
හොඳ හැඳුනාගමු - හොඳ වෙමු! ( 2 )
"හොඳ" යන සංකල්පය එහි වචන අර්ථයෙන් යහපත් සහ මනා සතුටුදායක යන අර්ථයන්ගෙන් හඳුනාගත හැකිය. හොඳ යන වචනයේ විරුද්ධාර්ථය නරකවේ. එනිසා නරකින් බැහැරවීම හෝ තොරවීම කෙනකූ "හොඳ"
ලෙස අර්ථ දැක්වීමට ද පිළිවන. "හොඳ" යන සංකල්පය මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේදීම මානවයා අවබෝධ කරගත් සංකල්පයකි. සිය පැවැත්මට, සිය වර්ගයේ කණ්ඩායමේ පැවැත්මට, ජීවිතය පහසු කර ගැනීමට, ප්‍රීතිමත් කරගැනීමට, වර්ණවත් කර ගැනීමට, උදව් වන ඉවහල් වන කරුණු කාරණා දේවල් ඔවුන් "හොඳ "ලෙස හඳුනාගත් බව නිසැකය.
එහෙත් දිගු කාලීනව විචාරශීලීව හොඳහිම නිමග්න වීමට මානවයාට නොහැකිවීම ඛේදවාචකයකි. ඕනෑම ප්‍රපංචක "හොඳ"" වෙන්කර හදුනා ගෙන ඒවා අඛණ්ඩව අවිච්ඡින්නව පවත්වා ගැනීමට මානවයා සවිඥානකව උත්සුක වූවා නම් අද පවතින බොහෝ ගැටළු අපට නැත. එසේනම් විසිඑක් වන සියවසේ විද්‍යාව, තාක්ෂණය, සංස්කෘතිය, ආර්ථිකය, ආදියෙන් දියුණු මිනිසුන්වූ අපට සතුටින්, සාමයෙන්, සහජීවනයෙන්, ජීවත්වීමට, හැකි ව තිබේ.
"හොඳ" යන සංකල්පය මානව ජීවිතයේ පරමාර්ථය විනි නම් මානවයා තුළ මෝහය හට නොගනී.තෘෂ්ණාව හට නොගනී. සැක සංකා, ඉරිසියාව හටනොගනී.
එනමුත් අඩු වැඩි වශයෙන් එදා සිට අද දක්වාම "හොඳ" යන සංකල්පය අපගේ දෛනික ජීවිතයේ අංගයක් ලෙස අප ක්‍රියාවට නගමින් සිටිමු. හොදට අප කවුරුත් කැමතිය, ප්‍රසන්නය, හොඳට අපි කවුරුත් ප්‍රශංසා කරමු. බහුල ලෙස හොඳම අපේක්ෂා කරමු. හොඳම ඉටු වන ලෙස ප්‍රාර්ථනා කරමු. හොඳ දේ කරන්නට වෙර දරමු. හොඳ පුරුදු පවත්වාගෙන යන්නෙමු. හොද සිරිත් විරිත් වැලඳ ගන්නෙමු. හොඳ දේ ලබාගැනීමට කැමැත්තෙමු. එනිසා හොඳ අපට නැතුවම බැරි සංකල්පයකි.
අපි එදිනෙදා ජීවිතයේ කරන යහපත් ක්‍රියා හොඳ ක්‍රියා වේ. හොඳ ක්‍රියාවක් කළ විට ඊට ප්‍රශංසා ලැබේ. අගය කිරීම් ලැබේ. ඒ නිසා සෑම විටම හොඳ ලැබීමටද හේතුවකි. "හොඳ" පුරුදු "හොඳ" සිරිත් හදවතින් පිළිගෙන අනුගමනය කිරීමෙන් ප්‍රශංසාවන් ඇගයීම් වලට අමතරව සරුසාර බව සාර්ථකත්වය නොනැසෙන සතුට සාමය සහජීවනය උදාවී ජීවිතය යහපත් වේ.
සුචරිතයෙහි යෙදීමත් දුසිරිතෙන් මිදීමත් සදාචාර සම්පන්න ජීවිතයක් ගතකිරීමත් හොඳ දිවි පැවැත්මක අනිවාර්ය ලක්ෂණය වේ.
ඒ අනුව හොඳ පුරුදු , හොඳ ගතිගුණ, හොඳ සිරිත්, හොඳ ක්‍රියා, හොඳ ඉගෙනුම්, ආදීය ජීවිතයක මුල සිට වැඩෙන හොඳ ශක්තිමත් අරටුවක් වන බව පැහැදිලිය.
"හොඳ" යන සංකල්පය ඉහත සඳහන් කළ ලෙස යම් ගුණයන් ඉස්මතු කිරීමට වගේම එකකින් අනෙක වෙන් කර ගැනීමටත් අපි භාවිතා කරන්නමූ.
හොඳ පොල් යනුවෙන් විටෙක අපි අදහස් කරන්නේ හොඳට පැසී හොඳට කිරි ලබා ගත හැකි පොල්වටයි. එවිට අපි හොඳ නොවන නැත්නම් නරක පොල් ලෙස හඳුන්වන්නේ එම ගුණාංග නැති පොල් වලටයි. එනිසා හොඳ යන සංකල්පය යමක් වෙන් කර හඳුනා ගැනීමටත් අපි භාවිතා කිරීමට පුරුදුව සිටිමු. එලෙසම යමක් විශේෂ කොට හඳුනා ගැනීමටත් විශේෂ ගුණයන්ගෙන් යුතුව හදූනා ගැනීමටත් "හොඳ" යන සංකල්පය අප යොදා ගනිමූ.
නමුත් හොඳ යන සංකල්පයට ඇත්තේ නිරපේක්ෂ අර්ථයක් ද නෙවේ හොඳට බොහෝවිට ඇත්තේ සාපේක්ෂ අර්ථයකි නමුත් හොඳ හැමවිටම විශිෂ්ටය ප්‍රශංසනීයය ගුණාත්මක ය. යහපත්ය.
අද "හොඳ" යන සංකල්පය නරක දේවල්වල නරක යටපත් කිරීමට යොදා ගන්නා අවස්ථාද තිබෙනවා. එසේත් නැත්නම් නරක දේ කරන අයකු ඔහූ කරන ක්‍රියාව සහ ලබන අත්දැකීම "හොඳ" යන වචනයෙන් ව්‍යාජව අලංකාර කර ප්‍රකාශ කරන අවස්ථා තිබෙනවා.හොඳ අරක්කු, හොඳ සිගරට්, හොඳටම ගඳ ගහනවා ආදී ලෙස හොඳ යන සංකල්පය යොදාගෙන ඔවුන් අදහස් ඉදිරිපත් කරනවා. හොඳ අරක්කු යනු සුරාවට ඇබ්බැහිවූ ඇයකූ වැඩියෙන් මත් වෙන අරක්කූ විස්තර කිරීමට "හොඳ" යන සංකල්පය යොදාගන්නා එක් අවස්ථාවකි.
එසේම දුම් බොන්නෙකූ හොඳ සිගරට් යනුවෙන් විස්තර කරන්නේ සිගරට්ටුවකින් ලැබෙන කවර හෝ විශේෂිත ශාරීරික හෝ මානසික හොඳක් නොවන බව ඉතා පැහැදිලිය. ඔහු කරන නරක ක්‍රියාවට යම් වටිනාකමක් ලබා ගනිමින් මම බොන්නේ හොඳ සිගරට් වශයෙන් පෙන්වීම ඔහුගේ එම ප්‍රකාශයේ අරමුණයි. තවද ඔහුගේ ගොඩට තවත් කෙනෙක් ඇඳගැනීමට හොඳ සංකල්පය ලෙස යොදා ගැනීමද ඔහුගේ අරමුණ වියහැකිය. හොඳටම ගඳ ගහනවා යනුවෙන් කෙනෙක් කියන්නෙ පවතින දුර්ඝන්දය සනීප බව නොව ඉවසා දරාගැනීමට බැරි බවයි.
එනිසා අප "හොඳ" දේ තෝරා ගැනීමේදී "හොඳ" යන සංකල්පය ඉතා ගැඹුරින් අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතුය. "හොඳ" සෑම විටම පුද්ගලයාට මෙන්ම සමාජයට ද පරිසරයට ද යහපත් විය යුතුය.
කෙනකු අරක්කු හොඳ අරක්කු ලෙස හැඳින්වූවත් පුද්ගලයාටත් සමාජයටත් අරක්කු වලින් යහපතක් වෙන්නේ නැත. සිගරට් ද එසේමය. දුර්ගන්ධය ද එසේමය. ඒ හැමදේම පුද්ගලයාටත් සමාජයටත් පරිසරයටත් කරන අයහපත වැඩිය. ඒ අනුව "හොඳ" සංකල්පය හොඳ නොවන දේවල් වලට ද යොදා ගත් පමනින්ම ඒවා හොඳ නොවන බව අප ගැඹුරින් වටහා ගත යුතුය.එසේම කලකදී "හොඳ.." දෙයක් තව කලකදී නරක විය හැකිය. වියළි කාලයේදී ලැබෙන තද වැස්ස වූවද ප්‍රයෝජනවත් නිසා එය හොඳ වැස්සක් ලෙස අප හඳුන්වනවා. ඒත් සීත කාලයේදී වහින පොද වැස්ස පාවා කරදරකාරී නරක වැස්සක් ලෙස අප හඳුන්වනවා.
එසේම අද "හොඳ" යන සංකල්පය වෙළඳ බඩු අලෙවි කිරීම සඳහා සැමවිටම යොදාගනු ලබනවා සෑම ව්‍යාපාරිකයෙක්ම තමන් අලෙවි කරන්නේ හොඳම භාණ්ඩ සහ සේවා බව පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට උනන්දුවෙනවා. එහිදී ඇතැමෙක් සිය පාරිභෝගිකයන්ට නරක දේවල් හොඳ දේවල් ලෙස රවටා අලෙවි කරනවා. සමහර ව්‍යාපාරිකයන් හොඳම දේ ගැන සැලකිලිමත්වී හොඳම දේ රැස්කර අලෙවිකර සිය පාරිභෝගිකයන් දිගටම තමාගේ හොඳ ගණදෙනු කරුවන් කර ගැනීමට කටයුතු කරනවායමක් "හොඳ" දෙයක් වන්නේ පුද්ගලයාටත් සමාජයටත් පරිසරයටත් ආර්ථිකයටත් පැවැත්මටත් හොඳ වේ නම් පමණි. යමක හොඳ පුද්ගලයාගේ සමාජයේ පරිසරයේ පැවැත්ම යහපතට හේතු නොවේ නම් එය හොඳ වන්නේ නැත.
"හොඳ" යන සංකල්පයෙන් පුද්ගලයා දෙස බැලීමේදී ඕනෑම පුද්ගලයකුගේ හොඳ රාශියක් අපට දැක ගත හැකිය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. හොඳ වැඩි පුද්ගලයා වඩා හොඳ කෙනෙක් වෙනවා හැර හොඳ අඩු පුද්ගලයා නරක කෙනෙකු ලෙස හැඳින්වීම ද සුදුසු නැත."හොඳ" හොඳම ලෙස හැඳින ගෙන ජීවිතයට හොද ලං කර ගැනීමෙන් හොඳ ජීවිතයක් "හොඳ" සමාජයක් "හොඳ" පැවැත්මක් සහතික කර ගත හැකිය.







0 Comments