SRI LANKA


 

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය පිළිවෙතින් සමරමු!


ඔක්තෝබර් මාසයේ පළමූවෙනි දිනට ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය යෙදී තිබේ මිනිස් ජීවිතේ ආරම්භක අවධිය සහ පශ්චාත් අවදිය එකම දිනක සැමරීමට යෙදී තිබීම ආශ්චර්යමත් සිදුවීමක් ලෙස පෙන්වා දිය හැකිය.

දරුවකු වීම සහ වැඩිහිටියකු වීම මිනිසා සිය ජීවිතයේ සූවිශේෂ අත්දැකීම් ලබන අවදි දෙකකි. සෑම මිනිසකුම ආරම්භයේ දරුවෙකුව සිට පශ්චාත් අවධිය වැඩිහිටියකු ලෙසින් ගතකරනු ලබයි.

දරුවකු විම සහ වැඩිහිටියෙකු වීම මිනිසා සිය ජීවිතයේ අත් දකින සුවිශේෂ අවදි දෙකකි. සෑම මිනිසකුම ආරම්භයේ දරුවකු ව සිට පශ්චාත් අවධියේ වැඩිහිටියකු ලෙස ගත කරනු ලබයි. එනිසා දරුවකු වීමත් වැඩිහිටියකූ වීමත් ජීවිතයක නියත අවදි දෙකක් ලෙස හදුන්වා දිය හැකි ව තිබේ.

එසේම රටක ජනගහනයෙන් ළමා ජනගහනය සේම වැඩිහිටි ජනගහනය සෑහෙන අනුපාතයක් නියෝජනය කරනු ලබයි. ළමා ජනගහනය රටක අනාගතයේ සුවිශාල අපේක්ෂාව වන අතර වැඩිහිටි ජනගහනය රටක දැනුමෙන් බුද්ධියෙන් අත්දැකීමෙන් පරිණත සුවිශාල ගබඩාව ලෙසින් හැඳින්විය හැකිය. එහෙයින් වැඩිහිටියා රටක වර්තමාන වත්කම වන අතර දරුවා රටේ අනාගත වත්කම ලෙසද පෙන්වා දීමට පුළුවන.

තවත් පැත්තකින් වැඩිහිටියා ඕනෑම රටක අතීතය හා වර්තමානය වන අතර දරුවා රටේ වර්තමානය හා අනාගතය ලෙසද සැලකිය හැකිය. 

මේ නියරින් මේ දෙකොට්ඨාසයම රටකට මිල කළ නොහැකි සම්පතකි. තවද වැඩිහිටි යා වත්මන් ලෝකය ගොඩ නැංවූ මහවිරුවා වන අතර දරුවා අනාගතය ගොඩ නගන මහා වීරවරයා වන්නේය. දරුවන් ලෝකයේ සියලු සෞන්දර්යය එකට කැටි කොට සොබා දහම ලොවට දායාද කළ සොඳුරු ම දායාදය වන අතර, වැඩිහිටියා තත්කාලීන ලෝකයේ සියලු සෞන්දර්යය නිර්මාණය කර එකට කැටි කොට දරුවන් සඳහා දායාද කළ යුග පුරුෂයා ලෙසින්ද හැඳින්විය හැකිය.

බටහිර සිරිතට අනුව ළමුන් සැමරීම සඳහා වෙනම දිනයක් හා වැඩිහිටියන් සැමරීමට ට වෙනම දිනයක් ලෝක සැමරුම් දින ලෙස වෙන්කර පැවතියත්, පෙරදිග ලෝකය දරුවන්ටත් වැඩිහිටියන්ටත් සමාන වටිනාකමක් ඇගයීමක් හැමදාමත් පිරිනමා තිබූ බව ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

විශේෂයෙන් පෙරදිග රටවල් වලින් පහළවූ ආගම් වන බුද්ධ ධර්මය, ක්‍රිස්තු ධර්මය, ඉස්ලාමි ධර්මය, හා හින්දු ධර්මය, ආදියෙහි උතුම් ශාස්තෘවරුන් වූ බුදුරජාණන් වහන්සේ, යේසුස් තුමන්, මොහොමඩ් නබි තුමන්, මහා වීර, ආදී ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් වලින් දරුවන්ටත් වැඩිහිටියන්ටත් ගරු කළ යුතු සැලකිය යුතු ආකාරය පිළිබඳව බොහෝ වැදගත් අනුශාසනා දේශනා කර තිබේ. එම දේශනාවන්ගෙන් ඒවා ශික්ෂාවන් ලෙසද පණවා තිබේ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මහා මංගල සූත්‍රයේ හය වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ

"මාතාපිතා උපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ අනාකුලා ච කම්මන්තා ඒතං මංගල මුත්තමං"

මෙම බුද්ධ දේශනාවට අනුව මවට පියාට උවටැන් කිරීම ද අඹුදරුවනට සංග්‍රහ කිරීම ද නිවැරදි කර්මාන්තයක යෙදීම ද මංගල කරුණක් වන බව උන්වහන්සේ දේශනා කරයි. එකී දේශනාවට අනුව මව්පියන්ට උපස්ථාන කිරීම, අඹූ දරුවන් රැකබලා ගැනීම, ඔවුන්ට ගෞරවය ආදරය දැක්වීම සත්කාර සම්මාන කිරීම, යුතුකම් ඉටු කිරීම, මංගල කරුණක් බව දේශනා කරයි. එසේම බුදුන් වහන්සේ තමන් වහන්සේම ආදර්ශමත් වෙමින් උන්වහන්සේම වැඩම කර සුනීත සෝපාක වැනි දරුවන් බේරා ගත් අවස්ථා බෞද්ධ ග්‍රන්ථවල සඳහන්ව ඇත.

ඒ අනුව වැඩිහිටියන් සහ දරුවන් සඳහා සමාජයේ වගකීම එක් දිනකට සීමා නොවන්නක් බවත් එය සමාජයේ දෛනික ජීවිතයේ අංගයක් විය යුතු බවත් බුදු දහමින් ගාම්‍ය කර ඇති බව මනාව පැහැදිලි වේ. එසේම උන්වහන්සේ පරාබව සූත්‍රයන් දෙමාපියන්ට නොසැලකීම පිරිහීමට හේතුවක් බවත්, වසල සූත්‍රයෙන් දෙමාපියන්ට වැඩිහිටියන්ට සත්කාර සම්මාන නොකරීම වසල කමක් ලෙසත් පෙන්වා දී තිබේ.

ක්‍රිස්තු ධර්මයට අනුව මැවූම්කාර දෙවිඳුන් විසින් කිතුනුවන්ට දෙන ලද ආඥාවක් ලෙසත් කිතුනුවකු ප්‍රගුණ කළ යුතු ගුණධර්ම වශයෙනුත් පිළිගැනෙන දස පනතේ 4 වන පනත ලෙස දක්වන්නේ මවට පියාට ගරු කළ යුතු බවයි. ඔවුන්ට සැලකිය යුතු බවයි. සත්කාර සම්මාන කළ යුතු බවයි.

එසේම ක්‍රිස්තුස් වහන්සේ තමා වෙතට කැඳවා ගත් දරුවෙකු පෙන්වා ඔහු ස්වර්ග රාජ්‍යයට සමාන බවත් එවන් දරුවකුට හිරිහැර කරන අයකු මහත් ගලක් බැඳ මුහුදට බිලි කළ යුතු බවත් උදාහරණ ලෙස ගෙන පැහැදිලි කර තිබේ ඒ අනුව කිතුනු දහමට අනුව ද දෙමාපියන්ට මෙන්ම දරුවන්ට සැලකීම ද ක්‍රිස්තියානි ජීවිතයේ අංගයක් විය යුතු බවට දේශනාකර තිබෙන බව ගම්‍ය වේ.

එසේම ඉලාම් ධර්මය සඳහන් ශුද්ධ ග්‍රන්ථය වන අල්කුරාණයේ මෙසේ සදහන් වේ.


දෙමාපියන්ටද, ඥාතීන්ටද, අනාතයින්ද, දිළින්දන්ට ද උපස්ථාන කළ යුතුය (ශුද්ධ කුරානය 8/83) තවද අල්-කුර්ආනයේ2/215 සඳහන් වන්නේ යහපත් දෑ නුඹලා කවරක් වියදම් කළත් දෙමව්පියන් ඥාතීන් අනාථයන් දුගීන් අහිකුන්ටකයන් සඳහා වැය කළ යුතුය යනුවෙනි.

ශුද්ධවූඅල් කුරානයට අනුව එහි6/140හි සඳහන් වන්නේ දැනුමක් නොමැතිව මුග්ධකම හේතු කරගෙන තම දරුවන් ඝාතනය කළ අයද, අල්ලාහ් කෙරහි අසත්‍යය ප්‍රකාශ කළ අය ද අලාභ ලැබූහ යනුවෙනි.

තවද එම ශ්‍රේෂ්ඨ ආගමික ග්‍රන්ථයේ6/151 හි මෙසේ සදහන් වේ" එන්න නුඹලාගේ දෙවියන් නූබලාට තහනම් කළ දේ මම නුඹලාට ප්‍රකාශ කරමි. දෙමාපියන්ට උපස්ථාන කරන්න. දිළිඳු කම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නොකරන්න."

මොහොමඩ් නබි තුමා පහළ වන අවධියේදී අරාබි රටේ පැවති තත්වයට අනුව උන්වහන්සේ දෙමාපිය උපස්ථානයත් දෙමාපියන්ට දරුවන් සම්පතක් බවත් එය ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික ජීවිතයේ අංගයක් විය යුතු බවත් හෙවත් ඉස්ලාමීය ජීවිතය විය යුතු බවත් එසේ ගම්‍යමාන කර තිබේ.

හින්දු දර්ශනයට අනුව දරුවන්ගේ ප්‍රඥාව මුළුමහත් ලෝකයට ආශීර්වාදයක් වන බව හින්දු ආගමේ උතුම් දහම් ග්‍රන්ථයක් වන තෙරුක්කුරල් ග්‍රන්ථයේ සඳහන්ව තිබේ.

හින්දු ධර්මයට අනුව "අන්නයූම් ඉදවූම්

මුන්නරි දෙයියූම්"යනුවෙන් සඳහන් වන්නේ දෙමාපියන් දෙවියන්ට සමානව උතුම් බවයි ඒ අනුව හින්දු දර්ශනයට අනුව ද දරුවන් සේම දෙමාපියන් මහා වටිනා සම්පත් ලෙස ආරක්ෂා කළ යුතු බව හින්දූන්ට ද සිය ජීවිතයේ කොටසක් කරගන්නා ලෙස හින්දු දහමෙන් මගපෙන්වා ඇත.

මතුකී සන්දර්භය අනුව පෙරදිග ලෝකයේ මිනිස්සුන්ට සිය දරුවන් සහ දෙමව්පියන් දෛනික ජීවිතයේ අංගයක් ලෙස රැකබලා ගැනීම, ඔවුනට ගරු කිරීම, ඔවුන්ගේ ආගම්වලින් පිළිවෙතක් චාරිත්‍රයක් ලෙස ඔවුන්ට උගන්වා ඇති හෙයින් එය ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක් ලෙස පැවත එමින් තිබේ.

නමුත් පෙර දිග බටහිරකරණය වීමත් සමඟ අද පෙරදිග ලෝකය ද මෙම දින සමරනු ලැබේ. එය විලාසිතාවක් බවට ද පත්ව ඇත.

නමුත් එදිනට උත්සව පවත්වා ලෝකයට ප්‍රකාශ නිකුත් කරනවා වෙනුවට අපේ ආගම වලින් කරන උතුම් මඟ පෙන්වීම අනුව අප දෙමව්පියන් දරුවන් විෂයෙහි කටයුතු කළ යුතුය. වඩා අර්ථවත් ව මෙම දින සැමරීම සිදු වන්නේ එවිටයි.

එහිලා දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් ස්වාධීනත්වය පිළිගැනීම, දරුවන්ගෙත් වැඩිහිටියන්ගේත් තීරණ ගැනීමේ හැකියාවට ට ගරු කිරීම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ගරු කිරීම. ඔවුන්ට ගෞරවණීයව සහ අභිමානනීයව සමාන ලෙස අවස්ථා පිරිනමමින් ඔවුන්ගේ අභිලාෂයන්ට අනූව සිය ජීවිත ගතකරීමට අවකාශ සලසමින්, ස්වභාවධර්මයෙන් අපට හිමිකර දී ඇති පාරිසරික දායාද ඔවුනට ද යුක්ති සහගත ලෙස භුක්ති විඳීමට ඉඩප්‍රස්ථාව සලසමින් කටයුතු කිරීමට අදිටන් කර ගැනීම මෙම මාහැඟි දිනය වඩාත් පිලිවෙතින් සැමරීමක් වන්නේයැයි සනිටුහන් කරමූ. ලෝකවාසී දරුවන්ට සහ වැඩිහිටියන්ට නිදුක් නිරෝගිමත් සුභ අනාගතයක් වේවායි අපි පතමු!


Post a Comment

0 Comments