1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම
මෙම ගිවිසුම අනුව,
උතුරු-නැගෙනහිර ප්‍රදේශවල රජයේ අනුග්‍රහය ඇතිව සිදුවන සිංහල ජනපදකරණය වහාම නැවැත්වීමට රජය එකඟවෙයි.
සුළු ජාතීන්ගේ භාෂාවක් වන දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනෙයි.
දෙමළ භාෂාව උතුරු නැගෙනහිර පරිපාලන භාෂාවක් ලෙස පිළිගැනෙයි.
රටේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වන දෙමළ පුද්ගලයෙකුට රජය සමග දෙමළ භාෂාවෙන්ම රාජකාරී කළ හැකි අතර තම දරුවන්ට දෙමළ භාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදී දෙමළ සංස්කෘතියට අනුකූලව හදාවඩා ගැනීම සඳහා ඔවුන්ට ඇති අයිතිය සුරක්‍ෂිත කරයි.
රට සභා ක්‍රමය තුලින් ප්‍රදේශීය පාලනය ශක්තිමත්වී බොහෝදුරට එම ප්‍රදේශයේ ජනතාවට තම ප්‍රදේශ පාලනය කිරීමේ අවස්ථාව හිමිවෙයි.
මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ෆෙඩරල් පක්‍ෂයේ රැස්වීමක් කැඳවූ අතර එහිදී චෙල්වනායගම් මහතා විසින් ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ කරුණු සභාවට ඉදිරිපත්කරන ලදි. එහිදී ෆෙඩරල් පක්‍ෂයේ නායකයෝ දැනට මෙම එකඟතා පිළිගන්නා බවත් එහෙත් මෙය අවසන් විසඳුම හැටියට භාර ගැනීමට සූදානම් නැති බවත් තීරණය කළහ. එහිදී ඔවුහු පැවසුවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවිය හැක්කේ ෆෙඩරල් විසඳුමක් තුළින් පමණක් බවයි.
ගිවිසුම අත්සන් කර මාස 8 ක් ගතවුනත් මෙය සාධණීය ලෙස ක්‍රියාවට නැංවීමට රජය අපොහොසත් විය. බණ්ඩාරනායක මහතා බලයට ගෙනා පංච මහා බලවේගයම ඔහුගේ සතුරන් ලෙස ඔහු පසුපස හඹා ආවේය. රට පුරා විවිධ විරෝධතාවයන් ගොඩනැගුණි. බණ්ඩාරනායක මහතා බලයෙන් පහ කිරීම සඳහා සුදුසුම අවස්ථාව මෙය බව තේරුම්ගත් එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරිකයෙක්වූ ජේ.ආර්. ජයවර්ධන මහතාද බොර දියේ මාළු බෑම සඳහා කොළඹ සිට මහනුවර දක්වා පා ගමනක යෙදුනේය. මේ සඳහා විශාල ජනකායක් සහභාගිවූ අතර එය ඉඹුල්ගොඩදී කඩාකප්පල් කිරීමට රජය නියෝජනය කළ මන්ත්‍රීවරු සමත්විය. කෙසේ වුවත් මෙම විරෝධතාවයන් දිගින් දිගටම වර්ධනය වීම නිසා බණ්ඩාරනායක රජය දැඩි අපහසුතාවයන් රැසකට මුහුණපෑවේය.
1958 සිංහල-දෙමළ කෝලාහලය
පවතින තත්ත්වයට විසඳුමක් ලෙස බණ්ඩාරනායක මහතා විසින් “දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත” රාජ්‍ය සභාවට ඉදිරිපත් කරන ලදි. සිංහල සමාජය තුළින් මේ සම්බන්‍ධයෙන් දැඩි විරෝධතාවයක් ඔහුට එල්ල විය. තවද බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ඉරා දමන ලෙස බණ්ඩාරනායක මහතාට බල කරමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල ජනතාවක් රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක මහතාගේ නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක් ඇරඹීය. එහිදී බණ්ඩාරනායක මහතා ඔවුන් ඉදිරියට පැමිණ ගිවිසුම ඉරාදැමූ අතර එදින රාත්‍රී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අවසන් කළ බව රජය නිවේදනය කළේය. ද්විපාර්ශිකව ඇති කර ගත් ගිවිසුමක් ඒකපාර්ශවීයව අවලංගු කිරීම නිසා ෆෙඩරල් පක්‍ෂයේ නායකයෝ බොහෝ සේ කළකිරීමට පත්වූහ.මෙයින් සතුටට පත් සිංහල ජනතාව රටේ සිංහල ප්‍රදේශවල තැනින් තැන තිබූ නාම පුවරුවල දෙමළ අක්‍ෂර මකා දැමීමටත් ඒවායේ තාර ගෑමටත් පෙළඹුණි. මේ සඳහා රජයේ දේශපාලඥයින්ගේ සහයෝගයද ලැබුන බව ප්‍රකටය. කඳුකරයේ දෙමළ කම්කරුවන් මෙයට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන ලදි. එම උද්ඝෝෂණවලදී ෆ්‍රැන්සිස් සහ අයියාර් වූ නම් දෙමළ කම්කරුවන් දෙදෙනෙක් පොලිස් වෙඩි පහරින් මිය ගියහ. මොවුන්ගේ ඝාතනයට සංවේගය පළ කිරීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක් දියත් කෙරිණ. මෙවැනි පරිසරයක් තුළදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැති කලබලකාරී තත්ත්වය අඛණ්ඩකාරීව පැවැතුණ අතර ශ්‍රී විරෝධයද අඛංඩවම ඉදිරියට යමින් තිබුණි. පැවැති ගැටුම්කාරී තත්ත්වය නිසා රටේ විවිධ ප්‍රදේශවල ජීවත්වූ දෙමළ ජනයා තම ආරක්‍ෂාව පතා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගියහ. දෙමළ ප්‍රදේශවල ජීවත්වූ සිංහල ජනතාවද දෙමළ ජනතාවගේ ප්‍රහාරයන්ට නිරතුරුවම ලක්වූහ. මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් දෙමළ ජනතාවගේ දේපල හා ජීවිත විශාල වශයෙන් විනාශ වූවාට පසු රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ අතර යුද හමුදාව යොදවා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළේය. මේ හේතූන් මුල්කර ගනිමින් රජය විසින් ෆෙඩරල් පක්‍ෂයේ නායකයෝ පිරිසක් මාස ගණනක් තිස්සේ නිවාස අඩස්සියේ තැබූ අතර ෆෙඩරල් පක්‍ෂයද තහනමට ලක්විය.
රට තුළ අරාජික තත්ත්වයක් නිර්මාණය වූ අතර සංඝයා වහන්සේලා ඇතුළු සිංහල සමාජයට බණ්ඩාරනායක මහතා විසින් ලබාදුන් දේශපාලන පොරොන්දු සහ අපේක්‍ෂාවන් බිඳවැටෙන්නේ යැයි සමහරුන් කල්පනා කරන්නට විය. 1959 වසරේදී බණ්ඩාරනායක මහතා තල්දූවේ සෝමාරාම නම් භික්ෂූවකගේ වෙඩි පහරින් මිය ගියේ මෙවැනි පරිසරයක් තුළය. මේ සමගම රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය නිසා රටේ විවිධ ප්‍රදේශවල ගැටුම් ඇතිවූ අතර මැතිවරණයක පෙරමග ලකුණුද පහළ වෙමින් තිබුණි.
1960 පාර්ලිමේන්තු මැතිවරණය
1960 දී රටේ පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් පැවැතුණි. 60 මාර් තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගන්නා ලදි. එජාපය ශ්‍රීලනිපයට වඩා ආසන 4ක් වැඩියෙන් දිනා සිටියේය. ෆෙඩරල් පක්‍ෂය මැතිවරණ කොට්ඨාශ 19කට ඉදිරිපත්වී ආසන 15 ක් දිනා ගත්තේය. මීට අමතරව ෆෙඩරල් පක්‍ෂයේ සහයෝගය ඇතිව නින්දවූර් සහ පොතුවිල් යන මැතිවරණ කොට්ඨාශවල ස්වාධීන අපේක්‍ෂකයන් දෙදෙනෙක් තේරී පත්විය. කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ෆෙඩරල් පක්‍ෂය එජාපයට සහයෝගය ලබාදීමට එකඟවූ නමුත් එජාපය එම කොන්දේසි සඳහා එකඟ නොවීය. එම කොන්දේසි පහත සඳහන් වෙයි.
දෙමළ කථා කරන ජනතාවගේ ස්වතන්ත්‍රභාවය පිළිගන්නාවූ ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, වර්තමාන ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ක්‍රියාත්මක කිරීම.
රටේ නිල රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාව සමග සමතැන් ලැබෙන පරිදි දෙමළ භාෂාවට නිසිතැන ලබාදීම.
ලංකාවේ පදිංචිව සිටින ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ වැසියන්ගේ පුරවැසි අයිතිවාසිකම් ලබාදීම.
පාරම්පරික දෙමළ ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචිකරවමින් ගෙනයන සැලසුම් සහගත ජනපද ව්‍යාපාරය නතර කිරීම.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ෆෙඩරල් පක්‍ෂයේ යෝජනා පිළිගන්නා ලද අතර එජාප ආණ්ඩුවේ රාජාසන කථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ෆෙඩරල් පක්‍ෂය එක්ව විරුද්ධව ඡන්දය පාවිච්චි කරමින් කුළුඳුල් එජාප ආණ්ඩුව පෙරළා දැමීය. මේ හේතුව නිසා 1960 ජූනි මාසයේදී තවත් මැතිවරණයක් පැවැතුණි. එහිදී ශ්‍රීලනිපය ෆෙඩරල් පක්‍ෂයේද සහයෝගය ඇතිව බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබූ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය ලෙස තේරී පත්විය. ඇය ලෝකයේ පළමුවන කාන්තා අගමැතිනිය ලෙස වාර්තාවක්ද තැබුවාය. කෙසේ නමුත් ශ්‍රීලනිප ආණ්ඩුව ෆෙඩරල් පක්‍ෂය සමග ඇති කර ගත් එකඟතාවයන් කිසිවක් සැලකිල්ලට නොගෙන රට පාලනය කළේය. මේ හේතුව නිසා ෆෙඩරල් පක්‍ෂ නායකයෝ මැතිනියගේ ආණ්ඩුව පිළිබද දැඩි ලෙස කම්පාවට පත්වූහ.
ආණ්ඩුව විසින් රටපුරා පැවති අධිකරණවල සහ රජයේ රාජකාරි කටයුතු කිරීමේ පිළිගත් භාෂාව ලෙස සිංහල භාෂාව නීතිගත කිරීමේ අණපනත් ගෙන ආවේය. තවද රටපුරා ඇති පෞද්ගලික පාසල් සියල්ල රජයට පවරා ගනිමින් අධ්‍යාපනයද සිංහලකරණයට ලක් කිරීමේ උත්සාහයක නිරත විය. නැවතත් ආණ්ඩුව තම පොරොන්දු කඩ කළ නිසා 1961 අප්‍රෙල් 15 දා සිට උතුරු නැගෙනහිර පුරා පාලන තන්ත්‍රයට සහය නොදීමේ සිවිල් නීති කඩ කිරීමේ ව්‍යපාරයක් දියත් කිරීමට ෆෙඩරල් පක්‍ෂය තීන්දු කළේය. අප්‍රේල් 17 දින රජය විසින් හදිසි නීතිය පනවා මෙම විරෝධතා මර්දනය කිරීමට කටයුතු කළේය. (මතුසම්බන්ධයි)
0 Comments