SRI LANKA

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමයෙන් සංහිඳියාවෙන් අර්ථවත්ව සමරමු!


අද සිංහල දෙමළ අලුත් අවුරුදු දවසයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමඟ අපිට හුරු පුරුදු වුණු සංස්කෘතික සිරිත් විරිත් රැසක් තිබෙනවා. අපි කවුරුත් එම සිරිත් විරිත් ඉටුකරමින් අලුත් අවුරුදු උත්සවය සතුටින් සමරන්නට කටයුතූ කරනවා. සෑම වසරකම අප්‍රේල් මාසයේ මැද භාගයේ දින දෙකකදී අපි එම උත්සවය සමරනවා. පරණ අවුරුදු දවස ඉන් මුල් දිනයයි. විශේෂ නැකත් නොතිබුනත් පසුගිය වසරේ දෛනික ජීවිතයේ කටයුතු තුල අප කා අතින් හෝ සිදුවූ කුමන හෝ ප්‍රමාද දෝෂයක් ඇත්නම් අමනාපයක් ඇත්නම් පරණ අවුරුද්දේ ඒවා හමාර කර ගැනීමේ අදහසින් තම නිවසේ අවුරුද්දට හදන ලද රසවත් කැවිලි පෙවිලි රැගෙන ගොස් ඒවා ඔවුනට පිරිනමා නව වසරට නව ආදරණීය සබඳතාවයක් ගොඩනඟා ගැනීම කරනවා. එලෙස සාමය සංහිඳියාව අන්‍යෝන්‍ය ගරුත්වය සහ ආදරය සිංහල අලුත් අවුරුද්ද සතුටින් සැමරීමේ පදනම ලෙස චිරාගතව පැවත එන පුරුද්දක් අපට තිබෙනවා.

දුර අතීතයේ සිට අපේ රටේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජීවත් වන සියලුම ජන කොටස් බෙදා හදාගෙන ජීවත් වීම මුල් කරගත් පුරුදු සහ චාරිත්‍රවලින් අලංකාර කරගෙන චිරාගතව සමරමින්  පැමිණෙන්නෙමු. සිංහල මිනිසුන් තමන් උයන කැවුම් කොකිස් මූං අග්ගලා ආදී ආහාරපාන දෙමළ සහ මුස්ලිම් අසල්වැසියන් සමග හුවමාරු කරගන්නා අතර දෙමළ අය පිසින වඩේ මුරකු වැනි ආහාර අසල්වැසි සිංහල මුස්ලිම් අයට ගෙනගොස් දෙන උසස් පුරුද්දක් අපට තිබෙනවා. මුස්ලිම් අය රාමදාන් උත්සවයෙන් පසු අසල්වැසි සිංහල සහ දෙමළ පවුල් වලට වටලප්පන් ලබාදෙති. අනාදිමත් කාලයක සිට ජන සමාජයක තිබෙන මෙම බෙදා හදාගෙන කෑමේ පුරුද්ද සියලු ජාතීන්ගේ සියලු ආගමිකයන්ගේ එක්සත්කම සහෝදරත්වය දිගුකල් පවත්වාගෙන එන ශක්තිමත් පදනම ලෙස හඳුන්වා දීමට පුළුවන් එනිසා සිංහල දෙමළ අලුත් අවුරුද්ද හා බැඳි චාරිත්‍ර සාමයේත් සහජීවනයෙත් පදනම ලෙසින් වචනය පරිසමාප්ත අර්ථයෙන්ම සඳහන් කළ හැකිව තිබෙනවා

තවත් අතකින් කෘෂිකර්මාන්තය මුල් කරගෙන ජීවත් වන රටක් හැටියට සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපි සමරන්නේ අස්වැන්න නෙළාගෙන සශ්‍රීකත්වය ලබා ගැනීම සමරන උත්සවයක් වශයෙනි 

ආගම භාෂාව හෝ එවැනි වෙනත් සමාජයීය භේද පසෙකලා සිංහල හා දෙමළ ජනයා විසින් ප්‍රීතියෙන් සමරනු ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සූර්ය සංක්‍රාන්තිය මත පදනම් වූ චාරිත්‍ර-වාරිත්‍ර ඔස්සේ සමාජගත වූ ප්‍රධානතම උත්සවයයි. 

මිහිතලය මත මානවයා බිහිවූ දා සිට මිනිසාත් සොබා දහමත් අතර පවතින භෞතික හා ආධ්‍යාත්මික බැඳීමේ අපූර්වත්වය පෙන්වන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය තම දිවි පැවැත්මට අවශ්‍ය සියළු දේ ලබාදුන් සොබාදහමට මිනිසාගේ කෘතවේදීත්වය පළ කරන උත්සවයක් ලෙසින් ද හඳුන්වා දිය හැකිය . 
කෘෂිකාර්මික ශිෂ්ටාචාරයකට හුරුවූ ශ්‍රී ලාංකිකයෝ සැමවිටම සොබාදහම සමග සාධාරණ ගනුදෙනුවක යෙදුණු අතර ඊට උපහාර ලෙස පවත්වනු ලබන සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර පරිසර හිතවාදී බව මානව හිතවාදී බව ද පිරිපුන් අප්‍රේල් මාසය හෙවත් බක් මාසයේ පවත්වන නිසා බක්මහා උළෙල ලෙස ද සූර්ය සංක්‍රාන්තිය පදනම් කොට ගෙන සැමරෙන නිසා සූර්ය මංගල්‍යය ලෙස ද හැඳින්වෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය සියලු ජාතීන් අතර සාමය සතුට හා සමගිය ගොඩනැගීමෙහිලා ඉතා සවිමත් පදනමක් සකසා දෙන උළෙලකි.

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ මෙරට ජනතාවට ගහ කොළ සතා සීපාවා හා අදාළ සමස්ත ජීවී ප්‍රජාවට ජීවය ශක්තිය හා පැවැත්ම ලබාදෙන සූර්යයා අති බලසම්පන්න දෙවියකු බඳු විය. ගොවිතැනින් අස්වැන්නක් නෙළා ගැනීමෙන් පසු එළඹෙන විවේක කාලය ආගමික වත් පිළිවෙත් පිරීමට හා සාමයෙන් සමගියෙන් රැස්වී උත්සව පැවැත්වීමට වෙන් වූ සමයෙකි අපගේ මුතුන් මිත්තෝ අස්වැන්න ලබා ගැනීමට පිහිට වූ සූර්යා ප්‍රමුඛ ස්වභාදහමට උත්සවශ්‍රීයෙන් යුතුව උපහාර දැක්වීමටත් සූර්යයාගේ ආශිර්වාදයෙන් ගොවිතැන්බත් කටයුතු නැවුම් බවකින් නැවත ඇරබීමට නිරෝගිභාවය කායික හා මානසික ශක්තියක් ලබා ගැනීමටත් අමතක නොකළහ. 

සූරිය මංගල්ලය ලෙස හඳුන්වනු ලබන විවිධ සංස්කෘතිකාංග වලින් පෝෂණය වීමෙන් විකාශනය වෙමින් පවතින සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය සූර්යයා මුල්කරගෙන අපරටේ පවත්වන එකම උත්සවයයි. අනෙක් සියලුම උත්සව පවත්වන්නේ චන්ද්‍රයා මුල් කරගත් චන්ද්‍ර දින දර්ශනය අනුවයි

අප්‍රේල් හෙවත් බක් මාසය වසරේ වෙනත් මාස වලට වඩා දැකුම්කළු භාවයෙන් පිරුනූ කාල වකවානුවකි ගස් වැල් මල් ඵලවලින් බරවන භාග්‍යවන්ත සමයෙකි. සෑම වසරකම අප්‍රේල් මස 12 13 හෝ 14 වැනි දිනට යෙදෙන සූර්ය සංක්‍රාන්තිය විසින් සංකේතවත් කරනු ලබන්නේ සොබාදහමේ සිදු වන අසිරිමත් ක්‍රියාවලියකින් මිනිසා සහ ස්වභාව ධර්මය අතර පවතින මෙම අවියෝජනීය බැඳීමයි. එය මුල් කරගෙන ලොව බොහෝ සමාජ කණ්ඩායම් විසින් විවිධාකාර උත්සව පැවැත්වීම සිරිතක් බවට පත්කරගෙන තිබේ.

පණ්ඩුකාභය රජ සමයේ පටන් පැවත එන බවට විශ්වාස කරන අවුරුදු උත්සවය අතීතයේ පවත්වා ඇත්තේ නැකත් උත්සවයක් ලෙසිනි පසුකාලීන මහනුවර රජ සමයේදී රජමාළිගාවේ අනුග්‍රහයෙන් උඩරට ප්‍රධාන මංගල්‍යය හතරක් පවත්වා ඇති අතර බක් මාසයේ අවුරුදු මංගල්‍ය ඒ අතර ප්‍රමුඛ විය .මහනුවර යුගයේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු නැකත් උත්සව පිළිබඳ රොබට් නොක්ස් සහ ජෝන් ඩේවි යන දෙදෙනා විසින් සඳහන් කර ඇත. සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ 1886 අංක 4 දරණ නිවාඩු දින පනත නීතිගත කිරීමෙනි යුරෝපීය ජාතිකයන්ගේ පැමිණිමත් සමඟ මෙරට පැවැති ආගමික හා සංස්කෘතික උත්සව සැමරීම ක්‍රමයෙන් ගිලිහී යාමේ තර්ජනයට ලක්විය. එයට පිළියම් වශයෙන් 1913 දී එවක ජාතික ව්‍යාපාරයේ නායකයන් විශාල ජනතා සහභාගිත්වය කින් යුත් අංග සම්පූර්ණ අවුරුදු උත්සවයක් කොළඹ වික්ටෝරියා උද්‍යානයේ පවත්වා ඇත.(වර්තමාන විහාර මහා දේවී උද්‍යානය) ඉන්පසු අවුරුදු උත්සව පැවැත්වීම ක්‍රම ක්‍රමයෙන් රටපුරා ව්‍යාප්ත වීම සිදූ විණි.

අලුත් අවුරුදු උදාව සැමරීම බෞද්ධ හා හින්දු සම්ප්‍රදායන් ඇසූරෙන් පෝෂණය වූ සුවිශේෂ අංග ඇතුළත් ක්‍රියාවලියක් ලෙස සැළකිය හැකිය. අලුත් අවුරුදු උදාව පිළිබඳ ජෝතිෂ්‍ය පදනම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම වුවද, එය තාරකා විද්‍යාඥ යම් කරුණකට වඩා ශ්‍රී ලාංකික ජාතියේ අනන්‍යතාවය ප්‍රකට කරන්නා වූ පවුල මුල්කොටගත් සමාජ බැඳීම් ශක්තිමත් කරන්නා වූ ක්‍රියාකාරකම් වලින් සපිරුණු උත්සවයක් ලෙස සමාජගත වී තිබ් දෙමළ භාෂාවෙන් අලුත් අවුරුද්ද හඳුන්වන්නේ පුත්තාන්ඩු යනු යන නමිනි.

ග්‍රෙගිරි දිනදර්ශනය භාවිතා කරන රටවල දෙසැම්බර් මස 31 වැනි දින මධ්‍යම රාත්‍රිය අවසන් වීමත් සමඟ ජනවාරි මස පලවෙනි දින උදාවෙන බව සලකා නව වසර සමරනු ලබයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට අනුව පරණ අවුරුද්ද අවසානය හා නව වසර උදාවීම අතරතුර ලැබෙන සංක්‍රාන්ති කාලය නැකත් නොමැති කාලය ලෙස අර්ථ ගැන්වෙන නොනගතය නමින් හඳුන්වා තිබේ. නොනගත කාලයට ආහාර පාන ගැනීමෙන් පවා වැළකී ආගමික වතාවත්හි නියැලීම අපේක්ෂා කරේ. බෞද්ධයන් විසින් විහාරස්ථානවලට යෑමත් නොනගත කාලය තුළ හින්දුන් කෝවිලට යෑමත් සුලභව දැකිය හැකි සිදුවීමකි. 2024 මෙම ගාම්භීර උත්සවය සමරන අපි මතකයේ සියලු තත්ත්වයන් මත සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගා ගැනීමේ මහා මංගල්‍යය ලෙස සමරමු! 

සරත් කුමාර දූල්වල 
සභාපති ශ්‍රී ලංකා විශ්ව කලා සංසදය

Post a Comment

0 Comments