ලොව සතර දෙස සිදුවෙමින් පවතින තාක්ෂණික විප්ලවය හේතුවෙන් දිනෙන් දින සමාජයට එකතුවන විනෝදාත්මක හා සමාජ මාධ්‍ය උන්මාදය කෙතරම් දුරට අපගේ තරුණ පරපුර ආකර්ෂණය කොට ගෙන ඇත්ද යන්න පිළිබඳ ව අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇතැයි සිතන්නෙමු. වඩාත් බියකරු තත්ත්වය බවට පත්ව ඇත්තේ සීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින හා වඩා වේගවත් මෙම සමාජය පිළිබඳ ව දෙමව්පියන් දක්වන නොසැලකිලිමත් කමයි. නුතන තාක්ෂණ විප්ලයෙන් ඉදිරිපත් කොට ඇති සන්නිවේදන හා අනෙකුත් වින්දනීය වේදිකාවන් මගින් බොහෝ යහපත් දෑ සිදු වී ඇත. කෙසේ නමුත් මෙමගින් දරුවන්ට හා නව යෞවනයින්ට කර ඇති උපද්‍රවය ගැන අපි මුනිවත රකින්නට හුරු වී ඇත්තෙමු.
පළමුව රූපවාහිනිය, සංගීතය, සමාජ මාධ්‍යය හා අනෙකුත් වින්දනීය මෙවලම් මගින් සිදුකොට ඇති බලපෑම් වෙත අවධානය යොමු කරන්නට අපේක්ෂා කරන්නෙමු. පාසල් සිසුන් අතරේ එක ගුරුවරයෙක් සිදු කළ ක්‍රියාවක් මගින් අපට බොහෝ දෑ දැනගන්නට හැකියාව ලැබී ඇත. පාසල් වාරයේ අවසාන දිනයේ අවසන් පන්තියේ පාඩම් කිසිවක් නොගෙන සිසුන්ට තමන්ගේ ස්මාට් ජංගම දුරකථනය පාවිච්චි කරන්නට අවස්තාව ලබා දෙන ලදී. අවසාන සීනුවට පෙර ඔවුන්ගෙන් කළ විමසීමක් අනුව දැනගන්නට ලැබුනේ බහුතරයක් තමන්ට අන්තර්ජාල පහසුකම් ඇති බවත් ඔවුන් එයින් බොහෝ විට බලන්නේ සටන්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ලිංගික කථා ආදිය බව දැන ගන්නට ලැබුණි. නව යොවුන් වියේදීම ඔවුන් මෙවන් දෑ වෙත ආකර්ෂණය වී නිරාවරණය වී තිබීමයි භයානකත්වය.
"නුඹට කවර දෙයක් පිළිබඳව දැනුම නොමැත්තේද එවන් දෑ පිලිබඳ ව කථා නොකරවූ. සැබැවින්ම සවන, දෘෂ්ටිය හා හදවත යන මේවා සියල්ල ඒ ගැන ප්‍රශ්න කරනු ලබන දෑ වන්නේය". (අල් කුර්ආන් 17:36)
ආචාර්ය ස්ටීව් මාර්ටිනෝ (මානව හැසිරීම පිළිබඳ ජ්‍යේෂ්ඨ මනෝ විද්‍යාඥ) විසින් කරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයක් 2013 දී RAND (www.rand.org) පර්යේෂණ ආයතන මගින් පළකොට තිබු අතර එහි මාධ්‍යය හා සමාජ මනෝවිද්‍යාව අතර ඇති සම්බන්ධය පහත සඳහන් අයුරු දක්වා තිබුණි.
# රූපවාහිනිය හා අනෙකුත් මාධ්‍යයන් මගින් ලිංගික සංයුතියක් ඇති දෑ වැඩිපුර දකින දරුවන් ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි ඉතා ඉක්මණින් ආකර්ෂණය වනු දැකිය හැක. ඔවුන්ගේ ආරම්භක ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ ව පසුව පසුතැවිලි වනු බොහෝ විට සිදුවන අතර කිසිදු සැලසුමකින් තොරවූ බාලවයස්කාර ගර්භනියත්වයකට ද ඔවුන්ට බොහෝ විට මුහුණ පාන්නට සිදුවනු ඇත. සමාජ රෝග වෙතද ඔවුන් බොහෝ විට භාජනය වීමට ඇති ඉඩකඩ ඉතා අධිකය.
# මාධ්‍ය මගින් ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වන තරුණයින් ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටාවකට යොමු වීම බොහෝවිට සිදුවේ.
# දරුවන් මත්පැන් හා දුම්වැටි පිළිබඳ ප්‍රචාරණයන් රාශියකට නිරාවරණය වී ඇත. එලෙසම සියයට අසුවක් පමණ වූ චිත්‍රපටි මත්පැන් හා දුම්වැටි පාවිච්චිය ප්‍රදර්ශනය කරයි.
වගකීම් සහිත වැඩිහිටියෙක් හැටියට, ඔබ දෙමව්පියෙක් ද නැද්ද හෝ ආගමික ක්‍රියාකාරිකයෙක් ද නැද්ද හෝ යන්න පිලිබඳ ව තැකීමකින් තොරව හා ඉහත අධ්‍යයනයෙන් හෙළිදරවු වන සාධක යන්ගෙන් තොරව වුවද, ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි දරුවන් කුමන ආකාරයේ මාධ්‍යයකට නිරාවරණය වී ඇත්ත එමගින් ඔවුන්ගේ හැසිරීම් රටාව හා චරිතය සැකසෙන බව.
වින්දනයන් ලබා දෙන පහත සඳහන් මාධ්‍යයන් වෙත අවධානය යොමු කරන්න. මෙහි සියල්ල වැරදි බව පවසන්නට මා ඉදිරිපත් වන්නේ නැහැ. නමුත් කිසිදු පාලනයක් නොමැති වූ විට දරුවන්ට සිදුවිය හැකි හානිය පිළිබඳ ව මොහොතක් සිතා බලන්න.
රූපවාහිනිය හා චිත්‍රපට
මෙම මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර එක් පුද්ගලික අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීමට කැමැත්තෙමි. මා අවුරුදු 12 පමණ වයසේදී ගමේ හැදී වැඩුණු අපිව කොළඹ නගරයේ චාරිකාවකට පාසල මගින් කැඳවාගෙන යන ලදී. කොළඹ බොහෝ තැන් නරඹා ගාලුමුවදොර පිටිය වෙත අවසානයේදී පැමිණියෙමු. මෙහිදී බසයෙන් බැස දුවපනිමින් සිටිනා විට ඉතා අඩු ඇඳුමින් සැරසුණු සුදු නෝනා කෙනෙක් බයිසිකලයකින් යනවා දුටුවෙමි. මෙය මට ඉතාම අලුත් අත්දැකීමක් විය. ඒ රුපරාමුව මගේ සිතේ තදින් රැඳී තිබුණි. ආපසු නිවස වෙත පැමිණ පසුදින පොත් පාඩම් කිරීමේ යෙදුනු විට පොත තුළින් මට මැවී පෙනුනේ අඩු ඇඳුමින් සැරසුණු සුදු නෝනාගේ ඡායාවයි. මට කොහෙත්ම සිත එක්තැන් කරගෙන පාඩම් කිරීමට නොහැකිවී තිබුණි. මට මෙම සිදුවීමෙන් ගොඩ එන්නට දින ගණනක් ගතවිය. රුපවාහිනියේ විවිධ ආකාරයේ දර්ශන විකාශනය වෙනවා. ඒ වගේම හැම නාලිකාවක් මගින්ම චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. මේවා තුළින් ප්‍රචණ්ඩත්වය, මත්පැන්, මත්ද්‍රව්‍ය, ලිංගික අපචාර මෙන්ම ලිංගිකත්වය ආදී දර්ශන නැරඹීමට අවස්ථාව උදාවෙනවා. මේවා අනුකරණය කොට ප්‍රායෝගික ජීවිතයට එක්තැන් කරගන්නට කුඩා මනසේ එක්තරා නැඹුරුවක් තිබෙනවා. මෙලෙස පාලනයකින් තොරව කුඩා දරුවන්ව මෙවන් දර්ශන වලට නිරාවරණය කළ විට සිදුවිය හැකි හානිය ඉමහත්ය.
"(නබිවරය) විශ්වාසයින්ට (බැලීමට තහනම් දැයින්) තමන්ගේ බැල්ම පහත හෙලන මෙන් ද තමන්ගේ ලිංගික අවයව (පාපයන්ගෙන්) ආරක්ෂා කර ගන්නා මෙන් ද පවසවූ. එය ඔවුනට ඉතාමත්ම පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් කරන දෑ සම්බන්ධව අභිඥානවන්තය. තවද (නබිවරය) විශ්වාසික කාන්තාවන්ට (බැලීමට තහනම් දැයින්) තමන්ගේ බැල්ම පහත හෙලන මෙන් ද තමන්ගේ ලිංගික අවයව (පාපයන්ගෙන්) ආරක්ෂා කර ගන්නා මෙන් ද තමන්ගේ අලංකාරයෙන් එයින් එලියට පෙනෙන දෑ හැර (සෙසු දෑ) හෙළි නොකරන මෙන් ද තම හිස් ආවරණ මගින් තමන්ගේ ළය පෙදෙස් ද ආවරණ කරන මෙන් ද ..." (අල් කුර්ආන් 24:30-31)
සංගීතය
පොදු මාධ්‍යය, සමාජ මාධ්‍යය මෙන්ම ස්මාට් ජංගම දුරකථන මගින් සංගීතය විකාශනය කිරීමට අති විශාල දායකත්වයක් ලබා දී ඇත. සංගීතය අනුමත ද නැද්ද යන්න පිලිබඳ ව ඇති ඉස්ලාමීය මතයෙන් බැහැරව සිතන විට ඇතැම් සංගීත ඉතාම හානිකර බව පැවසිය යුතුව ඇත. සංගීතය බොහෝවිට ලිංගිකත්වය හා මුසුව ඇති හෙයින් එය කුඩා මනස ක්‍ෂණිකව ආකර්ෂණය කරගන්නක් බවට පත්ව ඇත. සංගීතය වින්දනය ලබාදෙන්නක් හෙයින් එයට ඇබ්බැහි වීමේ නැඹුරුවක් ද ඇත. මේ පිළිබඳ ව දෙමව්පියන්නේ හා වැඩිහිටියන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.
මෙය මා දන්නා පරිදි දරුවන්ගේ සතුටට හේතු නොවන යෝජනාවක් විය හැක. නමුත් දෙමව්පියන් හා වැඩිහිටියන් විසින් තමන්ගේ දරුවන් අන්තර්ජාලය, රූපවාහිනිය හා ස්මාට් ෆෝන් මගින් කුමන ආකාරයේ ක්‍රියාදාමයන්ට යොමු වී ඇති දැයි නිරතුරු අවධානයෙන් සිටිය යුතු වෙයි.
"සැබැවින්ම තාරුණ්‍යයේ හදවත වගා නොකළ භූමියක් බඳුය. කුමක් එහි වැපිරුවේ ද එය එහි සරුවට වැඩෙනු ඇත" (විද්වත් මතයක්)
යහළු කණ්ඩායම්
විශේෂයෙන් ම පාසලේ හා ඉන් පිටත සම වයස් යහළු කණ්ඩායම් ඇති වීම ස්වාභිකය. මෙම කණ්ඩායම් හි සියළු දරුවන් යහපත් යැයි අපට නිගමනය කළ නොහැක. ඔවුන්ගේ හැසිරීම් රටාවන් තම අවධානයට ලක් වී ඇති මාධ්‍යය ජාලයන් හා පරිසරය අනුව වෙනස් විය හැක. එහෙයින් යහළු කණ්ඩායම්හි සාමාජිකයින් පිළිබඳ ව සොයා බැලීම දෙමව්පියන්ගේ හා වැඩිහිටියන්ගේ වගකීමකි.
දරුවන් හා කථා කිරීම
තම දරුවන් සමග හැකිනම් දෛනිකව කථා බහක යෙදීම සෑම දෙමව්පියන්ගේ වගකීමක් ලෙස දැක්විය හැක. මෙමගින් දරුවාගේ චින්තනය පිළිබඳ බොහෝ කරුණු දැනගැනීමට අවස්තාව උදා වනු ඇත. දරුවන් කෙරෙහි බලය යොදවන්නෙක් ලෙස නොව ඔවුන් සමග ආදරය පිරුණු සුහදත්වය හා මිත්‍රත්වයෙන් යුතුව දෙමව්පියන් කටයුතු කරන්නේ නම් දරුවන්ව සදාචාරාත්මකව හදාවඩා ගැනීම අපහසු නොවනු ඇත. පවුලේ තීන්දු තීරණ ගැනීමේදී ඔවුන්ගෙන් ද විමසීම හා ඔවුන්ව කොටස් කාරයින් කර ගැනීමෙන් ඔවුන් තුල වැදගත් කමක් ආරෝපණය කිරීමට හේතු වනු ඇත. නැමදුම සඳහා මස්ජිදය වෙත එක්ව යෑම, අල් කුර්ආන් පාරානයට හුරු කිරීම ආදිය දෙමව්පියන්ගෙන් සිදුවිය යුතුව ඇත.
අපගේ දුවා දරුවන් ව ජන්නතුල් ෆිර්දව්ස් හි භාග්‍ය උදාකරගන්නන් බවට පත් කරමු. එ සඳහා වූ මෙලොව කාර්ය භාරය නිසි ලෙස ඉටු කරමු.






0 Comments