
සිංහල භාෂාවේ යහපත යන වචනය භාවිතා කරන්නේ සර්වසුභවාදී අර්ථයෙනි. "යහපත" සෑම විටම පුද්ගලයාටත් සමාජයටත් එකලෙස, එකවර සැලසේ එනිසා යහපත සර්ව සුභවාදීය. පුද්ගලයා යහපත් නම් ඔහූ යහපත් පුද්ගලයෙකු වීම ඔහුගේ පවුලටත්, ගමටත්, රටටත්, ලෝකයටත්, වැඩදායකය. අර්ථවත්ය. එනිසා යහපත ප්‍රාර්ථනා කිරීම, යහපත ඉගැන්වීම, හඳුන්වාදීම, පෙන්වාදීම යහපත වෙනුවෙන්ම වන්නේය. "යහපත්" කිසිවක අහිතවත් නරක නපුරු නපුරු කිසිවක් නොපවතින්නේය. පෙරකී ලෙසින්ම යහපත් සියල්ල පුද්ගලයාටත් සමාජයටත් යහපතක් හෙවත් ඉෂ්ඨාර්ථයක්ම වන්නේ ය.යහපත් සමාජයක් යනු පොදුවේ සැමට වෙනස්කමකින් තොරව සම්පත් බෙදීයන, සැමට සාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබෙන, සාමය, සතුට, සහජීවනය, නීතියේ ආධිපත්‍ය රජයන, පරිසර හිතකාමී ඇවතුම් පැවතුම් ඇති විශ්වාසනීය සමාජයකි. ධනය, බලය, කූලය ,ජාතිය, ආගම, සමේ වර්ණය, භාෂාව, සංස්කෘතිය, දේශපාලනය, ආදී සාධක මත නොබෙදුණු, නොබිඳුණු, අන්‍යෝන්‍ය මානව ගරුත්වයෙන් කටයුතු කරන සමාජයක් යහපත් සමාජයකි. එනිසාම එවන් සමාජයයක ජීවත් වෙන පුද්ගලයාද නිරායාසයෙන්ම යහපත් පුද්ගලයෙක් වන්නේය. ඒ නියරෙන් සලකා බැලීමේදී යහපත් පුද්ගලයන් යහපත් සමාජයක් බිහි කිරීමටත් යහපත් සමාජයක් යහපත් පුද්ගලයන් බිහි කිරීමටත් හේතුවන බව පැහැදිලිව ගම්‍යමාන වේ.
ලෝකයේ පහළ වූ බොහෝ ආගම් වල ඉගැන්වීම් මගින් මිනිසාට මඟ පෙන්වන්නේ ද යහපත් වීමටය. බුදුදහම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම, ආදී මේ සියලු ආගම්වලින් හරයාත් මකව සිදුකරන්නේ මිනිසාට හා සමාජයට යහපත උදාකර ගැනීමට ඉවහල් වන මගපෙන්වීම්වේ. එම සියලු ආගම් වලින් මිනිසාට මෙලොව ජීවිතය යහපත් ව හැසිරවීමට මග පෙන්වන අතර එය මරණින් මතු පරලොව ජීවිතය ද යහපත් කරගැනීමට පදනමක් වන බව පෙන්වා දෙයි. එනිසා පෙර කී ලෙසට යහපත සැමවිටම ස්ථිරසාර බවක් පෙන්නුම් කරයි. යහපත තිරසාර ගුණයෙන් යුක්තවීම නිසා සැමවිටම සත්‍යවාදී බවින් සහ විශ්වාසනීය බවින් විශ්ව ආකර්ශනීය බවින් යුක්ත වන බව ද අපට අවබෝධ කරගත හැකිය.
එසේම යහපත යන සංකල්පයට ඇත්තේ නිරපේක්ෂ අර්ථයකි. යහපත් නම් එය යහපත් ම විය යුතුය. පුද්ගලයාටත් සමාජයටත් විශ්වීය පරිසරයටත් යහපත යහපත්මවේ. කිසිවිටකත් අයහපත් නොවේ. අයහපත් වන කිසිවක් කිසිම විටක කුමන පරිසරයක කිසිදාක වුව යහපත් වන්නේ ද නැත. එනිසා යහපතට සාපේක්ෂ අර්ථයක් නැත.
නමුත් අද සමාජයේ බොහෝ දෙනා යහපත හා යහපත් පුද්ගලයාත් "යහපත" යන සංකල්පයත් වැරදි ලෙස වටහා ගෙන වැරදි ලෙස භාවිත කරති. ඇතැමෙක් යහපත යනූ තමන්ගේ හෝ තම කණ්ඩායමේ අභිප්‍රායන් ඉටු වීම ලෙස සලකති. එය වැරදි අදහසකි. පූද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක අභිප්‍රාය ඉටු වීමෙන් වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ පරිසරයට හෝ යම් හානියක් වනවානම් එය යහපත නොවන්නේය. සෑම විටම යහපත විශ්ව සාධාරණීය වන්නේය.
තවත් සමහරකු නිලය බලය හෝ පොහොසත්කම මත පුද්ගලයන් යහපත් අය ලෙස හදුන්වති. එය ද වැරදිය. නිලය බලය හෝ පොහොසත්කම පුද්ගලයකුට විවිධ වූ උපාය මාර්ගවලින් ළඟාකර ගත හැකිය. ඒ අනුව ඔහු එම තත්වය ලබා සිටින්නේ ඔහුටත් සමාජයටත් පරිසරයටත් හිතකාමීව ද යන්න ඔහු යහපත් පුද්ගලයෙකු ලෙස නම් කිරීමට පෙර සලකා බැලිය යුතු ප්‍රදාන කරුණ වන්නේය. එසේම ඔහු පත්ව ඇති එම තත්ත්වයේ සිට කරන කියන දේ ඔහුටත් සමාජයටත් පරිසරයටත් යන සැමට පොදු යහපත උදා කරන්නේ ද යන්න ද සලකා බැලිය යුතුය.
කරුණාවන්තකම, පරිත්‍යාගශීලී බව, නිහතමානීකම, අවංකකම, ආගමික පුද පූජා ඉටු කිරීම, තාර්කික කම, ප්‍රිය වචන කතා කිරීම, ධනාත්මක ආකල්ප වල සිටීම සූරා සුදු ආදියෙන් තොර වීම. වැනි යහ ගුණාංග එකක් හෝ වැඩි ගණනක් ඇති පුද්ගලයකු යහපත් කෙනකු ලෙස හැඳින්වීමට ද වත්මන් සමාජය කටයුතු කරයි. ඉහත සඳහන් සියලු ගුණාංග හොඳ ගුණාංග බව ඉඳුරාම කිව යුතුය. එම හොඳ ගුණාංග කෙනකු තුළ තිබේ නම් එය ප්‍රශංසනීයය. මීට අමතරව ද බොහෝ හොඳ ගුණාංග පවතී. එම හොඳ ගුණාංග සියල්ල එකතුව පුද්ගලයාටත් සමාජයටත් පරිසරයටත් අනර්ථයක් නොවනසේ ජීවත්වීම යහපත් ජීවන රටාවක් වන අතර එවැනි ජීවිතයක් ගත කරන පුද්ගලයා යහපත් පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය හැකිය. එසේම සමස්ත සමාජීය ක්‍රියාවලිය තුළ පුද්ගලයාට සමාජයට පරිසරයට අනර්ථයක් නොවන ක්‍රියාදාමයන් ගෙන් යුත් සමාජයක් යහපත් සමාජයක් ලෙස හැඳින්විය හැකිය.
ඒ අනුව අද සමාජයේ පුද්ගලයා යහපත් පුද්ගලයෙකු ලෙස හඳුන්වන්නේ නිරපේක්ෂ වශයෙන් නොව සාපේක්ෂ වශයෙන් බව අපට පැහැදිලිය. එනම් අයහපත් ලක්ෂණ යම් ප්‍රමාණයක් හෝ බොහෝවක් අඩු කෙනා යහපත් කෙනෙක් ලෙස හඳුන්වා දීමට අපි පුරුදු වී ඇත්තමූ එහි නරකක් නොමැත. නමුත් අපි යහපත හඳුනාගත යුත්තේ අයහපතින් පූර්ණ ලෙස විනිර්මුක්ත සංකල්පයක් ලෙසයි.
එවන්වූ යහපත් චර්යාවක් යහපත්කමක් අපට උදාකරගත හැකිද? යන්න ඊළඟට මතුවන ප්‍රශ්නයයි පිළිතුර "හැකියි" යන්නයි. මක් නිසා අපි අද විශ්වාස කරන, අදහන, ආගම් වල කතෘවරුන් සහ ඔහුන්ගේ ශ්‍රද්ධා සම්පන්න අනුගාමිකයන්, ශුද්ධවන්තයන්, යහපත් ලෙස ජීවත් වී මෙලොව පරලොව දෙකහි ම විමුක්තිය ළඟා කරගත් බවට අපට ඉතිහාසය සාක්ෂි සපයා ඇති හෙයිනි. එසේම යහපත් පාලකයන්ගේ සමයන්හි සමාජයේ යහපත් ව පැවති බවට ද උදාහරණ ඕනෑ තරම් තිබේ.
බුදුන් වහන්සේගේ කාලයේදීත්, ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේදීත්, මොහොමඩ් නබිතුමාගේ කාලෙදිත්, හින්දු මහා වීර ගේ කාලයේදීත්, "යහපත" අවබෝධ කරගත් අය විමුක්තිය ලබා ගත්තේ නම් අදත් අපට යහපතෙහි පිහිටීමට පිළිවන් නම් අපට ද අදත් විමුක්තිය ලැබීමට නොහැකි වීමට හේතුවක් නැති බව පැහැදිලිය.
එනිසා "යහපත" වටහා ගෙන "යහපත" අවබෝධ කරගෙන "යහපතෙහි" නියැලෙමින් සෙසූ සමාජයටත් "යහපත" වටහා දෙමින් කටයුතු කළ හැකි නම් වත්මන් සමාජයේ ජීවත්වන අපටත් සමාජයටත් හපතක්ම ඉටුවන බව ඉඳුරාම ප්‍රකාශකල හැකිය.






0 Comments