SRI LANKA


 

ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව පොදු සමාජ ප්‍රවාහයෙන් දුරස්ථ වීමට හේතු මොනවාද?

ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව ජනගහනයෙන් 9.5%ක් පමණ වන අතර දශක පහක් හෝ හයක කාලයක් තුළ මෙම ප්‍රජාවගේ සමාජ හැසිරීම තුළ යම් වෙනස් කම් දකින්නට ඇත. පොදු ශ්‍රී ලාංකේය සමාජ ප්‍රවාහයෙන් එක්තරා ප්‍රමාණයක දුරස්ථ වීමක් මෙම කාල වකවානුව තුළ දැකිය හැකිය. ආරම්භයේ තමන් ජීවත් වූ ප්‍රදේශයේ සියළු ජනයා සමග සමීපතාවකින් කටයුතු කළ ද මෑතක සිට මෙම තත්ත්වය ක්‍රමයෙන් වෙනස්වෙමින් පවතී යන්න යථාර්ථයකි. ඉතා සංක්ෂිප්ත ලෙස මෙයට හේතු විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

පොදු ක්‍රියාකාරකම් අඩුවීම.

ජනයා එක් සාමුහික පිරිසක් ලෙස දැකිය හැකි වනුයේ ඔවුන් අතර පොදු ක්‍රියාකාරකම් වැඩිවන ප්‍රමාණයටය. විවාහ උත්සව, අවමංගල්‍ය අවස්ථා, ගමේ පොදු යහපත උදෙසා වූ කටයුතු, රෝගී හා අනෙකුත් පුද්ගල ප්‍රශ්න ඇතිවන අවස්ථා ආදියෙහි දී එක් ප්‍රදේශයක ජනයා කටයුතු කළේ වාර්ගික ආගමික සාධක පිළිබඳ තැකීමකින් නොවේ. වර්තමානයේ මෙම තත්ත්වය බෙහෙවින්ම වෙනස් වී ඇති බව දකින්නට ඇත. එකිනෙකාට සමීප වීමේ මෙවන් අවස්ථාවන් අවම වෙමින් පවතී. මෙය වාර්ගික දුරස්ථභාවයට එක් හේතුවක් ලෙස දැකිය හැක. මෙය පරෝපකාරය දුර්වලවී ආත්මාර්තකාමිත්වයේ වර්ධනයක් ලෙසත් මෙය දැකිය හැක.

ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම්

දහම හා සංස්කෘතිය කටයුතු එක් එක් නිශ්චිත කොට්ඨාශ සඳහා වෙන් වශයෙන් සිදුවන්නකි. “ෂාලම් ෂ්වාට්ස් නමැති මනෝ විද්‍යාඥයා විසින් රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක ඇගයුම් තක්සේරු කර තිබේ. “සමාව දීම සහ රිස්සීම” වැනි යහ ලක්ෂණ ‘කෘත්‍යවාදී’ සංස්කෘතියේ අංග ලෙස සැලකේ. ඊට ප්‍රතිවිරුද්ධ ව මිනිසුන් සහ සම්පත් මත පාලනය හෝ අධිපතිභාවය සංඝට්ටනවාදී නොහොත් අධිපතිවාදී සංස්කෘතියේ ලක්ෂණ ලෙස දැක්වේ”. (“සමාජ විද්‍යාත්මක දැනුම - න්‍යාය සහ ව්‍යවහාරය - Sociology Matters by Richard T. Schaefer”

සියලු සමාජයන් ඒවායේ වෙනස්කම් නොතකමින් සංස්කෘතික පොදුතාවන් යනුවෙන් ප්‍රකට නිශ්චිත පොදු භාවිතයන් වර්ධනය කර ගෙන තිබේ. ජාතික දිනය ජාතික ගීතය ජාතික වීරයින්ගේ දිනය නිදහස් දිනය ආදී පොදු කර්තව්‍යයන් මෙන් ම එයට බැඳුනු උත්සවයන් ද පොදු සංස්කෘතියේ අංග ලෙස දැක්විය හැක. ආගමික හා සංස්කෘතික උත්සව පෙර පැවතියේ සමාජ සමීපතාවන් ගොඩ නැගෙන අයුරිණි. සිංහල අළුත් අවුරුද්ද  පොදුවේ සිංහල නොවන ජනයා සමග ආහාර හා රස කැවිලි බෙදා ගනිමින් සැමරීම පෙර සිරිතක්ව පැවතිනි. එලෙසම හජ් හා නෝම්බි අවුරුදු උත්සව සමයේ මුස්ලිම් නොවන ජනයා සමග තම ආහාරපාන බෙදාගෙන බුක්ති විඳීම විශාල සතුටක් ව පැවතිනි. මෙම සිරිත්විරිත් ක්‍රමයෙන් හීන වී යෑම වාර්ගික දුරස්තභාවයට තවත් හේතුවක් ලෙස දැකිය හැක. මෙසේ වීමට හේතු ලෙස තම අසල්වැසි ජනයා හා ඥාති පිරිස වැඩිවීම මෙන්ම ආර්ථික හේතුන් ද විය හැක. මෙහි වඩාත් හානිකර විපාකය බවට පත් ව ඇත්තේ කෘත්‍යවාදී සංස්කෘතික අගයන් ක්‍රමයන් හීන වෙමින් අධිපතිවාදී සංස්කෘතික ලක්ෂණ ක්‍රමයෙන් වර්ධනය වීමයි.

දේශපාලන බලවේග

අප නිදහස ලබා ගැනීම සඳහා කටයුතු කළේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් යන භේදයකින් තොරව සැවොම එක අරමුණක පිහිටාය. මේ සඳහා 1919  පිහිටුවා ගත් ශ්‍රී ලංකා ජාතික සංගමයේ පළමු සභාපති ලෙස පොන්නම්බලම් අරුනාචලම් මහතා පත්කර ගන්නා ලදී. අල් හාජ් ටී. බී. ජයා වැනි නායකයින් විසින් ද ජාතික නිදහස උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලදී. නිදහස ලැබීමෙන් පසු බොහෝ දෑ වෙනස් වී ගියේය.  අපගේ දේශපාලන ක්‍රියාවලිය ප්‍රතිපත්ති මත සිදුවෙනවාට වඩා අප දැක ඇත්තේ වාර්ගික ආගමික වැනි කරුණු පදනම් කර ගනිමින් ජනයා උද්වේගයට පත් කොට එමගින් ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන අයුරු ය. මෙය රටට කිසිසේත් ම සුදුසු හෝ ඔබින හෝ  පිළිවෙතක් නොවේ. බහුතරය නියෝජනය කරන පක්ෂ සුළුතරය ගෝනි බිල්ලෙකු බවට පත් කොට පෙන්වීමත් සුළුතරය නියෝජනය කරන පක්ෂ ද බහුතරය පිළිබඳ එවැනිම බිය වැද්දීමක් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇත. මෙම වෛරී දේශපාලනය සැබැවින් ම පිළිකුල් කොට ප්‍රතික්ෂේප කළ යුත්තකි. මෙම වෛරී දේශපාලන ක්‍රියාවලියෙන් නිරතුරු ව පීඩාවට පත්වන්නේ සුළුතරය බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.  ආරම්භයේ රාසික් ෆරීඩ්, වෛද්‍ය කලීල් ආචාර්ය බදියුදීන් මහමුද් වැනි මුස්ලිම් නායකයින් ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කළහ. ඔවුන් පිළිබඳ සිංහල ජනයා අතරේ කිසිදු ආකාරයක ගැටළුවක් නොතිබුණි. නමුත් පසු කාලීනව මුස්ලිම් දේශපාලන පක්ෂ බිහිවීමත් සමග සිංහල ජනයාගේ මනසේ අප පිළිබඳ එක්තරා ආකාරයක සැකයක් මතුවුවාට කිසිදු සැකයක් නොමැත. මුස්ලිම්වරුන්ට යහපතක් සිදුවිය හැක්කේ මුස්ලිම් දේශපාලන පක්ෂ වලට වඩා ප්‍රධාන පක්ෂ සමග එකතුවී කටයුතු කිරීමෙන් බවයි අපගේ විශ්වාසය. මෙම  දේශපාලන හේතු ද අප පොදු සමාජ ප්‍රවාහයෙන් දුරස්ථ කිරීමට හේතු වුවා නිසැකය.

දිගන, අලුත්ගම ගැටුම්  හා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය 

දිගන හා අලුත්ගම සිදුවූ වාර්ගික ගැටුම්වලින් මුස්ලිම්වරුන්ට ජීවිත මෙන්ම විශාල දේපල විනාශයකට ද මුහුණ දීමට සිදු විය. මෙම ප්‍රචණ්ඩත්වය මගින් පොදුවේ පවතින සුළු වාර්ගික මානසිකත්වය තව තවත් බලගතු වී සැකය හා බිය පදනම් කරගෙන කටයුතු කරන්නට මුස්ලිම් ප්‍රජාව ඉදිරිපත් වුවා විය හැක. මෙවන් ප්‍රචණ්ඩත්වයන් සඳහා සම්පුර්ණ සිංහල ප්‍රජාව වෙතම ඇඟිල්ල දිගු කරන්නට අපි කටයුතු නොකරන්නෙමු. නමුත් අන්තවාදී, වර්ගවාදී හා ආගම්වාදී සුළු පිරිසක් මෙයට වගකිව යුතු බව අපගේ මතයයි. නමුත් මෙවන් ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ සිංහල මහ ජාතියේ යහ මිනිසුන්ගේ නිහැඬියාව අපට ප්‍රහේලිකාවක් බවට පත්ව ඇත. මෙම පසුගිය සමාජ පීඩාවන් අප විසින් සාමුහිකව කටයුතු කරමින් සුවපත් කරගත යුතු වෙයි. මෙම හේතුන් මුස්ලිම් ප්‍රජාව ප්‍රධාන සමාජ ප්‍රවාහයෙන් දුරස්ථ කිරීමට නිසැකවම එක්තරා ආකාරයක දායකත්වයක් ලබා දී ඇත.

ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් ප්‍රජාව දෙස සැක හා බිය ඇති කරවන ක්‍රියාවක් පාස්කු ත්‍රස්ත ක්‍රියාවෙන් සිදු වී ඇත. මේ මගින් සිංහල ජනයා මුස්ලිම්වරුන්ගෙන් දුරස්ථව කටයුතු කරන්නට ඉදිරිපත් වී ඇති බව පෙනෙන්නට ඇත. මෙම විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරය සහමුලින්ම ඉස්ලාමීය පිළිවෙතට විරුද්ධ ක්‍රියාවක් බව ඒත්තු ගැන්වීමට අප විසින් කටයුතු කළ යුතු ඇත. දිගන හා අලුත්ගම ප්‍රචණ්ඩත්වයෙන් මුස්ලිම් මනස සිංහල ජනයාගෙන් දුරස්ථ වීමට හේතු වූ ආකාරයටම පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිංහල ජනයා මුස්ලිම්වරුන්ගෙන් දුරස්ථ වීමට හේතුවී ඇති බව දැකිය හැක. මෙම සමාජ අනර්ථයන් සදහා ද සාමුහික පිළියම් යෙදීමට අප විසින් කටයුතු කළ යුතු ව ඇත.     

ව්‍යාපාරික තරඟකාරීත්වය

ව්‍යාපාරික කටයුතු තරඟකාරීත්වයකින් යුක්ත වුවක් බව අප සැවොම දන්නා කරුණකි. එම තරඟයෙන් ජය ගැනීම පිණිස සියලු ව්‍යාපාරයන් හි වැදගත් ම සාධකය වූ පාරිභෝගිකයා දිනා ගැනීම පිණිස විවිධ ආකර්ෂණීය වට්ටම්, ප්‍රසාද දීමනා හා පහසුකම් සලසා දීම සම්ප්‍රදායක් ව පවතී. මෙම පිළිගත් ක්‍රමවේදය අත හැර තම  තරඟකරුවාගේ දහම හා වාර්ගිකත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරුවා හැර පාරිභෝගික ජනයාගේ සිත් තුළ අනිසි බියක් හා පිළිකුලක් ඇති කිරීමට කටයුතු කිරීම සැබවින්ම පිළිකුලෙන් හෙළා දැකිය යුත්තකි. මෙවන් පටු ක්‍රියාවන් මගින් ද මුස්ලිම් ප්‍රජාව සමාජ ප්‍රවාහයෙන් දුරස්ථ වීමට හේතු වී ඇත.

ඉස්ලාම් පිළිබඳ වෛරය

තවත් පිරිසක් ඉස්ලාමය පිළිබඳ කිසිදු පැහැදිලි අවබෝධයකින් තොරව ඉස්ලාමයට එරෙහි වීමටත් වෛරී ආකල්පයකින් යුක්ත ව කටයුතු කිරීමටත් ඉදිරිපත් වී සිටිති. බොහෝ විට අන්තර්ජාලයේ ප්‍රචාරය වන ඉස්ලාම් විරෝධී කරුණු මෙම තත්ත්වයට හේතු වූවා විය හැක. ඇතැම් අවස්ථාවන් හි මුස්ලිම් ජනයා සමග ඇති වූ ‘පුද්ගලික නොමනාපයන්’ මෙන්ම ඊර්ෂ්‍යාව ද මෙයට මුල් වී ඇති බව දක්නට ඇත. අන්තර්ජාලයේ මතුවන කරුණු පිළිබඳ ව ඇතැම් මුස්ලිම් වරුන්ගේ හානිකර මෙන්ම අපහාසාත්මක ප්‍රතිචාරද සමාජ දුරස්ථභාවය වැඩි කිරීමට හේතු වී ඇත.

ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධී ව්‍යාපාර

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අපට දෛනික ව දැන ගැනීමට ඇති ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් ව ඇත්තේ ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධී ව්‍යාපාරයන් හි කටයුතු ය. යුරෝපයේ හා ඇමෙරිකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන  දහම බවට ඉස්ලාමය පත් ව තිබීම මෙයට එක් හේතුවක් ලෙස දැක්විය හැක. මෙය අපගේ පාලනයෙන් පරිබාහිරවූවක් වුවද ඒවා පිළිබඳ ඉතා නිහතමානී අයුරින් සත්‍යය තත්ත්වයන් පැහැදිළි කරදීම අපගේ වගකීම බවට පත්ව ඇත. එය නිසි අයුරින් අපගෙන් සිදුවන්නේද යන්නේ ද ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත. ඉහත සඳහන් මෙන්ම තවත් ඇති කරුණු වෙත අවධානය යොමු කරමින් පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩ නැගීමට කටයුතු කරමු. සමාජ දුරස්ථභාවය අඩුකොට සමීපතාව වැඩි කිරීමට ක්‍රියා කරමු. 

Post a Comment

0 Comments