SRI LANKA


 

අභිමානයෙන් නිදහස් දිනය සමරමු!

අපගේ මාතෘභූමිය වසර 2500 කට වඩා ශ්‍රේෂ්ඨ, අඛණ්ඩ ඓතිහාසික උරුමයක් ඇති රටකි. මෑත ඉතිහාසයේ 1815 උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන තුරුම අප නිදහස් නිවහල් ස්වෛරී රාජ්‍යකි .ඊට ප්‍රථම අප පෘතුගීසි හා ලන්දෙසි ආක්‍රමණවලටද ලක් වුහ. එහෙත් එම ආක්‍රමණිකයන්ට පූර්ණ වශයෙන් යටත් නොවූහ. එක දිගට සිදුවූ එම ආක්‍රමණ නිසා ශ්‍රී ලාංකික ස්වදේශිකයන්ට අවාසනාවන්ත සියවස් තුනක කාලයක් ගත කිරීමට සිදු විය. නිදහස අහිමිව තිබූ එකී කාලය අවසන් කර අද අප යලිත් ස්වෛරීව ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවදීව ලොව හමුවේ අභිමානවත් ස්වෛරී රාජ්‍යක් ලෙස පෙනි සිටීමූ. 

1948 පෙබරවාරි 4 වැනි දින අප ලැබූ නිදහස ඩොමීනියන් තත්වයේ නිදහසකි. එම නිදහස තුලත් අප බ්‍රිතාන්‍ය කිරීටයට බැඳී සිටියහ. අප සම්පූර්ණ නිදහස අත්පත් කර ගනු ලැබුවේ 1972ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කොට ප්‍රකාශ කිරීමෙන් පසුවය, 

යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ නිදහස් අරගලය තුළ සිංහල දෙමළ, මුස්ලිම්, ‍යන ජනවර්ග තුනට අයත් බෞද්ධ, හින්දු ,ඉස්ලාම්, ක්‍රිස්තියානි ‍යන ආගම් අදහන ස්වදේශිකයන් ක්‍රියාකාරි වූහ. ඒ සැමගේ දායකත්වයෙන් අප ජාතික නිදහස දිනාගත් බව ඓතිහාසික සාක්ෂි වලින් මනාව ඔප්පු වේ. එම අවධියේ සිංහල දෙමළ මුස්ලිම් හැම පුද්ගලයෙක්ම ශ්‍රී ලංකාව සිය මාතෘ භූමිය කොට සලකා එකාවන්ව මව්බිමේ නිදහස වෙනුවෙන් පෙනී සිටියහ. ශ්‍රී ලංකාව දුරාතීතයේ සිටම බහු ජනවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටකි. සිංහල බෞද්ධ ජනතාව සංඛ්‍යාවෙන් වැඩි ජනතාව වු අතර අනාදිමත් ඉතිහාසයක සිට සෙසු ජනවර්ග සහ ආගමිකයන් සමග ඉතා සහයෝගයෙන් අන්‍යෝන්‍ය බැඳීමෙන් අප කටයුතු කර ඇත. අද දින සමරන හැත්තෑ හයවන ජාතික නිදහස් දිනයේදී අපට උරුම අපගේ එම සැබෑ ඉතිහාසය සිහිපත් කරගත යුතු වන්නේය. 

ජාතික සමගිය ආගමික සමගිය ආදී කාරණාවන් හිදී ශ්‍රි ලාංකීය ජාතිය සිය ප්‍රෞඩ ඉතිහාසය තුළ ලෝකයේ සෙසු රටවල් වලට ආදර්ශයක් වූ ශිෂ්ටාචාරමය දියුණුවක් ලබා සිටී රටක් බවද හැත්තෑ හයවන නිදහස් දිනය සමරන මොහොතේ ගෞරව බහුමානයෙන් යුතුව අප සිහිපත් කරගත යුතුය. අවුරුදු දෙදහස් පන්සියයක ඉතිහාසය තුළ අප පරසතුරු ආක්‍රමණවලට එරෙහිව සමගිව එක්සත්ව කළ සටන් වලින් පිරී පැවතුනද සව දේශකයන් අතර ඇති වූ ගැටුම් ඇත්තේ ඉතා අල්පයකි ඒවාද ඉක්මනින්ම සාමකාමීව විසඳා ගැනීමට අප සමත් වී ඇත මෑතකදී ඇතිවූ තිස් අවුරුදු යුද්ධය බෙැදුම්වාදී ත්‍රස්තවාදී එකක් මිස ජාතිවාදී අරගලයක් නොවන බවද අප පැහැදිලිව තේරුම් ගත යුතුය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය හැත්තෑ හයවන නිදහස් දිනය සමරන අද දින වන විට අප ඓතිහාසික වශයෙන් විශාල ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන සිටී. අප ඒ ගැන මහත් අභිමානයට පත් වෙමු. තව ද අප අත්පත් කරගත යුතු ජයග්‍රහණ රැසකි. 

අප තවමත් ආර්ථික නිදහස ලබා නැත. ශ්‍රී ලංකීය ජාතිය ගොඩ නගාගෙන නැත. වංචාව දූෂණය හොරකම රටෙන් මුළුමනින්ම තුරන් කර නැත. අපේ අවශ්‍යතාවයන් බොහොමයක් අප පිටරටින් තවමත් ලබා ගනිමින් සිටිමු. අපගේ දේශපාලන සංස්කෘතිය ‍ප්‍රජාතාන්ත්‍රිකව දියුණු කර ගෙන නැත. කල් පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගෙන නැත. . අඩසියවසකට වැඩි කාලයක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් විදෙස් රටවලට තම කායික සහ මානසික බුද්ධිමය ශ්‍රමය වැය කරමින් රටට අතිමහත් විදේශ විනිමය ක් උපයා දුන්නද සමාජ සංවර්ධනය සාධාරණය ලෙස සිදුව නැත. විදේශගතව සහ දේශීයව රටට ධනය උපයන ඒ සඳහා වෙහෙසෙන ජනතාවගෙන් වැඩි බහුතරය අද සමෘද්ධිලාභීන් ලෙස ජීවත් වෙති. ඔවුන් ආර්ථිකව නිදහස් නැත. රටේ පුරවැසියන් හැමදෙනාම ලෝකයට රුපියල් ලක්ෂ අටකට වඩා ණයකාරයන් බවට පත්කර ඇත. එනිසා අපි සෙසු ලෝකයට ණයට ගැටගැසී ඇත. අප මේ බැමි වලින් නිදහස් විය යුතුය. අපට සැබෑ නිදහස නිදහසේ භුක්ති විඳිය හැක්කේ එවිටය. මෙම හැත්තෑ හයවන ජාතික නිදහස් දිනය වඩාත් අර්ථවත් වන්නේ සමස්ථ ශ්‍රීලාංකික ජාතියම අපට ලැබූ නිදහස අගය මින් අප අත්පත් කරගත යුතු නිදහස සඳහා ජාතික අධිෂ්ඨානයකින් එක්සත්ව එක්සිත්ව සව දේශානුරාගයෙන් ඔදවැඩී අපට හිමිව ඇති නිදහසේ අඩුපාඩු සම්පූර්ණ කරගැනීමට අදිටන් කර ගැනීමෙනි. ඒ සඳහා අප පිළිවෙතින් පෙළගැසෙමු. හැත්තෑ හයවන ජාතික නිදහස් දිනයේදී අප එසේ අධිෂ්ඨාන කර ගනිමු.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය දිනේවා!
චිරං ජයතු ශ්‍රී ලංකා!

විශ්ව කලා විගමනික සංසදයේ සභාපති
සරත් කුමාර දූල්වල

Post a Comment

0 Comments