
1944 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ යෝජනාව
කැළණිය ආසනය නියෝජනය කළ මන්ත්‍රී ජේ.ආර්. ජයවර්ධන මහතා සිංහල රාජ්‍ය භාෂාව කළ යුතු යැයි යෝජනාවක් 1944 මැයි 24 දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. එම යෝජනාව සඳහා සංශෝධනයක් ත්‍රිකුණාමලය-මඩකලපුව මන්ත්‍රී වී. නල්ලයියා මහතා සහ පත් කළ මන්ත්‍රී ටී.බී. ජයා මහතා විසින් ඉදිරිපත් කරන ලදි. එහිදී එම යෝජනාව පහත සඳහන් ලෙස සංශෝධනය විය.සංශෝධිත යෝජනාව- ර්‍ණවර්ෂ කීපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව සිංහල හා දෙමළ භාෂා ලංකාවේ රාජ්‍ය භාෂාවන් කිරීමේ පරමාර්ථයෙන් මෙම යෝජනාව සභා සම්මත කරන අතර මෙහි පහත සඳහන් කරුණු අඩංගු වන්නේය”.
(අ) සියළුම පාසැල්වල ඉගැන්වීම් මාධ්‍ය සිංහලෙන් සහ දෙමළෙන් විය යුතුය.
(ආ) සියළුම ප්‍රසිද්ධ විභාග සඳහා සිංහල සහ දෙමළ භාෂා අනිවාර්ය විෂයන් කළ යුතුය.
(ඇ) රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වැඩකටයුතු සිංහලෙන් මෙන්ම දෙමළ භාෂාවෙන්ද කළ හැකි වනසේ ව්‍යවස්ථා ඉදිරිපත් කළ යුතුය.
(ඇ) වෙනත් භාෂාවන්ගෙන් ලියැවී ඇති වැදගත් පොත්පත් තෝරා ගැනීමටත්, ඒවා තෝරාගෙන සිංහල සහ දෙමළ භාෂාවෙන් පරිවර්තනය කිරීම සඳහාත් කොමිසමක් පත් කළ යුතුය.
(ඉ) ඉංග්‍රිසි භාෂාවේ සිට සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය වීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියළුම කටයුතු පිළිබඳ වාර්තා කිරීම සඳහා කොමිසමක් පත් කළ යුතුය.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 27 ක්ද විපක්ෂව ඡන්ද 2 ක් ලැබුණි. විශේෂත්වය වූවේ ජයවර්ධන මහතා ද මෙම සංශෝධන සඳහා එකඟ වීමය.
1948 නිදහසින් පසු යුගය
1947 දෙසැම්බර් මස පැවැත්වූ මැතිවරණයෙන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස මධ්‍යස්ථ මතධාරියෙක් වූ ඩී.එස්. සේනානායක මහතා පත්විය. ද්‍රවිඩ කොන්ග්‍රසයේ නායක ජී.ජී. පොන්නම්බලම් මහතාගේ සහයෝගයද ඔහුට හිමි විය. ජී.ජී. පොන්නම්බලම් මහතා කර්මාන්ත ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. එදා පැවැති දේශපාලනය තුළ සාකච්ඡාවෙන් හා අවබෝධයෙන් බොහෝ කරුණු විසඳාගැනීමට හැකියාව තිබුණි. සේනානායක මහතාගේ මධ්‍යස්ථභාවය පිළිබඳ පොන්නම්බලම් මහතාට ද විශ්වාසයක් තිබුණි.1948 පෙබරවාරි 04 දින නිදහස් දිනයේදී ලංකාවේ ජාතික කොඩිය ලෙස සිංහ කොඩිය එසවීය. එහෙත් සිංහ කොඩිය පිළිබඳ අනෙකුත් ජාතීන් තුළ සතුටක් තිබුණේ නැත. ඔවුන්ගේ අදහස වූවේ සිංහ කොඩිය තුලින් පිළිඹිඹු වන්නේ සිංහල ජාතියේ අනන්‍යයතාවය පමණක් බවයි. මෙයට විරෝධය පෑමක් වශයෙන් ද්‍රවිඩ කොංග්‍රසය මෙය ප්‍රතික්‍ෂේප කළේය. චෙල්වනායගම් මහතා තමන්ගේ වාහනයේ සංගලියන් රජ සමයේ භාවිතා කළ වෘෂභ ලකුණ සහිත කොඩියක් සවි කළේය. පසුව සිංහ කොඩියට සුළුජන කොටස් නියෝජනය කිරීම සඳහා වර්ණ දෙකකින් යුතු පටි දෙකක් ඇතුලත් කළේය. එහෙත් ජතික කොඩිය පිළිබඳ විවිධ මතවාද සුළුජන කණ්ඩායම් තුල පැවතුනි. අදටත් එය එසේම පවතී.
1948 දෙසැම්බර් 10 රටවැසි පනත
1948 ට පෙර ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල්වල ජීවත් වූ ජනයා බි්‍රතාන්‍ය කිරීටයට අයත් පුරවැසියන් විය. එබැවින් නිදහස ලබාගැනීමෙන් පසුව පුරවැසිභාවය පිළිබඳ අර්ථ කථනයක් දීමට ශ්‍රී ලංකා රජයට සිදුවී තිබුණි. මේ වන විට කඳුකරයේ ද්‍රවිඩ කම්කරුවන් ඉන්දියාව සමඟ ඉතා සමීප සබඳතාවයක් පවත්වාගෙන ගිය නිසාද, ඔවුන් ඉන්දියාවට විටින් විට ගොස් පැමිණි නිසාද, ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ජනතාවගේ පුරවැසිභාවය සමාලෝචනයවන ආකාරයේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. මෙයට බලපෑ ප්‍රබල හේතුවක් වූයේ මොවුන් වාමාංශික දේශපාලනයට සම්බන්ධවී සිටීමයි. මෙම පනතට ඡන්ද විමසන අවස්ථාවේදී ජී.ජී. පොන්නම්බලම් මහතා සහ එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. කෙසේ වුවද ස්වාධීන දෙමළ මන්ත්‍රීවරු කීප දෙනෙකු මෙම පනතට පක්‍ෂව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයකි. මෙම පනත නිසා ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා රජය විසින් 1949 දී ඉන්දු-පකිස්ථානු පුරවැසි පනත ඉදිරිපත් කරන ලදි. මෙම පනත ජී.ජී. පොන්නම්බලම් මහතා විසින් රාජ්‍ය සභාවට ඉදිරිපත් කළේය. මෙහි අන්තර්ගතවූ කරුණු කීපයක් පහත සඳහන්වෙයි.■ තමන් ඉන්දියන් ජාතිකයෙක් බව ඔප්පු කළ යුතුය.
■ 1946 ජනවාරි පළමුවැනිදාට පෙර (විවාහකයෙක්නම්) ලංකාවේ වසර 11 ක් පදිංචි වී සිටිය යුතුය. අවිවාහකයෙක් නම් වසර 14 ක් පදිංචි වී සිටිය යුතුය.
■ තවද තමන්ට හා තම පවුලේ අයට මේ රටේ ජීවත්වීමට ආදායම් තිබෙන බව ඔප්පු කළ යුතුයි.
මෙහි සඳහන් කොන්දේසි අනුව රටවැසිභාවය ලබාගැනීමට දෙමළ ජනතාවට තරමක් අසීරුවිය. එයට අවශ්‍ය ලියවිලි සකස්කර ගැනීම සහ ඒ වන විට කඳුකරයේ දෙමළ ජනතාවගේ අඩු අධ්‍යාපන මට්ටමද මෙයට ප්‍රබල ලෙස බලපෑවේය. ලංකා කම්කරු කොන්ග්‍රසය මෙයට විරෝධය පෑමක් වශයෙන් කිසිදු අයෙක් රටවැසිභාවය සඳහා ඉල්ලුම් නොකල යුතු යැයි පැවසීය. ඒ සඳහා විරෝධතාවයන් දියත් කළහ. ලංකා ද්‍රවිඩ සංගමයේ ඒස්.ජේ.වී. චෙල්වනායගම් මහතාද මෙම පනතට විරුද්ධව තම ඡන්දය පාවිචිචි කළේය. මෙම පනත නිසා අවසානයේ සිදුවූයේ රටක් අහිමි, ජන්දය බලය අහිමි කල්ලතෝනීන් පිරිසක් රටට දායකවීම පමණි.
තවද නැගෙනහිර ප්‍රදේශයේ රජයේ ඉඩම්වල සිංහල ජනතාව පදිංචි කරවීමට රජය ගත් තීරණ නිසාද දෙමළ ජනතාව සේනානායක ආණ්ඩුව කෙරෙහි කලකිරීමට පත්විය. ‘ඩොලර්ෆාම්’ ‘කෙන්ට්ෆාම්’ වැනි ජනපද ද මාදුරු ඔය ව්‍යාපාරය සමග ඇති කළ ජනපද ද ත්‍රිකුණාමලය සිංහල ජනපද බිහිවීම නිසාද දෙමළ දේශපාලඥයන් රජයට චෝදනා එල්ල කළහ.
1949 සමස්ත ලංකා ෆෙඩරල් පක්‍ෂය බිහිවීම
පුරවැසි පනත නිසා ඇතිවූ මතභේද සහ ජාතික කොඩිය ඇතුළුවෙනත් කාරණා මුල් කරගනිමින් ලංකා ද්‍රවිඩ සංගමයෙන් ඉවත්වූ චෙල්වනායගම් මහතා ඇතුළු කණ්ඩායම 1949 දෙසැම්බර් 18 දින කොළඹ රජයේ ලිපිකරු සංගම් ශාලාවේදී සමස්ත ලංකා ෆෙඩරල් පක්‍ෂය ආරම්භ කළහ. මෙහි මුඛ්‍ය අරමුණ වූයේ උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ සඳහා ෆෙඩරල් පාලනයක් ඇති කිරීමයි. ෆෙඩරල් පක්‍ෂයේ ආර්ථික දර්ශනය වූයේ සමාජවාදී ආර්ථික න්‍යායයි.
1952 පැවැති මැතිවරණයේදී ෆෙඩරල් පක්‍ෂය තම මැතිවරණ ප්‍රකාශනයෙන් කියා සිටියේ “තම පක්‍ෂය පෙනී සිටින්නේ දෙමළ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි ෆෙඩරල් ආණ්ඩුවක් දිනා ගැනීම සඳහා” බවයි. මෙම මැතිවරණයේදී චෙල්වනායගම් මහතා චාවාකච්චේරිය ආසනයට තරඟ කළ අතර එහිදීි එම ආසනයෙන් ඉදිරිපත්වූ එ.ජා.ප. අපේක්‍ෂකයාට පරාද විය. එයින් පෙනී යන්නේ දෙමළ ජනතාව ඒ වන විටත් බෙදී ජීවත්වීමට අකමැතිවූ බවය. කෙසේ නමුත් 1956 මැතිවරණයේදී ෆෙඩරල් පක්‍ෂය ලැබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 10 කි. තවද 1960 මාර්තු මැතිවරණයේදී ඔවුහු ආසන 15 ක් දිනා ගැනීමට සමත්වූහ. මෙයින් පෙනී යන්නේ 1952 දී ෆෙඩරල් පක්‍ෂයේ හඬට ඇහුන්කම් නුදුන් දෙමළ ජනතාව 1956 දීත් 1960 දීත් එම පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුමත කර ඇති බවයි.

1955 රාජ්‍ය භාෂා අර්බුදය
1955 ඔක්තෝබර් 19 දා රුවන්වැල්ල මන්ත්‍රී එන්.එම්. පෙරේරා මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කරන ලදි.
“සිංහල සහ දෙමළ භාෂා එක සමාන රාජ්‍ය භාෂා වශයෙන් පිළිගැනීමට හැකි වන අයුරු රාජ සභා ආඥාව (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) වහා සංශෝධනය කළ යුතු බව මෙම සභාව යෝජනා කරයි.” මෙම යෝජනාව සඳහා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පහත සඳහන් සංශෝධනය ඉදිරිපත් කළේය. “සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගැනීමට හැකි වන අයුරු රාජ සභා ආඥාව (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) වහා සංශෝධනය කළ යුතු බව මෙම සභාවේ මතයයි.” මේ සම්බන්ධ විවාදය දවස මුළුල්ලේම පැවැතුණ අතර සැසි වාරය අවසන් වූයෙන් එය න්‍යාය පුස්තකයෙන් ඉවත් විය.
එහෙත් භාෂා ප්‍රශ්නය මුල් කර ගනිමින් දෙමළ මන්ත්‍රීවරු වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින ලදි. 1956 ජනවාරි 20 දින කොළඹදී දෙමළ නියෝජිතයින්ගේ සමුළුවක් පැවැත්වුණි. සමුළුව අවසානයේදී භාෂා ප්‍රශ්නය පදනම්කර ගනිමින් වෙනම රාජ්‍යයක් සඳහා දිගටම අරගල කිරීමට ඔවුහු එකඟ වූහ. දෙමළ ජනතාවගේ වෙනම රාජ්‍ය සංකල්පය ආරම්භ වන්නේ 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිපලයක් වශයෙනි. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටුමේ ප්‍රධාන සංධිස්ථානය වී තිබෙන්නේ භාෂා ප්‍රශ්නය බවයි. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය නියෝජනය කළ බහුතරයක අදහස වූයේද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ යුතුය යන්නයි.
1956 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාලනය සහ රාජ්‍ය භාෂා පනත
1956 දී බණ්ඩාරනායක මහතා විසින් පැය 24ක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට දුන් පොරොන්දුවත් අධිරාජ්‍යවාදීන් විසින් ගොඩනඟා තිබූ පෞද්ගලික පාලනයේ පැවැති ව්‍යාපාර ජනසතු කරන බවට දුන් පොරොන්දුවත් නිසා පාලක එක්සත් ජාතික පක්‍ෂය පරාදවී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පැමිණෙයි. ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රතිපත්තිය වූයේ මැද මාවතයි. ලිබරල්වාදය සහ සමාජවාදය අතරින් ගමන් කරන මාවත මැද මාවත යැයි ඔවුහු පැවසූහ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ශ්‍රී.ල.නි.පය වටා ඒකරාශී කර ගැනීමට බණ්ඩාරනායක මහතා සමත්විය. ඩඩ්ලි සේනානායක මහතාගේ ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට වඩා බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සිංහල ජනතාවට වඩාත් ආකර්ශනීය විය.සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සඳහා රාජ්‍ය සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කරන ලද පනත නිසා සමස්ථ දෙමළ දේශපාලනය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. ෆෙඩරල් පක්‍ෂය භාෂා පනතට විරෝධය පෑමක් වශයෙන් පාර්ලිමේන්තුව ඉදිරිපිට පියගැට පෙලේ අවිහිංසාවාදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. පසුව එය ගාලු මුව දොර පිටිය දක්වා ව්‍යාප්ත වූ අතර මුල් වරට ස්වදේශික ආණ්ඩුවක් විසින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මැර කණ්ඩායම් යොදවා සත්‍යග්‍රහය කඩාකප්පල් කරන ලදි. තුවාල ලැබූ ඒ. අමිර්තලිංගම් මහතා රාජ්‍ය සභා (පාර්ලිමේන්තු) ගර්භයට පැමිණියේ ලේ තැවරුන ඇඳුම් සහිතවය. තවත් දෙමළ මන්ත්‍රීවරු කීප දෙනෙකුම රෝහල් ගත කරන ලදි.
ලංකා සම සමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂය මෙම පනතට විරුද්ධව කරුණු ඉදිරි පත් කළහ. මෙහිදී කොල්වින් ආර් ද සිල්වා ප්‍රකාශ කලේ “එක් භාෂාවක් නම් රටවල් දෙකයි, භාෂා දෙකක් නම් එක් රටයි” යනුවෙනි. කෙසේ වුවද දෙමළ ජනතාවගේ දැඩි විරෝධතා මැද්දේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූයේ සිංහල බෞද්ධ ජනතාවගේ ආශීර්වාදය සහ ප්‍රීති ඝෝෂා මැද්දේය. මෙම පනතට විරෝධය පෑම සඳහා දෙමළ ජාතීන් බහුලව ජීවත්වන ප්‍රදේශවල විරෝධතාවන් ඇතිවූ අතර රජය විසින් ඒවා ආරක්‍ෂක අංශ යොදවා මර්දනය කරන ලදි.
1957 ශ්‍රී විරෝධය
සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් මෝටර් රථවල ලියාපදිංචි අංකය සඳහා “ශ්‍රී” අක්‍ෂරය යෙදීමට විරුද්ධව දෙමළ පක්‍ෂ විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. මීට ප්‍රථම රථ වාහන සඳහා අංක සැකසූවේ ඉංග්‍රීසි අක්‍ෂර යොදාගෙනය. යාපනයේ ශ්‍රී අක්‍ෂරය සහිත බස් රථවල තාර ගෑම සහ දෙමළ අක්‍ෂර යෙදීම වැනි විරෝධතාවයන් ප්‍රබල ලෙස මතුවී අවේය. ඔවුහු සිංහල භාෂාවෙන් සඳහන් නාම පුවරුවල තාර ගෑ අතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල කළු කොඩි ඔසවා විරෝධය පෑහ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මෙයට විරෝධය පෑමට කළු කොඩියක් දැමීමට කණුවකට නැගි දෙමළ තරුණයෙක් සිංහල පිරිසක් විසින් වෙඩිතබා මරා දමන ලදි. මෙවැනි සිද්ධීන් දිනපතාම වර්ධනය වෙමින් පැවතුන අතර එමගින් සිංහල දෙමළ ජනතාවගේ සහජීවනයටද මරු පහරක් එල්ල වූ අතර දෙමළ ජනතාවගේ උද්ඝෝෂණද වර්ධනය විය. (මතුසම්බන්ධයි)










0 Comments