
1931 සර්ව ජන ඡන්ද බලය හිමිවීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මැතිවරණය
ඉන්දියාවේ ජනප්‍රිය දේශපාලන නායිකාවක් වූ කමලාවතී වට්ටෝපාධ්‍යා මහත්මියද සහභාගි වූ යාපනය තරුණ සංගමයේ රැස්වීමකදී තීරණය කළේ 1931 මැතිවරණය දෙමළ ජනතාව වර්ජනය කළ යුතු බවයි. මෙම තීරණයට අනුව බොහෝ මැතිවරණ කොට්ඨාශවල දෙමළ අපේක්‍ෂකයන් ඡන්දයේදී අපෙක්‍ෂකත්වයෙන් ඉවත් විය. කෙසේ නමුත් යාපනයේ මධ්‍යස්ථ නායකයෝ මෙම වර්ජනයට විරුද්ධත්වය පල කලත් ඔවුන්ට මේ සඳහා විශාල බලපෑමක් කිරීමට නොහැකි විය. මේ තත්ත්වය තුළ උතුරු පලාතේ මන්නාරම-මුලතිව් ආසනය සඳහා පමණක් මැතිවරණය පැවැත්වීමට හැකිවූ අතර ඒ සඳහා ජී.ජී. පොන්නම්බලම් මහතා ඉදිරිපත්වූවේය. එහෙත් එම මැතිවරණයෙන් ඔහු පරාජයට පත්විය. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විධායක සභා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන අමාත්‍ය කමිටුවේ උප සභාපති ධූරය ජාතික සංගමයේ ඩී.බී. ජයතිලක මහතාට හිමි විය. 1943 ඔහුගේ විශ්‍රාම යෑමෙන් පසු ඩී.එස්. සේනානායක මහතා එම ධූරයට පත්විය. 1934 අතුරු මැතිවරණයක් පැවැත්වෙන තුරුම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල දෙමළ නියෝජනයක් නොතිබුණි.උතුරේත් දකුණේත් අළුත් දේශපාලන පරපුරක්
1930 දී උතුර නියෝජනය කළ මධ්‍යස්ථ මතධාරියෙක් වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ අභාවයෙන් පසු උතුරේ දෙමළ ජනතාවගේ ජනාදරයට පාත්‍රවූයේ 1934 අතුරු මැතිවරණයේදී පේදුරුතුඩුව අසුන ජයගත් ජී.ජී. පොන්නම්බලම් මහතාය. 1938 දී දෙමළ නායකයන් පිරිසක් සමග පොන්නම්බලම් මහතා කැල්කොට් ආණ්ඩුකාරවරයා හමුවූහ. එහිදී ජී.ජී. පොන්නම්බලම් මහතා ප්‍රථම වරට පණහට පණහ අදහස් ඉදිරිපත් කළේය. කරුණු අධ්‍යයනය කිරීමේදී ඔහුගේ දේශපාලන උපායමාර්ග අරුණාචලම් මහතාගේ ක්‍රියාමාර්ග තරම් මධ්‍යස්ථ වූ බවක් නොපෙනේ.මේ වකවානුවේදී දකුණේත් උතුරේත් සටන් කාමි දේශපාලන ප්‍රවාහයක ආරම්භය පෙන්නුම් කළේය. දකුණේ සම සමාජ නායකයෝ සංවෘත්ත ආර්ථික න්‍යායක් හා ඩොමිනියන් තත්ත්වයෙන් බැහැරවූ පූර්ණ නිදහස් රාජ්‍යයක් ගොඩනැංවිය යුතු යැයි කීහ. ඒ වෙනුවෙන් ක්‍රියා කළහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු වමේ ව්‍යාපාරය තුළ ආර්ථික න්‍යායන් පිළිබඳ මතභේද වර්ධනය වී වාමාංශික ව්‍යාපාරය දෙකඩ නොවූවානම් 1947 නිදහස් ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩුව පිහිටුවීමට ද ඔවුන්ට හැකි වන්නට තිබුණි. කෙසේ නමුදු සම සමාජ ව්‍යාපාරය තුළත් ලංකා ජාතික සංගමයේ ලිබරල් වාදීන් තුළත් ජාතිය, ආගම පිළිබඳ එතරම් උනන්දුවක් නොතිබීම අගය කළ යුතුය. ඔවුන්ගේ අදහස වූයේ එය රටේ ජාතික සමගියට බාධා අති කළ හැකි බවයි.
සිංහල මහා සභාව නියෝජනය කල එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් දෙමළ ජතික සභාව නියෝජනය කල ජී.ජී. පොන්නම්බලම් මහතාත් තමන්ගේ ජනතාව ආකර්ශනය කර ගැනීම සඳහා ජාතිය, ආගම ගැන උනන්දුවෙන් අදහස් ඉදිරිපත් කළහ. සිංහල මහා සභාව ද ජාතික සංගමයට සහාය දුන් හවුල්කාර සංවිධානයකි. සිංහල මහා සභාවේ වැඩ පිළිවෙල ජාතික සංගමයේ ප්‍රගතිශීලි කොටස් අනුමත නොකළහ. 1934 කොළඹ පිටකොටුවේ බෞද්ධ මන්දිරයේදී ආරම්භ කල සිංහල මහා සභාව නියෝජනය කල බහුතරය සිංහල භාෂාව සහ බෞද්ධාගම සඳහා ප්‍රමුඛත්වය ලබාදුනි. 1951 බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කළල බීජය සිංහල මහා සභාව යැයි කීවොත් එය නිවැරදිය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය නියෝජනය කළේ සිංහල මහා සභාවයි. 1951 මාදම්පේ පැවැති සිංහල මහා සභාවේ 13 වන සංවත්සරයේදී ඉදිරිපත් කළ යෝජනාවක් වූයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු බවය. දෙමළ ජනතාව දැඩිලෙස කියා සිටින්නේ නම් පමණක් දෙමළ භාෂාවද රජයේ භාෂාවක් කරනවාට විරුද්ධ නොවිය යුතු බවට එහිදී අදහස් ඉදිරිපත් විය. බුද්ධාගම පිළිබඳ යෝජනා ද මේ හා සමාන වෙයි.
1944 සෝල්බරි කොමිසම
මේ වකවානුව වන විට බි්‍රතාන්‍ය කිරීටයට අයත් රටවල් තවදුරටත් තමන්ගේ සෘජු පාලනය යටතේ පවත්වාගෙන යා නොහැකි බව සුදු පාලකයන් තේරුම් ගෙන තිබුණි. යටත් විජිත තුළ නිදහස පිළිබඳ අරගල පැතිර යමින් තිබුණි. ලංකා ජාතික සංගමයේ නායකයින් කීවේ සියළු ජාතීන්ට සම අයිතීන් භුක්ති විඳීමට හැකි ස්වයංතීරණ අයිතිය සහ සවයං පාලනයක් ලංකාවට ලැබිය යුතු බවයි. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයෝද මෙවැනිම අදහස් ඉදිරිපත් කළහ. ඊට අමතරව ආර්ථික න්‍යායන් පිළිබඳ ප්‍රතිපත්තීන්ද සමානාත්මතාවය පිළිබඳ ප්‍රතිපත්තීන්ද ඔවුහු ඉදිරිපත් කළ යෝජනා අතර විය. කොමිසම ඉදිරියේ දෙමළ මහා සභාව නියෝජනය කරමින් ජී.ජී. පොන්නම්බලම් මහතා කියා සිටියේ ආසන 100 කින් යුත් පාර්ලිමේන්තුවක ආසන වෙන් කළ යුත්තේ 50 ක් සිංහල ජාතීන්, 50 ක් ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් සහ සුළු ජාතීන්ට බවයි. මෙය ජී.ජී. පොන්නම්බලම් මහතාගේ පණහට පණහ යෝජනාව ලෙස ප්‍රකට විය.
කෙසේ වුවද මේ සම්බන්ධව කොමිසමේ දැඩි අවධානය යොමුවූ බවක් නොපෙනේ. එහෙත් 1947 ව්‍යවස්ථාවේ 29 වගන්තිය සකස් කිරීමේදී මෙම යෝජනා යම්තාක් දුරට සැලකිල්ලට ගෙන ඇති බව පෙනෙයි. 29 වගන්තිය මගින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් යම්තාක් දුරට ආරක්‍ෂා කිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සකස් කෙරින. දීර්ඝ කරුණු විමසීමකින් පසුව සෝල්බරි කොමිසම මගින් සභිකයින් 101 ක් දෙනෙක්ගෙන් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් නිර්දේශ කෙරිණි. එයින් 95 දෙනෙක් මහජන ඡන්දයෙන් ද 6 දෙනෙක් ආණ්ඩුකාරවරයා විසින් ද පත් කෙරින. දෙවන මන්ත්‍රී මණ්ඩලය නොහොත් සෙනට් සභාවක් ද පත්විය. ඒ සඳහා නියෝජිතයින් 30 දෙනෙකු සිටියහ. 1947 ජුනි 18 දා බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා නිවේදනය කළේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පූර්ණ වගකීම් සහිත ආණ්ඩුවක් ලංකාවට ලැබෙන බවයි. .(මතුසම්බන්ධයි)
0 Comments