SRI LANKA

අදින් ඇරඹෙන රාමදාන් සීලය උතුම් පුණ්‍යක්‍රියාවකි!

අද හිජ්රි වර්ෂ1445 රාමදාන් මාසයේ පළමුදායි.


චන්ද්‍ර මාස හෙවත් ඉස්ලාමීය හිජ්රි මාස ක්‍රමයට අනුව අද රාමදාන් මාසයේ ආරම්භක දිනයයි. අති උතුම් ශුද්ධ වූ අල් කුරාණය මූලිකව හෙළිදරව් වූ උත්කෘෂ්ඨ මාසය වශයෙන් ඉස්ලාමීය භක්තිකයන් රාමදාන් මාසය අති මහත් භක්තියෙන් යුතුව පිළිවෙතින් පිළිගන්නා මාසයකි.

ඉස්ලාමීය ආගමික දර්ශනයේ ප්‍රධාන මූලධර්ම පහෙන් එකක් හෙවත් ඉස්ලාමය උසුලා සිටින ස්ථම්භයන් පහෙන් එකක් ලෙස මහත් හරසරෙන් පිළිගන්නා රාමදාන් උපවාස ශීලය අදින් ආරම්භ වේ.

හිරු උදාව සන්නිවේදනය කිරීම සමඟ ආහාර ගැනීමෙන් වැළකී උපවාසය ආරම්භ කරන ඉස්ලාමීය බැතිමත්තු හිරු අවරට යෑම සංඥා කරන තෙක්ම දවස පුරා මහත් භක්තියෙන් ගෞරවයෙන් අභිමානයෙන් ප්‍රීතියෙන් කැපවීමෙන් ශ්‍රද්ධාවෙන් අල්ලාහ් සුභානහුව ත ආලා වෙනුවෙන් සිය ජීවන යුතුකමේ බැතිබර පූජාව ඉටුකරනවා යන අවබෝධයෙන් යුතුව රාමදාන් උපවාස සීලය රකිති.

රාමදාන් සීලය අග්‍රගන්‍ය අතිශ්‍රේෂ්ඨ පුණ්‍ය ක්‍රියාවක් වන්නේ සිත කය වචනය හික්මවා ගනිමින් හෙවත් සංවර කර ගනිමින් පුරා මාසයක් මැවුම්කාරයාණන් වහන්සේ කෙරෙහිම කෘතවේදීව බැතිමත්ව උතුරා යන ශ්‍රද්ධාවෙන් එම සීලය පුරමින් මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කර ගැනීමට අවශ්‍යය පිළිවෙත් පිරීමක් වන හෙයිනි.

ශුද්ධ වූ අල් කූරානයේ ඉගැන්වීම් වලට අනුව ඉස්ලාමීය බැතිමතුන් මෙලොව තමනට හිමිවී ඇති සියලු වත් පොහොසත්කම් බලය ධනය ආදී අල්ලාහ් සුභානහුව ත ආලා විසින් ඔවුනට දෙන ලද සියලු දේ කෙරෙහි ආශාව තෘෂ්ණාව අත්හරිමින් ස්වකීය ජීවිතයේ සත්‍ය සොයා යන අති උතුම් වන්දනීය චාරිකාවක් ලෙස රාමදාන් සීලය හඳුන්වා දිය හැකිව තිබේ.

ශරීරයෙන් පමණක් නොව ආත්මයෙන්ද සර්ව බලධාරියානන් විසින් මිනිසා නිර්මාණය කර ඇති හෙයින් මිනිසාට මග වැරදී ඔහු ලෞකික සැප සම්පත් කෙරෙහි අසීමිත ලෙස ආශා කරමින් සියලුම මානසික හා කායික තෘප්තියේ අසීමාන්තිකව ගැලෙමින් ජීවත්වේ. බැවින් එවන් මිනිසුන් තුළ මිනිස් ගතිගුණ හීන වී මිනිසත්බවේ සත්‍ය නොපෙනී ඉවත්වීම සිදුවේ. එනම් අල්ලාහ් සුභානහූව ත ආලා මිනිසාට ලබා දී ඇති මෙලොව ජීවිතයේ සැබෑ අරමුණින් ඔහු දුරස් වීම ඉන් සිදුවේ එකී සත්‍යය අවබෝධ කර ගැනීමට මිනිසාට බුද්ධිය තිබුණත් බූද්ධිය මෙහෙයවා සත්‍ය දකින්නට නැණවත් නොවීමෙන් ශුද්ධ ආත්මීය ශක්තිය ඉවත්ව යනු ඇත. මෙම තත්ත්වයෙන් මිනිසා මුදවා ගෙන ආත්මීය ශක්තිය මිනිසාට වඩ වඩාත් ගොඩනගා ගැනීමට ශුද්ධ වූ මාසයක් වූ රාමදාන් උපවාස සමයේ අවස්ථාවක් ලබා දෙන බව ඉඳුරාම ප්‍රකාශ කළ හැකිය.

සෑම ඉස්ලාමීය භක්තිකයෙකුම ඉස්ලාමීය දින දර්ශනයේ නව වැනි මාසයේදී පුරණ මෙම සීලය මගීන් කාය සංවරය, වාග් සංවරය, මානසික සංවරය(ආධ්‍යාත්මික) ඇතිකර ගැනීම සඳහා ඉවහල් වන වත් පිළිවෙත් චාරිත්‍ර රැසක් පවතීරාමසාන් උපවාසය තුළ උපවාස ශීලීව සිටිමින් රාමදාන් මාසයට ආවේණික රාත්‍රී කාලයේ සිදුකරන විශේෂ නැමැදුම (කියාමූල්ලයිල්) කිරීම, දාන පරිත්‍යාගය (සකාතුල් ෆිතර්) මස්ජිදයේ මුලුමනින්ම දිනය පුරා රැඳී සිටිමින් ආගමික වතාවත් වල යෙදීම (ඉහ්තිකාෆ්)අල්කුරාණය පාරායනය කිරීමත් සහ (තිලාවත්) හා ලෙයිලතුල් කද්ර් නම් අග්‍රගන්‍ය රාත්‍රියේ නැමැදුම හා දුආ ප්‍රාර්ථනා කිරීම ආදී වත් පිළිවෙත් සමූහයක් අනිවාර්යෙන් පිළිපැදීම කළ යුතුව ඇත.

උපවාස සමය තුළ දිවා කාලය කෑමෙන් බීමෙන් වැළකී සිටිම පමණක් ප්‍රමාණවත් නොවන අතර සලාතවල යෙදීම යාඥා කිරීම හා පංචේන්ද්‍රියන් මනා ලෙස පාලනය කර ගනිමින් සියලු පාප ක්‍රියාවන්ගෙන් වැළකී තම දෛනික රාජකාරිය යුතුකම් වගකීම් ඉටු කළ යුතුය. එසේම තමා උපවාසයේ දෙන්නේ කුමක් අරභයාද (කුමන අරමුණකින්ද) යන්න නිතර මෙනෙහි කළ යුතුය.

මේ අනුව මසක් පුරා පැවැත්වෙන රාමදාන් උපවාස සමය ඉතාමත් උතුම් පුණ්‍ය කර්මයක් සේම එහි අගය ආගමිකව, දාර්ශනිකව, ආචාර ධාර්මිකව, සංස්කෘතිකව, විද්‍යාත්මකව මානවවාදීව, විද්‍යාත්මකව, ආදී නොයෙක් ලෙසින් විස්තර කළ හැකි ඉමහත් ප්‍රායෝගික අගයකින් යුක්ත වේ.

මෙම උපවාස සීලය අල්ලාහ් නාමධාරී සර්ව බලධාරී දෙවියන් විසින් ජිබ්රිල් නම් තම දේවදූතයා මගින් මූහමද් නබී තුමාණන්ට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි. උපවාස සමය තුළ ලෞකික ජීවිතයෙන් ඈත්වී ආධ්‍යාත්මික ජීවිතයට පිවිස පිවිතුරු සිතිවිලින් යුක්තව යහපත් ක්‍රියාවල නිරත වන ඉස්ලාම් බැතිමතුන් දිවා කාලය තුළ නිරාහාරව ගත කරමින් සැබැවින්ම අසරණව සිටින මිනිසුන් නිරාහාරව අත්විඳින දුක්ඛදායි තේරුම් ගනී. දිළිඳු ජනතාව විඳින පීඩාව කෙබඳුදයි අවබෝධ කරගනියි. ඒ පිළිබඳව සංවේදීව සිතමින් පරිත්‍යාගශීලී ජීවිතයකට යොමු වීමත්, සිත පාලනය කිරීමේ හැකියාව වර්ධනය කිරීමත්, රාමදාන් උපවාසය මගින් සිදු කෙරේ. එම යහපත් ජීවන චර්යාව එක් මසකට පමණක් සීමා නොකොට ඉන් මතුවට ද සදාතනිකව දෛනික ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීමට පුහුණුවක් ලබාදෙන අවස්ථාවක් ලෙස රාමදාන් ශීලය හඳුන්වා දිය හැකිය.

උපවාසය යනු භෞතික දෙයින් ඈත් වී හික්මීමට හා කැපවීමට පුහුණුවක් ලබා ගැනීමයි. ආශාවන්ගෙන් මිදී කටයුතු කිරීමට පුරුදු වීමයි. එසේම සකාත් ප්‍රතිපත්තිය අනුව අසරණ දිළිඳුන් හා රෝගී ජනයාට ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාගකිරීම කළ යුතු බවට මෙම උපවාස සීලයෙන් සිහිගන්වයි. උපවාසය සර්වබලධාරී අල්ලාහ් දෙවියන් විසින්ම පනවන ලද ධර්ම නීතියක් බැවින් එහි ඇති ආගමික අගය අසීමාන්තිකය, අති උතුම්ය.

සිත පාලනය කිරීම හා සිත පරිත්‍යාගශීලීත්වය කරා නැඹුරු කිරීම උපවාසයේ මූලික ඉලක්ක ගත ධර්මතාවය වේ. මසක් උපවාස ශීලය රකින බැතිමතූන් චන්ද්‍රයාගේ දර්ශනය අනුව නියම කරගන්නා ලද දිනයක සුපුරුදු පරිදි උදෑසන සීලයෙන් මිදෙති. මෙම අවස්ථාව "ඊ දුල් ෆිතර්" එනම් රාමදාන් අවුරුද්ද ලෙස හඳුන්වයි. ඉස්ලාමීය බැතිමත්හූ ඉන් පසුව දේවස්ථානවලට ගොස් නැමදුම්වල යෙදේ අනතුරුව නිවෙස් කරා පැමිණ 

අසල්වැසියන්ට විශේෂයෙන් තමන්ට වඩා වත් පොහොසත්කමින් අඩු සහෝදර ජනතාවට ආහාරපාන අවශ්‍ය ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් මුදල් හා විවිධ දෑ පරිත්‍යාග කරති.

මතු කී ලෙස අදින් ඇරඹෙන රාමදාන් සීලය සහ රාමදාන් සමය සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් මිනිසුන් වෙත උදාකළ අති උතුම් පුණ්‍යවන්ත අවස්ථාවකි.

අල් හම්දුලිල්ලාහ්, සියලූම ශ්‍රේෂ්ඨත්වයේ ගෞරවයන්, මැවුම්කාර අල්ලාහ් දෙවියන් වහන්සේටමය.

සරත් කුමාර දූල්වල
විශ්ව කලා විගමනික සංසදයේ සභාපති

උදෑසන කවි සිත්තම
රාමදාන් සීලය අද ඇරඹෙනවා
සමානයන් ලෙස සැම දෙන සලකනවා
උපවාසයෙන් සැම බැඳුමන් තර වෙනවා
උතුම් සිල් ගුණය ලොව තුල පැතිරෙනවා 


අද උදා වූ රාමදාන් මාසය ඔබට සාමය සමාදානය සෞභාග්‍යය උදාකරත්වා
සරත් කුමාර දුල්වල

Post a Comment

0 Comments