SRI LANKA


 

නිරෝධායනයේ සැබෑ පසුබිම කවරේද........?-(ලිපි)

යම් පුද්ගලයෙකුව නිරෝධායනයට යොමු කරලීම නෛතික අර්ථය තුළ දඬුවමක් වශයෙන් සැලකේද?

ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, කිසිදු ලෙසකින් යම් පුද්ගලයෙකුව නිරෝධායනයට යොමු කරලීම දඬුවමක් ලෙස නොසැලකේ.

මක්නිසාදයත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළු වෙනත් නිරෝධායන රෙගුලාසි (නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීමද මේ යටතට වැටේ) කඩ කිරීම සංශෝධිත පරිදි වූ 1897 අංක 3 දරණ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ 4(1) වගන්තිය ප්‍රකාරව වරදක් වීමත්, ඒ යටතේ එකී වැරදි සම්බන්ධයෙන් ඉහත කී ආඥා පනතේ 4(2) වගන්තිය ප්‍රකාරව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියෙහි නඩු පවරා එකී ආඥා පනතේ 5(1) වගන්තිය ප්‍රකාරව රු.2000/- කට නොඅඩු සහ රු.10,000/- කට නොවැඩි දඩයක් සහ/හෝ මාස 6 කට නොවැඩි සිර දඩුවමක් (2005 අංක 12 දරණ දඩ මුදල් වැඩි කිරීමේ පනත ප්‍රකාරව) නියම කරනු ලැබිය හැකි වීමත්, කිසිදු ලෙසකින් පුද්ගලයකු නිරෝධායනයට යොමු කරලීම දඬුවමක් වශයෙන් එහි සඳහන් නොවීමත් මත, පුද්ගලයෙකුට නිරෝධායනයට යොමු කරලීම දඬුවමක් වශයෙන් සැලකිය නොහැකි වන බැවිනි.

 කිසියම් පුද්ගලයෙකුව නිරෝධායනයට යොමු කළ හැක්කේ කාහටද?  

එය සිදුකළ හැක්කේ සෞඛ්‍ය බලධාරියෙකුට පමණක් වන අතර, ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් ස්වකීය තීරණ මත හෝ පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණවීම යටතේ අධිකරනයෙන් එවැනි නියෝග අයැදීම Covid 19 වැනි වසංගත රෝගයකට අදාළව නිවැරදි නොවන කාර්ය පටිපාටියකි. 

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සතු බලතල සංශෝධිත පරිදි වූ 1925 අගෝස්තු මස 28 දිනැති අංක 7481 දරණ ගැසට් පත්‍රයෙහි අතිරේකයෙහි (Supplement to the Ceylon Government Gazette No.7481, dated 28/08/1925) පළ කරන ලද නිරෝධායන රෙගුලාසි, ධාන්‍ය ගබඩා කිරීමේ රෙගුලාසි සහ ඇන්චිලොස්ටොමියාසිස් සම්බන්ධයෙන් වන රෙගුලාසි (Quarantine Regulations, Regulations relating to the storage of Grain and Regulations relating to Anchylostomiasis) යටතේ නිරවුල්ව සඳහන්ව පවතී.

කිසියම් පුද්ගලයකු නිරෝධායන රෙගුලාසි කඩ කොට කිසියම් ක්‍රියාවක් සිදුකොට ඇත්නම් එම අයව නිරෝධායනයට යොමු කරලීම සම්බන්ධයෙන් වන තීරණය ගැනීම පිණිස සිදු කළ යුතු වන්නේ කුමක්ද?

ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, සෑම නිරෝධායන රීතියක්ම කඩ කරලීම පුද්ගලයෙකුව නිරෝධායනයට යොමු කරලීම සම්බන්ධයෙන් වන අවශ්‍යතාවයක් වශයෙන් සෞඛ්‍ය අංශ විසින් නොසලකනු ලබන අතර, පොදුවේ ගත්කල යම් පිරිසක් සෞඛ්‍යය රීතීන් වලට පටහැනිව (නිසි බලධරයා වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවනු ලැබ ඇති රීතීන්ට පටහැනිව) කිසියම් ලෙසකින් ඒකරාශී වී ඇත්නම්, එකී පිරිස අතරින් යම් අයෙකුට Covid 19 රෝගය වැළඳී ඇති බවට වන සැකය මත පදනම්ව, එවැනි තීරණයකට සෞඛ්‍ය අංශ විසින් එළැඹීම යටතේ, එකී පිරිස එම අය සිටින ස්ථානයේම හෝ වෙනත් ස්ථානයක නිරෝධායනය කරලීමට, නිසි බලධාරියා වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහුගෙන් බලය පැවරෙන ලද නිලධාරියෙකු හට (උදාහරණ වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ (MOH)  නිර්දේශය මත මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීවරයෙකු හට )  නියම කළ හැක.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවනු ලැබ ඇති රීතීන්ට පටහැනිව කටයුතු කරනු ලබන බවට සැක කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් නෛතිකව කටයුතු කලයුතු වන ආකාරය.

මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන සංශෝධිත පරිදි වූ 1897 අංක 3 දරණ  නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතෙහි 6 වන වගන්තියෙහි පහත සඳහන් පරිදි විස්තර වේ.

"6(1) When a person is seen or found committing or is reasonably suspected of being engage committing an offence against this Ordinance, any inspector or other officer appointed under this Ordinance or any police officer may without warrant stop and detain him, and if his name and address are not known may without warrant apprehend him.

(2) If any person obstructs or impedes an inspector or other officer appointed under this Ordinance, or any police officer in the execution of any provision of this Ordinance or of any regulation made thereunder, or assists in any such obstructing or impeding, he may be apprehended by such inspector or other officer or police officer without warrant.

(3) A person apprehended under this section shall be taken with all practicable speed before a Magistrate or a Judge of a Primary Court.

(4) Nothing in this section shall take away or abridge any power or authority that a police officer would have had if this section had not been enacted."

ඒ යටතේ ඉහත කී ප්‍රතිපාදන ප්‍රකාරව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරනු ලබන පුද්ගලයන් අධිකරණය හමුවට පැමිණවීම සම්බන්ධයෙන් වන සියලු බලතල පොලිස් නිලධාරීන් සතුව පවතින්නේ වුවද, යම් සෞඛ්‍ය මාර්ගෝපදේශයක් කඩ කරලීම යටතේ එකී පිරිස නිරෝධායනයට යොමු කළ යුතු වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් විසින් ඊට අදාළ වන කරුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) වෙත සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙත මෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී මුළු දිවයිනටම අදාළව නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඒ සම්බන්ධයෙන් වන කරුණු වාර්තා කොට, එම පිරිස නිරෝධායනයට යොමු කළ යුතු වන්නේ නම්, ඊට අදාල වන සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ තීරණයට අදාළව එම පිරිස ඔවුන් සිටින ස්ථානයේ ම හෝ වෙනත් ස්ථානයක නිරෝධායනය සඳහා යොමු කොට එකී නිරෝධායන කාලයෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කරලීමට පියවර ගත යුතු වේ.


මක්නිසාදයත්, අධිකරණය විසින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ වෛද්‍ය නිලධාරීවරයකු හෝ සෞඛ්‍ය අංශය විසින් ලබා දෙනු ලබන නිර්දේශ මත පදනම්ව, ඊට යටත්ව පමණක් වන බැවිනි. 

එසේම, එලෙස කටයුතු නොකොට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයකින් තොරව යම් පිරිසක් අධිකරණය වෙත ඉදිරිපත් කොට අධිකරණය මගින් නිරෝධායනයට යොමු කරලීමට ඉල්ලා සිටීම නෛතික වශයෙන් නිවැරදි නොවනවාක් මෙන්ම, ප්‍රායෝගික වශයෙන් කරුණු සලකා බැලීමේදී, සත්‍ය වශයෙන්ම එම පිරිස නිරෝදායනය කළ යුතු වන අවස්ථාවකදී, තවදුරටත් රෝගය පැතිරවීමට ඒ යටතේ අනියම් ආකාරයකින් සහය වීමක් එලෙස ඉල්ලීම් කරනු ලබන නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර, මක්නිසාදයත් Covid 19 වැනි වසංගත රෝගී තත්ත්වයක් තුල එවැනි නොසැලකිලිමත් ආකාරයෙකින් ක්‍රියා කරලීම, අධිකරණ කාර්ය මණ්ඩලය, නීතිඥ මහත්ම මහත්මීන් ඇතුළු අදාළ දින අධිකරණයට පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානමට හෙලීමක් වන බැවිනි.

ඒ යටතේ වන සියලු කරුණු එක්ව ගෙන සලකා බැලීමේදී, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත නිරෝධායනය කලයුතු තැනැත්තන් නිරෝධායන කරලීමකින් තොරව (එම අයවලුන් නිරෝධායනය කොට නිරෝධායන කාලය අවසාන වීමෙන් අනතුරුව අදාළ වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරලීමේ කිසිදු නෛතික බාධාවක් නොමැත.) එම අයවලුන් අධිකරණය වෙත ඉදිරිපත් කොට නිරෝධායනය කරන ලෙසට අයැදීම, නෛතික වශයෙන් මෙන්ම ප්‍රායෝගික භාවිතය  යටතේ  නිවැරදි නොවන බව පැහැදිලි කරුණකි.



Post a Comment

0 Comments