

දෙරණ සිපගත්තේ නූඹ අන්තිම වරට
එන්න හිතිලාද? ආයෙත් මවුබිමට!
ජාතිවාදයෙන් වියරු වැටුණු අවිචාරවත් ලාංකික මිනිසුන්ගේ කුරිරු බව ප්‍රදර්ශනය වූ අවස්ථා අතරින් 1983 කළු ජුලි සිදුවීම එක් උච්චතම අවස්ථාවකි. එම සිදුවීම් මෙහෙය වූ නොමිනිසුන් ශ්‍රී ලාංකීය සමාජ දේහයේ ඇති කළ තුවාලය තවමත් සුව වී නැත. එහෙත් මිනිස්කමින් වැගිරෙන කඳුළු බිඳුවලින් නුදුරු අනාගතයේදීම ඒ තුවාලය සුවවෙනු ඇතැයි අපට බලාපොරොත්තු තබාගත හැකියි. එසේ වන්නේ ජනවාර්ගික හා ආගමික ගැටූම් බුද්ධියෙන් වටහා ගෙන හදවතින් අමතා සමාව ප්‍රදානය කරන්නට ශ්‍රී ලාංකීකයන් ලෙස සූදානම් වූ දිනකයි.
ඉදින් මා දරණ මේ මතයට සාක්ෂි වන මා අත්දුටු සත්‍ය සිදුවීමක් ඔබට පවසන්නට මට අවසර දෙන්න.
දිනය හරියටම මතක නැතත් ඒ 1983 අගෝස්තු මාසයේ මැද දිනයක් බව මට අදත් සිහිපත් කළ හැකිය. අවාසනාවන්ත ජාතිවාදී සිදුවීම් වලදී රට පුරා ඇවිළුණා වූ රුදුරු ගිනිදල්වලින් නැගි කළු මුසල දූමාරයේ අඳුර මහනුවර නගරයේ අහස් තලයෙන් මැකී ගොස් නොතිබිණි. මහනුවර නගරය මළ ගෙයක ශෝකාලාපයෙන් තැවෙමින් පසු විය. නගරය සිසාරා පැතිර තිබූ ඒ ශෝකයෙන් තැවුණු මිනිසුන්ගේ සෝසුසුම් අවට වාතලයේ නින්නාද දෙමින් පැවතිණි. එවකට මම තරුණ කොමියුනිස්ට්වාදියෙකු වූ අතර කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිතියක පූර්ණකාලීන ක්‍රියාධරයෙකු ද වීම්, මහනුවර ගුඩ්ශෙඩ් බස් නැවතුම අසල පිහිටි පරණ මිනිපෙට්ටි සාප්පු ගොඩනැගිල්ල අපේ කාර්යාලය විය.
එදින මා එම කාර්යාලයේ තවත් පූර්ණකාලීන සහෝදරයකු වූ අබෙිත් සමඟ රැඳී සිටියේ නාවලපිටියේ සිට මහනුවරට එන අපේම නෑයින් පිරිසක් පිළිගැනීමටයි. එසේ පිළිගෙන සදහටම ඔවුන්ට සමුදීමටයි.
ඔවුන් උදේ 10.30 ට පැමිණෙනු ඇත. ඔවුන් මහනුවරට එන්නේද ජීවිත
බියෙනි. ඔවුන් සුරක්ෂිතව කොළඹ දුම්රියට නැංවීම අබේටත් මටත් පැවරුණු කාරිය විය. එය එලෙසම ඉටුකළ හැකිය. ඒත්... ඔවුන් වෙනුවෙන් අප ඊට වඩා යමක් කළ යුතුය. ඒත් කළ යුතු දේ කුමක් ද? අබේ මගේ සිතුවිලි හඳුනා ගත් ලෙසින් මගේ මුහුණ බැලීය. අප දෙදෙනාගේම හදවත් ශෝකයෙන් බරිතව තිබිණි. කළයුත්තේ කුමක්ද ? කළහැක්කේ කුමක්ද? අපි නොදනිමු. ඒත් යමක් කළ යුතු බවට මහ බරක් අපේ හදවත්වල හිරවී තිබිණි.
නාවලපිටියේ සිටි පැමිණි උඩරට මැණිකේ දුම්රිය මහනුවර දුම්රියපලේ නැවැත්විණි. අප ඉන් බසින මගින් එකිනෙකා දෙස බලමින් අපේ නෑදෑයන් හඳුනා ගැනීමට වෙර දරිමු. ඔවුන් අපේ නෑයන් වුවද මුත්තයියා හැර, ඔහුගේ පවුලේ අන් අයෙකු අප දැක තිබුණේ නැත. අපට තිබුණේ පන්ති සහෝදරකමයි. ඔහු අපේ තාවලපිටිය වතු වෘත්තීය සමිතියක තලේවර් වරයෙකි. එනිසා ඔහු අප දැක ඇත්තේ ද අවස්ථා දෙක තුනකදි රැස්වීම්වලදී පමණී. නමුත් තරුණ කොමියුනිස්ට්වාදීන් වූ අපි ඔවුන්ට ආදරය කළෙමු. ඔවුන් සමඟ එදා අපට තිබූ පන්ති ඥාතිත්වය ඉතා හෘදයාංගම විය.

අද අප ඔවුන් මේ දුම්රිය පලේ දී මුණගැසෙන්නේ ඔවුන්ට සිංහල මිනිසුන්ගෙන් හිරිහැරයක් වෙතැයි ඔවුන් තුළ ඇති බිය නැති කිරීමටයි. මුත්තයියා තම තරුණ දියණියන්ට කරදරයක් වෙතැයි මහත් බියෙන් පසුවන බව කොළඹ අපේ ප්‍රධාන කාර්යාලයේ සහෝදරයා අපට දැනුම් දී තිබිණි. එනිසාම මහනුවර දුම්රියපලෙන් කොළඹ දුම්රියට ඔවුන් ගොඩවන තුරු සිංහල ජාතිවාදින්ගෙන් ඔවුන්ට ආරක්ෂාව සලසා දෙන ලෙස මුත්තයියා කොළඹින් ඉල්ලා තිබිණි. මේ වන විට කළු ජූලියේ ප්‍රචණ්ඩ ක්‍රියා නිම වී තිබුණත්, ඉන් ඇති කළ කම්පනයෙන් දෙමළ මිනිස්සු ඒ වනවිට තවමත් ත්‍රස්තව් සිටියහ.
අබේත්, මමත් ඊට පෙර දැක පුරුදු මුත්තයියාගේ රුව දුම්රියේ වේදිකාවට පතිත වන තුරු බලා සිටියෙමු.
අප සිටි ස්ථානයට මඳක් ඈතින් වූ දුම්රිය මැදිරියකින් තම පවුලේ සාමාජිකයින් පෙරටු කරගෙන දුම්රියෙන් බසින මුත්තයියා අපි දුටුවෙමු. ඒ වන විටත් ඔහුගේ දෑස් අප සොයමින් සිටි බැවින් අප දුටු ඔහු අස්වැසිල්ලක් ලැබුවකුසේ අප දෙස බැලීය.
කය වෙහෙසා වැඩ කිරීමෙන් සවිමත්ව, පිවට තෙරාගිය මස් පිඬුවලින් ශෝභාමත් වූ ශක්තිමත් මුත්තයියා එදින නොවිණි. ගතින් සිතින් දෙකින්ම අබල දුබල වූ ඔහු අපට හිනාවකින් සංග්‍රහ කළේ අප පැමිණියාට කෘතගුණ දක්වන්නාක් මෙනි, මටත්, අබේටත් කිසිවක් කතාකළ නොහැකි විය. ඔවුන් ගැන ඔවුන් වෙනුවෙන් හදවත පුරා බුර බුරා නැගෙන උණුසුම් හැගීම් පිටකළ නොහැකිව අප මුත්තයියාගේ දෑත අල්ලා ගතිමු.
ඒ ස්පර්ශයෙන් අපි සිංහල ජාතිය වෙනුවෙන්ම ඔවුන්ගෙන් සමාව අයදින බව අබේගෙන්, මගේත් හදවත් තුළ මොරගසා රැව් පිලිරුව් දූන් බවක් අදත් මට හැඟේ. නමුත් ඒ වචන අපේ මුවින් පිටි නොවිණි.
කඳුළු පිරි දෙනෙතින් අප දෙස බලා සිටි මුත්තයියා අපේ හදවතේ දෝංකාරයට කන්දුන් සෙයින් හින්හඬින් මෙසේ පැවසීය. "සහෝදරයා, අපිලා බලන්න ආවට සංතෝෂයි. සිංහල මිනිස්සු ඔක්කොම නරක නේ. අපිලා තරන නේ. අපිල තරහ නේ." ඔහු තවත් මොනවාදෝ කීව සහත්, ඔහුගේ දෑසින් රුරා වැටුණු කදුළුත්, ඉකිබිඳ හඬා වැටෙන ඔහුගේ මුහුණේ තිබූ ශෝකයත් දැක අගුළු වැටුණු අපේ කන්වලට එය ඇසුනේ නැත.
අනතුරුව මුත්තයියා සිය බිරිඳත්, දූවරු දෙදෙනාත්, පුතාත් අපට හඳුන්වා දුන්නේය. ඔවුන්ගේ මුහුණුවල ̈ඇයි? අපිට මෙහෙම කළේ?" යන ප්‍රශ්නය සටහන්ව තිබිණි. ඊට උත්තර නොමැතිකමින්, අබේත්, මමත් බිම බලා ගත්තෙමු.
මේ වන විටත් නාවලපිටිය දුම්රියෙන් පැමිණි සොළඹ යන මගීන්ට කොළඹ වේදිකාවේ නවතා තිබූ දුම්රියට ගොඩවන ලෙස නිවේදනය කර තිබිණි. යළිත් කිසිදා හමු නොවන්නට නිහඬව ගිවිස ගෙන අපෙන් සමුගන්නා සදාදරණීය මුත්තයියා සොයුරා වෙනුවෙන් අපේ හදවත් කඩා හැලෙන බරකින් මිරිකෙද්දි ඔවුන් වෙනුවෙන්, ඔවුන් සඳහා ඔවුන්ට කළහැකි අවසන් උපකාරය ලෙස අබේටත්, මටත් දැනුණු දේ කරන්න අපි යුහුසුලු වීමු.
මුත්තයියා රැගෙන ආ ගමන් මලු අපි එකිනෙක කොළඹ දුම්රියට ගෙන යන්නට යුහුසුළු වුණේමු. ඔවුන්ගේ බිය පහවන්නට ඔවුන් අසලින් ම අපි රැඳී සිටියෙමු. දෙමළ භාෂාව නොදත් අපට ඔහුට කිව් යුතු බොහෝ දේ ඇතත්, ඒවා කියන්නට නොහැකිව ගොළුවතින් සුහදතාවය ප්‍රකාශ කළෙමු.
ඔවුන්ගේ ගමන් මලු සියල්ලම පාහේ කොළඹ දුම්රියට ගන්නට උදව් වූ අප මෙතෙක් වේදිකාව මත ඉතිරිව තිබූ පොහොර මල්ලක් වැනි බර ගමත් මල්ලක් ඔසවන්නට යුහුසුළු වීමු. පරණ පොහොර උරයක් වූ එය විශාල බරකින් යුතු නිසා මේ මොනවා දයි අසන ලීලාවෙන් මා මුත්තයියා දෙස බැලීම්.
ඔහු පිළිතුරක් දෙනවා වෙනුවට, දුම්රිය පලේ වේදිකාව මත දණගසා එහි පොළොව සිඹිමින් ඉකිගසන්නට පටන් ගත්විට අබේත්, මමත් තුෂ්නිම්භූත වීමු. අප ඔහුට යළිත් වරදක් කළාදෝ යන හැඟීමක් අප තුළ ඇති විය. අප සෙමින් ඔහු ඔසවන්නට වෙර දර්මු.
එසේ ඔහු ඔසවද්දි මුත්තයියා කී වදන් මට මේ කථාව ලියන මොහොතේ ඒ ලෙසින්ම මගේ දෙසවන්හි නින්නාද වෙමින් ඇසෙන වග සත්‍ය ලෙස ඔබට කිව යුතුය.
අපිලගේ සීයාගේ සීයා තමා ඉන්දියාවේ ඉඳලා ආවා. "අපිලගේ සීයා, අප්පා, මම, ඉපදුනේ නාවලපිටිය වන්නේ තමා. අපිල මැරෙන්න කැමති ලංකාවෙ තමා. අපිලගේ මිනිය මේ පොළවට තමා පස් වෙන්න ආස. අපිලා ඔක්කොම මහන්සි වෙලා වැඩ කෙරුවා. අපිල බලාගන්නේ සිංහල මුනිය තමා. එයාලා තමා අපිලගේ තෑයා. ලංකාව තමා අපිලගේ රට ඉන්දියාව අපේ රට නෙමේ. සහෝදරයා.” අබේගේත් මගේත් දෑත් අල්ලාගෙන මුත්තයියා ඉක්බිඳියි. ඔහුගේ දෑසින් වැටෙන උණු කඳුළුත්, අබේගේත් මගේත් දෑසින් වැටෙන කඳුළුත්, මුත්තයියා ගෙනා පොහොර උරය මතට වැටී ඊට උරාගනූ මට පෙනේ. අසරණකමේ පත්ලට වැටුණු අබේත්, මමත් යළිත් ඒ බර පොදිය ඔසවාගෙන පැමිණියෙමු.
“සහෝදරයා අපිලා අයෙත් හම්බවෙන්නේ නේ. මේකේ තියෙන්නේ අපිලා වැඩ කරපු වත්තේ පස් තමා. අපි ඉන්දියාට ආදරේ නේ. මේ පොළවට තමා අපි ආදරේ. අපිලට ඉන්දියාවේ ගියාම නින්ද යන්නේ තේ. අපි මේ පස් එහේ අරන් යනවා. මම බුදියන තැන පැදුරයට දානවා. අපිලගේ සීයගේ, අප්පගේ සුවඳ තමා මේ පස්වල තියෙනවා."
ඔහු වේදනාවෙන්, පරල වූ කපුවෙකු සේ එසේ කියද්දී මගේ හදවත උණු වී දෙපතුල ළඟට වැවෙනවා දැනිණි. මටත්, අබේත් හඬනවා හැර වෙනත් උත්තරයක් නොතිබිණි. අපි හැඬුවෙමු, අපි තිදෙනාම හැඩුවේමු.
මුත්තයියාත්, අබේත්, මමත් හැඬුවෙමු. සහෝදරත්වය, මිනිස්කම වෙනුවෙන් හැඬුවේමු. අපි තිදෙනාගේම කඳුළු යළි යළිත් අර පස් මල්ල උඩට වැටිණි. සිංහල, දෙමළ කදුළු එකට මුසුව අපේ හදවත් තුළ උණුසුම් ව තිබූ ආදරයක් සමඟ ඒ කඳුළු ඒ පස්වලට මුහු වන්නට ඇත. ඒත් එහි සිංහල දෙමළ වර්ගීකරණයක් තිබිණි ද?
දුම්රිය පිටත් වන දැන්වීම නිකුත් විණි. අබේත්, මමත් යළින් වරක් මුත්තයිසා සිඹ ඔහුට සමු දුන්නෙමු. ශ්‍රී ලංකා භූමියේ උරුමය අහිමිව එහි පස් පිඩැල්ලක් මල්ලක දමාගත්, මුත්තයියා රැගත් දුම්රිය නොපෙනී යනතෙක් අබේත්, මමත් බලා සිටියෙමු.
යළිත්, අබේත්, මමත් අපේ වෘත්තීය සමිති කාර්යාලයට ආවේ වචනයකුදු කතා නොකරමිනි. අපේ හදවත් තුළ මහා අසාධාරණයකට පිළියමක් නොකළ බවට හැගීමක් විය. අපේ යුතුකම් ඉටු නොකළ බවට මහ චෝදනාවක් මගේ හදවතේ පැවතිණී, එදා හවස පෑනක්, කොළයක් අතට ගත් මම මෙසේ ලියා තිබු බව මතකය.
"දෙරණ සිප ගත්තෙ නුබ අන්තිම වරට
එන්න හිතිලාද ආයෙත් ලක්බිමට"
1983 කළු ජූලිය අපේ මාතෘ භූමිය තිස් වසරක මහා ජන සංහාරයක් සිදු කළ කුරිරු යුද්ධයකට ඇද දැමීමේ ආසන්නතම හේතුව විය. මුලින් කී ලෙසට යුද්ධය නිම වී ඇතත්, ඉන් ඇති වූ තුවාල තවමත් සුව වී නැත. ඒ රුදුරු තුවාල වලින් එන වේදනාවන් අපේ හදවත් තවමත් පාරවමින් තිබේ. උතුරේත්, දකුණේත් යුද්ධය නිසා බැට් කෑ සියලු දෙනා මෙම වේදනාවන්ගෙන් පෙළෙති.
ඉදින් ඔවුනට සැනසුම ලැබෙන්නේ කවදාද? ඒ සැනසුම සොයා අපි බොහෝ ප්‍රයන්තයන්හි නියැළුණෙමු. සාමය, සංහිඳියාව ගැන බොහෝ බුද්ධිමය සාකච්ඡා පැවැත්වීමු. දකුණු අප්‍රිකානු අත්දැකීම ඇතුළු විවිධ අත්දැකීම් ඔස්සේ සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීමට වෙර දරමින් සිටිමු. සංහිඳියාව ගොඩ නැඟීමට නොයෙක් ලෙසින් උත්සුක වෙමු. ඒ සෑම ප්‍රයත්නයක්ම බොහෝ ප්‍රතිඵල අපට අත්කරදී තිබේ. එහෙත් සුළු අන්තවාදීන් පිරිසක් විසින් මිනිසුන්ගේ හදවත් තුළ සැඟවී සිටින ජාතිවාදී මෘගයා ආමන්ත්‍රණය කළ විට, යළිත් බොහෝ දෙනා වෙනස් වෙති. දිනෙක මහනුවර දිගන නගරයේ අප අත්දැක්කේ ඒ සත්‍ය නොවේද?
අපට ඇතමෙක් තුළ සැඟවී සිටින ඒ ජාතිවාදී මෘගයා පරාජය කළ හැකිද? සැබවින්ම එසේ කළ හැකියි. අප ඔහු සොයා ඔහුගේ නිවහනට යා යුතුයි. ජාතිවාත්සල්‍ය, සිංහලකම, දෙමළකම, මුස්ලිම්කම, අපේකම ආදී ලෙසින් රැඳී ඇති හැඟීම තුල එම මෘගයා සැඟව සිටී එනිසා ඌ ඉන්නේ අපේ හදවත තුළයි. ජාතිවාදී උන්මන්තකයින් අමතන්නේ එසේ අප තුළ රැඳී සිටින මෘගයාටයි. ඉදින් හෙට අප ඒ මෘගයා රැඳී සිටින තැනට මුත්තයියා කී සත්‍ය පැවසිය හැකිනම් ඌ හීලෑ වනු ඇත. මුත්තයියා දෙමළ මිනිසෙකි. ඔහුගේ සීයාත් දෙමළ මිනිසෙකි. ඔවුන්ගේ ආරම්භය ඉන්දියාවයි. ඒත් මුත්තයියාගේ සියා ඉපදුනේත්, හැදි වැඩුනේත් ලංකාවෙයි. ඔහුගේ පියා හැදී වැඩුනේත් ලංකාවෙයි. ඔවුන් මුළු හදවතින්ම ඔවුන්ගේ ඒ නිජබිම ලෙස සැළකූවත් ලංකාවයි.
ඔහු ඔහුගේ මුතුන් මිත්තන්ගේ ලේ දහඩියවල සුවඳ ආඝ්‍රාණය කළේ ලක් පොළවෙනි. ඇතැම්විට අද මුත්තයියා ඉන්දියාවේදී මියගොස් ඇත. ඒත් ඔහු ලංකාවෙන් සමුගන්නා දින මගේ හදවතේ ජනිත කළ හැගීම මා මියයන තෙක් නොමියනු ඇත. එනිසාම මා මිය යන තෙක් මට ජාතිවාදියකු විය නොහැකිය. එනිසා මා මියයන තෙක් මා සාම ක්‍රියාධරයකු වනු ඇත. පසුගිය කාලයේ මා මගේ මේ අත්දැකීම කී බොහෝ දෙනා තම ජාතිවාදී චින්තනයන් වෙනස් කරගත් බව මම දනිමි. අපි සංහිඳියා ව්‍යායාමය බුද්ධියට මෙන්ම හදවතට අමතමින් ඉදිරියට ගෙන යමු.
මුත්තයියා අපට් සමාව දුන්නේය, කොන්දේසි විරහිත සමාවක් දුන්නේය. ඔහු සිංහලයාට වෛර කළේ නැත.
මුත්තයියා සිතුවේ හදවතෙනි. ඔහු ලෙකු උගතෙකු නොවූ බව නොරහසකි. ඔහු හදවතේ හඬට කන්දී බුද්ධිය අවධිකර ගත් මිනිසකි. එනිසා ඔහුට සිංහල ජාතියට සමාව දීම අසීරු නොවිණී. ඔහුට පළිගන්නට අවැසි නොවීණි. දොස් නගන්නට අවැසි නොවිණි. ඉදින් මුත්තයියා මිනිස් හදවතේ සැගවී සිටිත ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී, භේදවාදී, මෘගයා පරාජය කළේ සිය හදවතට කතා කර එයට කන්දීමෙනි.
එනිසා අපි යළිත් සිතමු. මුත්තයියලා දහස් ගණනකගේ මෙවැනි සිදුවීම් අත්දැකීම් අප සතුව ඇත. සංහිඳියාව ගොඩනගන්න ඒ පුවත් සමඟින් සුහද පිළිසඳරක් අපි ආරම්භ කළ යුතු වෙමු. ඉන් නිවි සැනසෙන හදවක් තුළ ජාතිවාදී මෘගයා යළි හිස ඔස වන්නේ නැත.
සරත් කුමාර දූල්වල





0 Comments