SRI LANKA


 

අපි ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමේ දේශපාලන භාවිතයකට පිය නගමු!


ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනයෙන් බහුතරය හෙවත් වැඩි සංඛ්‍යාව සිංහල භාෂාව සිය මව් භාෂාව කර ගත් බුදු දහම සිය ආගම කරගත් තමන්ට ආවේණික විවිධ සංස්කෘතික නැඹුරුකම් පිළිබිඹු කරන සම්මිශ්‍රිත ජන ප්‍රජාවකි. ඔවුන් ජනගහනයෙන් වැඩි සංඛ්‍යාව වීම නිසාම ඔවුන්ට වැඩි දේශපාලන බලයක්, හෙට්ටූ කිරීමේ බලයක්, ආර්ථික බලයක් සමාජ බලයක් මතවාදී බලයක් ආදී සංඛ්‍යාත්මකව පිරිස වැඩිවීම මත ලැබෙන වාසිසහගත බල පරිසරයක්ද පවතී. ඒ හෙයින් ඔවුන් තුළ බහුතරවාදී මානසිකත්වයක් ද පවතී. ඔවූන් වැඩි පිරිස නිසා සෑම ක්ෂේත්‍රයකම වැඩි කොටස වැඩි වරප්‍රසාද ඔවූන් සතු විය යුතුවීම සාධාරණයැයි ද මතවාදයක් ශ්‍රී ලාංකික දේශපාලනය විසින් ඔවුන් පිට පටවා තිබේ. තවද වැඩිදෙනාගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සරලව හඳුන්වා දුන් අවිද්‍යාත්මක මතය ශ්‍රී ලංකීය ජන සමාජය තුළ තහවුරු කීරීමද ඉහත කී තත්වය නිර්මාණය කිරීමට හේතු වී තිබේ. එම තත්ත්වය මත පදනම් හා නොයෙකුත් ඓතිහාසික මූලාශ්‍රයන් සිය මතවාදයට වාසි ලෙස අර්ථ නිරූපණය කරමින් සංඛ්‍යාත්මක බහුතරය පදනම් කරගෙන ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ගේ රට ලෙස ඔවුහු විග්‍රහකර හඳුන්වති.

නමුත් යථාර්ථය එය නොවන බව ද ඔවූහු හොඳාකාරවම දනිති.

ශ්‍රී ලංකාවේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් යන ප්‍රධාන ජන කණ්ඩායම් තුනට අමතරව ඉන්දීය දෙමළ මැලේ බර්ගර් කෆීර් චීන තෙලිගු ආදිවාසී ජනයා ආදී සූළුතර ජනකණ්ඩායම් රැසක් අනාදිමත් කාලයක සිට ජීවත්වෙති. ඔවුහු සංඛ්‍යාත්මකව සුළුතරය වුවත් කතා කරන භාෂාවෙන් අදහන ඇදහිලිවලින් සංස්කෘතික වශයෙන් මෙන්ම භූගෝලීයවද වෙන වෙනම කැපීපෙනෙන වෙනස්කම් සහිත ජන කණ්ඩායම් ලෙස හඳුනාගත හැකිය.

තවද මෙම ජන කණ්ඩායම් ශ්‍රී ලංකාව සිය මාතෘ භූමිය ලෙස සැලකීම පමණක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටීමද සුළු කොට තැකිය යතූ සාධකයක් නොවේ. එසේම එම සුළුතර කණ්ඩායම් අනාදිමත් ඉතිහාසයක් පුරා ස්වදේශිකයනූත් අනෙකුත් ජන කණ්ඩායම් සමඟත් විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාව සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව සාමයෙන් සංහිඳියාවෙන් සහජීවනයයෙන් ජීවත් වූවෝ වෙති. එසේම මෙම ජනකොට්ඨාසයන් අතර ඉතිහාසය පුරා ආවාහ ආවාහ විවාහ මගින් සම්මිශ්‍රණයන් සිදුව තිබීම ගැන ඉතිහාසයේ සාක්ෂි බෙහෙවින් පවතී. වර්තමානයේ ද එය එසේ වෙමින් පවතී. අනාගතයේ ද එසේ වනු ඇත. එනිසා එකී ජාතීන් කිසිවකුට සම්මිශ්‍රිත ශ්‍රී ලාංකීය ජාතිකත්වයක් මිස සියයට සීයක ශුද්ධ වූ ජාතිකත්වයක් නොපවතින බව පරම සත්‍යයයි.

එනිසාම මෙම විවිධ ජන කණ්ඩායම් වල ඇදහිලි පුද සිරිත් ආදියද ඒ අනුව සම්මිශ්‍රණය වී ඇතිවා මෙන්ම විවිධ සංස්කෘතික ලක්ෂණ ද එසේ සම්මිශ්‍ර වූ ඒවා වෙති. ජන ජීවිතයේ ඇවතුම් පැවතුම් භාෂාවන් මංගල සිරිත් අවමංගල සිරිත් ගැහැණු දරුවන් වියපත් වූවිට ඉටුකරන සිරිත් ශාන්තිකර්ම බලිතොවිල් බාරහාර පිහිට යැදීම ආදී ආගමික සංස්කෘතික කටයුතු සියල්ලගේම එම සම්මිශ්‍රණයන් අඩු වැඩි වශයෙන් සිදුව තිබෙන බව ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් නොයෙක් පර්යේෂණ මගීන් එළිදක්වා තිබේ.

එනිසා ශ්‍රී ලංකාව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බහු වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික රටකි. පවතින විවිධත්වය තුළ එක් එක් කණ්ඩායම් වලට ඇති අනන්‍ය ලක්ෂණයන් නිසා ශ්‍රී ලාංකේය ජන සමාජය අතිශයින් ම වර්ණවත් එකකි. නමුත් අවාසනාවට එකී වර්ණවත් ආඪ්‍ය සම්පන්න බහු විවිධත්වය ආශ්වාදය කරන්නට නොහැකි සුළුතර නිර්වින්දිත පිරිස් පතුරුවන මතවාදයන්ට ශ්‍රී ලාංකීය සමාජය දිගින් දිගට ම ගොදුරු වෙමින් පැවතීම අද යුගයේ ඛේදවාචකයව පවතී.

ශ්‍රී ලංකාවේ අද ජීවත්වෙන සෑම ජන කොටසක්ම 1948 නිදහසට පෙර මෙරට පාරම්පරික ව ජීවත් වූවෝ වෙති. එයිනුත් ද්‍රවිඩ මුස්ලිම් ජන කොටස්වල මෙරට ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට විහිදී ගිය එකකි. එම ඉතිහාසයේ ඇතැම් සිංහල රජවරුන් හා ප්‍රභූවරුන් ද්‍රවිඩ කාන්තාවන් විවාහ කරගනිමින් ද මුස්ලිම්වරුන් මෙරට සිංහල කාන්තාවන් විවාහ කරගැනීමෙන් ද මෙරට තම පැවැත්ම තහවුරු කරගත් බවට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ.

එම ඓතිහාසික සන්දර්භය තුළ බහු ජන වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික රටක් වශයෙන් අපට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වීම සැබැවින්ම ඛේදවාචකයක් නොවන්නේද?

ශ්‍රී ලාංකීය සමාජය එම ඛේදවාචකයට ගොදුරු වන්නේ ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ මුල් බැසගෙන තිබූ බහු විවිධත්ව යතාර්ථයට ගරු කරමින් එය ඉවසමින් එහි සුන්දරත්වය රස විඳි සමාජයට පටු දේශපාලන වාසි තකා දේශපාලකයන් හා ජාතික උන්මාදයෙන් පෙලුණු සුළු පිරිසක් ජාතිවාදී විෂ පෙවීමෙනි.ඔවූන්ගේ බිරුසන් දීම් වලට සහ උසි ගැනීම් වලට හා බිල්ලන් මැවීමට යටවීමෙනි.එය 1948 නිදහසින් පසු යුගයේ අපේ රටේ දේශපාලන භාවිතයේ කැපී පෙනෙන අවලස්සන තුච්ච ලක්ෂණයකි.

1948 නිදහසින් පසුව අධිරාජ්‍යවාදයෙන් මිදීම නිමිති කරගෙන අප රටේ පාලකයන්ට ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමට සවර්ණමය අවස්ථාවක් උදා විය. නමුත් ඔවූන් එම අවස්ථාව ඥානාන්විත භාවිතා නොකළහ. නිදහසින් පසු රට පාලනය කළ ප්‍රථම දේශපාලන පක්ෂය නමින් එක්සත් ජාතික පක්ෂය වුවත් ඒහි දේශපාලන භාවිතය තුළ එක්සත් ශ්‍රි ලාංකීය ජාතියක් ගොඩනැගීමේ දර්ශනය ශක්තිමත්ව නොතිබිණි. එනිසා ඔවුන් සිය දේශපාලන පැවැත්ම වෙනුවෙන් භේදභින්න කම් ඇති කර ගත්හ. තීන්දු තීරණ ගත්හ. වැඩිජන සංඛ්‍යාවේ කොටස ආකර්ෂණය කර ගැනීමේ පටූ දේශපාලන උවමනාවෙන් ක්‍රියා කලහ.

ඉන් දශකයකට ආසන්න කාලයේ දී පිටස්තර භාෂාවක් වූ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිතයට ගැනීමට එරෙහිව ස්වභාෂා ව්‍යාපාරය මතුවූ අවස්ථාව ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමට තිබූ දෙවන මාහැඟි අවස්ථාවයි. නමුත් අවසානයේ එම ස්වභාෂා ව්‍යාපාරයද ශ්‍රී ලංකා දේශපාලනයේ බහුතරවාදය ට යටවී එය ස්ථාන ගතවූයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව ලෙස පත්කරමිනි.

ඉන් අනතුරුව දමිළ භාෂාව උතුර නැගෙනහිර පරිපාලන භාෂාව වශයෙන් පිළිගැනීම පූරවැසි පනත සංශෝධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත එවකට අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා හා චෙල්වනායගම් මහතා අතර ඇතිකරගත් ගිවිසුම බණ්ඩාරනායක මහතා විසින්ම ඉරා දැමීමට කටයුතු කළේ බහුතර මතය ලෙස අන්තවාදී සුළු පිරිසක් ඉදිරිපත් කළ මතවාදයේ බිරුසන් දීම්වලට නතුවීමෙනි.

ඉන් අනතුරුව 60 දශකයේ දී ඇති කරගත් ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමේ ප්‍රධාන ඉල්ලීම වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමට ඉඩ දීමයි. එම විධිවිධාන ඇතුළත් දෙමළ භාෂා විධිවිධාන පනත එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීත් පෙරකී ජාතිඋන්මාදී කණ්ඩායම්වල බිරුසන් දීම සහ කළකෝලාහල නිසා එකී අවම ඉල්ලීමත් ඩඩ්ලි සේනානායක මහතා විසින්ම ඉවතදැමිනි.ඒ නිදහසින් පසු අපිට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට අප හමුවේ පැවැති තූන්වැනි අවස්ථාවත් නැති කර ගනිමිනි.

ඉන් ඉක්බිතිව 70 දශකයේ දී අප පූර්ණ වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා ගනිමින් 1972 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් ජනරජ ව්‍යවස්ථාවක් ගොඩනඟා ගත් ඓතිහාසික අවස්ථාව අපට ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමට තිබූ සිව්වන අවස්ථාව ලෙස පෙන්වා දිය හැකිය. එදා ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි ප්‍රගතිශීලී පක්ෂද එකතුව පැවැති සභාග ආණ්ඩුව එම ව්‍යස්ථා සංශෝධනයේ දී එතෙක් උගත් පාඩම් මගින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමට ඉතිහාසය හිමිකර දුන් මාහැඟි අවස්ථාව නොසලකා හැරිය බව මෙහිලා සඳහන් කළ යුතුය. දෙමළ භාෂාවට සමතැන දීම උතුරු නැගෙනහිර අධ්‍යාපන මාධ්‍යය ලෙස දෙමළ භාෂාව පිළිගැනීම ආදී ද්‍රවිඩ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ඉවත දමමින් අත්තනෝමතික මනෝරාජික ව කටයුතු කරමින් ඔවුහු එම අවස්ථාව ද අහිමි කර ගනු ලැබිණි.

අනතුරුව අසූව දශකයේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයකෙරිනි. පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලබා ගත් ජේ ආර් ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙමින් ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ද සිංහල භාෂාවට හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙනු ලැබූවා මිස රටේ පැවති බහු ජන වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික ස්වභාවයට ගරු කර එම ව්‍යවස්ථාව සම්පාදනය නොකිරිනි. එනිසා පස් වැනි වතාවටත් අපට ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහිනි.

ඉහත තත්ත්වය තුල හැත්තෑව දශකයේ අග භාගය වන විට ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කථා කරන ජනතාවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි තිබූ විශ්වාසය මුළුමනින්ම බිඳ වැටිණි. වරින් වර ලංකාවේ පාලන බලය හිමිකර ගන්නා ප්‍රධාන දේශපාලන පක්ෂ සැමවිටම බලය සඳහා සංඛ්‍යාවෙන් වැඩි ජනගහනයේ අන්තවාදී මත දරන්නන් මතින් සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමේ ජනප්‍රියතාවය ලබාගැනීමට උත්සුක වනබව සුළු ජනවාර්ගික කණ්ඩායම් වලට එමගින් පැහැදිලිව ඒත්තු ගැන්විනි.

එහි ප්‍රතිඵලයක් ලෙස 1970 මැතිවරණයේ දී එතෙක් උතුරේ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිය දේශපාලනය මෙහෙයුවූ අපේක්ෂකයන් පරාජය කිරීම වෙනුවට ඔවුන් ජයග්‍රහණය කරවීමට උතූරේ ජනතාව කටයුතු කළහ. අනතුරුව 1981 පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ලෝකයේ විරල අත් පිටපත් රාශියක් ඇතුළු වෙළුම් අනූ පන්දාහක් පමණ තිබූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමත්, එවකට උතුරේ තරුණ අසහනය හේතුවෙන් අරගල කල තරුණයන්ට එරෙහිව හමුදාව යොදවමින් කළ මර්දනයත් හේතුවෙන් උතුරේ ජනතාවගේ ඇතැම් කණ්ඩායම් වෙනම රාජ්‍යයක් ඉල්ලා ආයුධ සන්නද්ධ කැරැල්ලකට අවතීරණ වන තැනට ඇද වට්ටනූ ලැබිණි.

1983 දී යාපනයේ දී යුධ හමුදා සෙබළුන් 13 ක් ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙන දකුණේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව දියත් වූ දෙමළ ජනතාවගේ දේපළ හා නිවාස මංකොල්ල කෑම ඇතුළු අහිංසක නිරායුධ දෙමළ ජන ඝාතනය සිදු කළ අවාසනාවන්ත කළු ජූලිය සිදුකරන ලැබුවේද මතුකී ජාතික උන්මාදයෙන් පෙලූන පිරිස්වල උසිගැන්වීම් හේතුවෙනි.

එහි ප්‍රතිඵලයක් ලෙස දකුණේ ජීවත් වූ දෙමළ ජනතාවගෙන් කොටසක් උතුරු නැගෙනහිරට පලාගිය අතර පිරිසක් 70 දශකයේ ආරම්භ වූ දෙමළ කැරලිකාර කණ්ඩායම් වලට සම්බන්ධ විය. තවත් දහස් ගණනක් රටින් පලාගොස් විදේශගත විය. ඔවුන් ගෙන් සැදුම්ලත් කණ්ඩායම දෙමළ ඩයස්පෝරාව විය.

මෙලෙස රටේ සුළුතරය නොසලකා හැරීම ඔවුන්ගේ අන්‍යතාවයට ගරු නොකිරීම හා ඔවුන්ගේ සාධාරණ මානුෂීය අපේක්ෂාවන්ට කන්නොදීම හේතුවෙන් ඉහත කී තත්ත්වය විසිහත් වසරක සිවිල් යුද්ධයක් බවට පත්විය. 

80 දශකයේ දී ඉන්දීය රජය මැදිහත් වීමෙන් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය ගෙන විත් පළාත් සභා ක්‍රමය ඇති කලත් එමගින් රටේ සුළුතර ජනකොටස් වල අන්‍යතාවයට, අභිමානයට හා අභිලාෂයන්ට සාධාරණ ලෙස ආමන්ත්‍රණය කිරීමක් අද දක්වාම සිදු වී නැත.

2009 දී සිවිල් යුද්ධය නිම කිරීමෙන් පසුව යළිත් අපේ රටේ පවතින බහුවාර්ගික බහු සංස්කෘතික බහු ආගමික යථාර්ථයට අනුව ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමට ඇවැසි වෙනස්කම් කිරීමට ශ්‍රී ලාංකික දේශපාලකයන්ට තවත් අවස්ථාවක් හිමි වු නමුත් ඔවූන් එම අවස්ථාවද බරසාර ලෙස භාරගෙන යථා යෝග්‍ය කඩිනම් ඇවැසි වෙනස්කම් කිරීමට ඉදිරිපත්වූයේ නැත. සිවිල් යුද්ධය නිම වීමෙන් පසුශ්‍රී ලංකාවේ පාලන බලය හිමිකරගත් කිසිදු දේශපාලන ධාරාවක් මෙතෙක් ඒ සඳහා අවංක උත්සාහයක් සහ කැප කිරීමක්ද පෙන්නුම් කරනැත. සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු එවැනි සිදුවීම් යළි නොවන සේ සියලු ජන කොටස් අතර එක්සේසත් කම හා ජාතික සමගි සන්ධානය වර්ධනය කිරීමට ඇවැසි නිර්දේශ ලබා ගැනීමට පත්කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැගීම දිනෙන් දින ප්‍රමාද වෙමින් පවතී. 

ඉහත කී කොමිසම නිර්දේශ කළ දේශපාලන පක්ෂවල එදිරිවාදී දේශපාලනය හැරදමා ජාතික ගැටලු ගැන එකමතිකව තීරණ ගන්නා දේශපාලන දැක්මකට හා භාවිතයකට ශ්‍රී ලංකා දේශපාලනය සාධනීය ලෙස යොමුවීමක් මේ දක්වා පෙනෙන්නට නැත.

සිවිල් යුද්ධය නිමවී දශකයක් ඉක්මවා ඇති අද දවසේත් විසිහත් වසරක් පුරා මහා රුධිර ගංගාවක් මේ දෙරණ මත හෙලා දහස් සංඛ්‍යාත තරුණ ජීවිත විනාශ කර කෝටි ප්‍රකෝටි දේපළ සහ ධනස්කන්දයක් අහිමිකර ගැනීමෙන් අනතුරුවත් රටේ පවතින බහු වාර්ගික බහු සංස්කෘතික බහුආගමික යථාර්ථය පිළිගෙන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමට එළඹ ඇති මේ අවස්ථාව ප්‍රමාද වුවත් මග නොහැරිය යුතු අවස්ථාවක් ලෙස සියලු දේශපාලකයන්ට අප පෙන්වා දීමට කැමැත්තෙමු.

තවද විසිහත් වසරක් පුරා උතුරේ පැවති සිවිල් යුද්ධයේදී කැරළිකරුවන්ට එකතු නොවී ශ්‍රී ලංකාවේ අනෙකුත් ජන කණ්ඩායම් සමග එක්ව සිටි මුස්ලිම් ප්‍රජාවට අප මුලින් සඳහන් කළ ජාතික උන්මාදී බහුතරවාදී පිරිස් රාජ්‍ය අනුග්‍රහය ඇතුව පහරදීම ඔවුනට එරෙහිව දිගින් දිගට කරන කෙනෙහෙලිකම් සහ අසාධාරණයන් හේතුවෙන් ඉතිහාසයෙන් එක්සත් වූ ශ්‍රී ලාංකික සමාජයක් ලෙස ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගැනීමට ඇති මේ අවස්ථාව ද අපේ දේශපාලනය විසින් නොසළකා හරිමින් සිටින බවට පැහැදිලි සාධකයකි.

අපි අද අප විසි එක් වන සියවසේ දෙවැනි දශකයේ සමස්ථ ලෝකයම මුහුණ දෙන අවාසනාවන්ත සෞඛ්‍යය අභියෝගය හමුවේ අසරණව සිටිති. දිනෙන් දින කෝවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරීමත් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යැමත් සිදුවෙමින් පවතී. වසංගත තත්ත්වය යටතේ රට වසා තැබීම හේතුවෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සීඝ්‍රයෙන් කඩා වැටෙමින් පවතී. අප ඉතා ඛේදජනක ලෙස ඍණ ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටිමු. කෝවිඩ් වසංගතයේ අනතුර රටේ සියළුම ජනවාර්ගික කොටස් ආගමික කොටස් සංස්කෘතික කොටස්වලට එක ලෙසටම තර්ජනයක් වී පවතී. වා තලයෙන් නොමිලයේ ලැබෙන හුස්ම පොද ගැනීමට නොහැකිව මිනිසුන් අසරනව මියැදිමින් සිටී.

මේ ව්‍යසනය දෙස ධනාත්මකව බැලුවොත් අපට යළිත් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගා ගනිමින් එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ගොඩනැගීමට මෙම අර්බූදයද නව අවස්ථාවක් විවර කර තිබේ. ඒ සඳහා මතුකී තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන පූලූල් දේශපාලන කතිකාවක් ආරම්භ කිරීමට කාලය එළඹ තිබේ. මෙවන් වකවානුවක අපේ රටේ බහු ජාතික බහු ආගමික බහු සංස්කෘතික බැඳීම් තර කර ගනිමින් එක්සත්ව එක්සිත්ව පටු වාද භේද දුරලා අප සැමගේ වන්දනීය පූජනීය මාතෘ භූමිය යළි ගොඩනැගීමට ඇවැසි බහුත්වවාදී දේශපාලන දැක්මක් හා භාවිතයක් ඇතුව කටයුතු කළහොත් අපට සෙසු ලෝකයෙන්ද සහාය ලබාගෙන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගාගෙන ලොවටම ආදර්ශමත් ජාතියක් වීමට පිළිවන.




Post a Comment

0 Comments