මුලු ලොවම තහනම් කල මත් ද්‍රව්‍ය වශයෙන් හෙරොයින්, කොකේන් ද බහුතර රටවල් තහනම් කර ඇති හෂීෂ්, අබීන්, ගංජා ද නම් කල හැක. ඒ වගේම සමහර රටවල් වල මතය නම් මත්ද්‍රව්‍ය භාවිතය කරන්නන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළයුතු බවය. මේ සියල්ල සලකා සෑම වර්ෂයකම මත්ද්‍රව්‍ය විරෝධී දිනය ලෙස ජූලි 31 වන දින නම් කර ඇත.
මත්ද්‍රව්‍ය භාවිතය අතිතයේ වැඩිහිටින් අතර පමණක් සිදු වුවද පසුව තරුණ පිරිස අතර මෙම උවදුර ව්‍යාප්ත කිරීමට ජාවාරම්කරුවන්ට හැකි විය. අවාසනාවකට, අද පාසල් සිසුන් ඔවුන්ගේ ගොදුර බවට පත්ව ඇත.
2015 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ තොරතුරු අනුව දිවයිනේ නන් දෙසින් කරන ලද මෙහෙයුම් තුලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයින් 12030 ක් අත්අඩංගුවට ගත් අතර මත් ද්‍රව්‍ය ආශ්‍රිත සිද්ධීන් 12500ක් වාර්තා වී ඇත. තවද සිදු කල වැටලීම් තුලින් කි.ග්‍රෑම් 10306 ක මත්ද්‍රව්‍ය සොයා ගැනින. එහි හෙරොයින්, ගංජා, බාබුල්, ලේගියම්,අබිං යන මත් ද්‍රවය අඩංගුය.
මේ හැර දූම්කුඩු,ජෙල් වර්ග සිසුන් අතර භාවිතයෙහි ඇති බව පොලිසිය දන්වා සිටී.
පාසල් මට්ටමින් සිදු වන මත්ද්‍රව්‍ය භාවිතය මැඩලීමේ පියවර ලෙස පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කිරීම වැලැක්වීමට පොලිසිය හා අධ්‍යාපන අමාත්‍යාංශය රටේ සියලුම පාසල් වල මත්ද්‍රව්‍ය මැඩලීමේ කමිටු පිහිටුවීම පැසසිය යුතු කරුණකි.
පාසල් සිසුන් අතරේ මත්ද්‍රව්‍ය භාවිත සීග්‍රයෙන් සිදු වන බවත්, ඔවුන් මේ සදහා වඩාත් නැඹුරු වන බව පෙනෙන්නට ඇත. ඒ නිසා පාසල් සිසු දරුවන් මේ කෙරෙහි ආකර්ෂණය කරන්නවුන් හඳූනාගෙන විධිමත් පියවර ගැනීම පොලිසිය, දෙමව්පියන්,ගුරුවරුන්, ආදී ශිෂ්‍යයන් හා පාසැල් කාර්යය මණ්ඩලය සතු පූර්ණ වගකීමයි.
දරුවන් අතරේ අධික මුදල් පරිහරණය, දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ අවධානය යොමු නොවීම, මානසික ආතතිය, නව අත්හදා බැලීම් කෙරෙහි දක්වන ආකල්පය, පවතින විවිධ විෂමතාවයන් හා එහි භයානකත්වය ගැන අවබෝධයක් නොලැබීම, සම වයසේ හා තමන් ආශ්‍රය කරන සමහර නොහොබිනා අයථා ක්‍රියා අගය කිරීම, හොඳ දේ හැදෑරීමේ උද්යෝගය අඩුවීම, පාසල පිළිකුල් කිරීම, ආධ්‍යාත්මික ගුණ වගාවන් පිළි නොපැදීම, පවුලේ ප්‍රශ්න වලින් මඟ හැරීමට උත්සාහ දැරීම,
මත්ද්‍රව්‍ය වලට ආශ්‍රිත පරිසරයක වාසය කිරීම යනාදිය දරුවන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමු කරන බව සමීක්‍ෂණ වලින් පෙන්වා දෙයි.
දරුවන් අතර අධිකව මුදල් පරිහරණය නොවීමට වගබලා ගැනීම,ඔවුන් කා සමඟ ආශ්‍රය කරනවා ද යන්න ගැන වඩා විමසිලිමත් වීම දෙමව්පියන් සතු වගකීමයි.
තවද, තමන් අදහන ආගම කෙරෙහි ඔවුන්ව යොමුකර තමනුත් ආදර්ශ වෙමින් කටයුතු වල නිරත වීම, ආගමානුකූලව ජීවත් වීමේ පරිසරයක සකස් කර දීම වගකිව යුත්තන්ගේ පරම යුතුකමයි.
දරුවන් මත්ද්‍රව්‍ය උවදූරින් බේරා ගැනීම සඳහා පාසල් වල ක්‍රීඩා උත්සව හා තරඟ පැවැත්වීම, කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීම, දැනුම මිනුම ආදි වැඩ සටහන් කෙරෙහි අවධානය යොමු කිරීම, ආගමික වැඩ සටහන්හි සහභාගිත්වය ලබාදීම ඉතා වැදගත් වේ.
තවද මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා එය බෙදා හරින්නන්නට දැඩි දඩුවම් පමුණුවීම හා මත් ද්‍රව්‍ය රට තුලට පැමිණීම වැලැක්වීමට කටයුතු කිරීමට බලධාරීන් ද ක්‍රියා කල යුතුය. මත්ද්‍රව්‍ය උවඳූර පාලනය කරනවා වෙනුවට එය සහමුලින්ම මුලිනුපුටා දැමීම රටේ හා ජනතාවගේ අනාගත සුභ සිද්ධියට හේතුවනවා ඇත.
0 Comments