන් ම පවතින්නකි. නමුත් බහුවිධතාව අප විසින් ප්‍රයත්නයක යෙදීමෙන් යථාර්ථයක් බවට පත්කර ගන්නකි. සැබෑ අන්තර් ක්‍රියාකාරකමකින් හා සම්බන්ධතාවකින් තොර විවිධත්වය පමණක් පවතින අවස්ථාවන් හි සමාජ ඝර්ෂණයන් ඇතිවීමේ ප්‍රවණතාවන් අධික විය හැක.

2.බහුවිධතාව යනු හුදෙක් රිස්සීම (tolerance) ද නොවේ. සමාජ බෙදුම් රේඛා අතර ක්‍රියාකාරී අයුරින් අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවයේ වැදගත් ලක්ෂණයකි. රිස්සීම අත්‍යාවශ්‍ය යහපත් සමාජ ගුණාංගයකි. එහෙත් රිස්සීම සඳහා කිසිදු ආගමික හෝ අනාගමික පුද්ගලයෙකුට එකිනෙකා පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයක් අවශ්‍ය නොවේ. ලෝක ආගමික වෙනස්කම් හා සමීපකම් අතරේ රිස්සීම යනු ඉතා තුනී පදනමක් පමණි. රිස්සීම මගින් එකිනෙකා අතර ඇති අනවබෝධය ඉවත් කිරීමට කිසිවක් සිදු නොවේ. ඒ වෙනුවට එකාකෘතික ප්‍රත්‍යක්ෂයන්, අර්ධ සත්‍යයන් මෙන්ම බෙදුම් රේඛා හේතුවෙන් සාම්ප්‍රදායිකව මතුවන සැකය, අවිශ්වාසය, බිය, ප්‍රචණ්ඩත්වය යනාදියට මංපෙත් විවෘත කරයි. අප ජීවත්වන සමාජ පරිසරය තුළ අන්‍යෝන්‍ය අවබෝධය නොමැති වීම බරපතල තත්ත්වයක් බවට පත්ව ඇත.  අනෙකුත් සම්ප්‍රදායන් අනුගමනය කරන්නන් බොහෝවිට හෝ සම්පුර්ණයෙන් ම නොමග ගොස් ඇතැයි යන පුර්වකල්පනයක්  රිස්සීමේ යෙදෙන්නාගේ මනසේ ඇතිවන අතර ඒ නිසාම ඔවුන් කෙරෙහි දයාව, කරුණාව, අනුකම්පාව දැක්විය යුතුය යන හැඟීමක් ඇති වේ.  මෙවැනි මානසික තත්ත්වයන් තුළින් සැබෑ සමාජ සංහිඳියාවක් ඇති කිරීම කළ නොහැක්කකි.  බහුවිධත්ව සංකල්පය නිහතමානිත්වය හා බැඳී ඇති අතර අන්‍යෝන්‍ය අවබෝධය තුළින් අනිකාගේ පිළිවෙත් පිළිබඳ ව  විවේචනයට හෝ විනිශ්චයට ලක් කිරීමක් සිදු නොවේ. 

3.බහුවිධත්වය තුළ තම අනන්‍යතාව අතහරින්නට හෝ තම පිළිවෙත් පිළිබඳ ක්‍ෂමායාචක තත්ත්වයකට පත් වීමට හෝ අවශ්‍යතාවක් නොමැත. එකිනෙකාගේ පිළිවෙත් කිසිදු බාධාවකින් හෝ හිංසනයකින් තොරව පිළිපැදීමට  අයිතිය සහතික කිරීමක් ඇත. අනිකාගේ පිළිවෙත් හා එකඟතාවක් නොමැති වූවද සැමට සැමගේ පිළිවෙත් මෙලෙස පිළිපැදීමට සමාජ අවකාශය විවෘත ව ඇත.

4.බහුවිධත්වය පදනම් වී ඇත්තේ විවෘත සංවාද මතය. මෙම සංවාද මගින් පොදුතාවන් පිළිබඳ එකඟත්වය ද විරුද්ධතාවන් පිළිබඳ අනිකාගේ අයිතියට ගරු කිරීමට ද හුරුපුරුදු බවක් ඇතිකර ගැනීම සිදුවේ.

 බහුවිධත්වය මුහුණපාන අභියෝග 

1.තම ආගමික-වාර්ගික අගයන් සමග පරස්පරතාවක් හෝ ගැටීමක් ඇති අනිකාගේ අගයන් පිළිබඳ අවබෝධයක් මෙන්ම එම අගයන් දැරීමට හා පිළිපදින්නට අනිකාට ඇති අයිතියට ගරු කිරීමට ඉගෙනීමේ අවශ්‍යතාව

2තැම් විට අනිකාගේ පිළිවෙත් හා අගයන් සමාජයේ බහුතරයකගේ මතයට පටහැනිවන අවස්ථාවන් හි එමගින් උද්වේගකාරී ක්‍රියාදාමයන් වෙත යොමු වීමේ ප්‍රවනතාව වළක්වාලීම

  බහුවිධත්වය හා සංස්කෘතිය   

අප සමාජය බහු සංස්කෘතික එකක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නන් ඉදිරිපත් කරන මතය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තිබිය යුත්තේ ඒකීය ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ පමණක් බව ය. අනෙකුත් වාර්ගිකයින් මෙම ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ තුළ සිට  කටයුතු කළ යුතු බව ඔවුන් එක්තරා ප්‍රමාණයක දැඩි ස්ථාවරයක් පෙන්නුම් කරති. මෙම අධිපතිවාදී මත වාදය පිළිබඳ ව විමසීමක් සිදුකිරීමෙන් පසු ‘සංස්කෘතිය’ පිළිබඳ ව පොදුවේ හා  ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ පිළිබඳ ව විශේෂයෙන් ම හා අනෙකුත් වාර්ගිකයින්ගේ සංස්කෘතීන් පිළිබඳ ව ද කරුණු විමසා බැලීමක යෙදීම සුදුසු බව අපි දකින්නෙමු.

ගෝලීය සංස්කෘතික ගැටුම් 

1993 දී හාවඩ් විශ්ව විද්‍යාලයීය මහාචාර්ය සැමුවෙල් පී. හන්ටින්ටන් විසින් “The Clash of Civilizations” (ශිෂ්ටාරයන් අතර ගැටුම) නමින් ග්‍රන්ථයක් එළිදක්වමින් අනාගතයේ දී රාජ්‍යයන් අතර ගැටුම් වෙනුවට ශිෂ්ටාචාරයන් අතර බෙදුම් රේඛාවන් ගැටුම් රේඛාවන් බවට පත් විය හැකි බව යන මත වාදය ඉදිරිපත් කරන ලදී. ඈත ඉතිහාසයේ යටත්විජිත වාදය මුල් කර ගත් රාජ්‍ය ව්‍යාප්තිය හා ජාත්‍යන්තර විශේෂයෙන් ම නාවික වෙළඳ කටයුතු මුල් කර ගෙන යුද්ධ හා ගැටුම් ඇති විය. පසු කාලීන ව ගැටුම් වලට මුල් වුයේ දේශපාලන හා ආර්ථික හෙතුන් ය. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග බටහිර බලවතුන් සමග තිබු සීතල යුද්ධයේ නිමාව ඇති විය. මහාචාර්ය හන්ටින්ටන් අනාවැකි පළ කළේ මාක්ස්වාදී කඳවුර හා විවෘත ආර්ථික හා නිදහස් චින්තන ප්‍රවාහය නියෝජනය කරනව යැයි පවසන බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර අතර තිබු මෙම සීතල යුද්ධයේ නිමාව සමග රටවල් අතරේ ගැටුම් ඇතිවෙනවා ට වඩා වැඩි ප්‍රවණතාවක් ඇත්තේ ශිෂ්ටාචාරයන් අතරේ ගැටුම් ඇතිවීමට බවය. ශිෂ්ටාචාරය පදනම් වී ඇත්තේ එය ට ආවේණික වූ සංස්කෘතිය මතය. එහෙයින් ඉදිරි කාල වකවානුව සංස්කෘතීන් අතරේ ගැටුමක් ලෙස හුවා දක්වන්න ට ප්‍රයත්නයක් මෙමගින් දරා ඇත.
 (TO BE CONTINUED)

Post a Comment

0 Comments