SRI LANKA

රාමදාන් මහෝත්සවය මානව සහෝදරත්වයෙන් එක්සත්ව සමරමු!


සවුදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව 2024 අප්‍රේල් මස 10 වැනි දින ඉස්ලාමීය චන්ද්‍ර මාස ක්‍රමය සහ නව සඳ දැකීම නිමිති කරගෙන රාමදාන් මහෝත්සවය ප්‍රකාශයට පත් කර තිබේ. ඊට සමගාමීව කොළඹ ඉස්ලාමීය මහා දේවස්ථානය විසින්ද අප්‍රේල් මස දහවෙනිදා රාමදාන් උත්සවය සමරන බව නිවේදනය කර තිබේ. ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව රාමදාන් නිවාඩු දිනය ලෙස අප්‍රේල් මස 11 වැනිදා නම්කර ඊට හරසර දක්වා තිබේ.

රාමදාන් උත්සවය සකල ආකාර භේදයන්ගෙන් (වෙනස්කම් වලින්) තොරව ඉස්ලාමීය බැතිමතුන් (ඉස්ලාමය විශ්වාස කරන්නන්) එකට ඇද බැඳ තබන ආගමික පිළිවෙතකි. එමගින් ඉස්ලාමීය විශ්ව සහෝදරත්වය ප්‍රකාශ කරයි. සර්ව බලධාරී අල්ලාහ් සූභානහූව ත ආලා ගේ විශ්වීය ප්‍රේමයේ ආශිර්වාදයෙන් උපයා සපයා ගත් ධනය සර්ව බලධාරියානන්ගේ උත්තම කැමැත්තට අනුව සහෝදරත්වයෙන් අන්‍යයන් සමඟ බෙදා හදාගෙන භුක්ති විඳීමත් සියලුම දෙනා අන්‍යයන්ගේ හැඟීම් කෙරෙහි සංවේදී වීමත් රාමදාන් මහෝත්සව මංගල්‍යය සමඟ බැඳී පවතී .

ඒ අනුව සාමය සහෝදරත්වය සමානාත්මතාවය අල්පේච්ඡතාවය සහ සාමූහිකත්වය ඉස්මතු කර ගැනීමට මහෝපකාරී වන රාමදාන් උපවාස සීලය මගින් ගොඩනගා ගන්නා ආධ්‍යාත්මික සංවර්ධනය මිනිසකුගේ මුළු ආයු කාලයටම පවත්වා ගැනීම කළ යුතු බව ඉස්ලාම් දහමෙන් පෙන්වා දෙනු ලබයි.

දැඩි අසනීප තත්ත්වයන්ගෙන් පෙලෙන්නන් දීර්ඝ සංචාරයන්ගේ නියුක්ත වන්නන් කුඩා ළමුන් හැර ඉස්ලාමය විශ්වාස කරන විශ්වාසවන්තයන් හෙවත් ඉස්ලාමීය භක්තිකයන් සියලු දෙනා ම අනිවාර්යෙන් රාමදාන් උපවාස ශීලය සූරකිමින් කායික සහ මානසික වශයෙන් තමන් තුළ ඇති කරගනු ලබන භක්තිමත්භාවය හා සර්ව බලධාරියාණන් වහන්සේ කෙරෙහි ඇති කරගනු ලබන අචල අඛණ්ඩ නොබිඳිය හැකි ගෞරව පූර්වක භක්තිමත්භාවය ජීවිතයේ ඉදිරි කාලය පවත්වාගෙන යාමට අවැසි පදනම ලෙස අධිෂ්ඨාන කරගනු ලැබීම රාමදාන් මාසයේදී සිදු කරනු ලබයි.

විශේෂයෙන් රාමදාන් උපවාස සීලය කාලයේදී ඉස්ලාම් භක්තිකයන් විසින් මතුකී ලෙස ඉතා සංයමයෙන් හා ඉවසිලිවන්තකමෙන් තමන් තමන්ට අවංකවෙමින් සහ අනෙකුත් අය නොරවටමින් ගොඩනගා ගන්නා ඉස්ලාමීය (විශ්වාසවන්ත) විනය මගින් ඉස්ලාමීය භක්තික ප්‍රජාව ඉතා ප්‍රබලව ගොඩනගා ගන්නා එක්සත් භාවය හා සමාජ සංස්කෘතික බැඳීම් සමූදාය මගීන් යහපත් පැහැපත් සමාජයක් ගොඩනගා ගැනීමට ඇවැසි මහා පන්නරය ඇති කරගනු ලබයි.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නව වැනි මාසය රාමදාන් මාසයයි .ඉස්ලාම් ආගම අනුව ගෞරවනීය මොහොමඩ් නබිතුමාණන්ට ශුද්ධ අල් කුරාණය සර්ව බලධාරී අල්ලාහ් සූභානුව තා ආලා විසින් ජිබ්‍රිල් නම් දේවදූතයා මගින් හෙළිදරව් කිරීම ආරම්භ කර ඇත්තේ රාමදාන් මාසයේදීයි. මොහොමඩ් නබිතුමාට වයස අවුරුදු 40ක් වූ වකවානුවේ එක් ආශ්චර්යමත් රාමදාන් මාසයක අගභාගයේ නිසලව ගෙවී යමින් තිබුණු එක් රාත්‍රියකදී ඒ අනුව අල්-අලක් සූරතයේ(96:1-5 )දක්වා වූ වැකි ප්‍රථම වරට පහළ කළ බව සඳහන් වේ. එම උතුම් ශ්‍රේෂ්ඨ පූජනීය වැකි පහළ කළ රාත්‍රිය "ලෙයිලතුළ් කදර්"එනම් මහා බලසම්පන්න රාත්‍රිය (මහානුභාව සම්පන්න රාත්‍රිය) ලෙස නම්කර රාමදාන් මාසයේදී ඉස්ලාමීය වත් පිළිවෙත් මගින් මහත් භක්තියෙන් හා ගෞරවයෙන් සමරනු ලබයි. ඒ අනුව රාමදාන් මාසය ඉස්ලාමීය භක්තිකයන්ට වන්දනීය පූජනීය උතුම් ශුද්ධ වූ මාසයකි. එහෙයින්ම රාමදාන් මාසය මතූකී උපවාස සීලය ප්‍රමුඛ උතුම් වත් පිළිවෙත් වලින් සරසාගෙන අල්ලාහ් දෙවියන්ගේ උත්තම බව සෑම මොහොතකම සමරමින් ඉමහත් වූ භක්තියෙන් යුතුව කායික මානසික සංවර්ධනයෙන් යුතුව පිළිවෙත් සපුරන මාසයකි.

ලොව පුරා සිටින දස ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාමීය බැතිමතුන් අන්‍ය ආගමික බැතිමතුන්ට ද මහත් වූ ආදර්ශයක් ප්‍රකට කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පිළිවෙත් පුරන මාසයක් ලෙස රාමදාන් මාසය එහි පරිසමාප්තාර්ථයෙන් හඳුන්වා දිය හැකිව තිබේ.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව රාමදාන් මහෝත්සවය සෑම වසරකම සැමරන දිනය වත්මන් ග්‍රිගේරියානු දින දර්ශනයට අනුව වෙනස් වේ. රාමදාන් මහෝත්සවයේ ආරම්භක දිනය සහ අවසන් දිනය තීරණය වන්නේ ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂ සහ චන්ද්‍රයාගේ දර්ශනය පදනම් කරගෙන බැවින් එම වෙනස සිදුවේ. ඒ අනුව රාමදාන් උපවාස සීලය සහ රාමදාන් මහෝත්සවය චිරාගත සම්ප්‍රදායන්ට අනුව අඛණ්ඩව අවිච්චින්නව ගෞරවාන්විතව පවත්වාගෙන යෑම සර්ව බලධාරියානන්ගේ ආශිර්වාදය ලැබීම මත සිදුවන ආශ්චර්යයක් ලෙස අදටත් මතුවටත් සූරැකමින් ඉදිරියට යන බව නිසැකය.

ඉස්ලාම් ආගමික දර්ශනය අති රමණීය වූත්, අති සුන්දරවූත්, විද්‍යාත්මක වූත් පරම යථාර්ථවාදී වුත්, ශ්‍රේෂ්ඨ වූත්, ගෞරවනීය වූත්, පූජනීය වුත්, වන්දනීය වුත්, මානව හිතවාදී වුත්, මානව ප්‍රේමීවූත්, සම්ප්‍රදාය ගරුක වුත්, සංස්කෘතික වුත්, පරම සාමකාමී වූත්, සහෝදරාත්මකවූත්, සහජීවනයෙන් යුක්ත වූත්, ප්‍රායෝගික වූත්, චමත්කාරය දනවන ආගමික දර්ශනයකි.

ඉස්ලාම් යනු අරාබි පදයකි. අවනත වීම, යටහත් වීම, කීකරුවීම යනාදී අරුත් එම පදයේ ගැබ්වී තිබේ. ආගමික දර්ශනයක් වශයෙන් ඉස්ලාමය සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ට මුලුමනින්ම අවනත වන ලෙස හා කීකරු වන ලෙස මිනිසාට යෝජනා කරන ආගමකි.

නමුත් එහි බල කිරීමක් නැත. 

ඉස්ලාමයට අනුව මවනු ලැබූ සියල්ලක්ම අල්ලාහ්ගේ නියමයට අවනතව පවතින හෙයින් මුළු මහත් විශ්වයම ඉස්ලාම් වේ.
ඉර, සඳ, තාරකා, මිනිසා, සතා සීපාවා, ගස කොළ, වැල්, මල්, ගෙඩි, තාපය, ජලය, වාතය මේ සියල්ල මහා ඥානයකින් මෙහෙයවන නිය්‍යාකට යටත්ව පවතී. ඒ පරම උත්තරීතර මහා ඥානය බලය පවතින ශ්‍රේෂ්ඨයානෝ කවරහුද? ඒ මැවුම්කාරයාණන් වන අල්ලාහ් සූභානූව තා ආලා ම විය යුතු බව අවබෝධ කරගැනීම දුෂ්කර නොවේ.

රාමදාන් උපවාස සමය සහ ඒ හා සැබඳි පිළිවෙත් හා හර පද්ධතින් හා සංස්කෘතික ලක්ෂණවලින් මතූකී තත්ත්වයන් මනාව පිළිඹිබු කර චිත්‍රනය කරන බව දැන් මේ ලිපිය කියවන ඔබට පැහැදිලිය.

රාමදාන් උපවාස සමය අරාබි භාෂාවෙන් "සවම්" හෙවත් "සියාම්" ලෙස හඳුන්වයි. එහි සිංහල තේරුම වන්නේ මගහරවා ගැනීම සහ අතහැර සිටීමයි. අල්ලාහ් සූභානූව තා ආලා කෙරෙහි අචල විශ්වාසයෙන් හා භක්තියෙන් තම සිත අල්ලාහ් දෙවියන් කෙරෙහි ම යොමු කොට ශුද්ධ වූ අල් කුරාණයේ සඳහන් ඉගැන්වීම් වලට අනුව ඉස්ලාම් බැතිමතුන් සියලුම ආශාවන් මගහරවා ගනිමින් ඉස්ලාමයට අනුව තම ජීවිතයේ සත්‍ය සොයා යෑම රාමදාන් උපවාස සීල සමය තුළින් ඉස්ලාම්වරුන් සිදු කරගත යුතුය. ශරීරයකින් පමණක් නොව ආත්මයෙන්ද සර්ව බලධාරයාණන් මිනිසා නිර්මාණය කර ඇත්තේ මිනිසාට ලෞකික සැප සම්පත් මැදහත් සිතින් භුක්ති විඳීමට මිස අසීමාන්තික ලෙස ඒවාට ඇලී ගැලෙමින් මානසික හා කායික තෘප්තියේ අසීමාන්තික අන්තයට යෑමට නොවේ. කායික හා මානසික තෘප්තියේ අන්තයට යෑමෙන් මිනිසා තුළ මිනිස් ගතිගුණ හීන වී ඔහුට සත්‍ය නොපෙනී සත්‍යයෙන් ඉවත්වීමට සිදුවේ. 

මොහොමඩ් නබීතුමන් මගින් අල්ලාහ් සූභානූව තා ආලා ලොවට එළිදරව් කළ ශුද්ධ අල් කුරානයේ ඉගැන්වීම් මිනිසාට අවබෝධ කර ගැනීමට බුද්ධියක් තිබුණත් එකී බුද්ධිය මෙහෙයවා සත්‍ය දකින්නට ඔවුන් ඇතැම් විට අසමත් වෙති. එමගින් මිනිසා කෙරෙන් ඔහුගේ යහපැවැත්මේ ආත්මීය ශක්තිය ඉවත් වනු ඇත. එම තත්ත්වයෙන් මිනිසා මුදවාලීමට අවැසි ආත්මීය ශක්තිය මිනිසාට සමීපකර එය වඩ වඩාත් වර්ධනය කර ගැනීමට ශුද්ධ වූ මාසයක්වූ රාමදාන් මාසයේ උපවාසය මිනිසාට ස්වර්ණමය අවස්ථාවක් සලස්වන බව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පෙන්වා දිය හැකිය. 
තවද ඒ නියරෙන් ගත් කළ ලෝකවාසී සියලු මානව සංහතියට සිය ලබ්ධිය කුමක් වුවත් තමන්ට ආත්ම විමුක්තිය ළඟා කර ගැනීමට රාමදාන් උපවාසය හා ඒ හා සබැදි පිළිවෙත් ජාති ආගම් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සත්‍ය දැකීමට ඉවහල් කර ගත හැකි මහඟු ආදර්ශයක් හා අවස්ථාවක් සපයන බව අවිවාදිතව පෙන්වා දිය හැකිය. 

සරත් කුමාර දූල්වල 
සභාපති 
විශ්ව කලා විගමණික සංසදය

Post a Comment

0 Comments