1961 සමස්ත ලංකා ඉස්ලාමීය සංවිධානය බිහිවීම
1961 වසරේදී සමස්ත ලංකා ඉස්ලාමීය සංවිධානය බිහිවූයේ මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණ ඇතිවය. ඉස්ලාම් ආගම පදනම් කර ගනිමින් ඔවුහු තම ජාතියේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කළ අතර ඒ සඳහා කණ්ඩායමක් ලෙස සංවිධානය විය. දෙමළ භාෂාව තම ජාතියේ ස්වභාවික භාෂාව නොවන බවත් එය තමන්ගේ අවශ්‍යතාවය සඳහා වෙනත් ජාතියකගෙන් කුලියට ගත් භාෂාවක් බවත් ඔවුන්ගේ තර්කය විය. මේ අනුව අරාබි භාෂාව තමන්ගේ ස්වභාවික භාෂාව බව ඔවුහු පැවසූහ. මෙයට සමගාමීව 60 දශකය පමණ වන විට නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව තුළ විශාල ආර්ථික හා සංස්කෘතික ප්‍රබෝදයක් ඇති විය. මෙය පදනම් කර ගනිමින් ඔවුහු වෙනම දේශපාලන බලවේගයක් ලෙස ඉදිරියට පැමිණෙමින් සිටියහ.1961 සත්‍යග්‍රහ ව්‍යාපාරය සහ දෙමළ රාජ්‍යයේ තැපැල් සේවාව
උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහිම රජයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වන ආකාරයෙන් රජයේ සේවකයන් හා මහජනයා සත්‍යග්‍රහ ව්‍යාපාරයකට සම්බන්‍ධ කර ගැනීමට දෙමළ දේශපාලන පක්ෂ සමත් විය. රජය විසින් පොලීසිය ලවා මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරූ අතර මෙහිදී පොලීසිය විසින් තබන ලද වෙඩි පහරක් වැදීම නිසා මුතූර්හි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒහාම්බරම් මහතා බරපතල ලෙස තුවාල ලබා පසුව මරණයට පත්විය. අඛණ්ඩව දින 50 ක් පුරා පැවැති මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය නිසා යාපනයේ සියළුම පරිපාලන කටයුතු ඇණ හිටියේය. ක්‍රමාණුකූලව මෙම අරගලය මඩකලපුව, මන්නාරම, වවුනියාව හා ත්‍රිකුණාමලය දක්වාද ව්‍යාප්ත විය. අධිකරණ අමාත්‍ය බී.එල්. ප්‍රනාන්දු මහතා රජයේ නියෝජිතයා වශයෙන් යාපනයට ගොස් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය අත්හරින ලෙස සත්‍යග්‍රහකරුවන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුහු කියා සිටියේ භාෂා ප්‍රශ්නය විසඳන්නේනම් තමන් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය අත්හැරීමට සූදානම් බවයි. කෙසේ නමුත් එම ඉල්ලීම ඉටු කිරීම පිළිබඳ රජයේ පාර්ශවයෙන් සතුටුදායක පිළිතුරු නොලැබුණි. සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සත්‍යග්‍රහ ව්‍යාපාරය දිගටම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ.අරගලයේ තීව්‍රතාවයට මුහුණදීමට නොහැකිව රජය ආහාර සලාක ක්‍රමය අහෝසිකර උතුරු නැගෙනහිර ජනතාව ඒ තුලින් යටපත් කිරීමට උත්සාහ දැරුවේය. මේ තත්ත්වය යටතේ සංවිධායකයන් විසින් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය වෙනත් ක්‍ෂේත්‍ර ඔස්සේද ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. එහි ප්‍රතිපලයක් වශයෙන් යාපනයේ ජනතාව රටේ තැපැල් සේවාව ප්‍රතික්‍ෂේප කරමින් "තමිල් අරුසු" නමින් දෙමළ රාජ්‍යයේ තැපැල් සේවාවක් ආරම්භ කළහ. මෙය අප්‍රේල් 14 දින චෙල්වනායගම් මහතා විසින් ආරම්භ කළ අතර පැයක් ගතවීමට මත්තෙන් දසදහසක් ජනතාව පෝලිමේ සිටිමින් තැපැල් මුද්දර මිළදී ගත්හ. ආරම්භක අවස්ථාවේදීම තැපැල් පත් 3000ක් අලෙවි විය. දෙමළ රාජ්‍යයේ තැපැල්පති ලෙස සෙනට් සභිකයෙක්වූ නඩරාසා මහතා පත් කරන ලද අතර ප්‍රසිද්ධ ස්ථානවල තැපැල් පෙට්ටිද සවි කරන ලදි. අප්‍රේල් 17 දින හදිසි නීතියත් පැය 48ක ඇඳිරි නීතියත් පනවා යාපනය කච්චේරිය ඉදිරිපිට සාමකාමීව උද්ඝෝෂණ ව්‍යපාරයේ යෙදුන පිරිසකට යුද හමුදාව විසින් ප්‍රහාර එල්ලකර එලවා දැමීය. තවද උතුරු නැගෙනහිර ප්‍රදේශය හමුදා පාලනය යටතට ගැණින. ඒ සමගම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායක නායිකාවන් 74 දෙනෙකු ගුවන් මගින් පනාගොඩ හමුදා කඳවුරට ගෙනවිත් රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරිණ. තවද යාපනයේ පලවන පුවත්පත් වන "තමිලරසුක් කච්චි" සහ "සුදන්දිරන්" පුවත්පත් තහනමට ලක් කෙරුන අතර පුවත්පත් කාර්යාලවලටද සීල් තබන ලදි. මේ සමගම තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා ඇතිකරමින් රජය විසින් පුවත් පත් වාරණයක්ද පැනවීය.
සත්‍යග්‍රහයේ නිරතවන පුද්ගලයන් උනන්දු කරවීම සඳහා කඳුකරයේ දේශපාලන නායකයෙක් වන සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතා යාපනයට ගිය අතර එහිදී එම පක්‍ෂයේ තවත් නායකයින් කණ්ඩායමක් සමග තොන්ඩමන් මහතා රජය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරිණ. මේ හේතුව නිසා කඳුකරයේද වැඩවර්ජන දියත්වූ අතර අප්‍රේල් 5 දින කම්කරුවන් ලක්‍ෂ 5ක් පමණ වැඩවර්ජන සඳහා සහභාගි විය. එවිට රජය වැවිලි සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඒ සඳහා නීති රෙගුලාසි පැනවීමට කටයුතු කළේය. තවද වැඩවර්ජන මර්දනය කිරීම සඳහා හමුදාව මෙම ප්‍රදේශවලට කැඳවීය. අත්අඩංගුවේ පසුවූ දෙමළ නායකයෝ මාස 6 ට පසුව නිදහස් කළද ෆෙඩරල් පක්‍ෂයට පනවා තිබූ තහනම ඉවත්කරීමට තවත් මාස ගණනාවක් ගතවිය. මෙම අරගලය දිගින් දිගටම පැවැති අතර මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ඒ. කන්දයියා මහතා පොලිස් ප්‍රහාරයකින් මිය ගියේය.
සිංහල භාෂාව බලහත්කාරයෙන් දෙමළ ජනතාව පිට පැටවීමට එරෙහි වූ දෙමළ නායකයෝ තව දුරටත් රජය සමග කටයුතු කිරීමේ දී දෙමළ භාෂාවෙන්ම කටයුතු කිරීමට ජනතාව උනන්දු කරවීය. එවිට රජය විසින් නිවේදනය කළේ 1964 සිට රාජ්‍ය භාෂා පනත උතුරු නැගෙනහිර ප්‍රදේශවලද අකුරටම ක්‍රියාත්මක කරවීමට කටයුතු කරන බවයි. දෙමළ පාසැල්වල සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සිංහල ගුරුවරුන් 2000 ක් උතුර සහ නැගෙනහිර ප්‍රදේශවලට යැවීම සඳහා රජය කටයුතු කළේය. මෙයට විරෝධය පෑමක් වශයෙන් ෆෙඩරල් පක්‍ෂය විසින් මෙම ප්‍රදේශවල පාසැල් සිසුන් හා දෙමාපියන්ද පාරට බස්සවන ලදි. ෆෙඩරල් පක්‍ෂයේ බලපෑම් නිසා උතුරට යෑමට සිංහල රජයේ සේවකයෝ අකමැති වූහ. 1963 පසු ඇතිවුන "සියල්ල දෙමළෙන්" ව්‍යාපාරය නිසා මෙම ප්‍රදේශවල රාජ්‍ය භාෂා පනත ක්‍රියාත්මක කිරීමට අපහසු වූ අතර ඒ සඳහා රජය විසින් ගත් සියළු උත්සාහයන්ද ව්‍යවර්ථ විය.
1964 සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම
ලංකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව නැවත ඉන්දියාවට යැවීම සඳහා සිරිමා බණ්ඩාරනායක මැතිනිය හා ඉන්දීය අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී මැතිතුමා සමඟ එකඟතා ගිවිසුමකට එළඹින. ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ නිරතුරුව කතා කල ෆෙඩරල් පක්ෂය හා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයින් සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව රජය විසින් මෙම ගිවිසුම ඇති කර ගැනීම නිසා ෆෙඩරල් පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය දැඩි කලකිරීමෙන් කටයුතු කළහ. මෙම කරැණු පදනම් කරගනිමින් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව විවිධ විරෝධතා දියත් විය.1965 ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම
1965 මාර්තු මාසයේ පැවැති මැතිවරණයෙන් එජාප ආණ්ඩුවක් පිහිටුවන ලද අතර ඒ සඳහා බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඔවුන් සතු නොවීය. එම නිසා සිංහල ජාතිය නියෝජනය කළ සුළු දේශපාලන පක්‍ෂවල සහයෝගය ඇතිව රජය පිහිටුවීමට ඩඩ්ලි සේනානායක මහතාට සිදුවිය. දෙමළ පක්‍ෂවල සහයෝගයද ඔහුට ලැබිණ. 1965 මාර්තු 24 දින ඩඩ්ලි සේනානායක මහතා සහ එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා දෙමළ ජනතාවට බලපාන කරුණු පිළිබඳව ද්විපාර්ශවික ගිවිසුමකට එළඹින. එහි පහත සඳහන් කරුණු අඩංගුවිය.
■උතුරු හා නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව ලෙස දෙමළ භාෂාව භාවිතා කිරීම සඳහා දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත යටතේ පියවර ගැනීම. දෙමළ භාෂාව කතා කරන පුද්ගලයෙකුට දිවයිනේ ඕනෑම් ස්ථානයක දෙමළ භාෂාවෙන් රජය සමග කටයුතු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම.
■උතුරු හා නැගෙනහිර පළාත්වල නීතිමය කටයුතු හා වාර්තා කිරීම දෙමළ භාෂාවෙන් කළහැකි වනසේ උසාවි භාෂා පනත සංශෝධනය කිරීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනීම.
■පරිපාලනය විමධ්‍යගත කිරීම සඳහා දිස්ත්‍රික් සභා පිහිටුවා ඒවා බල ගැන්වීම කරන අතර කෙසේ වුවද ජාතික අවශ්‍යතාවය පදනම් කරගනිමින් රජයේ පාලනයට මෙම සභා යටත් කිරීම.
■ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ක්‍රියාත්මකවන ජනපදකරණය පහත සඳහන් පරිදි සිදු කිරීම.
(අ) පළමුව උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් එම ප්‍රදේශයේ ඉඩම් අහිමි පුද්ගලයින්ට ලබාදිය යුතුය.
(ආ) දෙවනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමළ භාෂාව කතා කරන පුද්ගලයින්ට සහ
(ඇ) තෙවනුව දිවයිනේ වෙනත් ස්ථානයන්හි පදිංචි දෙමළ පුද්ගලයින්ට විශේෂත්වයක් දක්වමින් ලංකාවේ ජීවත්වන ඕනෑම පුරවැසියෙකුට ලබාදිය යුතුය.
1966 දෙමළ භාෂාව භාවිතය පිළිබඳ පනත් කෙටුම්පත සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් මතුවු අර්බුදයට විසඳුම් සෙවීම සඳහා 1956 දී බණ්ඩාරනායක මහතා විසින් ගෙනෙන ලද දෙමළ භාෂා භාවිතය පිළිබඳ පනත යටතේ එය ක්‍රියාත්මක කිරීමට අදාල නීති රෙගුලාසි පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන ලදි. මේ සඳහා ෆෙඩරල් පක්‍ෂය විසින් විශාල බලපෑමක් රජයට එල්ල කළේය. මෙමගින් උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පරිපාලන භාෂාව දෙමළ භාෂාව ලෙසද, රටේ අනෙකුත් ප්‍රදේශවල දෙමළ කථා කරන ජනතාව රජය සමග ගනුදෙනු කරන විට දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාවද ලැබුණි. මෙමගින් ඇතිවූ සුභවාදී වාතාවරණය නිසා 20 වසරකට පසුව යාපනයේදී ජාතික නිදහස් දිනය එම වසරේ පෙබරවාරි මාසයේදී සමරන ලදි. දෙමළ ජනතාවගේ විරෝධතාවයන් මෙමගින් තරමක් දුරට මඟහැරැණි.මෙම ක්‍රියාමාර්ග නිසා දෙමළ ජනතාවට කිසියම් සහනකාරී වාතාවරණයක් ඇතිවුවද දකුණේ අන්තවාදී කණ්ඩායම් ඩඩ්ලි සේනානායක ආණ්ඩුවට විරුද්ධව දකුණේ අරගල ක්‍රියාත්මක කරන ලදි. ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම ඉරාදමන ලෙස දකුණේ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම අන්තවාදී සිංහල ජන කණ්ඩායම්ද රජයට විරුද්ධව ප්‍රබල උද්ඝෝෂණයක නිරත විය. ඩඩ්ලි සේනානායක දෙමළුන්ට රට පාවා දෙනවා යැයි ප්‍රකාශ කරමින් ශ්‍රීලනිපයත් භික්‍ෂූන් වහන්සේලාත් එක්ව විහාරමහා දේවි උද්‍යානයේ සිට අරලියගහ මන්දිරය දක්වා මහා පෙළපාලියක් සංවිධානය කළේය. මේ සඳහා ලංකා සම සමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂයද සහභාගිවීම පුදුම සහගත විය. රජයේ සේවකයින්ගේ වෘත්තීය සමිතිද වැඩවර්ජන ක්‍රියාත්මක කළහ. උද්ඝෝෂණ පෙළපාලි නතර කිරීම සඳහා රජය පොලීසිය යෙදවීය. පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන ලද අතර එය අසාර්ථක වූයෙන් පෙලපාලි කරුවන්ට වෙඩි තබන ලදි. මෙහිදී දඹරාවේ රතනසාර හිමියන් වෙඩි වැදීමෙන් අපවත්වූ අතර රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාරද වර්ධනය විය. 1968 ජුලි මාසයේදී ජනතා උද්ඝෝෂණ වල බලපෑම් නිසා ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුමද කුණු කූඩයට ගියේය. මෙමගින් අප රටේ ගොඩනැංවීමට හැකිව තිබූ යහපත් දේශපාලන සංස්කෘතිය විනාශයට පත් විය. (මතුසම්බන්ධයි)
0 Comments