
1919 දී ලංකා ජාතික සංගමය බිහිවීම
1915 දී ඇති වූ සිංහල, මුස්ලිම් කෝලාහලය සහ අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාමාර්ගවලට එරෙහිව යාම සඳහා පොදු ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය හඳුනාගත් සිංහල, දෙමළ නායකයින් 1919 දී ලංකා ජාතික සංගමය ආරම්භ කරන ලදි. එමෙන්ම මව්බිමේ නිදහස8 වෙනුවෙන් භාරතයේ බිහිවූ ඉන්දියානු ජාතික සංගමය නිසාත් ලංකාවේ පොදු සංවිධානයක අවශ්‍යතාවය වැඩි වැඩියෙන් පෙනී ගොස් තිබුණි. මෙහි ආරම්භක සභාපතිවරයා ලෙස ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා තේරී පත්විය. මෙම සංගමය මගින් ස්වයංපාලනය, ව්‍යවස්ථාදායක සභාවේ දේශීය නියෝජනය වැඩිකර ගැනීම වැනි කරුණු අවධාරණය කෙරිණි. ජාතික සංගමය පිහිටුවීමේ මූලික අරමුණ වූයේ ජාතීන් අතර සමගිය, සමාදානය ගොඩනැංවීමයි. මේ අවස්ථාවේදීද ලංකා ජාතික සංගමයේ බහුතර නියෝජනයක් තිබුණේ සිංහල ජනතාවටය. 1911 සහ 1919 සිද්ධීන් විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ එකළ ජීවත්වූ උගත් බුද්ධිමත් ජනතාව ජාති භේදය නොසලකා ඇති බවයි.
1920 රාජ්‍ය මන්ත්‍රණ සභාව
1919 දී ශ්‍රීමත් විලියම් මැනිං ආණ්ඩුකාරවරයාගේ පැමිණීමත් සමග ලංකාවේ ජාතීන් අතර විවිධ අසමගිකම් ඇතිවිය. ලංකා ජාතික සංගමය ඉංග්‍රීසි පාලනයට ඝෘජු තරජනයක් බව ඔහු මුල සිටම අවබෝධ කර ගත්තේය. මැනිං ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස 1920 මෙරට ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන්ගේ ගණන 22 වූ අතර ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා විය.
මෙයින් 11 දෙනෙක් බි්‍රතාන්‍ය නිලධාරීන් වූ අතර අනෙක් 11 දෙනා දේශීය නියෝජිතයින් විය. මෙම මන්ත්‍රීවරු 11 දෙනා පත් කරනු ලැබූයේ ජාතීන් අනුවය. නගරබද සහ ගම්බද යුරෝපීයන්ට ආසන දෙකක්ද, බර්ගර්වරුන්ට එක් ආසනයක්ද, පහතරට සිංහලයින්ට ආසන දෙකක්ද, උඩරට සිංහලයින්ට ආසන දෙකක්ද, දෙමළ ජාතිකයින්ට ආසන තුනක්ද, මුස්ලිම් ජාතිකයින්ට එක් ආසනයක්ද ලැබුණි. 1910 දී නිර්දේශවූ උගත් ශ්‍රී ලාංකිකයා සඳහා වූ ආසනය මැනිං නිර්දේශ අනුව ඉවත් කෙරින. මෙම සංයුතිය පිළිබඳ දෙමළ නියෝජිතයින් සෑහීමකට පත් නොවූ අතර මෙම කාරණය සම්බන්‍ධව ලංකා ජාතික සංගමය තුළද සිංහල සහ දෙමළ නියෝජිතයින් අතර අර්බුද නිර්මාණය වූ බව පෙනේ. මැනිං ආණ්ඩුකාරවරයාගේ ක්‍රියා කලාපය සියුම් ලෙස විමර්ශනය කළ විට පෙනී යන්නේ ඔහු ඉතා සූක්‍ෂම ලෙස ශ්‍රී ලාංකේය ජන සමාජය භේද කිරීමට විවිධ උපායන් යොදා ඇති බවයි. වෙළඳාමට උචිත ශක්තිමත් පාලන ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමේ අරමුණින් මැනිං ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති බව බව පෙනී යයි.
1921 දී දෙමළ මහජන සභාව ආරම්භ කිරීම
ජාතික සංගමයට ආදර්ශමත් හා බුද්ධිමත් නායකත්වයක් ලබාදුන් ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී 1921 දී දෙමළ මහජන සභාව පිහිටුවා ගන්නා ලදි. පොන්නම්බලම් මහතා අපක්‍ෂපාතී නායකයෙක් මෙන්ම උගත් නීති විශාරදයෙක්ද විය. තවද ඔහු ජාතිවාදී නොවූ නායකයෙක් විය. ජාතික සංගමය තුළ වූ මතවාදී බෙදීම සහ මැනිං ප්‍රථිසංස්කරණවල ප්‍රතිපලයන් නිසා ලංකා ජාතික සංගමය තුල පැවැති සමගිය බිදී ගියේය. මෙහි ප්‍රථිපලය වූයේ උඩරට ජාතික සංගමය සහ දෙමළ මහජන සභාව බිහි වීමයි.
විසිවන සියවසේ මතුවූ ෆෙඩරල් සංකල්පය
1924 පැවැති මැතිවරණය වන විට ටී.බී. කොබ්බෑකඩුව, ඒ.එන්. මොලමුරේ සහ පී.බී. රත්නායක වැනි උඩරට නායකයෝ ජාතික සංගමයෙන් ඉවත්වී සිටියහ. ඔවුන්ගේ තර්කය වූයේ උඩරැටියන් යනු වෙනම අනන්‍යතාවයක් ඇති ජනතාවක් බවයි. ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාව තුළ වෙනම නියෝජනයන් වුවමනා බව ඔවුන්ගේ මතය විය. ඔවුහු මේ වෙනුවෙන් හඬ නැගීම සඳහා 1923 දෙසැම්බරයේදී උඩරට ජාතික සංගමය නමින් සංවිධානයක් ආරම්භ කර ගත්හ.
1927 දී ඩොනමෝර් කොමිසමට කරුණු ඉදිරිපත් කරමින් වෝල්ටර් තලගොඩපිටිය මහතා ඇතුළු කණ්ඩායම කියා සිටියේ උඩරැටියන් සඳහා වෙනම ෆෙඩරල් ආණ්ඩුවක් උවමනා බවය. ලංකාව කළාප තුනකට බෙදා පාලනය කළ යුතු යැයි ඔවුහු මෙහිදී අවධාරණය කළහ. ඔවුන් යෝජනා කළ කළාප තුන වූයේ, උඩරට ජනතාව සඳහා වෙනම කළාපයක්, පහත රට සිංහලයන් බහුලව ජීවතවන ප්‍රදේශ සඳහා වෙනම කළාපයක් හා උතුරු-නැගෙනහිර දෙමළ කථා කරන ජනතාව සඳහා වෙනම කළාපයක් ලෙසයි. ඒ සඳහා තර්කානුකූල කරුණු ඔවුහු කොමිසම හමුවේ ඉතාමත් දක්‍ෂ ලෙස ඉදිරිපත් කළහ.
(මතුසම්බන්ධයි)









0 Comments