SRI LANKA


 

නිදහස් චතුරස්‍රයේ දන්සැල් සංස්කෘතියේ සහජීවන අරැණැල්ල



"සබ්බේ සත්තා හවන්තු සුඛිතත්තා "
"සබ්බේ සත්තා ආහාරත්තතිකා"

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨ ගෞරවනීය පූජනීය ශාස්තෘන් වහන්සේ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් මෙලොවට බිහිවීම, බුද්ධත්වයට පත්වීම හෙවත් විමුක්තිය අවබෝධ කරගැනීම, සනාතන ධර්මතාවය පසක් කරමින් පරිනිර්වාණයට පත්වීම එකම දිනයක සිදු වූ හෙයින් එම අවස්ථාවන් සමරා ආගමික හා සංස්කෘතික පූජාවන්හි යෙදෙති.

බෝධි පූජා, විශේෂ දාන ශීල භාවනා වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බුදුගුණ සජ්ඣායනා, වෙසක් තොරණ, වෙසක් සැරසිලි ආදී විවිධ ආමිස හා ප්‍රතිපත්ති පූජා අද රටේ සෑම ගම් දනව්වක් සිසාරා ම පවත්වති.

එයිනුත් රටේ අග නගරය වන කොළඹ පුරවරය කේන්ද්‍ර කරගෙන විචිත්‍රවත් 
වෙසක් පින්කම් උත්සව, පුද පූජා, වෙසක් තොරණ ආදිය ආගමික සංස්කෘතික උත්සව රැසක් පවත්වති. ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හූ සහභාගි වෙති. නරඹති.

ඔවුන් සඳහා කොළඹ මෙවර විශාල දන්සැල් ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. 
ඒ අතරින් "දෙරණ" මාධ්‍ය ජාලය සංවිධානය කරන නිදහස් චතුරස්‍රයේ බත් දන්සල සඳහා සූදානම් වන ඡායාරූප කීපයක් දකින්නට ලැබිණි
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ 
මා මේ සටහනේ මුලින් සඳහන් කළ 
"සබ්බේ සත්තා හවන්තු සුඛිතත්තා", 
"සබ්බේ සත්තා ආහාරත්තතිකා" 
යන බුද්ධ දේශනය අනුව තුන් සිත පහදාගෙන ඒ මහා පින්කමට පර්දාවෙන් සැරසුණු ඉස්ලාමීය තරුණ සහෝදරියන් 
රැසක් සහභාගි වී දැඩි අන්‍යෝන්‍ය සහෝදරත්වයකින් එම වැඩකටයුතු වලට දායකත්වය ලබා දෙනු දක්නට ලැබිණි. 

මේ ආගමික සහජීවනය හා සහ කම්පන
ආදර්ශය මුළු ලොව පුරා සිටින සියලු ආගමික භක්තිකයන්ට ආදර්ශයක් ලෙස පෙන්වා දිය හැකිය. 

ආගමික වශයෙන් බෙදෙනවා වෙනුවට ආගමික වශයෙන් එකතු වී 
හැම ආගමකම තිබෙන මානව දයාව මානව ප්‍රේමය, යහපත් ජීවන ආදර්ශ සහජීවන ක්‍රම සිය ජීවිතයේ උතුම් වටිනාකම් ලෙස ඉහලින් තබාගෙන
විසි එක්වන සියවසේ ආගමික වශයෙන් සබුද්ධික මිනිසුන් වීම කෙතරම් මනරම්ද? 

සැබෑ වෙසක් සැමරුමේ පරමාර්ථ 
මේ ආදර්ශය තුළ නොඅඩුව විචිත්‍රව තිබෙන ආකාරය නරඹන ලෙස මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමි. බුදුරජාණන් වහන්සේත්, මොහොමඩ් නබීතුමාත් සිය ශ්‍රේෂ්ඨ ආගමික දර්ශනයන්ගෙන් මිනිසාට මග පෙන්වනු ලැබුවේ ආදරණීය ප්‍රේමණීය කරුණාන්විත මෛත්‍රී සහගත ජීවන ක්‍රමයක් නොවේද?

මෙවර නිදහස් චතුරස්‍රයේ මේ පවත්වන බත් දන්සලින් සප්පායම් වී තම කුසගින්න නිවාගන්නා සියලු දෙනා ජාතික ආගමික සමගියේ අසිරිමත් ආනන්දයෙන් තම සිත් ද නිවා ගනු ඇත.

පරදාවෙන් හිසවැසුවට 
හදේ ළබැඳි සොහොයුරුකම
කිසිම දාක අපෙ දිවියෙන්
ඈත් වෙන්නෙ නෑ. 

සිහල දෙමළ මුස්ලිම් අපි 
බොදුනු කිතුණු ඉස්ලාම් හින්දි
ලෙස ඉපදුනෙ විවිධත්වය 
ලස්සන හින්දයි 

ඒ ලස්සන හැමදාමත් 
හද පත්ලේ රඳවාගෙන 
සතුටු සිතින් සිනාවතින්
සැරදෙමු සතුටින්! හිනහෙමූ සතුටින් !

සටහන 
සරත් කුමාර දූල්වල 
ප්‍රවීණ මාධ්‍යවේදී සිතිජය

Post a Comment

0 Comments