“ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මව්බස කුමක්ද යනු මත භේදයට තුඩුදුන් කරුණකි. උතුරේ සහ නැගෙනහිර අය දෙමළ භාෂාව කථා කරන අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල භාෂා දෙකම කථා කරති. මැදපෙරදිගින් මුලින්ම පැමිණි සාංක්‍රමණිකයෝ අල් කුර්ආනයේ භාෂාව හා ආගමික මෙහෙය පවත් වන අරාබි භාෂාව කථා කළහ. එනිසා බෞද්ධයන්ට පාලි භාෂාව මෙන් මුස්ලිම් වරුන්ට අරාබි භාෂාව ශුද්ධ වන්ත එකක් වී තිබේ. එසේ වුවද ඉන්දියන් සාගරයේ වෙරළබඩ වාණිජ කටයුතු වලදී දෙමළ භාෂාව බහුල ලෙස භාවිත කරනු ලැබු බැවින් එය කතා කිරීම මුස්ලිම් වෙළන්ඳන් හට ප්‍රායෝගික අවශ්‍යතාවක් විය.
මුස්ලිම් සංක්‍රමණිකයන්ගෙන් දෙවන පිරිස ශ්‍රී ලංකාවට අවතීර්ණ වුයේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියානු වරාය වල පදිංචි ව සිටි මුල් අරාබි වෙළන්දෝ දේශීය ස්ත්‍රීන් විවාහ කර ගත්හ. මේ කුඩා මුස්ලිම් ප්‍රජාව, හින්දු ආගම අත හැර ඉස්ලාම් ආගම වැලඳ ගත් සැලකිය යුතු ප්‍රමාණයක් වු නිසා සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය විය. දකුණු ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය වර්ධනය වෙත්ම, ද්‍රවිඩ වාග් ස්වර විද්‍යාව උල්ලංඝනය නොවන පරිදි යම් යම් වෙනස් කම් සහිතව දෙමළ සහ මලයාලම් භාෂා අරාබි අක්ෂරයෙන් ලිවීමට පටන් ගත්හ. ඉස්ලාමීය සංකල්ප සහ ආගමෙන් මුළුමනින්ම වෙන් කළ නොහැකි යම් යම් කටයුතු ප්‍රකාශ කිරීම සඳහා අරාබි වචන ගණනාවක් හඳුන්වා දී තිබේ. මෙම උපභාෂාව අරාබි-දෙමළ භාෂාව යනුවෙන් හැඳින්විණි. දකුණු ඉන්දියාවේ මුස්ලිම් වරුන් ඉස්ලාමීය ලෝකයේ සාහිත්‍යය දැන සිටි අතර ඒවායින් සමහරක් අරාබි-දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබීය. දහ හතර වන සියවසේ සිට අරාබි දෙමළ මාධ්‍යයෙන් දකුණු ඉන්දියාවෙන් ඉස්ලාම්හි බලපෑම් පැතිරෙන්නට විය.
දකුණු ඉන්දියාවේ මුස්ලිම් වරුන් සහ ශ්‍රී ලංකාව අතර පැවති වාණිජ සම්බන්ධකම් සහ සංස්කෘතික සම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් විය. ඉස්ලාම් දහම හැදෑරීම සඳහා වෙල්ලෝරයේ දේව ධර්ම ආයතන වලට ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් පරම්පරා ආපසු පැමිණ තමන් උගත් දේ අන් අයට පහදා දුන්හ. වර්ධනය වු මිත්‍ර සම්බන්ධකම් කෙතරම් වීද යත්, දකුණු ඉන්දියානු මුස්ලිම් වරුන් ගරු බුහුමන් දැක් වු පුද්ගලයෝ ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් අතරද ඒ හා සමාන ගෞරවයකට පාත්‍ර වුහ. සතකතුල්ලා අප්පා, මාප්පිල්ලේ ලෙබ්බේ අලීම් වැනි නම් පෝක් සමුද්‍ර සංධිය දෙපැත්තේම එක ලෙස ප්‍රචලිත විය. මේ සියලු සම්බන්ධතා පවත්වනු ලැබුයේ අරාබි දෙමළ භාෂාව මගිනි. එය මුස්ලිම් වරුන්ගේ වාණිජ භාෂාව පමණක් නොව ඉස්ලාමීය සංස්කෘතියේ භාෂාවද විය. අල් කුර්ආනය අරාබි-දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද අතර මෑතක් වන තුරුම එය සිංහලයට පරිවර්තනය කරනු නොලැබීය. මුස්ලිම් ළමයින් අනිවාර්යයෙන්ම අල් කුර්ආනය කියවිය යුතු වු බැවින් ඔවුන්ට අරාබි-දෙමළ භාෂාව ඉගෙන ගැනීමට සිදු විය. මුළුමනින්ම සිංහල කතා කරන ප්‍රදේශ වල ශත වර්ෂ ගණනාවක් ජීවත් වු මුස්ලිම් වරුන් ඔවුන්ගේ මව් බස වශයෙන් අරාබි-දෙමළ භාෂාව රැකගත්තේ මන්දැයි මෙයින් පැහැදිලි වේ.” (“ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915” ග්‍රන්ථ කර්තෘ: ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය)
අද ඇතැම් ආගම්භේදවාදීන්ගේ මතය වී තිබෙන්නේ ලාංකේය මුස්ලිම් වරුන් මෙරටට අයිති නැති බවත් ඔවුන් ඔවුන්ගේ මුල් ප්‍රදේශ වන අරාබියට නැවත යා යුතු බවත්ය. මේ නිසා අපට වත්මන් ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන් ලංකාවට සම්බන්ධ වුයේ කෙසේද? යන්න පිළිබඳව මඳක් සොයන්නට සිතුණි. එම නිසා පහත සඳහන් මුලාශ්‍රයන් මගින් උපුටා ගත් කොටස් සැමගේ අවධානය පිණිස මෙමගින් ඉදිරිපත් කරන්නෙමු.
“අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ ආරම්භය පිළිබඳව මුලික ප්‍රභවයන් රැසක් දායක වී ඇත. ඒවා නම් ලංකාවට පැමිණි අරාබි වෙළඳුන්, මලබාර වෙළඳුන් සහ ජාවකයන්ය. මෙයින් අරාබි වෙළඳුන් සමග ශ්‍රී ලංකාවෙහි තිබුණු සබඳතාව පුර්ව ඉස්ලාමීය යුගය දක්වා ඈතට විහිදී ඇත. ලංකාවේ රජ කළ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉතිහාසය ගවේෂණය කරන අපට ඒ ගැන සාධකයක් හමු වෙයි. එනම් පණ්ඩුකාභය රජු (ක්‍රි.පු. 377-307) තම අගනුවර වු අනුරාධපුරයෙහි යම් යම් ඉඩම්, අගනුවරට පැමිණි පුර්ව ඉස්ලාමීය යුගයේ අරාබි වෙළඳුන් වු යෝනකයන් (මහාවංශය, X, පි.90) සඳහා වෙන් කළ බවයි. තවද අනුරාධපුර යුගයේ අගනුවර තුළ යවන (යොනුන් වාසය කළ) වීදි පවා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ.
ඉතිහාසය මේ කියන දෙය සත්‍යයක් නම් ශ්‍රී ලංකාවට පැමිණි විජය කුමාරයා සහ පිරිස මෙරටට ආ යුගයට පෙර හෝ ඊට පසු කාලයේ සිට අරාබි වරුන් මෙරටට පැමිණ මෙරට සමග ගනු දෙනු කරන්නට ඇත.
එමෙන්ම ලංකාවට පැමිණි අරාබි ජාතිකයන් දේශීය කාන්තාවන් සමග විවාහ වීම නිසා අරාබි සිංහල මිශ්‍ර දේහ ලක්ෂණ වලින් හෙබි සමාජයක් බිහි වන්නට ඇත. මෙම යෝනක සමාජයේ සිටි ඇතැම් ස්ත්‍රීන් සිංහල රජ වරුන්ගේ ආකර්ෂණයට පාත්‍ර වුවා පමණක් නොව ඇතැම් සංදේශ කාව්‍යයන් කළ කවීන්ගේ වර්ණනාවට පවා පාත්‍ර විය. පහළොස් වන ශත වර්ෂයේ සාහිත්‍ය කෘති වු සංදේශ කාව්‍ය වල (කෝකිල සංදේශ වර්ණනාව, ඩබ්.එෆ්. ගුණවර්ධන, 74 වන කවිය සහ ගිරා සංදේශ විවරණය, මුණිදාස කුමාරතුංග, 104 වන කවිය) යොන් ලියන් හෙවත් මෙම අරාබි මිශ්‍ර යෝනක කාන්තාවන් ගැන සඳහන් වේ. මේ නිසා අරාබි වරුන් මෙරට සමග ගනු දෙනු කළේ මෑතක සිට නොවන බව සහ ඔවුන් විසින් මෙරට ජනාවාස කර ගත්තේද අද ඊයෙක නොවන බව ද පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මුතුන් මිත්තන් නව වන ශත වර්ෂයේ දී කායල්පට්නම් හි මුල් ජනාවාස පිහිටුවා ගත් අතර ඉන් අවුරුදු ගණනාවකට පසුව 1024 දී එම නගරයෙන් පැමිණි පිරිසක් බේරුවල ජනාවාසයක් පිහිටුවා ගත්තේය, යන මතය කාසිචෙට්ටි විසින් සඳහන් කරන ලදී. (Casie Chetty, The Ceylon Gazeteer).
තමා සිටි කාලයේ බේරුවල පදිංචි වී සිටි ඉතාම පැරණි මුස්ලිම් පවුල් වලින් එකක් සතුව පැවති පුරාණ අරාබි ලේඛනයක්, 1926 දී ලියන ලද “සෝනහාර්” නම් වු සිය කෘතියෙහි ජේ.සී. වෑන් සැන්ඩන් උපුටා දක්වයි. එහි දැක්වෙන පරිදි, යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙක් මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩ බැස එහි පදිංචි වී ඇත. ඔහුගෙන් පැවතෙන්නන් බැව් කියා පෑ මුස්ලිම්වරු කිහිප දෙනෙක්ම බේරුවල සිටියහ. (J.C Van Sanden Sonahar, A Brief History of the Moors of Ceylon, Colombo, 1926,pp.117-118)
කෙසේ වුවද මගේ අදහස නම් ලොව නානාවිධ ස්ථාන වලින් මෙරටට ගොඩ බැසි මුස්ලිම් වෙළඳුන් ලක්දිව කාන්තාවන් සමග විවාහ වී මෙරට මුල් බසින්නට ඇත. එලෙස මෙරට මුල් බැසි ඔවුන් විවිධ වු ජනවර්ග වලට අයත් අයවලුන් වුවද සිය දහම ලෙස ඉස්ලාම් බැතිමතුන් වුයෙන් මුස්ලිම් ලෙස හැඳින්වෙන්නට ඇත. මේ අය දහමේ නාමයෙන් එක්ව පසුව මුස්ලිම් නමින් ජනවර්ගයක් ලෙස බිහි ව ඇති බවයි.
වත්මන් සමාජයට අතීතය දෙස බැලීමෙන් ඉතිහාසයෙන් ලද හැකි ආදර්ශයන් බොහෝය. විශේෂයෙන් අතීතයේ අප රට තුළ තිබුණු ආගමික සහජීවනය අරභයා ලද හැකි පාඩම් බොහෝමයක් ඇත. විශේෂයෙන් උඩරට පාලන කාලය තුළ සහ ඊට පසුව මුස්ලිම් වරුන් සහ උඩරට සමාජය අතර තිබුණු සහසම්බන්ධය ඉතා විශිෂ්ටය.” (මහාචාර්ය ලෝනා දේවරාජගේ “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය” නම් වු කෘතියේ 146 වැනි පිටුවෙන් පහත කොටස උපුටා ගන්නා ලදී.
“1872 දී සම්පාදනය කරනු ලැබු, මහනුවර දිස්ත්‍රික්කයට අයත් රාජකාරි බදු ලේඛනයේ (Service Tenures Register, Kandy, Vols. 1,2, 1872 කච්චේරියෙන් හමු වු අත් පිටපත) කරන ලද සේවාවන් වෙනුවෙන් මාලිගාවට අයත් සේවා පංගු වල පදිංචි ව සිටි මුස්ලිම් වරුන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් වේ. මුස්ලිම් වරුන් ඉටු කරන ලද සේවාවන්, හීන කුලයේ කාර්යයක් යැයි සලකනු ලැබු බෙර ගැසීමේ සිට ගොවි කුලයේ උසස් අය විසින් පමණක් උසුලන ලද ඉතා සම්භාවනීය ස්වභාවයේ නිලයන් දක්වා පැතිරුණු ඒවා විය.
මොහොමඩ් ලෙබ්බේ සහ උදුමා ලෙබ්බේ යන මුස්ලිම් වරුන් දෙදෙනා දළදා මාලිගාවට අයත් පල්ලෙ ගම්පහ කහවත්ත නම් ගමේ ලුණු දෙන පංගුව භුක්ති වින්දාහ. එම පංගුවට අයත් රාජකාරිය වුයේ, අලුත් අවුරුදු මංගල්‍යය සඳහා හොඳ පිරිසිදු ලුණු සේරු 20ක් මාලිගාවට සැපයීමයි. (STR of the Dalada Maligava, Services due from Harispattuva p.695) උඩරට රාජධානියේ අන්තිම කාලය වන විට ඕලන්ද වරුන් වරායවල් පාලනය කරමින් අත්‍යවශ්‍ය වෙළඳාම සීමා කිරීමට උත්සාහ දරමින් සිටි බැව් සිහිපත් කිරීමේදී මෙම රාජකාරියේ බැරෑරුම් කම වැටහෙනු ඇත. මාලිගාවේ කාර්ය මණ්ඩලයට ආහාර පාන සැපයීම සඳහා ප්‍රමාණවත් ලුණු සහ කරවල තොග තබා ගැනීමට මාලිගාවේ මුලාදෑනීන්ට සිදු විය. දියවඩන නිලමෙට කරවල කූරියකු සහ බුලත් හුරුල්ලක් (කොළ හතළිහක්) සැපයීමද ඒ රාජකාරියේම කොටසක් විය.
බුලත් හුරුල්ලක් පිළිගැන්වීම යමකුගේ හාම්පුතුන් හට ගරුසරු දැක්වීමේ චාරිත්‍රයකි. මේ සිරිත දැනුදු, විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙනු දැකිය හැකිය.
ලුණු සහ කරවල සැපයීම, මුස්ලිම් වරුන් විසින් ඉටු කරන ලද ආගමික හෝ සංස්කෘතික හෝ වැදගත්කමකින් තොර හුදෙක්ම ප්‍රයෝජනය මුලික කර ගත් රාජකාරියක් වශයෙන් සැලකිය හැකිය. කෙසේ වුවද, මාලිගාවට අයත් ගම් වල හේවිසි පංගුව භුක්ති විඳි මුස්ලිම් වරුන් සෑහෙන සංඛ්‍යාවක් සිටිය බව සැලකිල්ල යොමු විය යුතු කරුණකි.”
මෙම කොටස උපුටා ගන්නා ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සම මහාචාර්යවරියව සිටි මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය විසින් රචිත, ලංකා ඉස්ලාමීය පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද, “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915” නම් වු කෘතියේ 146 වැනි පිටුවෙනි.
0 Comments