සමස්තයේ සර්ව බලධාරියානන් වන්නේ අල්ලාහ් දෙවිඳුන්ය. උන්වහන්සේ අති ශ්‍රේෂ්ඨය.ආරම්භයත් අවසානයත් උන්වහන්සේමය.නැමදීමට සුදුසු එකම මැවුම්කාර දෙවියන් වහන්සේය උන්වහන්සේට ගෞරවය වේවා! ප්‍රශංසා වේවා!

හජ් වන්දනාවේ සහ ඊදුල් අල්හා උත්සවයේ අතිශය වැදගත් ආගමික ක්‍රියාවක් ලෙස “කුර්බාන්” හෙවත් සතුන් බිලිදීම හැඳින්වේ. මෙය ඉස්ලාම් ආගමේ ගැඹුරු ආත්මීය අර්ථයන්ගෙන් පිරුණු වන්දනාවක් වන අතර, අල්ලාහ් දෙවිඳුන් ට යටත් වීම, කැපවීම, පරිත්‍යාගය, (දානය)සහ භක්තිය නිරූපණය කරයි.
කුර්බාන් යනු සරලව සතෙකු බිලි කිරීමක් නොව, මනුෂ්‍යයාගේ හදවත අල්ලාහ් දෙවිඳුන් වෙත සමීප කරවන ගැඹුරු ආගමික පාඩමකි.
“කුර්බාන්” යන වචනය අරාබි භාෂාවේ “කුර්බ්” යන මූල පදයෙන් පැමිණ ඇති අතර, එහි අර්ථය “ආසන්න වීම” යන්නයි. එබැවින්, කුර්බාන් යනු අල්ලාහ් දෙවිඳුන් ට ආසන්න වීම සඳහා කරන වන්දනා ක්‍රියාවක් ලෙස සැලකේ.
ඉස්ලාම්වරයා තමන්සතු වටිනා දෙයක් අල්ලාහ් දෙවිඳුන් වෙනුවෙන් කැප කිරීම මඟින්, ඔහුගේ භක්තිය හා අවංකභාවය ප්‍රකාශ කරයි.
කුර්බාන්හි ඉතිහාසය ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) නබිතුමාගේ ජීවිතය සමඟ සම්බන්ධ වේ. අල්ලාහ් විසින් ඉබ්‍රාහිම් නබිතුමාට තම ආදරණීය පුත්‍රයා වූ ඉස්මාඊල් (අලෙයිහිස්සලාම්) බිලිදීමට සිහිනයක් මඟින් නියෝග කළේය.
නබිවරයෙකුගේ සිහිනය වහී (දේව පණිවිඩ) ලෙස සැලකෙන බැවින්, ඉබ්‍රාහිම් නබිතුමා එය අල්ලාහ් දෙවිඳුන් ගේ නියෝගයක් ලෙස පිළිගත්තේය.
මෙය මනුෂ්‍ය ඉතිහාසයේ අතිශය සංවේදී හා විශ්වාසයෙන් හා ගැඹුරු ඇදහීමෙන් පිරුණු සිද්ධියකි.
තම පුත්‍රයාට ඇති ආදරය ඉක්මවා, අල්ලාහ් දෙවිඳුන් ට ඇති භක්තිය ඉහළින් තැබීමට ඉබ්‍රාහිම් නබිතුමා නොපැකිල එක පයින් සූදානම් විය.
විශේෂත්වය වන්නේ, ළමා ඉස්මාඊල් (අලෙයිහිස්සලාම්)තුමාද තම පියාගේ මෙම ආගමික කැපවීමට එකඟ වීමයි.
ඔහු පැවසුවේ, “පියාණෙනි! ඔබට නියෝග කර ඇති දේ කරන්න. අල්ලාහ් කැමති නම්, මාව ඉවසිලිවන්තයන් අතරින් ඔබට හමුවනු ඇත” යනුවෙනි.
ඉබ්‍රාහිම් නබිතුමා තම පුත්‍රයා බලි දීමට සූදානම් වූ මොහොතේදී, අල්ලාහ් දෙවිඳුන් ඔහුගේ විශ්වාසය, ඇදහීම හා යටත් වීම පිළිගෙන, ඉස්මාඊල් වෙනුවට බැටළුවෙකු බිලිදීමට හැකි වන සේ නියෝගය සංශෝධනය කොට ලබා දුන්නේය.
මෙම සිද්ධිය සිහිපත් කිරීම සඳහා ඉස්ලාම්වරුන් අද දක්වා කුර්බාන් ඉටු කරති.කුර්බාන් සිදු කිරීමේදී, ඔටුවන්, ගවයන්, එළුවන්, හෝ බැටළුවන් වැනි සතුන් ඔවුන් භාවිත කරයි.
එම සතා සෞඛ්‍ය සම්පන්න හා දෝෂ රහිත විය යුතුය. සතා බිලි කිරීමේදී “බිස්මිල්ලාහි අල්ලාහු අක්බර්” යනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ගේ නාමය ප්‍රකාශ කරයි. මෙයින් එම ක්‍රියාව අල්ලාහ් දෙවිඳුන් වෙනුවෙන් පමණක් සිදු කරන බව පෙන්වයි.
කුරානයේ සඳහන් වන පරිදි, අල්ලාහ් දෙවිඳුන් වෙත ළඟා වන්නේ සතාගේ මස් හෝ ලේ නොව, වන්දනාකරුගේ “තක්වා” හෙවත් භක්තිය හා භීතියයි. මෙය කුර්බානිහි සැබෑ ගැඹුරු ඉස්ලාම් ආගමික අර්ථය පැහැදිලි කරයි.
එබැවින්, කුර්බාන් යනු බාහිර ක්‍රියාවකට වඩා අභ්‍යන්තර ආත්මීය පරිවර්තනයකි.
කුර්බාන් මඟින් ඉස්ලාම්වරයාට ඉගැන්වෙන ප්‍රධාන පාඩම වන්නේ, අල්ලාහ් දෙවිඳුන් වෙනුවෙන් කැපවීමයි.

මනුෂ්‍යයා ජීවිතයේ ආදරණීය දේවල් අල්ලාහ් දෙවිඳුන් ගේ සතුට, ප්‍රසාදය සඳහා අත්හැරීමට සූදානම් විය යුතු බව මෙය උගන්වයි.
එය ධනය, ආශාවන්, හෝ අහංකාරය විය හැකිය. ඉබ්‍රාහිම් නබිතුමාගේ ආදර්ශය, සම්පූර්ණ යටත් වීමේ, අවනත වීමේ
මේ උතුම් උදාහරණයකි.
තවද, කුර්බාන් මඟින් දානශීලභාවය හා සමාජ සහයෝගීතාවයද ඉස්මතු වේ. කුර්බාන් කළ සතාගේ මස් ඉස්ලාමයට අනුව කොටස් තුනකට බෙදා ගැනීම සුදුසුය.
පළමු කොටස තම පවුල සඳහා, තවත් කොටසක් ඥාතීන් හා මිතුරන් සඳහා, සහ අනෙක් කොටස දුප්පතුන් සඳහා ලබා දේ. මෙය සමාජයේ දුප්පත් හා අවශ්‍යතා ඇති ජනතාවට සහයෝගය ලබා දෙන උතුම් ක්‍රියාවකි.
කුර්බාන් තුළ තවත් වැදගත් ආත්මීය අර්ථයක් වන්නේ, මනුෂ්‍යයාගේ අභ්‍යන්තර නරක ගතිගුණ බිලි දීමයි. සතෙකු බිලි දෙන අතරතුර, තමන්ගේ අහංකාරය, ලෝභය, කෝපය, හා පාපකාරී සිතුවිලිද අත්හැරීමට වන්දනාකරු අධිෂ්ඨාන කරයි. එබැවින්, කුර්බාන් යනු හදවත පිරිසිදු කිරීමේ අගනා ආගමික පාඩමකි.
හජ් වන්දනාවේදී කුර්බානි කිරීම, හජ් ආචාරයන්හි වැදගත් කොටසකි. විශේෂයෙන් “හජ් තමත්තූ” හා “හජ් කිරාන්” ඉටු කරන අයට එය අනිවාර්ය වේ.
මෙය හජ් වන්දනාවේ ආත්මීය පරිපූර්ණත්වය තවත් ශක්තිමත් කරයි.
කුර්බානි මඟින් ඉස්ලාම්වරයාට මතක් කරන්නේ, ජීවිතයේ සියලු දේ අල්ලාහ් දෙවිඳුන් ගෙන් ලැබුණු ආශීර්වාද බවයි. එබැවින්, උන්වහන්සේගේ සතුට සඳහා ඒවා කැප කිරීම මනුෂ්‍යයාගේ වගකීමකි. මෙම හැඟීම මඟින් හදවත තුළ නිහතමානීභාවය හා කෘතඥතාව වර්ධනය වේ.
අවසාන වශයෙන් කුර්බාන් හෙවත් සතුන් බිලිදීම යනු සරල ආගමික චාරිත්‍රයක් නොව, ගැඹුරු ආත්මීය අර්ථයන්ගෙන් පිරුණු උතුම් වන්දවකි. එය ඉබ්‍රාහිම් නබිතුමාගේ විශ්වාසය, යටත් වීම, හා කැපවීම සිහිපත් කරන අතර, මනුෂ්‍යයාගේ හදවත අල්ලාහ් දෙවිඳුන් වෙත සමීප කරයි. දානශීලීභාවය, පරිත්‍යාගය, සහ තක්වා වර්ධනය කරන මෙම වන්දනාව ඉස්ලාම් ආගමේ සදාකාලික ආත්මීය පාඩමක් ලෙස පවතිනු ඇත.
සකස් කළේ
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති
සහ මහනුවර විශ්වසවන්තයන්ගේ
සංගමයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී
සරත් කුමාර දුල්වල විසිනි.





0 Comments