SRI LANKA


 

පොසොන් පොහොය පිළිවෙතින් සමරමු!-(ලිපි)

පොසොන් උත්සවය  ශ්‍රී ලංකාවට ආගමික වශයෙන් ද ජාතික වශයෙන් ද වැදගත් දිනයකි. ලංකාවට බුදු දහම මුලින්ම හදුන්වා දූන්නේ ක්‍රිස්තු  පූර්ව 236 වසරේදී අද වන් පුර පසළොස්වක පොහොය දිනයකයි. ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන දඹදිව සිට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලාංකික බෞද්ධයන් හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වශයෙනි. උන්වහන්සේට එම ගෞරවය ලබාදීම මගින් ශ්‍රි ලාංකිකයා මිහිඳු මහරහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනි කොට සලකන බව පෙන්නුම් කෙරයි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාවට හඳුන්වා දුන් බුදු දහම ආගමික දර්ශනයක් පමණක් නොව ජනහිතකාමී පරිසර හිතකාමී සහජීවනයට මග හෙළිකරන සමාජ ආර්ථික පුනරුදයකට මගපෙන්වන මාහැඟි දර්ශනයකි.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසු ශ්‍රී ලංකා සමාජයේ නව පුනරුදයක් ඇති විය. භාෂාව සාහිත්‍යය කලා ශිල්ප සිරිත් විරිත් ආදි ජන ජීවිතයේ සෑම අංශයකම නව පිබිදීමක් ඇතිවිය. බෞද්ධ දර්ශනය මගින් අපට උරුම වූ ආධ්‍යාත්මික ශික්ෂණය සංවර්ධනාත්මක පිබිදීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අනන්‍ය වූ සංස්කෘතියක් බිහි කිරීමට හේතුවිය.

ක්‍රිස්තු පූර්ව 236 දී එවකට දඹදිව රාජ්‍ය පාලකයා වූ අශෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාරක වැඩසටහන යටතේ එතුමාගේ පුතණුවන්වූ මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය උත්තිය සම්බල භද්දසාල යන මහරහතන් වහන්සේලා සමඟ අභිඤ්ඤාලාභී සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසකතුමා ඇතුලත් සත්දෙනකුගේ දූත මණ්ඩලයක් ලෙස ලංකාවට බෞද්ධ දර්ශනය රැගෙන ආ බව මහාවංසයේ සටහන් වී තිබේ.

එකල ශ්‍රී ලංකාවේ පාලකයා වූ දේවානම්පිය තිස්ස හෙවත් දේවානම් පියතිස්ස  රජු මිස්සක පර්වත ප්‍රදේශයේ මුව දඩයම ඇතුළු විනෝද ක්‍රීඩාවේ යෙදී සිටි අවස්ථාවේ මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස මුණගැසිණි. එහිදී රජතුමා හට තිස්ස තිස්ස කියා අමතනු ඇසුණි. එසේ තමන් හට නම කියා අමතන්නේ කවුරුන්දැයි විමසූ විට මිහිඳු මාහිමියන් මහ රජතුමනි අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස ධර්මය දේශනා කිරීමට දඹදිව සිට මෙහි පැමිණියෙමු. කියා වදාළසේක.

මෙම හමුවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය රජතුමාට හා මෙරට පුරවැසියන්ට වටහා ගැනීමට හැකිදැයි පරීක්ෂාකිරීමට මිහිඳු මාහිමියන් පරිසරය හා ඥාතීන් ඇසුරෙන් ඇසුරෙන් විමසූ ප්‍රශ්න ඉතා අලංකාරව වංසකතාවේ සඳහන් ව ඇත.

මිහිඳු මාහිමි ගසක් පෙන්වමින් මෙසේ ඇසීය.
රජතුමනි මේ ගසේ නම කුමක්ද?
ස්වාමීනී මෙය අඹ ගසකි. රජතුමා පිළිතුරු දෙයි.
රජතුමනි මේ හැර තවත් අඹ ගස් තිබේද? මිහිඳු මාහිමි විමසයි.
එසේය ස්වාමීනි තවත් බොහෝ අඹ ගස් තිබේ. රජු පිළිතුරු දෙයි.
රජතුමනි මේ අඹ ගසත් ඒ අඹ ගසූත් හැර තවත් ගස් තිබේද ?මිහිඳු මාහිමි විමසයි.
එසේය ස්වාමීනි බොහෝ ගස් ඇත එහෙත් ඒවා අඹ නොවේ. රජතුමා පිළිතුරු දෙයි.
මහරජ ඒ අඹ ගස් අඹ නොවන ගසූත් හැර තවත් ගස් තිබේද ?මිහිඳු මාහිමි විමසයි.
එසේය ස්වාමීනි ඒ මේ අඹ ගසයි. රජතුමා පිළිතුරු දෙයි.
ඊළඟට මිහිඳු හිමියන් රජතුමාගෙන් නෑදෑයන් ඇසුරෙන් පහත ප්‍රශ්න විමසූ බව වංශ කතාවේ සඳහන් වේ.
මහරජ තොප ට නෑදෑයො සිටීද?
එසේය ස්වාමීනි බොහෝ නෑදෑයො සිටිති.
රජතුමනි ඔබට නෑදෑයෝ සිටීද?
එසේ ස්වාමීනි නොනෑයෝත් සිටිති.
රජතුමනි නෑයොත් නොනෑයෝත් හැර තවත් අය සිටීද?
සිටිති ස්වාමීනි. ඒ මම වෙමි. රජතුමා පිළිතුරු දුන්නේය.

ඒ අනුව රජතුමාගේත් පූර වැසියන්ගෙත් සිහිනුවණ ගැන තක්සේරුවකට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ චූල්ල හස්ථි පදෝපම සූත්‍රයෙන් පිරිසට ධර්ම දේශනා කළ බව සඳහන්ය. ඒ අනුව ශ්‍රි ලංකාවේ ප්‍රථම බෞද්ධ උපාසක පිරිස පොසොන් පුන් පෝය දා බිහිවිය.

මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගෙන් එසේ විමසූ ප්‍රශ්න සහ රජතුමා ලබා දුන් උත්තර අනූව එදා ඉපැරණි ශ්‍රී ලංකාවේ රජවරුන් පවා බහුවිවිධත්වය හැඳිනගෙන ඊට ගරු කළ බව මනාව පසක්වේ. විශේෂයෙන් නෑයන් වගේම නොනෑයන්ද සිටින බවත් ඔවුන් සියල්ල ගේම පාලකයා පියා රැකවලා රජතුමා බවත් දේවානම්පියතිස්ස රජතුමා වටහා ගෙන සිටි බව ප්‍රත්‍යක්ෂ වේ. මෙම බහු විවිධත්ව පිළිගැනීම එහි පැවැත්මට එවකට ලංකා රජය ගරු කිරීම සංඝමිත්තා මහ රහත් තෙරණිය සමග 18 කුලයක ශිල්පීන් එදා දඹදිව සිට

ලංකාවට ගෙන්වා ගැනීමට පරිසරය නිර්මාණය කිරීමට උත්තේජනයක් වූ බව නිසැකය. ඔවුන් එදා දඹදිව සිට ආවට පසු අපේ රටේ පුරවැසියන් ලෙස මේ රටේ ජීවත්වී ලංකාදීපයට සේවය කර මේ රටේ දරුමල්ලන් ලැබ පරම්පරාවක් බිහි කර මෙරටම මිහිදන් වන්නට ඇති බව විශේෂයෙන් කියන්නට අවශ්‍ය නැත. එනිසා අතීතයේ සිටම බෞද්ධ ආභාෂය සමඟ සාමය සහජීවනය ගරු කරන ස්වදේශිකයන් සමඟ විදේශිකයන් මෙරට සාමයෙන් සතුටින් සමාදානයෙන් ජීවත් වූ බව පැහැදිලිය. සැබෑ ඉතිහාසය වන්නේ එය බැවින් මෙම පොසොන් පොහොය අනාදිමත් කාලයකසිට අපේ රටේ ජනතාව තුළ තිබූ එම උත්තම ගුණාංග සිහිකරගෙන මිත්‍යාදෘෂ්ටිකයන් දේශනා කරන හෝ ප්‍රචාරය කරන විකෘති කරන ලද ජාති ආගම් භේදවාදී අදහස් මුලිනුපුටා දැමීමට
සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්නා පුන් පොහෝ දිනයක් කරගනිමු.


Post a Comment

0 Comments