SRI LANKA


 

ක්‍රිස්තු වර්ෂ 2000 නව සහස්‍රය ආරම්භයත් සමඟ ගෝලීය පවුල් දින සැමරීම ආරම්භ විය. එමගින් සමස්ත ලෝකයේ මානවයන් එකම පවුලක් යන අදහස ප්‍රවර්ධනය කරයි. මානව සංහතියේ ආරම්භය කවදා කෙලෙසක සිදුවුවත්, එදා මෙදා තුළ ගතවූ දීර්ඝ ඉතිහාසය විසින් මානව පවුලට සිය කල්පවත්නා සමෘද්ධිමත් අභිවෘද්ධිය උදෙසා සාමය, සමඟිය, සහජීවනය කේන්ද්‍ර කරගත් චින්තනයකින් වඩාත් ප්‍රශස්ත ලෙස ඒකත්ව පවුලක් ගොඩනගා ගත හැකි බව දර්ශනය කරයි. එය මානව පවුලේ සමෘද්ධිමත් තිරසාර ආනන්දනීය පැවැත්මේ පදනම ද වනූඇත.

ලෝකය ඓතිහාසික වශයෙන් භූගෝලීය වශයෙන්, , දේශපාලන වශයෙන්, පරිපාලන වශයෙන්, ජාතිකත්ව වශයෙන්, ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන්, වටිනාකම් වශයෙන්, හර පද්ධතීන්, වශයෙන් ආදී නොයෙක් විවිධ අනන්‍යතාවයන්ගෙන් යුක්තව බෙදී පැවතුනද, එකී විවිධත්වයේ චමත්කාරය තුළ ඒකත්වයට ඇති සොඳුරු ඉඩකඩ නොනැසී පවතින බව අවබෝධ කර ගැනීම අපහසු නොවේ.

අප ජීවත් වන ලෝකයේ සැමට සෙවන දෙන්නේ එකම අහසකි, සැමදෙනා ම හුස්ම ගන්නේ එකම වාතලයෙනි. සිය පැවැත්මට ඇවැසි ආහාරපාන ලබා ගන්නේ මුහුදෙන්, ජලයෙන් හෝ ගොඩබිමිනි. ආලෝකය සහ අඳුර බෙදා ගන්නේ එකම හිරුසඳු මගිනි. ඉතිහාසයේ ඈතින් ඈත ජීවත් වූ අපේ ආදි මුතුන් මිත්තනුත්, වර්තමානයේ ජීවත්වන අපත්, ඒ මහා පොදු සාධක තුළ අපේ ජීවන යාත්‍රාව පදවමින් සිටිමු.

තවද ගෝලීය පවුල් දිනය සමරන 2024 වසරේ පළමු දිනයේ අප සැමට සිහිපත් කරගත හැකි සත්‍යයක් පවතී. මෙලොව ජීවත් වන අප හැම දෙනාම මෙලොව හැර යන දින අපේ අවසන් හුස්ම මුසු කරන්නේද එකම වාතලයකට බවත්, අපේ ශරීරයේ සියලු මූල ධාතු කොටස් එකතු වන්නේ ද , අප ජන්ම ලාභය ලබන මේ මහපොළොවට බවත්ය. 

එනිසා මිනිසුන් වූ සැම දෙනාම එකම ගෝලීය පවුලක් තුළ ජන්මලාභය ලබා විවිධාකාර ලෙස ජීවන චාරිකාවේ යෙදී එකම ලෙස සමුගන්නා සංචාරක පිරිසක්ව සිටින බව අවබෝධ කරගැනීම උගහට නොවේ.

එනිසා වසර 2000 දී ප්‍රකාශිතව සෑම වසරකම ජනවාරි පළමුවෙනිදා සමරනු ලබන ගෝලීය පවුල් දිනය සාමය, සහජීවනය, බහු විවිධත්වය, සමගිය, සමාදානය, ආදරය, ලෙන්ගතුකම, එකමුතුකම, සහෝදරත්වය, අන්‍යෝන්‍ය ගරුත්වය, පුද්ගල අද්විතීයත්වය, සමරන ඒ පිළිබඳව සවිඥානිකව අවබෝධ කරගන්නා දිනයක් ලෙස හඳුන්වා දීමට පිළිවන.

එපමණක් නොව ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික දර්ශනවාදීන් වූ බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, මොහොමඩ් නබිතුමන් ආදී ශ්‍රේෂ්ඨයන්ගේ දාර්ශනික ඉගැන්වීම්වල හරය වූයේ ද ගෝලීය පවුල ගොඩනැගීම බව ඉතාමත් සුපැහැදිලිය.

බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන්ට එක ලෙස මෛත්‍රී කරන ලෙසත්, ජේසුතුමන් තම අසල්වැසියාට ප්‍රේම කරන ලෙසත්, මොහොමඩ් නබීතුමන් එකම දෙවියන් මෙලොවට එවූ සහෝදරයන්ට සහෝදරාත්මකව සලකන ලෙසත්, ආදි වශයෙන් කළ දාර්ශනික ඉගැන්වීම් සියල්ලෙන් ප්‍රකාශිත අර්ථය වන්නේ මතු කී සාමකාමී සහජීවනයෙන් යුත් ආදරණීය මානව පවුලක් ගොඩනගා ගැනීමට ඇවැසි චින්තනය නොවේද?

ගෝලීය පවුල් දිනය සමරන අද දින මතු කී පරමාදර්ශී මානව පවුල ගොඩනැගීමේ අධිෂ්ඨානය ජනිත කර ගැනීමේදී වර්තමානයේ බොහෝ දෙනා පවුල යන සංකල්පය හඳුනාගෙන ඇති ආකාරය දැනගැනීමද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

මානව සමාජයේ පවතින වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. පවුල හැඳින්වීමට ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කරන FAMILY යන වචනය ඉංග්‍රීසි භාෂාවට පැමිණ ඇත්තේ FAMILIA යන ලතින් භාෂාවේ පදය ඇසුරිනි. එය රෝම සමාජය හඳුන්වා ඇත්තේ සරල ඥාති සමූහයක් යන අර්ථයෙනි
එලෙස හඳුන්වන පවුල් ඒකකයක ප්‍රධාන ලක්ෂණ තුනක් පැවතිය යුතු බව 1956 දී පමණ ලෙව් ස්ට්‍රෝවූස්zස (LEVI-STAUSS) නම් මානව විද්‍යාඥයා සඳහන් කරයි.

01. පවුල විවාහයක් තුළින් ගොඩනැගිය යුතුය.
02. එම පවුල් ඒකකයට සැමියා, බිරිඳ, ඔවුන්ගේ දරුවන් හෝ හදාගත් දරුවන් හෝ සමීප ඥාතීන් ඇතුළත් විය යුතුය .
03. එකී සාමාජිකයින් අතර නිත්‍යානුකූල එනම් සමාජය පිළිගන්නා බැඳීම් පැවතිය යුතුය යන්න එම ලක්ෂණ තුනයි

වත්මන් සමාජයේ බොහෝ දෙනා ද පවුල හඳුන්වා ගන්නේ එලෙස විවාහයක්, දරුමල්ලන් හා ඥාතීන් ඇතුළත් කුඩා ගෘහස්ථ ඒකකයක් ලෙසිනි.

නමුත් ලෝකයේ පවතින සියලු ආකාරයේ පවුල් එලෙස කුඩා ගෘහස්ථ ඒකක ලෙස හැඳින්වීම නිවැරදි නොවේ.

එනිසා "පවුල" නිර්වචනය කිරීම ඉතාමත් දුෂ්කර කාර්යයක්ව පවතී. ඊට ප්‍රධාන හේතු දෙකක් පෙන්වා දිය හැකිවතිබේ

01. පවුලක් බොහෝ විට ඉතා පුළුල් පරාසයක විහිදී තිබීම.
02. කාලයට සාපේක්‍ෂව පවුලක සිදුවී ඇති වෙනස්කම් නිසා එහි විෂය සීමාව පුළුල් වී පැවතීම. එකී කරුණු දෙක ලෙස පෙන්වාදීමට පුළුවන

21 වන සියවසේ අප ජීවත්වන යුගය වන විට විද්‍යාව, තාක්ෂණය, ප්‍රවාහනය, ගමනාගමනය, වෙළහෙළදාම්, රාජ්‍යතාන්තික කටයුතු, ආදිය නිසා ලෝකයේ බොහෝ පරිණාමයන් සිදුවී සමාජය බොහෝ විස්තීර්ණ වී ඇති හෙයින් "පවුලක්" යනු තවදුරටත් කුටුම්භ ඒකකයට සීමා වූ ප්‍රපංචයක් නොවේ. 

එනිසා වත්මන් සියවසේ දියුණු මානවයන් ලෙස හඳුන්වා ගන්නා අප පවත්නා යථාර්ථයන් පිළිගනිමින් පවුල යන සංකල්පය ගැන වඩාත් විවෘතවත් පුළුල්වත් ඥානාන්විතවත් අවබෝධ කරගත යුතුව තිබේ.

මෙහිදී යළිත් ලෝක පුරවැසියන් සිහියට නගා ගත යුතු වැදගත් කරුණක් වන්නේ මතු සඳහන් කළ ශ්‍රේෂ්ඨ ආගමික දාර්ශනිකයන් වූ බුදුරදුන්, ක්‍රිස්තුස් වහන්සේ, මොහොමඩ් නබීතුමන් යන ශාස්තෘවරුන් සිය ආගමික දර්ශන ඉදිරිපත් කිරීමේදී එම දර්ශනයන් එක් ජනවර්ගයට හෝ එකී ආගමික දර්ශනය පිළිගන්නා ජන කණ්ඩායමකට හෝ පමණක් සීමා නොකොට සකල මිනිස් සංහතිය වෙනුවෙන් විය යුතු බවට දේශනා කරන ලද්දේ මානව සංහතිය එක පවුලක් ලෙස සාමයෙන්, සමගියෙන්, සමාදානයෙන්, සහජීවනයෙන්, බහු විවිධත්වයේ සුන්දරත්වය පිළිගනිමින් ගෝලීය පවුල නිර්මාණය කර ගැනීම මිනිසත් කමේ වටිනාම අගය නිසා යයි හැඟේ.

ඉදින් 2024 පළමුවන දවසේ ගෝලීය පවුල් දිනය සමරන ඔබ ගෝලීය පවුලේ සාමාජිකයකු ලෙසින් ගරු ගාම්භීරතා පූර්වක වගකීමෙන් යුතුව ජාති, ආගම්, වර්ණ, කුල, සංස්කෘතික ආදී සියලු බහු විවිධත්වයන්ගේ යථාර්ථය පිළිගනිමින් සහ ඒවායේ අද්විතීය භාවයට ගරු කරමින් මානව පවුලේ කල්පවත්නා අභිවෘද්ධිය, සමෘද්ධිය උදෙසා ආදරය, ප්‍රේමය, සහෝදරත්වය, පෙරටු කරගත් ගෝලීය පවුල ගොඩනැගීමට කැපවීමට අධිෂ්ඨාන කරගෙන ඔබේ පවුලේ අයට, ඥාතීන්ට, හිතවතුන්ට, මිතුරන්ට, සතුරන්ට සැමට ගෝලීය පවුලේ මානව ප්‍රේමයෙන් සුබ පැතුම් එක්කරමින් අත්වැල් බැඳ ගැනීමට සුරත දිගු කරනු ඇතැයි විශ්වාස කරමු .

ඒ සඳහා ඔබට කෙටිලිපියක්, කවියක්, සුභ පැතුමක්, වීඩියෝ පටයක්, වීඩියෝ ඇමතුමක්, දුරකථන ඇමතුමක්, චිත්‍රයක්, පෝස්ටරයක්, තරඟයක්, ඓතිහාසික කතාවක් සිහිගැන්වීමක්, මුහුණු පොතේ පෝස්ටුවක් පළ කිරීමක්, වට්ස්ඇප් ආදී කුමන හෝ සන්නිවේදන ජාලයකින් දෙන ධනාත්මක පණිවිඩයක්, කූඩා සාදයක්, වැනි බොහෝ ක්‍රියාකාරකම් මගීන් ඉටු කළ හැකිව තිබේ.

තවත් ලෙසකට එය පවත්නා යුධ ගැටුම් සන්ඩූ සරුවල් කෝලාහල අත් හරින ලෙසට හෝ විවිධ වූ බෙදුම් රේඛාවන් අත්හරින ලෙසට හෝ දෙන ධනාත්මක ආදරණීය පණිවිඩයක් විය හැකිය ඒ සඳහා ඔබ තනි තනිව දරනා ඕනෑම කුඩා ප්‍රයත්නයක් ගෝලීය පවුල ගොඩනැගීමට අතිමහත් බලයක් ගොඩනගනු ඇත.

සරත් කුමාර දූල්ව

Post a Comment

0 Comments