SRI LANKA


 

තෛපොංගල් උත්සවය ජාතීන් අතර සහජීවනයට කදිම නිදසුනකි.


මිනිසා හා සොබාදහම අතර ඇති සබඳතාව මෙන්ම භව භෝග ආදිය අස්වැන්න ලබා ගැනීමට දායක වූ සූර්යයා ප්‍රමුඛ ගව මහීෂාදීන් සත්ව සමූහයා වෙත එක හා සමාන ලෙස කෘතඥතාවය සහ ස්තුතිය ප්‍රකාශ කිරීමේ උත්සවයක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකිය. එලඹෙන වසරේ ද හොඳ අස්වැන්නක් ලැබීම හා යහපත් බලාපොරොත්තු ඉටු කරගැනීම වෙනුවෙන් ආශීර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සඳහා පවුලේ සාමාජිකයන් හා අසල්වැසි ප්‍රජාවන් එකට එක්ව කටයුතු කරන තෛපොංගල් උත්සවය පවුලේ හා සමාජයේ සහජීවනය ප්‍රකට කරවන අවස්ථාවකි.

තෛපොංගල් උත්සවය ශතවර්ෂ ගණනාවක් පුරා හින්දු සමාජයන්හි අඛණ්ඩව පැවත එන ආගමික සංස්කෘතික උත්සවයකි. 

අස්වැන්න නෙලීමේ උත්සව යන අරුතෙන් හඳුන්වන තෛපොංගල් උත්සවය සෑම වසරකම ජනවාරි මාසයේ දී සමරනු ලැබේ. 

හින්දු බැතිමතුන් නව වසර ආරම්භ කරන්නේ තෛපොංගල් උත්සවයෙන් අනතුරුවයි. තමන් උපයාගත් අස්වැන්නෙන් පළමු කොටස දෙවියන්ට පුදා ආශීර්වාද ලබාගෙන ආරම්භකරන වර්ෂය අතිශයින් සාර්ථක වසරක් වන බව ඔවුන්ගේ විශ්වාසයයි.

ද්‍රවිඩ කැලැන්ඩරය අනුව "තෛ" යන්නෙන් හැඳින්වෙන්නේ වසරේ පළමු මාස යයි. පොංගල් යන වචනයෙන් අදහස් වන්නේ උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි .ඒ අනුව තෛපොංගල් උත්සවයේ දී මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍ය සලකුණ සටහන් කරන බව ඔවුහු විශ්වාස කරති.

තෛපොංගල් උත්සවය තමිලර් තිරුනාල් නමින් එනම් දමිළ ජනතාවගේ උත්සවය ලෙස ද හඳුන්වයි.

"තෛ" මාසේ උපත නව මහඟු අවස්ථා සඳහා මඟ පාදනු ඇත යන අදහස ඇති "තයි පිරන්දාල් වලි පිරක්කූම්"නැමැති දෙමළ කියමන මෙම උත්සවයේ දී බහුලව භාවිතා කරයි. දමිල මාස ක්‍රමය අනුව තෛ මාසයේ (ජනවාරි) ප්‍රථම දිනය පොංගල් උත්සවය පවත්වන දිනයයි. ග්‍රිගෝරියන් කැලැන්ඩරයේ මාස ක්‍රමයට අනුව ජනවාරි 14 හෝ 15 දිනට තෛපොංගල් දිනයේ යෙදේ.


තෛපොංගල් උත්සවය දමිල ජනයා සඳහා පමණක් සුවිශේෂී වූවක් නො වේ. "මහාභාරත" මහා කාව්‍යයේ සඳහන් පරිදි පොංගල් උත්සවය සමස්ත ඉන්දියානු ජනතාවම පොදු චාරිත්‍රයක් ලෙස සමරනු ලැබේ. 

"මහා භාරත" ග්‍රන්ථයේ සඳහන් පරිදි භිෂ්මා විසින් සූර්යයා උතුරු දිසාවට හැරීමේ දී තමන් මිනිස් ජීවිතය අත්හැරීම සිදූ වූ බවත් එම සිදුවීම "උත්තරායනම්"නමින් හැඳින්වෙන බවත් කියැවේ. ධර්ම ශාස්තෘන් සඳහන් කරන පරිදි ජනවාරි 14වනදා වසරේ පළමු මාසය උදා වීම හෙවත් මකර සංක්‍රාන්තිය සිදුවන අතර කූම්භ සහ අර්ධ කුම්භ මේලා එදිනට අවසන් වේ. ඒ අනුව තෛපොංගල් උත්සවය පවත්වන්නේ තවත් අලුත් වසරක් සඳහා සූර්යයාගේ ගමන් ආරම්භය නිමිති කොට ගෙන වශයෙන්ද සඳහන් වේ.

තෛපොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩුවේ වැසියන් මෙන්ම ලෝකයේ වෙනත් රටවල වෙසෙන දමිළ ජාතිකයන් විසින් ද සමරනු ලැබේ. ශ්‍රී ලංකාව, මැලේසියාව, මුරිසි දිවයින දකුණු අප්‍රිකාව හා ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව සහ සිංගප්පූරුව යන රටවල වෙසෙන දෙමළ ජනතාවද මෙම උත්සවය සමරනු ලැබයි

තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අංග දෙකක් වන්නේ කිරි ඉතිරවීම සහ පොංගල් බත පිසීමයි. කිරි ඉතිරවීම සඳහා නැවුම් මුට්ටියක් යොදාගැනේ. 

කහ කොළ ඉඟුරු කොළ හා අඹ කොළ එකට තබා මුට්ටියේ කට වටා බඳිනූලැබේ. එහි පිට පැත්තේ ත්‍රිශූලයක ආකාරයට තුන් පැත්තට ඉරි තුනක් හෙවත් "තිරුනූර්" සලකුණු කරයි.එහි කට්ටකුමන්ජල් සුවඳ වර්ග ආදිය තවරා පොට්ටුවක්ද අඳින ලැබේ. ඉන්පසු මූට්ටියට එළකිරි සහ ජලය වත්කර කපුරුවලින් ගිණිමොලවා නිවසේ සැමියා සහ බිරිය ශිව දේව වන්දනාව සිදූකර ඉන්පසුව සකසා ගත් මුට්ටිය ප්‍රවේශමෙන් ලිප උඩතබයි. 

ඊට පවුලේ සියලු දෙනා එක් වෙති. කිරි උතුරා පිටට ගලන විට සියලුදෙනාම "පොංගලෝ පොංගල්" යනුවෙන් ශබ්ද නගමින් පවසන අතර ඇතැම්විට සන්ගු යන සංගීත භාණ්ඩය ද වාදනය කරනු ලබයි. කිරි උතුරා පිටාර ගලන පරිදි ජීවිතයේ සතුට ද තම හිත තුළ සතුට ද ඉතිරී යන බව ඔවූහූ විශ්වාස කරති. 

අළුත් අස්වැන්නෙන් ලබාගත් අලුත් සහල් කිරි හකුරු එළඟිතෙල් කජු හා වියළි මිදි එක් කර පිස ගන්නා ප්‍රණීත කිරිබත පොංගල් බත තෛපොංගල් උත්සවයේ අනෙක් ප්‍රධානම සංකේතයවේ.

සාම්ප්‍රදායිකව සකසාගත් තෛපොංගල් බත හිරු දෙවියන්ට පිදීම මගීන් නව අස්වැන්න ලබාදීම වෙනුවෙන් දෙවියන්ට කෘත ගුණ දැක්වීම අපේක්ෂා කරයි. පසුව පොංගල් බත පවුලේ සාමාජිකයන් සමඟ බෙදා හදා ගෙන අනුභව කරනු ලැබේ. තවද මෙදින නෑගම් යාම හා සුභ පැතුම් හුවමාරු කර ගැනීම ද සිදු වේ. 

මෙම උත්සවයට විවිධ වර්ගයේ කැවිලි වර්ග සාදනු ලබන අතර වඩේ මුරුක්කු වැනි ආහාර විශේෂ තැනක් ගනී

හින්දු ජනයා තෛපොංගල් උත්සවය දිනයේදී තම අසල්වැසියන්ට ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීමේ චාරිත්‍රයට ගරු කරති. එය අසල්වාසීන් සමග හොඳ හිත පවත්වා ගැනීමටත් සහජීවනය සහ සාමය තහවුරු කර ගැනීමටත් උපකාරී වේ. ශ්‍රී ලංකාව වැනි සංස්කෘතික විවිධත්වයෙන් යුත් සමාජයක වෙසෙන ජන කොටස් අතර සුහද බව සහජීවනය සඳහා තෛපොංගල් උත්සවය ලැබෙන්නේ ඉමහත් ආදර්ශයකි

ශ්‍රී ලංකා විශ්ව කලා සංසදයේ සභාපති
සරත් කුමාර දුල්වල

Post a Comment

0 Comments