SRI LANKA


 

අපි අපේම වූ ක්‍රමයකට ආගමික සංහිදියාව ගොඩනගා ගනිමු!



ආගමික සංහිඳියාව පිළිබඳ කතිකාව ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් ලෙස කරලියට පැමිණෙන්නේ මෑතකාලීනවයි. ඊට පෙර ලංකාව බහු ආගමික රටක් ලෙස ආගමික සංහිඳියාවෙන් බොහෝ කලක් පැවැති රටකි. බෞද්ධ හින්දු ස්ලාම් ක්‍රිස්තියානි ආගමික පූජකයන් හා අනුගාමිකයන් ස්වාධීනව නිදහස්ව ස්වෛරීව තම තමන්ගේ ආගම් ඇදහීම හා වත් පිළිවෙත් පවත්වාගෙන ගියහ. ඒ අනුව අන්තර් ආගමික ගැටුම් වලින් තොර දිගු කාලීන ආගමික සහජීවනයක පැහැබර ඉතිහාසයක් අපට තිබේ. එම ඉතිහාසයේ බෞද්ධ ක්‍රිස්තියානි හින්දු ඉස්ලාම් සියලු ආගම් වලට අයිති ජන කොටස් තම තමන්ගේ ආගම් පෝෂණය කරමින් සහ අනෙකුත් ආගම් වලට ගරු කරමින් එම විවිධත්වය අගය කරමින් එකට ජීවත් වූහ. රටේ පැවති ආගමික විවිධත්වයේ යථාර්ථය ධනාත්මක ශක්තියක් ලෙස සලකමින් අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවයෙන් එකිනෙකාට සලකමින් එකී සහජීවනය ඔවුහු සක්‍රිය ලෙස පවත්වාගෙන පැමිණ තිබේ. 

1950 දසකයේ අග භාගයේ ඉපදුන මට මගේ දැනූමේ අවබෝධයේ සහ මතකයේ හැටියට දශක පහකට ආසන්න කාලයකදී වර්තමානයේ පවතින ආකාරයේ ප්‍රචණ්ඩකාරී ආගමික ගැටුමක් ගැන අසන්නට දකින්නට ලැබී නැත. ඇතැම් අවස්ථාවලදී බෞද්ධයන් හා හින්දු භක්තිකයන් ක්‍රිස්තියානි ආගමට හැරවීමට කටයුතු කළ බවට ක්‍රිස්තියානි බයිබල් නිකායන්ට චෝදනා එල්ල වූ අවස්ථා තිබූ අතර ඒ ගැන යම් යම් උණුසුම් සංවාද කල කෝලාහල ප්‍රාදේශීයව පැවතියද ඒවා ප්‍රචණ්ඩ ගැටුමකින් තොරව ජන හිංසා ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තොරව සමාදානයට හෝ සමථයට පත්කර ගනු ලැබිණි. බොහෝවිට එම ගැටුම් සමථයකට පත් වුණේ පොලිසියකට පැමිණිල්ලක් වත් නොකර ගැටුමට මුල්වූ පාර්ශවකරුවන්ගේ සහ ආගමික පූජකවරුන්ගේ අවවාද අනුශාසනා සහිත සාකච්ඡා මගිනි. ඒ අනුව අපට අපේම වූ ගැටුම් නිරාකරණ ක්‍රමවේද මෙන්ම සක්‍රීය සහජීවන ක්‍රමවේද ගැන සාර්ථක අත්දැකීම් තිබේ.

මා ඉපදෙන්නට කලින් ඉතිහාසේ සිංහල මුස්ලිම් ගැටුමක් හා ක්‍රිස්තියානි බෞද්ධ ගැටුම් ගැන මගේ පියාගෙන් හෝ සීයාගෙන් අසන්නට ලැබුණු අවස්ථා කිහිපයක් මතක තිබේ. නමුත් ඒ ගැටුම් අද මෙන් සාහසික ලෙස දිග්ගැස්සෙමෙන් පැවැති ගැටුම් වී නැත. ඔවුන් මට ප්‍රකාශ කළ සිද්ධි අනුව යම් යම් සුළු හේතු මත පැන නැගැනූ ගැටළු අනවබෝධය හා ප්‍රකෝපකිරීම් මත යම් ප්‍රමාණයක ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අවස්ථාද තිබේ. නමුත් ඒවා දිගුකල් පවත්නා වෛරයකට තූඩු නොදෙන ආකාරයට විසඳාගැනීමට ගැටුම් ආරම්භයේ සිටම ගැටුමේ පාර්ශවකරුවන් සමග ඉවසීමෙන් සහ සංයමයකින් යුතුව සියලු ආගමික පූජකවරුන් සහ ප්‍රබුද්ධ පොදු ජනතාව කටයුතු කළ හෙයින් ඒවා ඉක්මනින්ම සමථයකට පත්වතිබේ.

එනිසා එම ගැටුම දිගුකාලීන වෛරයකට හෝ අසමගියකට තුඩු දී නැත. ගැටුමට මුල්වූ පාර්ශවකරුවන් ද සම්බන්ධ කරගෙන අන්‍යෝන්‍ය සැකය අවිශ්වාසය තුරන් කිරීමෙන් ද, එක් එක් කණ්ඩායම් වල හැසිරීම් ගැන විවිධ අර්ථ නිරූපණ ලබාදීමෙන් වැළකීමෙන් ද, එකිනෙකාට තේරුම්ගැනීමට අවස්ථාවන් විවර කර දෙමින් ද, අන්‍යෝන්‍ය විශ්වාසය ජනිත කිරගැනීමට ගැනීමට විනිවිද තාවයන් ඇතිකර ගැනීමෙන් ද, සිදු වූ භෞතික හා මානසික හානි වලට අවංකවම සමාව ඉල්ලීම සහ සමාව ලබා දීමෙන්ද, දඬුවම් කිරීම් වලට වඩා නිවැරදි කිරීම් වලට යොමුවීමෙන් ද, අන්‍යෝන්‍ය බිය පහ කිරීමෙන් ද, අන්‍යෝන්‍ය සවන්දීමට අවස්ථා සලසා දීමෙන්ද, එක් එක් පාර්ශවයේ සුළු සුළු දෝශ විශාල බිල්ලන් ලෙස මවා නොපෑ මෙන්ද, අදාල සිද්ධි කෙටිකලකින් අමතක කර දැමීමෙන් ද, සිදුවූ ගැටුමෙන් උගත් පාඩම් යළි එවැනි ගැටුම් ඇතිවීම වැළැක්වීමට පාඩමක් කරගනිමින් ද, එදා කටයුතු කර ඇති බව ඔවුන්ගේ කතාවලින් පසක් විය.

තවදුරටත් එදා ගැටුම් නිරාකරණය කර ගත් ආකාරය දෙස බැලීමේදී ඉතා සුවිශේෂ චමත්කාර ලක්ෂණ කීපයක් ද දැක ගැනීමට පිළිවන. ඒවා පහත සඳහන් ආකාරයට දක්වාලිය හැකිය

1 ගැටුමට මුල් වූ සිද්ධිය හෝ සිදුවීම් දාමය ගැන ගැටුම සමථයට පත්කර ගැනීමෙන් පසුව යළි යළිත් හාරා අවුස්සමින් අර්ථකථන ලබා දෙමින් සමාජ සංවාදයක් ලෙස ඉදිරියට ගෙන නොයාම.

2 ගැටුමේ සෘජු පාර්ශවකරුවන් එළඹ් සමථ යන්ට ගරු කරමින් පෙර පැවති සාමකාමී සහජීවන යළි ස්ථාපිත කර ගැනීමට සියලු පාර්ශ්ව අවංකව කැප වීම

3 ගැටුම සමථයට පත්කර ගැනීමෙන් පසුව එය දේශපාලනීකරණයට ලක් කරීමේ ප්‍රයත්නයන් වැළකීම.

4 ගැටුමේ පාර්ශවකරුවන් පස මිතුරු පාර්ශව නොවී මිත්‍ර පාර්ශව ලෙස දිගු කලක් එකට වැඩ කිරීම.

5 ගැටුම් සිද්ධිය ඉතිහාසය තුළ හුදකලා කර වර්තමානයට සහ අනාගතයට එය නොගෙන ගෙන ඒම.

ඉහත කී ආකාරයේ සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට ගැටුම් වලට පාර්ශවකරුවන් වූ සමාජ කණ්ඩායම් වල ආගමික පූජකවරුන් ස්වකීය ආගමික කර්තෘවරුන්ගේ ඉගැන්වීම් වල හරයන් අනූව තම තමන්ගේ අනුගාමිකයන්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරමින් ඔවුන්ගේ ගිනිගත් හදවත් නිවාලීම සිදුකළ යුතු වැදගත්ම කාර්යයක් වන්නේ ය. බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් යන ආගම් හතරේම කර්තෘවරුන් වහන්සේලා අනෙකුත් ආගමිකයන්ට අගෞරව කිරීම, හිරිහැර කිරීම, හෙලාදැකීම, පහත් කිරීම, නින්දා කීරීම අපහාස කිරීම නොකළ යුතු බවට අනුශාසනා කර ඇති බව නිතර සිත්හි තබාගෙන ඒ අනුව පිළිපදිමින් ද ආදර්ශයන් ලබා දෙමින්ද ජනතාවට අනුශාසනා කරමින් ද උන් වහන්සේලා කටයුතු කළ යුතුය. වාසනාවකට අපට එවැනි පූජකවරුන් විශාල සංඛ්‍යාවක් ආගම හතරේම සිටිති. එසේම ඇතැම් ආගම් වල ආගමික සංහිඳියාවට බාධා ඇති කරන පූජකවරුන් ද සිටිති. පිරිසෙන් කුඩා කණ්ඩායමක්වූ ඔවුන් සංවිධානාත්මකව දියත් කරන ආගමික වෛරයේ අවාසනාවන්ත බිලි බවට පත්වන්නේ සාමාන්‍ය ජනයා වීම ඛේදවාචකයකි.

එනිසා තිත්ත උනත් එම ඇත්ත තත්ත්වය පිළිගනිමින් ඊට පිළියම් කළ යුතුව තිබේ.

ආගමික පූජකවරුන්ගේ මගපෙන්වීම් සහ ඉගැන්වීම් වලට ලාංකීය සමාජය ගරු කරති. අවනත වෙති. එකී අනුශාසනා පිළිපැදීමට ඔවුහු උත්සුක වෙති. එනිසා ආගමික පූජකවරුන්ට ආගමික සංහිදියාව ගොඩනැගීමට විශාල මෙහෙවරක් ඉටුකළ හැකිව තිබේ. ලංකාවේ පවතින ඉහත කී ආගම් හතරේම ශ්‍රේෂ්ඨ කර්තෘවරුන් අනුදැන වදාරා ඇත්තේ කිසිදූ ආගමක් දහමක් හෙළා දකින්නේ නැතුව තම ආගම දහම අනුව පිළිපැද ඔවුන් ස්වෙච්ඡාවෙන් අවබෝධයෙන් සිය ආගම දහමට නැඹුරු වන්නේ නම් ඔවුන් පිළිගන්නා ලෙසයි. ඒ අනුව කටයුතු කිරීමට ඒ ඒ ආගම්වල පූජකවරුන් හසුරුවා ගැනීම නායක පූජකවරුන්ගේ ආගමික සංහිදියා වගකීම ලෙස ගෞරව පූර්වකව සඳහන් කළ යුතුව තිබේ.

මෑතකාලීනව ඇතිවී ඇති ආගමික ගැටුම් ඉක්මනින් ප්‍රචණ්ඩකාරීත්වයට යොමු වන්නේත්, මිලේච්ඡත්වයට පත්වන්නේත්, කල් පවත්නා ආගමික සහජීවනයට බාධා පමූණූවන්නේත්, සෑම ආගමකම පූජ්‍ය පක්ෂය හා අනුගාමික කණ්ඩායම් අතර ආගමික සංහිදියාවේ නාමයෙන් ඒ ඒ ආගම් වල ශ්‍රේෂ්ඨ කතුවරුන්ගේ ඉගැන්වීම් වලින් බැහැරව තම තමන්ගේ පුද්ගලික මත සහ අපේක්ෂාවන් සමාජගත කරන පිරිසක් ඉඳීම හේතුවෙනි .

එනිසා අප සියලු දෙනාම අපේ ආගමික සංහිදියාවේ ඉතිහාසය නිවරුදිව අවබෝධ කරගනිමින් වර්තමානයේ අප සැම දෙනාටම පැවරී ඇති වගකීම වඩාත් සංවේදීව තේරුම් ගනිමින් අපට ආවේනික අපේ ක්‍රමයට ජාතික ආගමික සංහිදියාව ගොඩනැගීමට සිතන්නට කාලය එළඹ ඇතැයි පෙන්වා දීමට කැමැත්තෙමි..


 

Post a Comment

0 Comments