SRI LANKA


 

ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්-2.

ඔටු බලකාය
හෙන්රි කොරයා.

(ද සන්ඩේ ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය - 1965 අගෝස්තු 8)

“රණ ශුරයන් වූ ලංකා යෝනකවරු සිංහල යුද්ධ හමුදාවේ කොටසක් වුහ. ඔවුන්ගේ ඔටු බලකාය (ඔටු පැන්නිය) 17 වන ශත වර්ෂයේදී වැල්ලවාය සටනේදී ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. වැල්ලවායේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සිහි කිරීමක් වශයෙන් මේ ඔටු බලකායට ගෞරව කරමින් දෙවන රාජසිංහ රජු (ක්‍රි. වර්ෂ 1634 – 1684) විසින් හඟුරන්කෙත මහා දේවාලයට පුජා කරන ලද රාජකීය ප්‍රතිඥාත දේව අංගම් රෙද්දෙහි මේ බලකාය සිතුවම් කරන ලදී. මන්නාරමෙහි බෝබ් ගස් දෙකක් තවමත් තිබීම මෙහිලා සැලකිය යුතු කරුණකි. මේ ගස් වල කොළ ඔටුවන්ගේ ආහාරය පිණිස ගනු ලැබීය. මේ ගස් දෙකින් එකක් මන්නාරම් නගරය මැද ඇති අතර අනෙක පිහිටා ඇත්තේ මන්නාරමෙන් සැතපුම් දහයක් ඈත යාපනය පාරේ පපාමොටෙයි ගමෙහිය. මන්නාරම් දිස්ත්‍රික්කයේ මුරුක්කන් සහ සලවතුරෙයි (සිලාවතුර) හරහා යාමෙන් ළඟා විය හැකි අරිප්පු නමැති ස්ථානයේ මුහුදට මුහුණ ලා පිහිටි අත හැර දැමු යෝනක ජල ස්ථම්භයක් දැනුදු දක්නට ඇත.

ලන්දේසි අද්මිරාල් ජෝරිස්‌ වෑන් ස්පිල්බර්ජන් මඩකලපුවට ගොඩ බට බව සැල වූ විට දෙවන විමලධර්මසුරිය රජු මහත් සේ සතුටට පත් ව මේ විශේෂ අමුත්තන් පිළිගැනීම සඳහා තුර්කි, යෝනක හා සිංහල වැනි නානා ජාතීන්ගෙන් සමන්චිත බල ඇණි අටකින් සමන්විත වූ දහසක් පමණ යුද්ධ සේනාවක් මඩකලපුවට යැවූ බව වුටර් ස්කෝටන් විසින් ලියා තිබේ.

එක්තරා ලුණු ප්‍රමාණයක් වර්ෂයක් පාසා ලුණු බද්දේ දිසාවට ගෙනවුත් භාර දීමටත් පුවක්  වෙළඳාමෙන් ලැබෙන ලාභයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමටත් යටත් ව මුහුදු බඩ පළාත් සමඟ වෙළඳාම් කිරීමේ තනි අයිතිය කන්ද උඩ රට රජ වරුන් විසින් යෝනක ජාතිකයන්ට දී තිබුණේය.

මුහුදු බඩ ප්‍රදේශ වල සංචාරය කිරීමේදී යෝනක වෙළඳුන්ට දී තිබුණු අවසර පත් ඒ ඒ කඩවත් භාරව සිටි මුදලි වරුන්ට පෙන්වීමට යෝනක වෙළඳුන්ට නියම කර තිබුණු බවත් ලේඛනාගාර වල ඇති ඕලන්ද ලේඛන වලින් පෙනේ.

කල්පිටිය සහ පුත්තලම වරාය වලට ඇතුළු වන උඩරට යෝනක වෙළඳුන් විසින් රතු සිංහ රුපයක් සහිත සුදු කොඩියක්, වෙළඳ බඩු වැඩි වැඩියෙන්ම පුරවා තිබුන සෑම යාත්‍රාවකම ඔසවා තැබීම විශේෂ සිද්ධියකි.

මේ අනුව බලන කළ, ඔවුන්ගෙන් පැවතෙන්නන් වූ වර්තමාන යෝනකවරු සිංහ කොඩියට සැලකිලි දැක්වීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන් ලංකාවට ගොඩ බට දිනයේ සිටම සිංහ කොඩිය ඔවුන්ගේ ඉතිහාසයේ කොටසක්ව පවතී.

නිශ්චල කලපු ජලයෙන් යුත් ලේවායන් හරහා සැතපුම්  හතරක් ඈතින් නැතහොත් පුත්තලමේ සිට බටහිර දෙසට විහිදී කල්පිටියට යන ධුලි සහිත පාරේ සැතපුම් දහයක් ගිය තැන නවකඩ්ඩු නමැති අප්‍රකට ගම්මානය පිහිටා තිබේ. මෙහි පිහිටි අලංකාර පුළුල් වෙරළේ බොරලු රහිත සිහින් වැලිතලාව මෘදු පාද වලට සුව පහසුව ගෙන දෙන්නකි. රළ පතරින් තොර මුහුද කොතරම් නොගැඹුරු ද යත්, බොහෝ ඈතට යන තෙක් ළදරුවන්ට වුවද එහි බැස යා හැකිය.

මේ ගම නවකඩ්ඩු යනුවෙන් නම් කර ඇත්තේ කඩු නවයක ගම යන අර්ථයෙනි. එකල රජතුමෙකු ගේ අභිෂේක මංගල්‍යයෙන් පසු අභිනව රජතුමා මුහුදේ ස්නානය කොට රාජකීය අසිපත පැලඳීමට පෙර එය මුහුදු ජලයේ එබිය යුතුව තිබිණි. ඔහු ලංකාවේ රජු වශයෙන් හඳුන්වනු ලබන්නේ මේ චාරිත්‍රය ඉටු කිරීමෙන් පසුව පමණකි. මෙකී පෞරාණික චාරිත්‍රය ඉටු කිරීම සඳහා රජවරුන් නව දෙනෙකු තම අසිපත් මෙම ගම අවට මුහුදු ජලයේ ඔබා ඇති බැවින් ගමට මේ නම ලැබුණේ යැයි කියනු ලැබේ.

මෞලි මංගල්‍යයේ මේ චාරිත්‍රය, මහනුවර දළදා මාලිගාවේ සහ දේවාල වල පෙරහැර අවසාන වීමෙන් පසු සිදු කරනු ලබන  දිය කැපීමේ උත්සවයට සම්බන්ධ වුවක් දැයි අපි නොදනිමු. එහෙත් මෙම චාරිත්‍ර දෙකෙහි කැපී පෙනෙන සමානත්වයක් දක්නට තිබේ.

ඇතැම්  විට, රජතුමෙකු තමන්ගේ රාජධානියට අයත් සමුද්‍රයට ද අධිපතියා බව හැඟවීම සඳහාත් තම කඩුවේ බලයෙන් සමුද්‍රය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දීමක් වශයෙනුත් මේ චාරිත්‍රය පවත්වනවා විය හැකිය. විජය කුමාරයා මේ ගම අසල ප්‍රදේශයකට ගොඩ බැස්ස නිසාත් පුත්තලමෙන් සැතපුම් හයක් පමණ ඈත පිහිටි තණමල්විල නමැති ස්ථානයේදී කුවේණී සමග ඔහුගේ විවාහය සිදු කරනු ලැබූ හෙයින් ඒ නගරය මගුල් තොටමුණ යන නමින් ප්‍රකට වීම නිසාත් මේ චාරිත්‍රය ඇති වුයේ යැයිද සිතිය හැකිය.

අරාබි වෙළෙන්දෝ

පුත්තලමේ පදිංචි කරුවන්ගෙන් වැඩි දෙනා යෝනක ජාතිකයෝ වෙති. මෙම යෝනක ජාතිකයෝ වූ කලී, ලුණු හිඳීමට හා වෙළඳාම් කිරීමට අමතරව මුතු කිමිදීම, පොල් වගා කිරීම සහ වී ගොවිතැන් කිරීම සඳහා අට වන සිය වසේදී මෙහි පැමිණි අරාබි ජාතිකයන්ගෙන් පැවතෙන්නෝ වෙති. මේ නිසාම මෙම නගරයේ ඇති මුස්ලිම් දේවස්ථානය අත්‍යලංකාර විශිෂ්ට ගොඩනැගිල්ල්ලක් ලෙස ඉදි කොට තිබේ. මේ දේවස්ථානයේ උත්තුංග කොත් ඉතා ඈතට දර්ශනය වන අතර ළඟ සිට නරඹන්නෙකුට මේ දේවස්ථානයේ අලංකාරය සහ එය තබා ඇති මනහර තත්වය මැනවින් දැකිය හැකිය. එහෙත් මේ සැමටත් වඩා මේ දේවස්ථානයේ ඇති විශේෂ ලක්ෂණය නම් සිංහල රජ දරුවෙකු විසින් තම කෘතඥතාව පළ කිරීම වස් තමාගේ රාජ පාක්ෂික යෝනක ජාතිකයින්ට තෑගී කරන ලද අගනා තෑගී රැසක් මෙහි තබා තිබීමය.

සිංහල රාජ පරම්පරාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා චාරිත්‍රානුකුලව මෞලි මංගල්‍යය අවසාන කිරීමට නවකඩ්ඩු බලා යන ගමනේදී මේ නගරයෙන් පිටත පිහිටි සෙල්ලංකෙන්ඩල් නමැති ස්ථානයෙහි නතර වී ඇත. මේ ස්ථානය අද විනෝද කාමීන්ගේ ජනප්‍රිය ස්ථානයකි. විශේෂයෙන්ම, උෂ්ණාධික දින වල දුවිල්ලෙන් පිරි මාර්ග වල ගමන් කොට විඩා පත් මිනිසුන්ට මෙහි ඇති පිරිසිදු වැලිතලාව සහ පැහැදිලි ජලය ආනන්ද ජනකය. ඉහත සඳහන් පරිදි නරේන්ද්‍රසිංහ රජතුමා මෙහි සැපත් වූ අවස්ථාවේදී මේ ප්‍රදේශය පාලනය කරන ලද්දේ හෙට්ටි ගෝත්‍රයට අයත් රාමනාදන් නමැති දිසාව විසිනි. මුරමඩ්ඩු නමැති ඔහුගේ දිසා සහය මුක්කුමාර් ජන ප්‍රධානීන් අට දෙනෙකුගෙන් සමන්චිත වුවකි. ඔවුන් රජු සඳහා තාවකාලික මණ්ඩපයක් ඉදි කොට ඒ ප්‍රදේශයෙන් ලබා ගත හැකි වූ සෑම වර්ගයකම ප්‍රණීත ආහාර පාන වලින් රජතුමාට සංග්‍රහ කරන ලදී. එහෙත් රජුට හෝ රජතුමාගේ පිරිසේ අන් කිසිවෙකුට හෝ කවරදාක වත් සතුරු උවදුරක්‌ මෙහිදී පැමිණේ යැයි ඔවූහු සිහිනෙන් පවා නොසිතුහ.

මිනීමරුවන් පලවා හැරීම  

බලෙන් රජකම උදුරා ගැනීමට අපේක්ෂා කළ තැනැත්තෙකු විසින් රජු මරා දැමීමට එවන ලද පිරිසකගේ කඩා වැදීම නිසා හදිසේයේම විශාල කලබැගෑනියක් ඇති විය. මේ අවස්ථාවේදී රජුට හරසර දැක්වීමට පැමිණ සිටි යෝනක ජනයා  විසින්  මිනීමරුවන්ට පහර දී තළා පෙළා ඔවුන් පලවා හරින ලදී.

කෘතඥ පුර්වක රජතුමා මේ යෝනක ජනයාගේ නිර්භීත භාවය සහ රාජ පාක්ෂික භාවය ගැන පැහැදී මහනුවර රාජ ලාංජනය සහිත තමාගේ පෞද්ගලික කොඩියද රාජකීය පෙරහැරේ භාවිත කළ සංගීත භාණ්ඩ කිහිපයක්ද චාමර දෙකක්ද රිදී ටැසල් දහ අටක් සහ වෙනත් බොහෝ භාණ්ඩද ඔවුන්ට තෑගි කොට ඒවා ඔවුන්ගේ පෙරහැරයන්හි පාවිච්චි කිරීමට උපදෙස් දුන්හ.

රජතුමා තෑගී කළ ඉහත සඳහන් කොඩියට කුමක් වුයේ දැයි දැන ගන්නට නැති නමුත් අනෙකුත් සියලුම භාණ්ඩ සුරක්ෂිතව යට කී දේව ස්ථානයෙහි තබා තිබේ. එසේම, රජතුමා අපේක්ෂා කළ පරිද්දෙන් මේ භාණ්ඩ සමහරක් පෙරහැර වලදී භාවිත කරනු ලැබේ. එසේ තෑගී කරන ලද හොරණෑ වලින් එකක් කොට කිරීමට සිදු විය. එය තිබුණු පරිදි පිඹීමට අපහසුවූ අතර ශත වර්ෂ ගණනකට ඉහත දී සිටි මිනිසුන්ට අදට වඩා ශක්තිමත් පෙණහලු තිබුණේදැයි ඒ දකින ඇතැමෙකුට සිතෙන්නට පුළුවන.”

හෙන්රි කොරයා.
(ද සන්ඩේ ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය - 1965 අගෝස්තු 8)
(උපුටා ගැනීම: “ශ්‍රී ලංකා යෝනකවරුන්ගේ අතීත පියසටහන්” - යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතනය - කොළඹ)

Post a Comment

0 Comments