SRI LANKA

"අද මහ සිකුරාදා "පිළිවතින් සමරමු!


ලොව පුරා ක්‍රිස්තියානි බැතිමතුන් එළඹෙන ඉරිදා සැමරීමට නියමිත පාස්කු මංගල්‍යයට ප්‍රථම චතාරික කාලය ලෙස නම් කර ඇති දින 40 ක කාලය ගත කරමින් සිටී. එම කාලය තුළ යෙදී ඇති මහ සිකුරාදාව කිතුනු බැතිමතුන් මහත් බැතියෙන් හරසරින් සමරමනූ ලබයි. අලු බදාදා දිනෙන් ආරම්භ වෙන චතාරික කාලයේ කිතුනු බැතිමතුන් දන් දීම, නිරාහාර ශීලය සුරැකීම. පාදනමස්කාරය, යාච්ඤා මෙහෙයන් පැත්වීම, ආදී දාන ශීලමය කටයුතුවල නිරත වෙති.

චතාරික කාලයේ අවසන් සතිය ශුද්ධ වූ සතිය ලෙස හඳුන්වනු ලබයි.මෙම ශුද්ධවූ සතිය ආරම්භ වන්නේ ගොබ් ඉරිදා වෙන් වන අතර ගොබ් ඉරිදා විශේෂත්වය වන්නේ ක්‍රිස්තුන් වහන්සේට මැවුම්කාර දෙවි පියාණන් විසින් පවරන ලද දූත මෙහෙවර කාර්යේ ශුද්ධ අරමුණ සම්පූර්ණ කරීම මෙදින ආරම්භ කිරීමයි. ඉන් පසුව එළැඹෙන ශුද්ධවූ සතිය තුළ විශේෂිත දින කීපයක් ඇත. එනම් මහ බ්‍රහස්පතින්දා මහ සිකුරාදා ආලේලුයියා සෙනසුරාදා සහ පාස්කූ ඉරිදායි. මෙම දින අතර මහ බ්‍රහස්පතින්දා දින වැදගත් වන්නේ ක්‍රිස්තුස්වහන්සේ අවසාන භෝජනය ගෝලයන් සමග බුක්ති විඳීම සහ එහි දී පූජකවරය හා දිව්‍ය සත්ප්‍රසාදය ස්ථාපිත කරනු ලැබීමයි. එසේම මෙදින ප්‍රධාන ගෝලයන් දොළොස් දෙනාගේ පා දෝවනය සිදුකළ ඓතිහාසික සිදුවීමද සිදුවිය එය සංකේතවත් කරමින් වර්තමානයේදීත් දේවස්ථානවල දී පාද දෝවනය සිදු කෙරෙන්නේ දෙව් මැදුරු පියතුමාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දිව්‍ය පූජාවකිනි.

මහ සිකුරාදා දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුස ගසෙහි මරණයට පත්වීම සහ උත්තාන වීම සිහිපත් කරන අතර ලොව පුරා සියලු කිතුනූ බැතිමතුන් මිනිසා පවින් මුදවා ගැනීම සඳහා දේව පුත්‍ර ක්‍රිස්තූ සමිදාණෝ කුරුසය මත දිවි පිදීමේ මේ මහා යාගය හෙවත් දුක්ප්‍රාප්ති මංගල්‍යය මහ සිකුරාදා සමරතිතව අතකට මහ සිකුරාදා යනු ජේසූස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ හොවා ඇන ගැසීම සහ කල්වාරියේදී එතුමන් අභාවප්‍රාප්ත වීම හා නැවත උත්තානව ස්වර්ගස්ථවීම සිහිකරන ආගමික නිවාඩු දිනයකි.

මුල් යුගයේ සිටම මහා සිකුරාදා දින මනස්තාපනය හෙවත් පශ්චාත්තාප වීම සිදුකරන සහ නිරාහාර ශීලය රකින දිනයක් ලෙසින් සලකති. එම නිරාහාර කාලය පැය 40ක් පමණ එනම් මහ සිකුරාදා සිට ආලෙලුයියා සෙනසුරාදා රාත්‍රී දිව්‍ය පූජාවේ අවසානය දක්වා අඛණ්ඩව පැවැත්වෙන ආගමික පූජා චාරිත්‍රයක් ලෙස පැවැත්වේ. 

අතීතයේදී කුඩා දරුවන්. ගර්භනී කාන්තාවන්. කිරිදෙන මව්වරුන්. හා රෝගින්. හැර සියලු දෙනා කිසිම කෑමක් බීමක් නොගෙන දිය පොදක්වත් පානය නොකර ගතකරන කාලයක් ලෙස මෙකී කාලය ගත කළ යුතු බව සැලකූහ. නමුත් කුඩා දරුවන් ගර්භනී කාන්තාවන් ආදී 

මතු කී අයවලුන්ට කුඩා පාන් කැබැල්ලක් අනුභව කිරීමට සහ ජලය බිඳක් පානය කිරීමට අවසරය තිබීමද එම ආගමික චාරිත්‍රයේ පැවැති වැදගත් මානූසීය අංගයකි ශාන්ත අයිරේනියස් තුමාගේ ලිපිවල මේ පිළිබඳව බොහෝ විස්තර සඳහන්ව ඇත. මෙම නිරාහාර ශීලයේ අවශ්‍යතාවය හා වැදගත්කම ගැන පළමුවන ඉනසන්ට් පාප්තූමා ඉතා ගැඹුරින් පෙන්වා දුන් අතර එතූමාගේ මූලිකත්වයෙන් නිරාහාර ශීලය සභා අනුමතයටද ලක් කර තිබේ. 

පසුකාලීන එම නිරාහාර කාලය දින තුනක් දක්වා වර්ධනය කරනු ලැබිණි. පසුව එය සතියක් දක්වාද වර්තමානයේ දින හතළිහක් බවටද පත්ව ඇත. 

මහා සිකුරාදා සැමරීම වෙනුවෙන් පැවැත්වෙන දිව්‍ය පූජාව මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජා යාගයේ සිට ආලෙලුයියා සෙනසුරා රාත්‍රී දේව මෙහෙය අවසන් වනතෙක් අඛණ්ඩ අවිච්චින්න දේව මෙහෙයක් ලෙස පැවැත්වේ. එම කාල පරාසය paschal triduum නමින් හඳුන්වනු ලබයි. .

මහා සිකුරාදා දේව මෙහේ ප්‍රධාන කොටස් තුනකින් සමන්විතව පවතී. ඒවා එකිනෙකට සම්බන්ධව අඛණ්ඩ දිව්‍ය පූජාවක් ලෙස පැවැත්වේඉන් "පළමුවැන්න දේව වාක්‍ය මෙහෙයයි" අපෝස්තලිකවරුන්ගේ කාලයේ සිට එන දේව වාක්‍යය කියමින් ඒවා යලි සිහි ගැන්වීම එහි ප්‍රථම කොටසයි.

දෙවැන්න කුරුස වන්දනාව සඳහා කුරුසය දම් පාට හෝ සුදු පාට වස්ත්‍රයකින් වසා පෙරහැරකින් ගෙනයමින් අවස්ථා තුනකදී එම කුරුසය කොටසෙන් කොටස නිරාවරණය කිරීම සහ බැතිමතුන්ට එම කුරුසය සිප ආචාර කිරීමට අවස්ථාව සලසන ආගමික පූජා චාරිත්‍රයයි තුන්වනුව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදාදීමේ චාරිත්‍රයයි.

එකිනෙකට සම්බන්ධ මෙම චාරිත්‍ර කොටස් තුන මගින් ලබා දෙන සුවිශේෂ පණිවිඩය වන්නේ මහා සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ අභාවය සිහිකරන දිනය පමණක් නොව උන්වහන්සේ කුරුසයේ මරණයට පත්ව උත්තානවී ස්වර්ගයේ වැඩ වාසය කරන බවත් එමගින් මිනිසාට ගැලවීමේ අභිරහස පිළිබඳ හෙළිදරව් කර ඇති නිසා එය මෙනෙහි කරන ලෙසත් උන්වහන්සේගේ තේජාන්විත ගෞරවනීය නැවත පැමිණීම සිදුවන තෙක් සෑම බැතිමතෙක්ම පිළිවතින් තම ජීවිතය හැඩගස්වා ගැනීම කළ යුතු බවත්ය.

අද අපේ රටේ කිතුණු භක්තික ජනතාව මහ සිකුරාදා සැමරුම පවත්වන්නේ ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා රචනා කළ "දේශනා නමයේ පසන් පොත" "දුක්ප්‍රාප්ති ප්‍රසංගය" යන පොත් ඇසුරින් බිහිවූ පාස්කූ නාට්‍ය පදනම් කරගෙන බව ජන වන්දනා විචාරකයෝ පෙන්වා දෙති.

මිනිසුන් වෙනුවෙන් දුක් විඳ මරණයට පත්වී මිනිසාට ගැලවීම සාක්ෂාත් කර දී උත්තානවූ යේසුස් වහන්සේට වන්දනීය ගෞරවය පිරිනමන මෙම සැමරුම් උත්සව අදත් අප කෘතවේදීව පවත්වන්නේ "හොඳින් නරක වෙන් කරන ගසින්" දේව අවවාදයට පිටින් ගොස් මිනිසා ගෙඩි කඩාගෙන කෑමෙන් ඇති වූ පවුකාර ගති සහ මරණය පරාජය කර යළි ගැලවීම සහ ජීවනය ලබාදුන්නේ ජේසුස් වහන්සේ කුරුස ගස මත පූජා වීමේ යාගයෙන් බව නැවත සිහිපත් කරමිනි.

ඉතා ශ්‍රේෂ්ඨ ගෞරවනීය ආගමික දර්ශනයක් වන කිතු දහම මෙලොවට දේශනා කළ යේසුස් වහන්සේගේ ජීවන සිද්ධි ඇසුරු කරගෙන චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතික අංගයන්ගෙන් අලංකෘතව පවත්වන මහ සිකරාදා සැමරුමට ඉක්බිතිව පැවැත්වෙන පාස්කු ඉරිදා සැමරුම මගීන් සමස්ත වශයෙන් ලෝකයට ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ සිය ස්වරූපයෙන් නිර්මාණය කළ මිනිසා පාපයෙන් මිදී සාමයෙන් සහජීවනයෙන් යුතුව සිය තිර ජීවනය අත්පත් කර ගැනීමට පිළිවතින් සැරසී උත්සුක විය යුතු බවයි.

ඔබට මැවුම්කාර දෙවි පියාණන්ගේ ආශිර්වාදය ලැබේවා!

සරත් කුමාර දුල්වල

Post a Comment

0 Comments