SRI LANKA


 

මේ කවුද? මොනවද කරන්නේ?

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා ශ්‍රීලාංකිකයෙකි. ඔහු සිංගප්පූරුවේ ප්‍රකට විශ්වවිද්‍යාලයකට අනුබද්ධ පවත්නා එස්. රාජරත්නම් අන්තර්ජාතික මධ්‍යස්ථානයේ ආරක්ෂක කටයුතු අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන්ද සඳහන්ය.

එතුමා විසින් රචිත"පාස්කු ඉරුදින ම්ලේච්ජ සංහාරය තුළින් ජාත්‍යන්තර ප්‍රජාවට උගත හැකි පාඩම්"නම්ග්‍රන්ථය එළිදැක්වීම නිමිතිකරගෙන ඊට සමාන්තරව පැවැත්වෙන දේශනයක් පසුගිය 28 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

එම උත්සවයට සරසවි පොත් සමාගම සහ පෙන්ගුයින් රැන්ඩම් හවුස් නම් ආයතන ද්වය විසින් සකස් කළ ආරාධනා පත්‍රයක් මගින් ආරාධිතයන්ට ආරාධනා කර තිබිණි.

එම ආරාධනා පත්‍රයට අනුව මතු කී ග්‍රන්ථය දොරට වැඞීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාටත්, ගෞරවනීය ආරාධිතයා ලෙස ගරු විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාටත් ආරාධනා කර තිබිණි.

මෙම උත්සවයට මා ආරාධිතයකු නොවුණු අතර මා ඊට සහභාගි වූයේ ද නැති බව සඳහන් කරමි. එනිසා එකී උත්සවයේ අනෙකුත් ආරාධිතයන් කවුද ?යන්න මම නොදනිමි

එසේම ආරාධනා පත්‍රයේ සඳහන් ප්‍රධාන ආරාධිතයා හා ගෞරවනීය ආරාධිතයා සහභාගි වූවා ද යන්න ද මෙම ලිපිය ලියන මා නොදනිමි.

මෙම උත්සවයට ආරාධනා කර සකස් කර තිබූ ආරාධනා පත්‍රයේ සම්පූර්ණ ඡායාරූපයක් මා අන්තර්ජාලයේ දුටුවෙමි. . එම ආරාධනා පත්‍රය පොතක් දොරට වැඩීමේ උත්සවයකදී සාමාන්‍යයෙන් සකස් කරන ආරාධනා පත්‍රයකට වඩා සුවිශේෂී එකක් බව මා එහිදී නිරීක්ෂණය කළ බවද ප්‍රකාශ කරමි.

එම විශේෂත්වය වන්නේ ගත්කරු මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින් රචිත දොරට වැඩීමට නියමිත ග්‍රන්ථයෙන් රටටත් ලෝකයටත් ප්‍රකාශ කරන්නට යන පණිවිඩය පිළිබඳ යම් පූර්ව ඉඟියක් ප්‍රකාශ කර තිබීමයි.

ඒ අනුව පොත දොරට වැඩීමේ උත්සවයේ දී පැවැත්වෙන දේශනය හෝ හඳුන්වාදීම මගින් ද සිදුකිරීමට අපේක්ෂා කරන්නේ එකී ග්‍රන්ථයෙන් ප්‍රකාශ කිරීමට නියමිත පණිවිඩය පිළිබඳ විස්තර කිරීමක් හෝ තහවුරු කිරීමක් වන වගද පැහැදිලිවේ.

තවද එකී ආරාධනා පත්‍රය මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා ද දැනුවත් ව සකස් කරන ලද්දක් විය හැක්කේ එම ග්‍රන්ථය මගින් හෙළිදරව් කෙරෙන කරුණු ලෙස සැලකිය හැකිදැ එහි සටහන්ව ඇති හෙයිනි.

එම ආරාධනා පත්‍රයේ සඳහන් ප්‍රථම කරුණ වන්නේ 2001 සැප්තැම්බර් 11 වෙනිදා ආගමික අන්තවාදී කණ්ඩායමක් වන "අල්කයිඩා සංවිධානය" ඇමෙරිකාවේ සිදුකළ බියගුළු දරුණු ත්‍රස්ත ප්‍රහාරයට පසුව සිදුකළ ලොව දරුණුතම ම්ලේච්ඡ ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරය ලංකාවේ සිදු කළ පාස්කු ප්‍රහාරය බවයි.

ඊට උදාහරණ වශයෙන් 2002 දී බාලි දූපත් හිදී මිනිසුන් 202 ක් ද, 2003 දී මැඩ්රීඩ් නගරයේදී මිනිසුන් 193 ක් ද, 2005 දී ලන්ඩන් නගරයේදී මිනිසුන් 56 ක් ද, 2008 මුම්බායි නගරයේදී මිනිසුන් 175 ක් ද , ලෙස ආගම අභිප්‍රේරිත සලෆි ජාහිඩ් වාදයේ විකාශයක් ලෙස මිනිසුන් මරා දැමීමේ ජ්‍යාන්තර ත්‍රස්ත ප්‍රහාර සිදු වූ බව ඉන් පවසයි.

ඒ අනුව ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් 275 ක් මිය යාම මගින් 2001 සැප්තැම්බර් 11 වෙනි දින ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සිදුකළ ප්‍රහාරයට පසු සංඛ්‍යාත්මකව වැඩිම මිනිසුන් මරණයට පත් වූ ආගම් අභිප්‍රේරිත ත්‍රස්ත ප්‍රහාරය පාස්කු ප්‍රහාරය ලෙස හුවා දක්වයි.

 නමුත් එම හුවාදැක්වීම සත්‍ය විකෘති කිරීමකි. සාවද්‍ය ප්‍රකාශයකි.

මක්නිසාද වෙනත් ආගම් අභිප්‍රේරිත ත්‍රස්ත කණ්ඩායම් විසින්ද ලොව තවත් රටවල සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාර වලදී ඊට වඩා මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය අවස්ථා තිබෙන හෙයිනි.

උදාහරණයක් ලෙස කොන්ගෝව මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව සහ සුඩානය යන රටවල දේශ සීමාවේ ක්‍රියාත්මක ක්‍රිස්තියානි ආගම් අභිප්‍රේරිත(දස පනත අනුව රාජ්‍ය පාලනය සිදු විය යුතු බව කියන) එල්.ආර්.ඒ.(lord,Resistance Army) නමැති සංවිධානය 2008 දී සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිනිසුන් 865 ක් මරණයට පත් කර ඇති බව වාර්තා වී ඇති හෙයිනි .

ඒ අනුව ඉහත කී ආරාධනා පතේ සඳහන් ප්‍රකාශයට අනුව ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ලෝකයේ සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය ලෙස හැඳින්වීම හිතාමතාම සත්‍ය විකෘති කර ප්‍රකාශ කිරීමකි.

මහාචාර්ය රොහාන් ගුණරත්න වැනි විද්වතකු විසින් රචිත ග්‍රන්ථයක එවැනි අඩුපාඩුවක් සිදුව ඇත්නම් එය අත්වැරදීමක් වීමට ඇති සම්භාවිතාව ඉතා අල්පය.

එසේ නම් මහාචාර්ය රොහාන් ගුණරත්නයන් හිතාමතාම දැනුවත්ව එවැනි සාවද්‍ය විශ්ලේෂණයක් සිය ග්‍රන්ථයෙන් කර ඇත්නම් එයින් ජාතික ආගමික හෝ වාර්ගික ද්වේශයක් වෛරයක් ජනිත වුවහොත්, ඊට වගකිව යුත්තේ කවුද?

රොහාන් ගුණරත්න මහාචාර්යවරයා වැනි අන්තර්ජාතික වශයෙන් ඉහළ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයකු අතින් ලියවෙන පොතකින් සිදුවිය හැකි ප්‍රතිවිපාකය ශ්‍රී ලාංකික සමාජයේ අදටත් පූර්ණ වශයෙන් නොවිසඳී පවත්නා සංහිඳියාව පිළිබඳ ගැටළුවට කවර ආකාරයෙන් අහිතකර බලපෑමක් කරනු ඇතිද?

ඒ පිළිබඳව අදාල ආරාධනය ලැබූ ගරු කථානායකතුමාගේ සහ ජනාධිපති නීතිඥ විදේශ කටයුතු ඇමති තුමාගේ අවධානය යොමු වී ඇත් ද?

විශේෂයෙන් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිගෙන 2007 නොවැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කර බලාත්මක කරන නීතියට අනුව සහ ඊට 2019.08.29. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දී ඇති අර්ථ නිරූපණ නිර්දේශයන්ට අනුව බුද්ධි අංශවල සහ ආරක්ෂක අංශවල අවධානය මතු සඳහන් කාරණය ගැන යොමු වී ඇත්ද?

ඒ අනුව අදාළ අංශ විසින් මෙම උත්සවයේ සංවිධායකයන් සහ මහාචාර්ය රොහාන් ගුණරත්න සම්බන්ධයෙන් අදාල නීති රීති වලට අනුව අපරාධ විමර්ශනයක් සිදු කරන්නේද

ඇතැම් විට මෙම පොත දොරට වැඩීමේ උත්සවය සංවිධානය කළ පොත් සමාගම් ලාභ ප්‍රචාරණයක් ලබා ගැනීම උදෙසා යම් කොටසක් පමණක් උපුටා පළ කළේ ද? එසේ නම් ඔවුන්ගේ වගකීම් විරහිතභාවය ගැන අදාළ බලධාරී අංශ ක්‍රියාත්මක වනවාද?

යන ප්‍රශ්න ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් කැප වූ සිවිල් පුරවැසියන් සැමදෙනා විමසිය යුතු නොවේද?

ඉහත කි නීති ප්‍රතිපාදන යටතේ පසුගිය කාලයේ විවිධ ආගමික කොටස් කල ප්‍රකාශයන් මත අත්අඩංගුවට ගැනීම් බන්ධනාගාර ගත කිරීම් රැසක් සිදුවිය එකී තත්වය රොහාන් ගුණරත්න මහාචාර්යවරයා සහ ඔහුගේ පොත දොරට වඩම්මන උත්සවය සංවිධානය කල අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ කවර හේතුවක් මත ද?

ඔවූන් පවත්නා නීතිය අභිබවා සිටින්නහු ද?

ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රිත ආරාධනා පත්‍රයේ සඳහන් දෙවන විශේෂ ප්‍රකාශය වන්නේ"මෙම ව්‍යසනකාරී ප්‍රහාරය අනපේක්ෂිත වූ අතර එමගින් රටේ සමාජ ආර්ථික දේහයට පුළුල් බලපෑමක් වූ බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය කඩාකප්පල් වූ බවත්, ආර්ථිකයේ කොඳු නාරටිය වූ සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට ලක්වූ බවත්, එම දරුණු බලපෑම සහ ඇති වුනු කොවිඩ් වසංගත තත්ත්වය රට අර්බුදයට ගෙන යාමට හේතු වූ බවයි.

තුච්ච නින්දිත පාස්කු ප්‍රහාරය සැබැවින්ම නොවිය යුත්තකි. එයින් ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවට සහ ආර්ථිකයට විශාල අනතුරක් කළ බව ද සැබෑවකි.

නමුත් ශ්‍රී ලංකාවේ ජාතික සමගියට පාස්කු ප්‍රහාරයෙන් ඇති වූ බලපෑම සේම එම අවස්ථාවේ බෞද්ධ හින්දූ ඉස්ලාම් ආගමික නායකයන් එය අවම මට්ටමක රඳවා ගැනීමට දැරූ එක්සත් ප්‍රයත්නය සාර්ථක වීමෙන් "අපට ජාතික ආගමික සංහිදියාව ගොඩනගා ගැනීමට හැකිය" යන ජාතික විශ්වාසය සමස්ත ශ්‍රී ලාංකික සමාජය තුල ජනිතව ඇති බව මහාචාර්යවරයා අමතක කරන්නේ සාහසිකව නොවන්නේද?

සිදුවීම තරයේ හෙළා දකිමින් ඉස්ලාමීය , බෞද්ධ, ක්‍රිස්තියානි, සියලු ආගමික නායකයන් එකම ස්ථාවරයේ සිටියා සේම තවත් හානි නොකර ගැනීමට කාදිනල්තුමාගේ මැදිහත්වීම පෙරටු කරගෙන සියලු ආගමික නායකයන් දැරූ එක්සත් ප්‍රයත්නය අද වනතුරුම අපට සතුටුදායක සාධනීය සංහිඳියාවක් පවත්වාගෙන යාමටත්, අනාගතයේ ඉතා සුබවාදී ව එය නොකැඩෙන නොබිඳෙන ලෙස ගොඩනඟාගත හැකි වීමේ සුභවාදී බලාපොරොත්තුවක් වත්මන් ශ්‍රී ලාංකික සමාජයේ මුල්බැස ගනිමින් තිබෙන බව මහාචාර්ය වරයාගේ විශ්ලේෂණවලට නොපෙනෙන්නේ මන්ද?

එනිසා අප කළ යුත්තේ මෙවැනි බොරු බිල්ලන් මවන්නන්ගෙන් ප්‍රවේසම් වීම සහ ඔවූන් පිටුදැකීම සහ ඔවුන්ට එරෙහිව ද්වේෂය වෛරය පැතිර වීම වැලැක්වීමට නීතිමය පියවර ගන්නා ලෙස අදාළ බලධරයන්ට දන්වා සිටීම නොවේ ද?

අනෙක් අතට ආර්ථිකයට සිදු වූ හානිය සිදු වූ ප්‍රථම හා එකම අවස්ථාව පාස්කු ප්‍රහාරයක් ලෙස ලඝු කිරීම ආර්ථික විද්‍යාව පිළිබඳ යම් සුළු දැනුමක් හෝ ඇති අයෙකුටද, වැටහෙන කරුණකි. තිස් අවුරුදු යුධ සමයේත් අපේ රටේ සංචාරක ව්‍යාපාර ට විශාල අන්තර් ජාතික බලපෑමක් පැවතිණි. නමුත් එය කඩා වැටුනේ නැත. පාස්කු ප්‍රහාරය ද ඊට බලපෑ බව ඇත්තකි. නමුත් එය එකම හේතුවද නොවේ. එසේම මෑතකදී රටේ ඇති වූ ආර්ථික අර්බුදය දීර්ඝ කාලීනව අප රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ දෝෂයක් මිස පාස්කු ප්‍රහාරය නිසා ඇති වූවක්ද නොවේ.

ගරු මහාචාර්යවරයාගේ පොත දොරට වැඩීමේ උත්සවයේ ආරාධනා පත්‍රයේ පාස්කු ප්‍රහාරයේ බලපෑම මත සංචාරක ව්‍යාපාරය කඩා වැටීමෙන් අපේ ආර්ථිකය අර්බුදයට ලක් වූවා යයි විග්‍රහ කරන්නේ සිතා මතාම අපේ රටේ මුස්ලිම් ජන කණ්ඩායමට සෙසු ජන කණ්ඩායම් වල වෛරය ද්වේෂය ඇති කිරීමට නොවේද?

තවද එය මේ රටේ සාමාන්‍ය ජනතාවට කරන නිග්‍රහයකි. එම පොත් එවැනි විග්‍රහයක් කර ඇත්නම් එය පිළිගැනීමට තරම් අපේ රටේ ජනතාව මෝඩයෝ ද නොවෙති.

එසේනම් මේ උත්සාහ දරන්නේ ජනතාව ඇන්දවීමටත් කවූරු හෝ දේශපාලන කණ්ඩායමකගේ උවමනාවකට කඩේ යාමකටත් දැයි යන ප්‍රශ්නය මතු වනවා නොවේද?

ඊළගට මෙම ආරාධනා පත්‍රයේ සඳහන් කරුණකින් "බල්ලා මල්ලෙන් එලියට පනි". එකී ආරාධනා පත්‍රය සුවිශේෂීව සකස් කිරීමත්, පොත මේ වකවානුවේදීම එලි දැක්වීමත්, ඊට අදාළ දේශනය කුමක් අරමුණු කරගෙන කරන්නේද, යන්නත් ආරාධනා පත්‍රයේ සඳහන් එම සටහනෙන් මනාව පෙන්නුම් කරයි.

එයින් කියවෙන්නේ ආගමික අන්තවාදය කළමනාකරණය කිරීම විෂයෙහි ශ්‍රී ලංකාව අලුත් බවත්, එනිසා දුර්වල තීරණ ගත්බවත්, එනිසා ඊළඟ ප්‍රහාරය වැළැක්වීමට රජය දැනුවත් විය යුතු බවත් ජනතාව සවිබල ගැන්විය යුතු බවත්ය.

රොහාන් ගුණරත්න මහාචාර්යතුමාටත් ඔහු වෙනුවෙන් එම ආරාධනා පත්‍රයට එකී කරුන ඇතුළත් කළ අයටත් එකක් අමතක වී ඇත. ආගමික අන්තවාදය කලමනාකරණයට ලංකාව අලුත් නොවන බව ඔවුන්ට නොතේරීම ඉන් පළමුවැන්නයි.

ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් පුරා බහුආගමික/බහු සංස්කෘතික/බහු ජාතිකත්වයක් ඇති රටකි, ඉතිහාසය පුරා තිස් අවුරුදු යුද්ධය හැරුනු විට අපේ රටේ ඇති වූ ජාතික ආගමික සංස්කෘතික ගැටුම් දිගු කාලයක් පැවතුන ඒවා නොවේ. එසේම අපේ ඉතිහාසය දෙස පාට කන්නාඩි නැතුව බැලුවොත් එය ගැටුම් බහුල ඉතිහාසයකට වඩා සාමයෙන් සංහිඳියාවෙන් ගතකළ ඉතිහාසයක් බව ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. සංහිඳියා සංස්කෘතියක් පිළිබඳ එවන් දීර්ඝ අත්දැකීමක් ඇති අපේ රටට එවන් අර්බුද කළමනාකරණය කර ගැනීමේ අද බාල බොළඳ කමක් නැති බව ඒ පළමු කාරණයයි.

දෙවැන්න ලෝකයේ දරුණුතම ත්‍රස්ත සංවිධානය වූ එල්ටීටීඊය කිසිදා පරාජය නොකළ හැකි බවට ප්‍රකාශ කළ මහාචාර්ය රොහාන් ගුණරත්න ගේ විශ්ලේෂණ හා ඊනියා අනාවැකි සියල්ල බොරු කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැකියාව අපේ රටේ බුද්ධි අංශ වලට හා හමුදාවට තිබූ බව ඔවුන් හිතා මතා අමතක කිරීම දෙවැන්නයි.

එසේම ඊළඟ ප්‍රහාරයක් ගැන දන්නේ නම් ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස ත්‍රස්තවාදය පිළිබඳ අන්තර්ජාතික විශ්ලේෂකයෙකු ලෙස ඔහු කළ යුතු පරම යුතුකම වන්නේ හැකි කඩිනමින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජය දැනුවත් කර ජාතික ආරක්ෂවේ වගකීම දරන ආණ්ඩුවට සහය දී එය වැළක් වීමට අවශ්‍ය පියවර ගැනීමයි.

ඔහු මහාචාර්යවරයකු නිසාත් අදාල විෂය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතකු වන නිසාත්

ඔහු ඊළඟ ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කියන්නේ බොහෝ විද්‍යාත්මක කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසුව සාක්ෂි මත පදනම්ව හා පූර්වාදර්ශයන් මත පදනම් විය යුතුය. යැයි අපි මොහොතකට සිතමු

ඉඳින් ඒවා ප්‍රසිද්ධියේ දේශන වල කතා කළ නොහැකි ආරක්ෂක බුද්ධි අංශ රහස් වග එතුමා නොදනීද? මක්නිසාද එය ජාතික ආරක්ෂාවට තීරණාත්මක වන බැවිනි.

නමුත් රොහාන් ගුණරත්න මහාචාර්යවරයා මෙම ජාතික තර්ජනය ගැන පොතක් ලියා එය දොරට වැඞීමේ උත්සවයට යවන ආරාධනා පත්‍රයේ අදාල ත්‍රස්ත ක්‍රියාව නිශ්චිතවම සිදු වන්නට නියමිත බැවින් එය වලක්වාගන්නා ආකාරය ගැන කතා කිරීම අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදීන්ට වඩා ආරක්ෂිතව තම ක්‍රියාව කිරීමට අනියමින් පහසුකම් සැලසීමක් නොවන්නේ ද යන ප්‍රශ්නය ද මතුවේ.

මේ සියල්ලෙන් ඉතා පැහැදිලි වන්නේ දේශපාලන තිර රචනයකට අවශ්‍ය බිල්ලෙක් මැවීමට මහාචාර්යවරයකුට තරම් නොවන නිර්ලජ්ජිත වැඩක් වූවත් ඔහු කිසිම හිරිකිතක් නැතුව එකී කාර්යය කරන බවද

ඊළඟට එම ආරාධනා පත්‍රයෙන් කරන නිගාවක් දෙක ඉතා බරපතළය.

ඉන් පළමුවැන්නෙන් ඔහු ප්‍රකාශ කරන්නේ ජාතික ආරක්ෂාව නොසලකා හැරිය දේශපාලකයන්ට, ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව නඩු පවරා උසාවියෙන් ඔවුන්ට දඬුවම් නියම කිරීම සිදු කරන තරමට ශ්‍රී ලංකා රජය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වැරදි බව ඇඟවෙන ප්‍රකාශයකි.

දෙවැනි බරපතළ ප්‍රකාශය වන්නේ රටේ ආගමික නායකයන් සුවිශේෂී සහ අන්තවාදී මත ප්‍රවර්ධනය කරන විට අප ඔවුන් වෙනුවෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි ප්‍රශ්න කිරීමයි .

එසේනම් රොහාන් ගුණරත්න මහාචාර්යවරයා ඔවුන් කවුදැයි හඳුනා ගෙන සිටිය යුතුය. එසේම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් හඳුනාගෙන තිබිය යුතුය. එසේ නම් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස එම තොරතුරු පිළිබඳව අදාල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දැනුවත් නොකිරිමම මතු සඳහන් නීති අණ පනත් යටතේ වරදක් නො වන්නේ ද?

ඒ නියරින් ගත් කල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තත්වයක් ගැන මෙවැනි ප්‍රකාශයක් පල කිරීම හා ජනගත කිරීම මතු කී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය නො කිරීමක් ද ?

මීට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අධිකරණය ජාතික ආරක්ෂාව පිළිබඳ නොසලකා හැරීම ගැන දේශපාලකයන්ට බුද්ධි අංශ වලට හා ආරක්ෂක හමුදාවන්ට අයත් පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ගත් තීන්දු අභියෝගයට ලක් කරීම අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේද?

ඔවුන්ගේ මෙම ප්‍රයත්නය මුස්ලිම් ප්‍රජාව ගැන ද්වේෂ සහගතව අනියමින් කරන වෛරී ප්‍රකාශයක් නොවන්නේද?


ප්‍රවීණ නිදහස් ජනමාධ්‍යවේදී
සරත් කුමාර දූල්වල

Post a Comment

1 Comments