SRI LANKA


 

ලෞකික ජීවිතයේ සැබෑ යථාර්ථය

1000.....  සංඛ්‍යාත දුප්පතුන්, අනාථයින් , වැන්දඹුවන් , රෝගීන්,අවශ්‍යතා ඇත්තන්....

තමන්ගේ එදිනෙදා  කෑම වේල......

පුංචි දරුවන් ගේ කිරිපිටි ටික.....

රෝගීන්ගේ පණ රැකගන්නට ,වේදනාව තුනීකරගන්නට ගත යුතු බෙහෙත්ටික  අරගන්නට...... 

අතේ තඹ දොයිතුවක් නැතිව අසරණ වෙද්දී ..

සොයාබලා

උව්වක් කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවෙද්දී....

කටක් ඇරලා තම වේදනාව , අවශ්‍යතාවය තව කෙනෙකුට කියාගන්නට බැරිව දෙගිඩියාවට පත්ව ලතවෙද්දී....

මුළු දේශයම ආර්ථික අර්බුදයේ කිමිදෙද්දී...

දහස් ගණනින්  මුදල් තම සාක්කුවල  රදව ගන්නෝ...

ලක්ෂ ගණනින්
මුදල් තම සේප්පුවල සුරකින්නෝ...

කෝටි ගණන් මුදල් තම ගිණුම්වල බැරකරගෙන භුක්ති විඳින්නෝ....

නීතීයට පරිබාහිරව හොර රහසේ මුදල් පරිහරණය කරන්නෝ

තරම් මනුෂ්‍යත්වයට නිගා කරන්නෝ මේ මිහිපිට තවත් සිටීද.......?????

ධර්මතාවයන් වලට අනුවනම් මෙය ඉතාමත්

පාපකර්මිත , පහත් ක්‍රියාවකි...

නමුත් අද මිනිස්සු ධර්මානුකූල වීමට වඩා ආගමානුකූල වීමයි ඛේදවාචකය...

අප ගම් නගරවල අප පරිසරයේ  ජිවත් වන කපුටන්ටත් වඩා අන්තද මිනිස්සු....?

කපුටෙකුට ආහාර වේලක් ලැබුනොතින් එය කෙතරම් ප්‍රමාණයෙන් කුඩා වූවත් තම ජාතිකයින්ට , සගයින්ට කාක්...කාක්...යනුවෙන් ශබ්ද නගා එකතුකොට සාමූහික ව බෙදාගෙන භුක්ති විඳිති...

සතෙකූ,සිව්පාවෙකු  මරණයට  පත්වූයේනමි ඒ රැහේ උන් එකතුවී තම ශෝකය පළ කරති...

නමුත්  මනුෂ්‍යන් ලෙස අද අපේම සමහර අය 

.අසරණ වෙලා  කරකියාගන්නට කිසිවක් නැතිව පීඩාවට පත්ව සිටිද්දී ...

අසල් වැසියාගේ නිවසේ 

දරුවෙකු හඩනු නිතර ඇසුනද...

එම නිවසේ ආහාර නොපිසෙනු හොදින් තේරුනද ...

එම නිවසේම වයස්ගත රෝගී  පුද්ගලයාගේ නිර්වර්ජිත  කෙදිරිල්ල සෑම රාත්‍රියකම කනට දෝංකාරවියද....

යමක් කලහැකි අසල්වැසියා නිහඩ වීම තරම්  මනුෂ්‍යත්වයට මරු පහරක් තවත් නැත...

අනෙකාගේ කුසගින්නේ වේදනාව තේරුම් ගත නොහැකි හිත්පිත් නැති අමුනුෂ්‍යයින් ලෙසින්.....

දරුවන්ගේ කදුලු වලට සත්කාරයක් දිය නොහැකි....

රෝගියාගේ  වේදනාව හදුනන්නේ නැති...

කුමන ආගමිකයෙක්  හෝ ජාතිකයෙක් වේවා...

මෙවැනි මනුෂ්‍ය මළකදන් සමස්ථ මානව සංහතියටම ශාපයකි....

 තමුන් මොන ආගමිකයෙක්,ජාතිකයෙක් වූවත් තමන් කරන  මෙම  වංචාවට සර්වබලධාරීයානන්

 ඉදිරියේ  කෙසේනම් උත්තර බඳිද ..????

" තම අසල් වැසියා නිරාහාරව සිටිද්දී තමුන් පමණක් කුස  පුරවන්නා සැබෑ විශ්වාසවන්තයා නොවේ. යනුවෙන් නබි නායක  මුහම්මද් තුමාණෝ වදාළ සේක"...

නමුත් මේ හැමදෙයක්ම අද පොත,පතට,තිරයට ,දේශනාවට, අනුශාසනාවට,වාද විවාද වලට , ආකල්පවලට ,  චන්ද පොරොන්දු වලට සීමා වී හමාරයි....

දැන්වත් .... මනුෂ්‍යයත්වයට  ඉඩදී මදක්  කල්පනා කරමු...

ඔඹ මුස්ලිම් වෙන්න පුළුවන්...

සිංහල වෙන්න පුළුවන්...

හින්දු,කතෝලික වෙන්න පුළුවන් ...

හැබැයි බඩගින්න ඉදිරියේ අපි හැමෝම පොදුයි අපි හැමෝම මනුෂ්‍යයෝ....

දැන්වත් හිතන්න 

අප කරනදේ නිවැරැදි ද, සාධාරණද, ?  කියා 

අපි තණ්හාවෙන්  බදාගන්නා මෙම කිසිවක්   අපිට අයිති නොවේ ,අපි බෙදා දුන් දේ පමණයි අපට කවදා හෝ  අයිති වන්නේ ....

ගෞතම බුදුරජාණන් වහන්සේ තම ජීවිතකාලයේ කිසිවක් බදාගත්තේ නැහැ බෙදාදුන්නා මිසක්....

ගෞරවනීය ක්‍රිස්තුස් වහන්සේ තම පැවැත්ම උදෙසා කිසිවක් බදාගත්තේ නැහැ බෙදාදුන්නා මිසක්....

අප ගෞරවනීය නබි නායක මුහම්මද් තුමාණේ තම ජීවිත කාලයටම කිසිවක් තමන්ට හෝ තම පවුලේ අය වෙනුවෙන්  බදාගත්තේ නැහැ බෙදාදුන්නා මිසක්....

උන්වහන්සේ ලෞකික ආශාවෙන් මිදී තමන් සතුදේ අන් අයට බෙදා දුන්නේ කෙසේද කියතොත්.... තමන් වහන්සේ මෙලොවින් සමුගන්නට සූදානම් වූ ඒ මොහොතේ පවා මරණ මංචකයේදී තමුන්  වහන්සේට ඇතිවූ අධික කුසගින්න නිවා ගන්නට  තම නිවසේ, මෙන්ම තම ඤාතීන්ගේ නිවෙස් වලින්  යම් ආහාරයක් ලැබෝවිදෝ කියන බලාපොරොත්තුවෙන් සිටියද ,අවසානයේ අඩූ තරමින් රට ඉදි ඇටයක් වත් තම අවසාන  කුසගින්න සංසිදුවා ගන්නට  නොලැබුනු පසුබිමකයි  මෙලොවින් සමුගත්තේ...

( උන් වහන්සේට ආශිර්වාද වේවා...)

විවිධ ආගම්තුලින් අපට නායකත්වය ලබාදුන් ශාස්තෘවහන්සේලා ,නායකතුමන්ලා  තම ප්‍රායෝගික ජීවිතයේ  මෙලෙස ආදර්ශ ලබාදුන්නද , වර්තමාන සමාජතලයේ අපට නායකත්වය හොබවන සමහර උදවිය  ඒ වගේම ධනේශ්වරුන් ලෙස පෙනීසිටින  තවත් සමහර අය  ලෞකික තණ්හාවෙන් මේ හැමදෙයක්ම බදාගෙන

අනුන් සතුදේ පවා  සූරගෙන ජීවත් වන්නට උත්සාහ දරන්නේ... ඔවුන්ට ලැබී ඇත්තේ  නිමාවක් නැති නිත්‍ය ලෞකික  ජිවිතයක් තුලදෝ යන්න  සමහරවිට සිතේ,

එලෙසම  ඔඹුන්ට මරණයක් නැති ලෙස ඔවුන් සිතා සිටීදෝ .අපට හැගේ ....

ඹවුන් එලෙස සිතන්නේනම් එය මුලාවකි , අභාග්‍යයකි...

ඔවුන්ම එය  තේරුම් ගත යුතුයි.

මෙයට කදිම නිදසුනක් අපි නබි නායක මුහම්මද් තුමාණේ මෙලෙස විග්‍රහ කලේය...

" මේ මහපොළවේ වෙසෙන්නන් තණ්හාවෙන් උමතු වී 

මගේ ධනය....

මගේ ධනය.......

මගේ වස්තුව...... 

යන  මෙයින් වස්තු තණ්හාවෙන් පොර බඳිති,අරගල කරති,එකිනෙකා තරග කරති, විවේචනය කරති ,විටෙක ගහමරා ගනිති,  නඩුහබවලට පැටලෙති , තමන් සතුදේ අන් අයට ලබාදෙන්නට,උදව්, උපකාර කරන්නට බිය වෙති මසුරුකම් පාති....

අහෝ මිනිසුනි...! මදක් නතර වන්න....! කල්පනා කරන්න...!

අද ඇතිවී තිබෙන  මේ වස්තු තණ්හාවෙන් ඔඹ මෙය බදාගෙන,අනුන්ට නොදී තමුන්ට අයිති කරගන්නට මෙලෙස ක්‍රියාකළ ද,...

අවශානයේ දහස් ගණනින්, ලක්ෂ ගණනින්, මිලියන, ට්‍රිලියන ගණනින්  ඔඹ රැස්කරපු ,එකතුකරපු ධනයෙන්,වස්තුවෙන්  ඔඹට ඇති අයිතිය කුමක්ද , උරුමය කුමක්ද ?

කිසිවක් නැත...

ඔඹ විවිධාකාර අරමූණු,අභිලාෂයන්, සැලසුම් කරගෙන සිටිනා මොහොතක  අනපේක්ෂිත ලෙස මරණයට ගොදූරුවී ඔඹ ශරීරයෙන් ආත්මය පිට වූ කල ඔඹ සතු සියළු දේ  ක්ෂණිකව, නිමේෂයකින් අන්සතුවේ...

කෝටිපති මහත්මා "ඔඹ" නිමේෂයකින් මළමිනියක් වේ..

ඔඹව බලන්නට ඔඹ ගෙදරට එන හැමෝගෙම මුවෙන් පිටවන්නේ අපි " කෝටිපති මහත්මයා"  ගේ නිවෙසට යනවා කියන වචනය නොවේ...

"අපි මලගෙදරට " යනවා කියන ප්‍රකාශයයි....

ඔඹ ඔඹේ පවුලේ අයට කෙතරම් ආදරණීයෙක් වුවද ,වටිනා අමිල වස්තුවක් වුවද..!

ඔඹව දවසකට,දෙකකට  වඩා නිවසේ තබාගන්නේ නැත...හේතූව ඹබගේ ශරීරයතුල ප්‍රාණය නැති නිසා එයට පැවැත්මක් නැත,ඔඹට මින් ඉදිරියට වටිනාකමක් නැත, ඔබව මිහිපිට තබාගැනීම මිහිතලයට හිසරදයකි.පරිසරයට ඛේදවාචකයකි....

 ඔඹව දැක ආචාර කරපු අය, ඔඹට මල් මාලා පලදපු අය , විටෙක ඔඹ ජයග්‍රහණයේදී ඹබව කරමතතබා උද්දාමයට පත් වූ අය, විටෙක ආදරයේ නාමයෙන් ඔඹ වෙනුවෙන්  තම ජීවිතය පවා පූජා කරන්නට වැරදි මානසිකත්වයෙන් ප්‍රේමය උලුප්පා පෙන්නපු අය,  අද ඹබව මිහිදන් කරන අදුරු කුට්යේ ඔඹ සමග විනාඩියක්වත් තනිරකින්න සූදානම් නැත.. එසේත් නැතිනම් ඔඹ සමග දහනය වන්නටද සූදානම් නැත...( එය ප්‍රායෝගික ද නොවේ)...

දැන් ඔඹට තිබෙන එකම විකල්පය ඔඹ පසට යටවීමයි..   මෙයයි ඔඹ ආදරය කරපු මහපොළව ජීවිතයේ  යථාර්ථය..

එ නිසා ඔඹ ජීවත්වෙද්දී  මහ පොළොවේ මා ඔඹට ලබාදුන් අසීමිත වස්තූන් අතරින් ඔඹට අයිති වන්නේ කාරණා තුනක් පමණි....ඹබගේ ඉඩකඩම්,යාන වාහන,වය්‍යාපාරික ස්ථානවලට ඔප්පුවක් , බලපත්‍රයක්  ඔඹේ නමින්  තිබිය හැක. නමුත් ඒ හැමදේම අනිත්‍ය වූ නාමික අයිතීන් පමණි...}

ඔඹට ලැබුණු නිත්‍ය අයිතිය නම්..

1) ඹබගේ කුසගින්නට ,පිපාසයට ඔඹ කාපු,බීපු දේ ඔඹට අයිති වේ...

2) ඔඹ නිර්වත වසාගන්නට යම් ඇදුමක් , පැළදුමක් පරිහරණය කළේ නම් එය අයිති වේ....

3) එසේත් නැතිනම් මරණයෙන් මතුභවයේ  නිවන,ස්වර්ගය, අරමුණු කරගෙන ආගම්,දහම් වෙනවෙන් ,පොදූ සමාජයේ යහපත වෙනුවෙන්,දුප්පතුන්, අනාථයින්, අවශ්‍යතාවයන් ඇත්තන් වෙනුවෙන් යම් දෙයක් ආයෝජනය කළේද,එය අයිති වේ....( මෙයයි සැබෑ අයිතිය )

ඉන් එහාට කිසිදු අයිතියක් නැත...

ඔඹ කෙතරම් ලොක ධනේශ්වරයෙකු උවද , ප්‍රභූවරයෙකු උවද  මුළු විශ්වයම පාලනය කරන රජෙක්  උවද මේ කරුණුටික හැරෙන්නට අන් කිසිවක් ඔඹට අයිති නැත....

එයිනුත් නබිතුමාගේ ප්‍රකාශයේ සඳහන් "ඔඹ කාපූ කෑම ඹබට අයිතියි"

කියන ප්‍රකාශය දිහා මදක් අප අවධානය යොමු කරමු...

අප මේ මහපොළවේ මෙතරම් අරගලයක් කරලා මේ වස්තුව ඉපැයීමේ  එක් මූලික අරමූණක් නම් කුසට ආහාරයක් ලබාගැනීමයි...

මෙන්න මේදේ වෙනුවෙන් ධනය උපයන්න  සමහරුන් නොකරන දෙයක් නැහැ ....

ව්‍යාපාරයේදී කෙතරම් මුසාවන්,වංචාවන්,රැවටිලි,ඇන්දවීම් කරලද මේ මුදල් හම්බ කරන්නේ...

එහෙම හම්බකරපූ ධනයෙන් අපි අනුභව කරන කුමක්  හෝ ආහාරයක් පිළිබදව මදක් විමසිලිමත් වන්න....

ඔඹ හිතන්න....! ඔඹ ලස්සන වර්ණවත් සුවදවත් , ඇෆල් ගෙඩියක් අනුභව කරන්නේනම් ...

තම දෑස්වලින් එහි ලස්සන බලලා,තම නාසයෙන් එය පුසුඹවත් කරලා , තම දිවෙන් එහි රසය අත්විදලා...

තම දත්වලින් සපා දිව මත තබා ....

රස,සුවද,වර්ණයේ ආශ්වාදය සම්පූර්ණයෙන්ම ලබාගෙන  තම උගුරේ සිමාවෙන්

පහළට නික්ම යෑමෙන් අනතුරුව එයට සිදුවන්නේ කුමක්ද කියා ඹබ , මා කිසිවෙකුත් නොදනී....

 අනතුරුව...

කෙටි වේලාවකින් ඔඹ එතරම් ආදරයෙන් , ආශාවෙන්, කෑදරකමෙන් තමන්ට පමණක්ම...අයිති කරගත් එම අයිතියේ ප්‍රතිථලය ඹබ ශරීරයෙන්ම තවත් තැනකින් පිටත්වේ...

එකම ශරීරයේ තැන් දෙකකින් ඹබගේ ආශාවේ,තණ්හාවේ,අවශ්‍යතාවයේ ප්‍රතිථලය මෙලෙස දර්ශනය වේ....

ඒ මොහොතේ ඔඹ සිතන්න...?

 එය භුක්ති විඳින්නට   ඔඹ කෙතරම් අරගල කලේද...?

 මහන්සි වුනේද..? රණ්ඩු දබර කලේද,...?

නඩුහබ වලට පවා සමහරවිට පැටලුනේද, ..? 

දැන් බලන්න එහි ප්‍රතිඵලය 

කෙතරම් අප්‍රසන්න ද,? කෙතරම් දුර්ගන්දද? කෙතරම් අප්‍රියද?  නිත්‍ය වශයෙන්ම කිසිම විටෙක ඔඹ එය බදාගන්නට.. තමන්සතු කරගන්නට  උත්සාහ නොකරයි...

මෙයයි  අප බදාගන්නට උත්සාහ කරන මේ ලෞකික ජීවිතයේ යථාර්ථය...

එ නිසා මේ කිසිවක් අවශ්‍යතාවයට වඩා බදාගෙන   දුක්විඳින්න එපා...

ලෝබකමින් අත්මිදෙන්න , දැහැමි සිතෙන් උපකාර කරන්න...

මේ යථාර්ථය ගෞතම  බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා.....

අපි නබි නායක තුමාණෝ තේරුම් ගත්තා...

ක්‍රිස්තූස් වහන්සේ තේරුම් ගත්තා....

එනිසා ඒ උත්තමයාණන් වහන්සේලා ජීවත්වූ කාලයෙත් කිසිවක් බදාගත්තේ නැහැ බෙදාදුන්නා....

මරණයෙන් පසුවත් ඹවුන් වහන්සේලාගේ සන්තකයේ කිසිවක් රැස්කොට තිබුනේ නැහැ...හැමදේම බෙදා දී හමාරයි..

නමුත් වර්තමානය තුල අප  සමහර  නායක වරුන් පාලක වරුන් අහිංසක ජනතාව  අගාධයට තල්ලුකරමින්  ....

 කරන්නාවූ මෙම විගඩම් දිහා බලද්දි...

කාලයක් සුනාමියෙන් අපි වැටුනා....

තවත් කාලයක් ජාතිවාදය,ආගම්වාදය නිසා අපි වැටුනා...

තවත් කාලයක් කෝවීඩ් වෛරසය නිසා වැටුනා...

තවත් කාලයක් දේශපාලනික බලයේ පැවැත්ම අභියස වංචා සහගත බලය බෙදාගැනීමේ  කුමන්ත්‍රණකරුවන්ගේ" රට රැකගැනිමේ සහ සංවර්ධනය කිරිමේ තේමා පාඨයන්  අභියස වශී  වහල් භාවයට පත්ව නැත්තටම නැති උනා.....

මින් එහාට අපට වැටෙන්නට වලක් නැත...

වැටී ඇති වලේ මිහිදන් වෙනා  හැරුණු කොට ....

කෙසේ වෙතත් වැටුනු වලෙන් ගොඩවන්නට යම් අප්‍රාණික  උත්සාහයක යෙදුනද ,පාලකවරුන් හිත්පිත්නැති ආකාරයට  ඇස් වහගෙන දෛනිකව තම හිතුමතේට අහස උසට අත්‍යාවශ්‍ය ආහාරවල  මිල වැඩිකරන්නේ  හරියටම ලංකාවේ සිටින, මේ මොහොතේ ඉපදෙන දරුවා දක්වාම සියළුම පුරවැසියන්ට මාසිකව අවම වශයෙන් රුපියල් 75,000 දහසක වැටුපක් රජයෙන් ලබාදෙන මානසිකත්වයෙනි...

 (අහෝ සර්ව බලධාරීණෙනි..! මේ අවනඩුව ඔඹටම භාරකරන්නෙමු)

එසේත් නැතිනම් හැකිනම් කාපල්ලා නැතිනම් මැරියල්ලා කියන මනෝභාවයෙනි...! 

දැන්නම් අපට සිතෙන්නේ 

ඹවුන්ටත් අනුගමනය කරන්නට විශ්වාස කරන්නට, යම් දහමක් 

ධර්මතාවයක් තිබේදැයි යනු ප්‍රශ්නාර්ථයකි....

දිනෙක ඹබට අසරණයෙකුට පිහිටවීමේ භාග්‍ය ලැබුනේනම් එදින රාත්‍රීය නින්දට යන්නට පෙර මදක් ඒ ගැන සිතන්න ඔඹට විශාල මානසික තෘප්තියක් ඇතිවේ....**

ඉදිරියේ කුමක් වේවිද...? 

බලා සිටිමු.....

" සියළු සත්වයෝ නිදූක් වෙත්වා....

නීරෝගි වෙත්වා....

සුවපත් වෙත්වා "....

 හුදෙක්ම...මෙය කියවන්නට පමණක් නොව කියවා ...සිතන්න තේරුම් ගන්න නැතිනම් අපට රටක්ද,හෙටක්ද, නැතිවේවි....

සටහන : 
සමස්ථ ලංකා ආගමික දේශක , දේශමාන්‍ය , දේශබන්දු කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.


       






Post a Comment

0 Comments