සමස්තයේ සර්වබලධාරියාණන් වන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේයි. උන්වහන්සේ අතිශ්‍රේෂ්ඨය ආරම්භයත් අවසානයත් උන්වහන්සේමය. උන්වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවය වේවා! ප්‍රසංසා වේවා!

හජ් වන්දනාව ඉස්ලාම් ආගමේ අතිශය උතුම් ආගමික කර්තව්‍යයක් වන අතර, එය නියමිත කාලසීමාවක් තුළ පමණක් ඉටු කළ යුතු වන්දනාවකි.
එම කාලය ලෙස ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස්වන මාසය වන “දූල් හිජ්ජා” (Dhul Hijjah) විශේෂ වැදගත්කමක් හිමි කරගනී.
මෙම මාසය ඉස්ලාම් ජීවිතයේ ආත්මීය උත්තරීතරත්වයක් ලබා දෙන සමයක් වන අතර, හජ් වන්දනාවට අදාළ ප්‍රධාන ආචාර ක්‍රියාකාරකම් සියල්ලම මේ මාසයේදී සිදු වේ.
දූල් හිජ්ජා මාසය, හජ් වන්දනාව සඳහා පමණක් නොව,ඉස්ලාම් භක්තිකයන්ට.සම්පූර්ණයෙන්ම ආත්මීයව වර්ධනය වීමට අවස්ථාවක් ලබා දෙන පූජනීය කාලයකි.
විශේෂයෙන්ම මෙම මාසයේ මුල් දින දහය ඉස්ලාමයේ අතිශය පූජනීය දින ලෙස සලකනු ලබයි. නබි මොහම්මද් (සල්) තුමා සඳහන් කර ඇති පරිදි, මෙම දිනවල සිදු කරන යහපත් ක්‍රියාවන් අනෙකුත් දිනවලට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දේ.
එබැවින්, හජ් වන්දනාව කරන අය පමණක් නොව, ලෝකය පුරා සිටින සියලු ඉස්ලාම් බැතිමතුන් ට මෙම කාලය තුළ වැඩි වශයෙන් ඉබාදාත් (වන්දනා), දුවා (ප්‍රාර්ථනා), සහ යහපත් ක්‍රියාවන් සිදු කිරීමට උත්සාහ කරති.
හජ් වන්දනාවේ ක්‍රියාමාර්ග ආරම්භ වන්නේ දූල් හිජ්ජා මාසයේ 8වන දින සිටය. මෙම දිනය “යවුමුත් තර්වියහ්” ලෙස හැඳින්වේ.
එදින හජ් වන්දනාව කරන පුද්ගලයන් මක්කා සිට මිනා ප්‍රදේශයට ගමන් කරමින්, හජ් වන්දනාව ආරම්භයට සූදානම් වෙති. එය හජ් ගමනේ පළමු පියවරක් ලෙස සැලකේ.
දූල් හිජ්ජා මාසයේ 9වන දිනය “යවුමුල් අරෆා” ලෙස හැඳින්වේ. මෙය හජ් වන්දනාවේ අතිශය වැදගත්ම දිනය ලෙස සලකනු ලබන අතර, “හජ් යනු අරෆාය” යනුවෙන් පවා කියවේ.
එදින හජ් වන්දනාව කරන සියලු දෙනා අරෆා තැන්පත් ප්‍රදේශයේ එකතු වී, අල්ලාහ් දෙවිඳුන් ගෙන් පව් කමා ගැනීමට, ආශීර්වාද ලබා ගැනීමට, හා ජීවිතය නව මඟකට යොමු කිරීමට දැඩි ආත්මීය උත්සාහයක් ගනී. මෙය මනුෂ්‍යයාගේ ජීවිතයේ වඩාත්ම සංවේදී හා ආත්මීය අවස්ථාවක් ලෙස සැලකේ.

දූල් හිජ්ජා 9වන දින සවසින් පසු, හජ් වන්දනාව කරන අය මුස්දලිෆා ප්‍රදේශයට ගමන් කරමින්, එහි රාත්‍රිය ගත කරති. එය හජ් වන්දනාවේ තවත් වැදගත් කොටසක් වන අතර, සරල ජීවිතයක් හා අල්ලාහ් දෙවිඳුන්ට ආසන්න වීමේ අත්දැකීමක් ලබා දේ.
දූල් හිජ්ජා මාසයේ 10වන දිනය “ඊදුල් අද්හා” (Eid al-Adha) ලෙස හඳුන්වයි. මෙය ඉස්ලාම් ලෝකයේ විශාලම උත්සවයක් වන අතර, ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) නබිතුමාගේ කැපවීම සිහි කිරීම සඳහා සත්ව බිලි (කුරානි හෙවත් කුරුබාන්) සිදු කරනු ලබයි. හජ් කරන අය මෙම දිනයේ ජම්රාත්හි ගල් පහර දීම, සත්ව බිලිසිදූ කිරීම, සහ හිස මුඩුකර කැපීම (හල්ක්/තක්සීර්) වැනි වැදගත් ආචාරවිදි ඉටු කරති.
දූල් හිජ්ජා 11, 12 සහ 13වන දින අය්යාමුත් තෂ්‍රීක්” ලෙස හැඳින්වේ. මෙම දිනවලදී හජ් කරන අය මිනා ප්‍රදේශයේ සිට, ජම්රාත් තුනට ගල් පහර දීම සිදු කරති. මෙම ක්‍රියාව, නරක සිතුවිලි හා ෂෙයිතාන්ගේ බලපෑම් ප්‍රතික්ෂේප කිරීමේ සංකේතයක් ලෙස සැලකේ. එමෙන්ම, මෙම දිනවලදී අල්ලාහ් දෙවිඳුන් සිහි කිරීම, තක්බීර් කියවීම, සහ කෘතඥතාව පළ කිරීම ඉතා වැදගත් වේ.
දූල් හිජ්ජා මාසයේ මෙම විශේෂිත දින මාලාව, හජ් වන්දනාවේ සම්පූර්ණත්වය නියෝජනය කරයි. සෑම දිනයක්ම විශේෂ ආචාර හා ආත්මීය අර්ථයන් සමඟ බැඳී ඇත. මෙය සරල ක්‍රියාමාර්ග මාලාවක් නොව, මනුෂ්‍යයාගේ ජීවිතය පරිවර්තනය කරන ආත්මීය ගමනක් ලෙස සැලකිය යුතුය.

මෙම කාලයේ සුවිශේෂත්වය වන්නේ, එය ලෝකය පුරා සිටින ඉස්ලාම් භක්තිකයන් එක් අරමුණක් යටතේ එකතු වීමයි.. ජාති, භාෂා, වර්ණ, සහ සමාජ තත්ත්වයන් සියල්ලම අතහැර, සියලු දෙනා අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ සමානව සිටීම, ඉස්ලාමයේ සමානත්වය හා සහෝදරත්වය පෙන්වයි.
අවසානයේ, දූල් හිජ්ජා මාසය සහ එහි විශේෂිත දින මාලාව, හජ් වන්දනාවේ හෘදය ලෙස සැලකිය හැක. එය ආත්මීය ශුද්ධිකරණය, පව් කමා කිරීම, සහ ජීවිතය නව ආරම්භයකට යොමු කිරීම සඳහා ලැබෙන අගනා අවස්ථාවකි. එබැවින්, හජ් වන්දනාවේ කාලය පිළිබඳ අවබෝධය, එය නිවැරදිව හා සාර්ථකව ඉටු කිරීමට අත්‍යවශ්‍ය වේ
සකස් කලේ :
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති සහ
මහනුවර විශ්වාසවන්තයන්ගේ කණ්ඩායමේ
සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී
සරත් කුමාර දුල්වල





0 Comments