SRI LANKA


 

සංක්‍රමණයට ඔබ්බෙන්" ජාත්‍යන්තර සංක්‍රමණික දිනය මානව සහයෝගීතාවයෙන් සමරමු!

 
2021 ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරනු ලබන්නේ "සංක්‍රමණයට ඔබ්බෙන්" ("More than migrants") යන තේමාව ඉදිරිපත් කරමිනි.

වසර2000දී උදාවූ නව සහස්‍රයේ දෙසැම්බර් මස 4 වෙනි දින එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව(UNGA) විසින් සෑම වසරකම දෙසැම්බර් 18 වැනි දින ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඉන් අනතුරුව සෑම වර්ෂයකදීම විවිධ තේමාවන් යටතේ ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය විශ්ව මානව අයිතීන් මුල්කරගෙන ඒවාට සහයෝගීතාව ප්‍රකාශ කරන දිනයක් ලෙස ලොවපුරා සිටින සංචාරක ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ සංවිධාන මහත් ඉහළින් සමරනු ලබයි.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනයේදී වැඩි වශයෙන් අවධානය යොමු වන්නේ තමන් උපන් රටින් බැහැරට ගොස් වැඩ කරන සංක්‍රමණික ශ්‍රමික ජනතාව ගෝලීය සංවර්ධනයට ලබාදෙන දායකත්වය මෙන්ම ගෝලීය වශයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය පිළිබඳවයි. 

ගෝලීය වශයෙන් මිලියන 272 ඉක්මවන සංක්‍රමනික ශ්‍රමිකයන් පිරිස අද ලෝක ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ඉතා වැදගත් ගෞරවනීය අභිමානවත් ශ්‍රමිකයන් සමූහයක් ලෙස පිළිගනු ලබනවා. එම නිසාම සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් මානව අයිතීන් ලෙස සලකා ආරක්ෂා කොට එහි රැකවරණය එම උදවියට ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ව සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය( I M O ) එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය ( I L O) එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය( U N H C R) වැනි සංවිධාන සංචාරක ශ්‍රමිකයන්ගේ සේවක අයිතිවාසිකම් සුභසාධනය ආරක්ෂාව ආදිය පිළිබඳව අදාල රටවල රජයන් සමගත් සංචාරක ශ්‍රමිකයන්ගේ සංවිධාන සමඟත් විශාල වැඩ කොටසක් ඉටුකරමින් සිටී.

වර්තමානයේ වෙන කවරදාටත් වඩා මිනිසුන් ජීවත්වීමට හා වැඩ කිරීමට ඔවුන් ඉපදුන රටෙන් බැහැරට සංක්‍රමණය වීමට කැමැත්තක් දක්වති. ඔවුන් අතරින් බොහෝ දෙනා නිසි තෝරා ගැනීමකින් තොරවම සංක්‍රමණයවෙති. ඊට බොහෝ සාධක බලපායි. ධනවත් රටක හොඳ වැටුපක් ලබන රැකියාවක් ලබා ගැනීමේ බලවත් ආශාව සංක්‍රමණ කුළුගන්වන ප්‍රබල සාධකයකි. තවද දීප්තිමත් අනාගතයකට ඇති බලාපොරොත්තුව සංක්‍රමණ සඳහා පූද්ගලයන් පොළඹ වන ප්‍රබල සාධකයකි. අනෙක් අතට දියුණු වෙමින් පවතින රටවල පුද්ගලයන්ගේ දුප්පත්කම විරැකියාව ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීමේ ගැනීමේ අවස්ථා හිගකම සංක්‍රමණය සඳහා පුද්ගලයන් පෙළඹීමට බෙහෙවින් හේතු වේ. තවද සංක්‍රමණය වූ තම පවුලේ ඥාතිවරයකු හිතවතකු හෝ මිතුරකු මගින් ලැබෙන ධනාත්මක පණිවිඩ තෝරා ගැනීමකින් තොර සංක්‍රමණ සඳහා බෙහෙවින් හේතු වේ. තවද දියුණු ථවෙමින් පවත්නා රටවල පුද්ගලයන් දුප්පත්කමින් මිදීමේ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙසද අඩූ යටිතල පහසුකම් සහිත ප්‍රදේශවල ජීවත්වීමේ ගැහැටවලින් මිදීමේ උපක්‍රමයක් ලෙස ද තෝරා ගැනීමකින් තොර සංක්‍රමණය තෝරා ගනිති. බඩගින්නෙන් මිදීම දරු මල්ලන්ට ඉගැන්වීම ණය ගෙවා ගැනීම වත්කම් සමූහයක් උපයා ගැනීම සමාජ පිළිගැනීමක් ලබා ගැනීම යැපෙන්නන් ලෙස ජීවත්වීමට ඇති අකමැත්ත ආදි සාධක ද සංක්‍රමණයන් ට හේතු වේ.

ආසියාතික රටක් ලෙස ශ්‍රි ලංකාවේ ශ්‍රම සංක්‍රමණය වඩාත් තියුණු ලෙස ආරම්භ වන්නේ 70 දශකයෙන් පසුවය. මැදපෙරදිග කලාපයේ ඛනිජතෙල් ආර්ථිකයේ වර්ධනයත් සමග ඉදිකිරීම් ක්ෂේත්රයේ සහ මධ්‍යම පාන්තික ගෘහස්ථ සේවාවන්ගේ සහ අවිධිමත් රැකියා අංශයන්හි ඇතිවූ සීඝ්‍රශ්‍රම ඉල්ලුමත් දේශීයව පැවති සේවා වියුක්තිය සහ අඩු වැටුප් සහ දේශීයව ශ්‍රම වෙළඳපොලේ තිබූ අඩු අවස්ථා ශ්‍රී ලාංකිකයන් මැදපෙරදිග රටවල රැකියා වලට සංක්‍රමණය වීමට හේතු විය. මෙහිලා විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන්ට දේශීයව ආර්ථික වශයෙන් යමක් කමක් උපයා ගැනීමට තිබූ අඩු අවස්ථා හේතුවෙන් ඔවුන් පීඩනයට පත් කළ දුප්පත්කමත් සශ්‍රීක ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවත් මැදපෙරදිග රැකියා සඳහා සංක්‍රමණය වීමට ප්‍රබල හා ප්‍රමුඛතම හේතුව විය. පසුව එය රටේ දිළිඳුකම අඩු කිරීමට හේතුවක් මෙන්ම රටට විදේශ විනිමය උපදවා දෙන මාර්ගයක් වීම නිසා ශ්‍රම සංක්‍රමණය ප්‍රධාන රැකියා ක්ෂේත්‍රයක් මෙන්ම ලාභ උපදවන ශ්‍රම අලවි ව්‍යාපාරයක් ලෙසද වර්ධනය විය. එනිසා එය ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමේ සහ නියාමනය කිරීමේ අරමුණින් 

1980 අංක32 දරන විදේශ සේවා නියුක්ති නියෝජන පනත රජය විසින් පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරිනි. එම පනතෙන් විදේශගතවන ශ්‍රමිකයන්ගේ රැකියාමය සමාජමය ආර්ථිකමය ආරක්ෂාවට කිසිදු වැදගත් ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබුණේ නැත. හුදෙක් එම පනත ඉහත කී වාණිජ ක්ෂේත්‍රයේ දියුණුවට සහ නියාමනයට පමණක් සීමා විය.

නමුත් ඉහත සඳහන් ජාත්‍යන්තර සංවිධානවල පහසුකම් සැලසීම යටතේ පාර්ලිමේන්තුවෙන් සම්මත කළ 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත මගීන් විදේශගතවන සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සැලසීම ශ්‍රී ලංකාවේ රජයේ වගකීමක් බවට පත් කෙරිණි. එසේම බොහෝ දෙනා පිටරට රැකියා අවස්ථා ලබාගන්න රැකියා ඒජන්සි ආයතන විදේශ සේවා නියුක්ති කාර්‍යංශය දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතු බවට රජය සමඟ ගිවිසුමක් එම ආයතනයක් පටන් ගැනීමේදී අත්සන් කළ යුතු බවට නෛතිකව නියම කෙරිණි. එමගින් අද සංචාරක ශ්‍රමිකයන් විෂයේ සිදුවන බොහෝ අකටයුතුකම් පාලනය වී තිබේ.

ඉහත කී පනතෙන් විදේශගතවන සංචාරක ශ්‍රමිකයාත් ඔවුන්ගේ පවුල්වලත් සුභසාධනය හාආරක්ෂාව සැලසීමට මෙන්ම සංචාරක ශ්‍රමිකයා පිටරට සිට මව් රටට පැමිණි පසු ඔහුගේ හෝ ඇයගේ සුබසාධනය සහ සමාජ ආරක්ෂණය සැලසීමට කටයුතු යෙදීමටද රජය බැඳී සිටී. මේවා එලසින්ම නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ප්‍රකට කරුණකි. ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමට විදේශගත සංචාරක ශ්‍රමිකයින්ගේ සමිති සමාගම් තිබුනත් ඒවාද ශක්තිමත්ව ක්‍රියාත්මක නොවේ. එනිසා මෙවර ජාත්‍යන්තර සංක්‍රමණික දිනයේ තේමාවට අනුව යමින් "සංක්‍රමණයට ඔබෙන්"සමස්ත සමාජයම සංක්‍රමණය යනු සියල්ලන්ටම බලපාන ගෝලීය යථාර්ථයක් ලෙස සලකා කටයුතු කිරීමට බලපෑම් කළ යුතුය.

අද වන විට ශ්‍රි ලංකාවේ ආර්ථිකයට විදේශීය සංචාරක ශ්‍රමිකයන්ගෙන් ලැබෙන දායකත්වය කොතරම් ඵලදායි ද යන්න පෙන්වාදෙමින් 2020 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ137 වන පිටුවේ මෙසේ සදහන් කරයි.

"විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ තුලනයේ විදේශ විනිමය ලැබීම් සඳහා දායක වූ විශාලතම තනි මූලාශ්‍රය විය."කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ ගෝලීය විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මන්දගාමී වේ යැයි පැවති අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධව වසරේ පළමු භාගයේ දී වාර්තා වූ පසුබෑම් ඉන්පසු වේගයෙන් යථා තත්ත්වයට පැමිණීම පිළිඹිඹු කරමින් ශ්‍රී ලංකාව සහ තවත් දකුණු ආසියානු රටවල් කිහිපයක් 2020 වසර තුළ දී ඉහළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වාර්තා කරමින් කැපී පෙනෙනලෙස ඉස්මතුවිය. තවද ප්‍රතිලාභ හිමිවන කුටූම්භවල දරිද්‍රතාවය අවම කිරීම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සතු හැකියාව හේතුවෙන් එය විවිධ අංශයන් වෙත සෞභාග්‍යය ව්‍යාප්ත කිරීමේ මාර්ගයක් ද වී ඇත

මෙවන් පසුබිමකදී ණය බර ඇති නොකරන විදේශ මූල්‍ය කරන ප්‍රභවයක් ලෙස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වල ඇති වැදගත්කම මෙන්ම රට තුළට විදේශ විනිමය ගලා එන තිරසාර මූලාශ්‍රයක් ලෙස එම කේෂ්ත්‍රය වර්ධනය කිරීමේදී විසඳිය යුතු රැකියා සදහා විදේශගත වීම සම්බන්ද

ගැටලු රැසක් පවතී". 
එලෙස 2020ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙන කරුණු අතර ප්‍රධාන එකක් වන්නේ විදේශගතවන ශ්‍රමිකයන්ගේ නිපුණතා සංකලණය ට අනුව ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ගෘහ සේවය සඳහා විදේශගත වන කාන්තාවන් මත රඳා සිටීමයි. එසේම ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඇති ඉල්ලුම සහ ශ්‍රී ලංකාවේ ශ්‍රම සැපයුම් හැකියාව අතර විශාල නොගැලපීමක් ඇති බව ද මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. තවදුරටත් කරුණු පෙන්වා දෙන මහ බැංකු වාර්තාව කියන්නේ හෙද සේවය වැඩිහිටියන් බලා ගැනීම ආදී ක්ෂේත්‍ර වල විශාල ඉල්ලුමක් පවතින අතර ගෘහ සේවයට සාපේක්ෂව එම අංශවල වැටුප් ද ඉහළ නමුත් එම අංශවල කුසලතාවන් ලබාදෙන විදේශ සේවා ජාතික පුහුණු වැඩපිළිවෙළක් නොමැති වීම බරපතළ අඩුපාඩුවක් බවයි.

සංචාරක ශ්‍රමිකයන්ගේ දායකත්වය සහිතව ඔවුනට අවම වැටුපක් තහවරු කරන සංක්‍රමණික රක්ෂණ වැඩපිළිවෙළක් හෝ ඔවුන්ගේ ජීවිතයේ සැදෑ සමයේදී අඛණ්ඩව ආදායමක් හිමිවන විශ්‍රාම ප්‍රතිලාභ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක නොවීම ද ප්‍රධාන අඩුපාඩුවක් බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි

තවදුරටත් කරුණු පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සිංගප්පූරුව ජපානය හා යුරෝපය වැනි අනෙකුත් දියුණු ආර්ථික සමග ද්විපාර්ශික ගිවිසුම්වලට එළැඹීමේ අවශ්‍යතාවයත් වෘත්තීය පුහුණු කිරීම ඔස්සේ නිපුණතා සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමත්, සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉහළ ගුණාත්මක භාවයකින් යුත් පුහුණුවක් ලබා දීම, විදෙස්ගත වීමට අපේක්ෂිත පුද්ගලයන්ගේ කුසලතා ක්‍රමිකව වර්ධනය කිරීම රජය විසින් කළ යුතු බවයි. තවදුරටත් විශේෂ වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ රැකියා සඳහා විදෙස් ගත වීම, සම්බන්ධයෙන් අවම පිරිවැයක් වැඩි ආරක්ෂාවක් සහ වැඩි ඵලදායිතාවක් ඇති කිරීමට රජය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම නොපමාව කළ යුතු බවයි

එනිසා මෙවර ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීමේ දී සංක්‍රමණයට ඔබ්බෙන් සිතමින්. ක්‍රියාකරමින් ද්වි පාර්ශවීය ගිවිසුම් වලට එළඹෙමින් සහ 2030දී අත්පත් කර ගැනීමට නියමිත තිරසාර සංවර්ධන ඉලක්ක 17 විෂයෙහි සංචාරක ශ්‍රමිකයන්

නොසලකා නොහැරිය හැකි වැදගත් කණ්ඩායමක් ලෙස නිත්‍ය සංක්‍රමණයට පහසුකම් සැපයෙන රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයකට තෙරපුමක් ඇතිකළ යුතුය.

සරත් කුමාර දුල්වල
සංචාරක ශ්‍රමිකයන් බලගැන්වීමේ මහනූවර දිස්ත්‍රික් ව්‍යාපෘති කළමනාකරු


Post a Comment

0 Comments