ලංකා යෝනකවරුන්ට ප්‍රෞඪ ඉතිහාසයක් තිබේ.
(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය - 1949 ඔක්තෝබර් 23)
“අද දින ලංකා ඩොමීනියන් රාජ්‍යය පුරාම ලංකා යෝනක ජාතිකයෝ ඔවුන්ගේ ජාතික දිනය සමරති. මුල් පදිංචි කරුවන් අරාබියෙන් පැමිණි නමුදු සමස්ත ලංකා යෝනක සංගමය වෙනම අනන්‍යතාවකට සහ නාමයකට හිමිකම් කියති.
ලංකා යෝනකවරුන්ගේ මුලාරම්භය ශත වර්ෂ ගණනාවක් ඈතට විහිදේ. අබ්දල් මලික් බින් මර්වාන් කාලිෆ්වරයාගේ වධ හිංසා වලින් බේරීම සඳහා ඇතැම් අරාබි ජාතිකයෝ ලංකාවට (සෙරන්ඩිබ්) පැමිණ ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, පුත්තලම, කොළඹ, බේරුවල සහ ගාල්ල යන ප්‍රදේශ වල පදිංචි වුහ. සිංහල මිනිසුන් අතර ප්‍රසිද්ධව තිබුණේ මකල්ල වරාය වූ හෙයින් මේ අලුත් මිනිසුන් “මරක්කල” යන නමින් ඔවුහු හැඳින් වූහ. ද්‍රවිඩයින් ඔවුන් හැඳින්වුයේ “චෝනහර්” යන නමිනි.
හිජ්රි වර්ෂ (හිජ්රි වර්ෂය ආරම්භ වන්නේ මුහම්මද් ධර්ම දුතයානන් ගේ උපන් බිම වූ මක්කාහ් ප්‍රදේශයේ ජීවත් වූ ඉස්ලාම් විරෝධී කුරෛෂ් ගෝත්‍රිකයින් එතුමාණන් ව මරා දැමීමට සුදානම් වීමත් සමග දෙවිඳුන්ගේ උපදෙස් පරිදි මදීනා නගරයට දෙශාන්තරණය කළ දිනය පදනම් කරගෙනය. ඉස්ලාමීය දින දර්ශනයේ ආරම්භය මෙයත් සමග සිදු වේ. හිජ්රි යනු දෙශාන්තරණය යන අරුත් ඇති අරාබි පදයකි.) 402 දී අරාබියේ සිට තවත් පිරිසක් මෙහි පැමිණියහ. යෝනක මිනිසුන්ට ලංකාවේ රජුගෙන් හිරිහැරයක් නොවූ හෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බේරුවල වාස භුමිය කොට ගත්හ.
ඔවුන්ගේ ප්‍රගතියට කිසිවකුගෙන් හෝ බාධාවක් නොවීය. කොළඹ සිට හම්බන්තොට දක්වා වෙළඳාමේ ඔවුන් නිරත වූ අතර, සිංහල රජවරුන්ට ඔවුන් ගෙවූ බදු නිසා ක්‍රි. ව. 1350 වන විට ඔවුහු එක්තරා බලපෑමක් ඇති කළ හැකි පිරිසක් වුහ.
ඉතිහාසයට අනුව යෝනකවරුන්ගේ විශාලතම ආගමනය සිදු වුයේ පළමු වන බුවනෙකබාහු රාජ්‍ය කාලයේ අට වන වර්ෂයේදීය. අලුතින් පැමිණි මේ අමුත්තන්ට පුත්තලමේ සිට බේරුවල දක්වා සමුද්‍ර තීරයේ ගම්මාන වල පදිංචි වීමට සහ සිංහල කුල කාන්තාවන් සමඟ විවාහ වීමට පළමු වන බුවනෙකබාහු රජු අවසර දුන්නේය. මුලින් ම ලංකාවට පැමිණි යෝනක ජාතිකයින්ගෙන් පැවතෙන්නන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ගියේය. ඔවුන් පසු කලෙකදී වූවද අරාබි ස්ත්‍රීන් මෙහි ගෙන්වා ගත් බවට වාර්තා නොමැත. සිංහල මව් පාර්ශවයෙන් පැවත එන්නන් ලෙසට ඔවුන්ට ඓතිහාසික පසුබිමක් ඇති බවට හිමිකම් කිව හැකිය.
ලංකාවේ යෝනක නායකයන්ට බොහෝ විට “හිමි” යන පටබැඳි නාමය තිබුණි. මීට හේතුව පුරාණ හිමියාර් හෝ යේමන අරාබි රාජධානිය සමග ඔවුන්ගේ තිබුණු සම්බන්ධතා විය හැකිය. මේ අනුව, වස්තු හිමි නමැති සිංහල යෝනක කුමරු කුරුණෑගල රාජධානිය කොට ගෙන දෙවන බුවනෙකබාහු නමින් ලංකාවේ රජ කළ බව පෙනේ.
යෝනක රජු
වස්තු හිමි කුමාරයා වූ කලී පළමු වන බුවනෙකබාහු රජුගේ දෙවන බිසව වූ, කුරුණෑගල ට ආසන්න මැදකැටිය ගමේ විසු කුලීන යෝනක කාන්තාවක් වූ යකඩ දෝලිය බිසවගේ පුත්‍රයා බව කුරුණැගල පුරාවෘතයන්හි සඳහන් වේ. මේ කුමාරයා මුස්ලිම් භක්තිකයෙකු වූ නමුත් පුණ්‍ය කටයුතු කිරීමෙන් පින් දහම් රැස් කිරීමට ආශා කළ රජෙකු බවත් බෞද්ධ භික්ෂුණ් දහස් ගණනකට දිනපතා දානය පිරිනැමීමට ඔහු විසින් කටයුතු සැලසු බවත් මහාවංශයේ සඳහන් වේ. “තමා ඔටුනු පලන් දින උත්සවය රජෙකුට ඔබින ඉතා අනර්ඝ තත්වයෙන් වර්ෂයක් පාසා ඔහු විසින් පවත්වන ලද අතර ඉන් පසු උපසම්පදා මංගල්‍යයක් ඉතා උත්සවශ්‍රීයෙන් පවත්වා බුදු දහමට ප්‍රධාන තැනක් ලබා දුන්නේය” යි මහාවංශය කියයි.
රාජකීය කුමාරිකාවකට (රන්දෝලිය බිසව) උපන් කුමරෙකුට, එනම්, වස්තු හිමි කුමාරයාගේ අර්ධ සොහොයුරෙකුට පක්ෂපාත වූ සිංහල අමාත්‍යවරුන් පිරිසක්, වස්තු හිමි කුමාරයාගේ රාජ්‍ය කාලයේ දෙවන වර්ෂයේදී, දැනට කුරුණෑගල කච්චේරිය පිහිටි ස්ථානයට පිටු පසින් පිහිටි ඇතුගල මුදුනේ පැවැත් වූ උත්සවයකට සහභාගී වන ලෙස රජුට ආරාධනා කොට ඔහු එකී ගල මුදුනෙන් පහළට පෙරළා ඔහුගේ මරණය සිදු කළහ. ඔහුගේ මරණය සිදු වූ ස්ථානයේ ගලේ බණ්ඩාර දේවාලය ඉදිකොට තිබේ. කුරුණෑගල විසු එෆ්. එම්. මොඩර් මෙසේ ලියා තිබේ. “මේ අවාසනාවන්ත සිද්ධිය සිදු වූ ගල් පර්වතය අසල ප්‍රදේශයේ ඇතැම් දින වල මැදියම් රැයේදී දුඹුරු පැහැති අශ්වයෙකු පිට නැගී ගත් සුදු ඇඳ ගත් පුරුෂයෙකුගේ අවතාරය දිස්වන බව අද දක්වාම මිනිස්සු විශ්වාස කරති. මේ වූ කලී වස්තු හිමි කුමරුගේ අවතාර යයි කියනු ලැබේ.
1470 - 71 දී හට ගත් සිංහල කැරැල්ලේදී දෙවන බුවනෙකබාහු රජුට විරුද්ධව නැගී සිටි කැරලි නායක සිරිවර්ධන පතිරාජට කුරුගම-හිමි නමැති බලසම්පන්න යෝනක ප්‍රධානියා විසින් උදව් කරන ලදී. කළු ගඟේ සිට වලවේ ගඟ දක්වා ද වැලිගම සිට කෝට්ටේ අසල ප්‍රදේශය දක්වාද සිරිවර්ධනගේ හමුදා ප්‍රබලව සිටියහ. රජුගේ බාල සොහොයුරා විශාල හමුදාවක් රැගෙන වැලිගමට ගොස් කුරුගම-හිමිගේ පිටු පසින් පහර දුන් නමුත් අවසානයේදී සමගි සම්මුතියකට පැමිණ යුද්ධය සමාදාන වීමට රජුට සිදු විය. වැලිගම අද දක්වාත් වැදගත් යෝනක පිරිස වසන නගරයක්ව පවතී.
පෘතුගීසීන් විසින් ලංකාව සොයා ගන්නා ලද්දේ ද යෝනකවරුන් නිසාය. ලංකාවෙන් රැගෙන ගිය වටිනා කුළුබඩු රැගත් නැව් පසු පස පෘතුගීසීන් එළවා ගෙන යාමේදී කුණාටුවකට අසු වූ පෘතුගීසී නැව් ලංකාවේ වෙරළට ගසා ගෙන ආවේය. පසු කලෙක ලංකාව යටත් කොට එහි පාලනය ගැනීමට පෘතුගීසීන් පැමිණි විට ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට යෝනක ජාතිකයෝ දෙවන විජයබාහු රජුට සහයෝගය දුන්හ. කෝට්ටේ රාජධානියට පිටතින් ආරක්ෂක පවුරක් ඉදිකළ යෝනකයින් පෘතුගීසීන්ගේ ඉදිරි ගමන වැළැක් වීම සඳහා කාලතුවක්කු කීහිපයක් එහි සවි කළහ. පෘතුගීසීන්ට ජය අත් වූ පසු ඔවුන් හැකි තරම් විශාල වශයෙන් යෝනක ජාතිකයින් මරා දැමුහ. මේ ඝාතනයට අසු නොවී පලා ගිය සියලුම යෝනක වරුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු විසින් පිළිගන්නා ලද අතර ඔවුනතුරින් ආරෝහ පරිනාහ අය මඩකලපුවේ යුද්ධ හමුදාවට බඳවා ගන්නා ලදී”. (මතුසම්බන්ධයි)
(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය - 1949 ඔක්තෝබර් 23)






0 Comments