SRI LANKA


 

නබි නායක මොහොමඩ් (සල්) තුමාගේ අසිරිමත් උපත බැතියෙන් සමරමු!

ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මස 28 වැනිදාට මහා කාරුණික වූ දයාවන්ත වූ ශාන්තිනායක මොහොමඩ් (සල්) තුමාගේ ජන්ම දිනයේ යෙදී තිබේ. ලෝකවාසී කෝටි සංඛ්‍යාත ඉස්ලාම් භක්තික ප්‍රජාවත්, සෙසු ප්‍රජාවනුත් ඉමහත් ගෞරවයෙන් හා භක්ති ප්‍රණාමයෙන් යුතුව ශ්‍රේෂ්ඨ ආගමික නායක ජන්ම දින සැමරුමක් ලෙස එක් එක් අයගේ සංස්කෘතියට අනුව. එතුමාගේ ජන්ම දිනය සමරති.

එලෙසින්ම බහු වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික බෞද්ධාගමික දේශයක් ලෙස ලොව පුරා ප්‍රචලිත ශ්‍රී ලංකාවේ බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාමීය සහ වෙනත් ආගම් වලට අයත් ජනතාව ද ලොව පහළ වූ අද්විතීය ශ්‍රේෂ්ඨ ආගමික වක්තෘවරයෙකු වූ ශාන්ති නායක මොහොමඩ් නබි තුමන්ගේ ඡන්ම දිනය මහත් හරසරින් සමරති. 

නබී නායක මොහොමඩ් උතූමන් කෙරහි පවත්නා ජනතා ගෞරවාදර භක්තිය පිළිගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය එතුමන්ගේ ජන්ම දිනය සමරන දිනය ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයක්, බැංකු නිවාඩු දිනයක්, හා වාණිජ නිවාඩු දිනයක්, ලෙස නිළ වශයෙන් ප්‍රකාශ කර නිළ රාජ්‍ය පිළිගැනීම ලබාදී ගෞරවයට පාත්‍ර කර තිබීමෙන් එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය රාජ්‍ය ගෞරවයට හේතු පාදක වන බව පෙන්නුම් කරයි.

ක්‍රිස්තු වර්ෂ 570 වසරේදී වත්මන් සෞදි අරාබියේ මක්කා නගරයේදී නබිනායක මොහොමඩ් තුමන් එකල වංශවත් කුල ගෝත්‍රයක් ලෙස සැලකූ කුරෛෂි කුලයේ දරුවෙක් ලෙස ජන්ම ලාභය ලැබීය. එතුමන්ගේ ශ්‍රේෂ්ඨ පියා "අබ්දුල්ලා" තුමන් මොහොමඩ් නබි තුමන් එතුමන්ගේ මව විසින් මෙලොවට බිහි කිරීමටත් ප්‍රථම මෙලොවින් සමුගෙන තිබිණි. එලෙස වැන්දඹු කාන්තාවක් වන එතුමන්ගේ ගෞරවනීය මෑණියන් "අමීනා" තුමිය නබි තුමන්ට වයස අවුරුදු හයේ දී පමණ අභාවප්‍රාප්ත වූ බව සඳහන් වේ.

ඒ අනුව වයස අවුරුදු හයේ දී පමණ මව සහ පියා දෙදෙනාම අහිමි වූ අනාථ දරුවකු බවට පත්වන මොහොමඩ් නබිතුමා එවකට ම්ලේච්ඡත්වයෙන් දූෂිතව පැවැති අරාබි සමාජයේ අසරණ බවට පත්ව සිය මුත්තණුවන් වූ "අබූතාලිබ්" තුමා සෙවනේ හැදී වැඩෙමින් කුඩා කල සිටම එළුවන් බලා ගැනීමේ ළමා එඩේර ජීවිතයක් ගත කළ බව සඳහන් වේ.

බොහෝ අරාබි ජනශ්‍රැතික කථා පුවත්වල විස්තර වන ආකාරයට හා පවත්නා පිළිගත හැකි ඓතිහාසික සාක්ෂි අනුව ළමා අවදියේ සිටම කර්කෂ අගහිගකම් වලින් පෙළුණ ජීවිතයක් එතුමන් ගතකළත් සමකාලීන දරුවන්ට සාපේක්ෂව එතුමන් සුචරිතවත් ජීවිතයක් ගත කළ බව ද සඳහන් වේ.

පසුකාලීනව ගැටවර වියට එළඹෙන මොහොමඩ් නව යෞවනයා මක්කම සිට අසල්වැසි රටවලට තවලම් වෙළදාමේ යෙදුනු පිරිස් සමඟ ගමන් කරමින් වෙළඳ සේවකයෙක් ලෙස කටයුතු කළ බව වාර්තා වේ. වෙළ හෙළඳාම් කටයුතුවලදී මොහොමඩ් තරුණයා පෙන්වූ හුරුබුහුටි භාවයත් සූරකමත් දක්ෂකමත් නිසා කාගේත් අවධානයට ලක් වූ චරිතයක් වූ බවද සදහන් වේ.

කෙමෙන් තරුණ වියට පත් වෙද්දි එවකට දේශාන්තර වෙළඳාමෙන් ඉතා ධනවත් වී සිටී කදිජා නම් කාන්තාවකගේ වෙළඳ කටයුතු වලට සම්බන්ධ වන මොහොමඩ් තරුණයා වෙළදාම් කටයුතු වල ඉතා සාරධාර්මික ව නියැලෙන්නකු ලෙසත් ඉමහත් වූ අවංක භාවයකින් කටයුතු කරන්නකු ලෙසත් ප්‍රසිද්ධියට පත්විය. එම හේතුවෙන් මොහොමඩ් තරුණයාට එකල අල් අමීන් නමින් අන්වර්ථ ගෞරව නාමයක්ද පටබැඳුණු බව පැවසේ."අල් අමීන්"යන එම අන්වර්ථ නාමයේ තේරුම "අවංක විශ්වාසවන්තයා" යන්නයි.

ඒ අනුව දූෂිත ම්ලේච්ඡ සමාජ ක්‍රමයක් පැවති අරාබිකරයේ මොහොමඩ් තරුණයා එකල ප්‍රසිද්ධියට පත්ව සිටියේ සාරධාර්මික වෙළහෙළදාම් කටයුතුවල නියුතු වන ආදර්ශමත් අවංක විශ්වාසවන්ත යෞවනයකු වශයෙන් වීම තත්කාලීන අරාබි සමාජයට කොතරම් ආශ්චර්යමත් පණිවිඩයක් ආදර්ශයක් වන්නට ඇත්දැයි අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැත.

එම අසිරිමත් අවංක විශ්වාසවන්ත කාර්යශූර හුරුබුහුටි බව මොහොමඩ් තරුණයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඔහුට වඩා වයස අවුරුදු පහළොවක් පමණ වැඩි කදීජාතුමියගෙන් ඔහුට ගෞරවනීය විවාහ යෝජනාවක් ඉදිරිපත් වීමට තරම් ආකර්ෂණීය විය.

ඇගේ එම ගෞරවණීය ආරාධනය පිළිගත් මොහොමඩ් තරුණයා සිය විසි පස් වන වියේ දී ඔහුට වඩා අවුරුදු පහළොවකින් පමණ වැඩිමහල් වූ කදීජාතුමිය සරණ පාවා ගත් බව ද සඳහන් වේ.

සිය කුඩා අවදියේ සිට එවකට අරාබිකරයේ පැවැති ම්ලේච්ඡත්වය සහ අවිනීත සමාජ චර්යාවන්ට ගොදුරු නොවූ මොහොමඩ් තුමා සිය සුචරිතවත් ජීවන චර්යාව පුරුදු පුහුණු කළේ අකුරු කියවීමට හෝ ලිවීමට නොදත් තරුණයකු වශයෙන් වීම ආශ්චර්යයකි.

මේ අවදියේදි මොහොමඩ් තරුණයා මක්කා නගරයට තරමක් දුරින් පිහිටි හිරා නම් ගුහාවකට ගොස් හුදෙකලාව යාච්ඤා කිරීමට පුරුදුව සිටි බවත්, ඒ අනුව ඔහු කෙරෙන් යම් වෙනස්කම් රැසක් විද්‍යාමාන වීමට පටන් ගෙන තිබූ බවත්, ඒවා කදීජා තුමියගේ නිරීක්ෂණයට ලක්ව තිබූ බවත්, එතුමන්ගේ දිවිපෙවෙත ගැන ලියැවුණු පත පොතේ සඳහන්ව ඇත.

එලෙස මොහොමඩ් තුමන්ට හතළිස් වන විය එළඹෙද්දී මතු කී හිරා

ගුහාවේ යාච්ඤා කරමින් සිටියදී "ජිබ්රිල්" නම් දේවදූතයෙක් පැමිණ ඔහුගේ කනට "කියවන්න" යැයි අණ කළ බවත්, "කිසිදු පතපොතේ අධ්‍යාපනයක් නොලද මා කෙසේ කියවන්නේ" දැයි මොහොමඩ් තුමන් විමසූ කළ "දෙවියන්ගේ නාමයෙන් කියවන්නැයි" අණ කළ බව ද ප්‍රකාශ වේ. එම පුරාවෘත්තයට අනුව අනතුරුව එතුමන්ට ලැබුණු එම දේව අණ පිළිබඳව කදීජා තුමියට පවසා ඇගේ අනුග්‍රහය ඇතිව වයෝවෘද්ධ ආගමික විද්වතෙකු වෙත ඔහු කැඳවාගෙන ගිය බවත් ප්‍රකාශ වේ.

එහිදී ඉපැරණි ආගම් ගැන මහා පණ්ඩිතයකු වූ එම විද්වතා ඔහුට "අල්ලා" සුබහානහු ව තලා නබිත්වය පිරිනමා ඇති බව පැහැදිලි කළ බව ප්‍රකාශිතය.

මොහොමඩ් නබී තුමාගේ හතළිස් වැනි වියේ දී සිදු වූ එම ආශ්චර්යමත් සිදුවීමත් සමඟ අද ආසියානු ,අප්‍රිකානු හා මැදපෙරදිග කලාපවල ඉස්ලාමීය රටවල් 26 ක ජනතාවත් ලෝකයේ අනෙක් රටවල් පුරා විසිරී සිටින ඉස්ලාම් ජනතාවත් ඇතුළුව බිලියන 1.8 ක හෙවත් ලෝක ජනගහනයෙන් 24% මහා ජනගහනයක් අනුගමනය කරන ආගමික දර්ශනය පරිපූර්ණත්වයට පත් කිරීමට සර්වබලධාරියානන් ගෙන් වරම් ලද ශ්‍රේෂ්ඨ ආගමික වක්තෘවරයා

මිනිස් සංහතියේ මහා වාසනාවට පහළ කරනු ලැබිණි.

මොහොමඩ් නබිතුමන්ට සර්වබලධාරී අල්ලා සුබහානු ව ත ආලා නබිත්වය පිරිනැමෙන තෙක් එතුමන් පාලකයෙක්, දේශකයෙක්, නායකයෙක්, යුධ හමුදා සැලසුම් මෙහෙයවන්නෙක්, ආගමික දර්ශනයක් ඇත්තෙක්, නීති විශාරදයෙක් නොවිණි. එපමණක් නොව ලිවීමට කියවීමට නොදත් එතුමන්ට නීතිය, ස්වභාව ධර්මය, දේශපාලනය හෝ සමාජ විද්‍යාවන් ගැන හැදෑරීමට අවස්ථාවක් තිබූ බව පෙනෙන්නට නැත.

ඒ අනුව අල්ලා සුබහානහු ව තආලා උන්වහන්සේට නබිත්වය පිරිනැමීමේදී ළමා කාලයේ සිට එතුමන් දුෂ්චරිතයට ඇද නොවැටී සිය ළමා කාලයත්, තරුණ වියත්, මැදි වයසත් විශිෂ්ට චර්යාවන්ගෙන් යුක්ත ව, නොකිලිටිව, අධිෂ්ඨානශීලීව පවත්වාගෙන පැමිණීම එම උතුම් වරම පිරිනැමීමට හේතු වන්නට ඇති බවට ඉස්ලාමීය විද්වතුන් පෙන්වා දෙන කරුණු තර්කයකින් තොරව පිළිගත හැකිය.

සමකාලීනව අරාබි සංස්කෘතියේ පැවති මෙලේච්ච දූෂිත, අවිනීත පිළිගැනීම්, විශ්වාසයන් ඉදිරියේ දුප්පත්, අනාථ, අසරණ දරුවෙක් ලෙස අගතියට පත් නොවී කිසිදු දූෂ් චරිතයකට බිලි නොවී ඉන්ද්‍රකීලයක් සේ සෘජුව අධිෂ්ඨාන සහගතව තම ළමා හා ගැටවර තරුණ ජීවිතය යහපත් චර්යාවන්ගෙන්, එනම් අවංකකමෙන් සත්‍යවාදීකමෙන් විශ්වාසවන්තකමෙන් ප්‍රායෝගිකව ඔප්නංවා ගැනීම ඉතාමත් දුෂ්කර වෘත්තයක් පිරීමක් වේ. 

මොහොමඩ් නබි තුමන් ඒඅභියෝගාත්මක චර්යාව සාර්ථකව පුරන ලද නිසා අල්ලා සුබහානහු ව තආලා උන්වහන්සේ තෝරාගත් බව කිසිදු සැකයකින් තොරව පිළිගත හැකිය.

තවද මොහොමඩ් නබිතුමා උගතකු බුද්ධිමතකු නොවී එතුමන් පිළිබඳව ස්වයං ආත්ම ප්‍රකාශනයක් කරමින් මහා මැවුම්කරුවානන් වූ අල්ලා සුබහානහු ව තආලා තමන් නබිත්වයට පත් කළ බවත්, එතැන් සිට උන්වහන්සේගේ ශුද්ධ පණිවිඩය එතුමන් විසින් දේශනා කරන බවත් මිත්‍යාද්‍යෘෂ්ටික අතිශය ම්ලේච්ච සමාජයකට ප්‍රකාශ කිරීමට ආත්ම ශක්තිය ලැබුණේ දේව අනුහසින් මිස වෙනත් කවර සාධකයක් වත් නොවන බව ඉතා පැහැදිලිය

තවද එවන් දේව අනුහසක් ලත් උත්තමයකු ලෙසින් වුවත් එතුමන් තමන් වහන්සේ හැඳින් වූයේ සර්වබලධාරී අල්ලා සුබහානහු ව තආලාගේ ගැත්තකු ලෙසය. සර්වබලධාරීයානෝ, මෙලොව තමන්ට කිසිදු වරප්‍රසාදයක් වරදානයක් පිරිනමා නැති බවත් එතුමාණෝ ප්‍රකාශ කළහ. එතුමන්ගේ එම ප්‍රකාශයෙන් ඉතාමත් පැහැදිලිව ගම්‍ය වන කරුණ නම් මොහොමඩ් නබි තුමන් සිය ජීවිතය පුරාම නඩත්තු කළ විශිෂ්ට චර්යාව, නිහතමානි අවංකකම, එකම දෙවියන් කෙරෙහි තිබූ අචල අඛණ්ඩ විශ්වාසයෙන්ම සිය ජීවිතය කළමනාකරණය කළ බවය

ඉස්ලාමයට අනුව මොහොමඩ් නබිතුමන් නබිත්වයට සර්වබලධාරීයන් වහන්සේ පත් කිරීමට ප්‍රථම උන්වහන්සේගේ ප්‍රථම මැවීම වූ අදිමලේ සලාම් තුමාගේ සිට නබිවරුන් 1,24,000 ක් මහපොළවට එවා තිබේ. මොහොමඩ්නබි (සල්) තුමා ඉස්ලාම් දහම සම්පූර්ණ කිරීමට එවන ලද අවසන් නබීවරයා බව මොහොමඩ් නබිතුමන් ම ප්‍රකාශ කළ බව කුරාණයේ සඳහන් වේ. නැවත එතුමාම දේශනා කරන්නේ "නබිත්වයට අයත් අපට උරුමකම් ලැබී නැත. අප ඉතිරි කර යන දේත් දාන පරිත්‍යාගයම වේ." යනුවෙනි.

ඒ අනුව සර්ව බලධාරීයන් වහන්සේ ඉස්ලාම් ආගම පරිපූර්ණ කර කූරානය ලෙස ග්‍රන්ථාරූඪ කිරීමේ බලය වරම පැවරූ මොහොමඩ් නබි තුමා මහා දේව කරුණාවෙන් තමන්ට පිරිනැමුණු අවස්ථාව වරප්‍රසාදයක් නොවන බවත්, එය තම ජීවිතයේ අසමසම වගකීම බවත්, උන්වහන්සේ ම දේශනා කළ, අතර එම වචන ක්‍රීයාවෙන් ඔප්පු කරමින් ආදර්ශවත්ව අභාවප්‍රාප්ත වූ වයස අවුරුදු 63 දක්වා අවුරුදු විසි තුනක් අඛණ්ඩව ලොවට උත්තරීතර පරමාදර්ශයක් පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් 28 වෙනිදා මොහොමඩ් නබිතුමාගේ උපන්දිනය සමරන එනම්, මිලාද් උන් නබි උත්සවය සමරන ලෝකවාසී බිලියන 1.8 ක ජනතාවට, විසිතුන් වසරක් නබීවරයෙක් ලෙසත්, හතළිස් වසරක් සාමාන්‍ය මිනිසෙක් ලෙසත්, මොහොමඩ් නබීතුමන් සිය ජීවිත ආදර්ශයෙන් පෙන්වා දුන් දිවිපෙවෙත තම ජීවිතයට බද්ධ කරගෙන අවසන් විනිශ්චයට සූදානම් වීමට මග පෙන්වනු ඇත .

ඒ අනුව ඉස්ලාම් ආගම ඉගෙන ගැනීම, අවබෝධ කර ගැනීම,ඒ මත හැසිරීම් පාලනය කර ගැනීම තුළින් ඉස්ලාම්වරයෙකුවීම ඉතා පහසුය. ඒ සඳහා කළ යුතු වන්නේ සිය ජීවන ආදර්ශයෙන් මොහොමඩ් නබීතුමා පෙන්වා දුන් ජීවිතය ගත කිරීම පමණි.

එපමණක්ද නොවේ. මොහොමඩ් නබීතුමන් සිය ජීවිතාදර්ශයෙන් ප්‍රකට කළ එසේම උන්වහන්සේ සුජීවත්ව සිටි අවදියේම ලේඛකයන් විසිපස් දෙනෙකු යොදවා ගෙන ග්‍රන්ථාරූඩ කළ ශුද්ධ කුරානය මගින් ලොව ඕනෑම කෙනෙකුට සිය විමුක්තිය ලබාගැනීම සඳහා ඇවැසි මගපෙන්වීම සිදුකර තිබේ. කුරානයේ පවතින්නේ සර්වබලධාරී දෙවිඳුන් විසින් මොහොමඩ් නබීතුමන් ලවා මහපොළොවේ මිනිසුන්ට උපන්දා සිට මැරෙන තෙක් ජීවිතය ගත කිරීමේදී සිතන්නට පතන්නට අනුගමනය කරන්නට අනුමත කළ ක්‍රියාදාමයයි.

"ජාතියක්, කුලයක්, දුප්පත්, පොහොසත්කමක්, ළමා, තරුණ, වැඩිහිටි කමක් ස්ත්‍රී පුරුෂභාවයක් සමේ වර්ණය මේ කිසිවක් හේතු කර මොහොමඩ් නබීතුමන් මිනිසුන් දෙස බැලුවේ නැත". මිනිසුන් විෂයේ ක්‍රියාත්මක වුණේ නැත.

දිනක් උන්වහන්සේට පානය කිරීමට පානයක් ලැබිණි. උන්වහන්සේ ගේ වම්පසින් වැඩිහිටියන් විය. දකුණු පසින් දරුවෙක් විය. සිරිත් පරිදි බීම බෙදිය යුත්තේ දකුණු පැත්තේ සිටයි. නබීතුමා දරුවා විමසා, අනේ දරුව, "ඔබලා අනුමැතිය දෙනවා නම්, වම් පැත්තේ සිටින වැඩිහිටියන්ට ප්‍රථමව බෙදන්නම්" කීවේය. එවිට ළමයා ඊට එරෙහි වී "මට ලැබී ඇති අයිතිය තවත් කෙනෙකුට දීමට මා විරුද්ධ වෙමි" යැයි පැවසුවේ ය. නබීතුමා දරුවාට එකඟවී දකුණු පැත්තේ සිට බීම බෙදීම කළේය.(මූලාශ්‍රය බූහාරි5620)

මේ කතා පුවත උන්වහන්සේගේ ජීවිතාදර්ශය පිළිබඳ කොතරම් විශාල පාඩම් ප්‍රමාණයක් අපට උගන්වන්නේ ද?

  • ලොකු කුඩා සෑම අයෙකුම අද්විතීය බව
  • සම්ප්‍රදායට ගරු කිරීම
  • එය වෙනස් කිරීමට අවසර ගැනීම
  • ඒ සඳහා තරාතිරමක් නොසැලකීම
  • අයිතිය හිමිකම ලබා දීමේදී තරාතිරම නො සැලකීම
  • සාධාරණය සැමට ඉටුකිරීම
  • එහි ගැන සැමට ඒත්තු ගැන්වීම
  • සාධාරණය වෙනුවෙන් ක්‍රියාත්මක වීම

නබිතුමාගේ ජීවිතය පුරාම එකී 

  • වෙනස්කොට නො සැලකීම

ආදී පාඩම් රාශියක් එයින් අපට ඉගෙන ගත හැක

උන්වහන්සේගේ මෙවැනි ආදර්ශයන් දස දහස් ගණනක් ලක්ෂ ගණනක් එතුමන්ගේ ජීවන චරිතයෙන් අපට හඳුනා ගත හැකිය.

මිලාද් උන් නබී උත්සවය උන්වහන්සේ ආදර්ශයට ගෙන ජීවත් වීමට අදිටන් කර ගැනීමේ උත්සවයක් වේවා !යි පතමි.


සරත් කුමාර දූල්වල

Post a Comment

0 Comments