3
බුදු දහම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත කරන්නේද?සාමයික සහජීවනය යනු අන්තර් ආගමිකයින් හා අන්තර් ජනවාර්ගිකයින් අතර පවත්වා ගෙන යා යුතු යහ සම්බන්ධතාවයි. බුදු දහම බිහි වූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වන විට භාරත දේශයේ මහා පරිමාණ ලෙස ව්‍යාප්ත වී තිබුණේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරු කළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂට් ශාස්තෘ දර්ශනයන් ද විය. මේ හැම ආගමික සම්ප්‍රදායක් ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ.
මේ කාලයේ බුදුන් වහන්සේ සමග ද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේ දී ක්‍රියා කළේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයට ය. බුදුන් වහන්සේ මෙහි දී ප්‍රකාශ කර සිටියේ සෑම දෙයක ම යථා භුතය හෙවත් යථාර්ථය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු බව ය. බ්‍රහ්මජාල සුත්‍රයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටීන් දෙසැටක් පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට ඉදිරිපත් නොවුහ. එසේ ම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම් වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාම වලට බුදු රදුන් වැඩම කර වූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේ ව ගෞරවයෙන් පිළිගත්හ.චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමය ට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේ ම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයට ද වරින් වර වැඩම කළහ. කලක ට පසුව තම ආරාමය ට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඉදිරියට ගොස් උන්වහන්සේ ව පිළිගෙන ‘එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැ’යි ගෞරවාන්චිත ව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත - මජ්ජිම නිකාය). ආගමික මත භේද මත විරසක වී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාව කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලි වන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්‍රදායක් හෙළා නොදුටු බවය.
ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇති වන්නේ එක් ආගමක් අත හැර අනිත් ආගම වැලඳ ගැනීමේදී ය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන් දෙදෙනෙකු වූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහි දී බුදුන් වහන්සේ ඒ දෙදෙනා ට කොන්දේසියක් ඉදිරිපත් කළහ. එම කොන්දේසිය නම් තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයා ට කළ සැලකිලි සංග්‍රහ ආදිය එසේ ම පවත්වා ගෙන යාමට ක්‍රියා කළ යුතු බව ය. ඔවුහු එය පිළිගත්හ. දහම් කෙරෙහි අපහාසාත්මක අයුරින් කටයුතු කිරීම පොදුවේ වර්තමාන සමාජයේ දක්නට ඇති ලක්ෂණයකි. මේ පිළිබඳ ව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කුමක්දැ’යි විමසා බලමු.
දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත.
“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?
භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.
බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”
ඕනෑම කෙනෙකු ට ඕනෑම ආගමිකයෙකු ට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිලි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක්භාවයෙන් යුක්තව ය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපය ට පත් නොකළහ. බුදුන් වහන්සේගේ ආගමික සහනශීලිතාවන් පැහැදිලි වන්නේ සියලුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයක් බවයි.
බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
අක්කොධෙන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං
අර්ථය: ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.
න හි වෙරෙන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ව සම්මන්ති
එස ධම්මො සනන්තනො
අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.
දීර්ඝ වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳ ව කරුණු සාකච්ඡා කරන්න ට අදහස් කරනු ලැබුවේ බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘති කරමින් සමාජයේ වෛරය හා ද්වේෂය වපුරන්න ට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ට යුද කරන්න ට සිදු වුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. එහෙයින් මෙම කරුණු මගින් සනාථ වන්නේ බුදු දහම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත නොකරන බව ය. (TO BE CONTINUED)
0 Comments