SRI LANKA

ශ්‍රේෂ්ඨ පැවැත්මක් ඇති උතුම් ජීවන ක්‍රමයක් වෙනුවෙන් කැප වූ "සර්වෝදය" සන්නාමයේ යුග පුරුෂයාට ප්‍රණාමය පුද කිරීමයි!


ශ්‍රී ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරිය රත්න ශූරීන් 93 වසරක්වූ සිය.දිවසැරිය අවසන් කරමින් 2024 අප්‍රේල් මස 16 වෙනි දින එතුමා දිවි හිමියෙන් ආදරය කළ මාතෘ භූමියෙන් සමුගත්තේය.

එතුමාගේ දිවිසැරියෙන් හතරෙන් තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව වෙහෙස වෙමින් කැප කළේ සැමට ජීවන සතුට උපරිමයෙන් භුක්ති විඳිය හැකි "සර්වෝ දය" උදාකරගත් ශ්‍රේෂ්ඨ පැවැත්මක් ඇති උතුම් මිනිසුන් කෙරෙන් ප්‍රකට කරන යහ පැවැත්මක් ඇති ජීවන ක්‍රමයක් ලක් දෙරණ තුළ ස්ථාපිත කිරීමටයි.

ඒ මාහැඟි සමාජ දර්ශනය ලාංකීය සමාජය උකහා ගැනීම සිදු කළේ සෙමින් සහ සීමිතව උනත් මතු දිනක එතුමා විසින් හඳුන්වා දුන් ඒ අසිරිමත් ජීවන ක්‍රමය වන "සර්වෝදය" මූළු මහත් ශ්‍රී ලාංකීය සමාජය විසින් සිය අනාගත අනභිභවනීය ජීවන ක්‍රමය ලෙස තෝරාගන්නා බව නිසැකවම සනිටුහන් කර තැබිය යුතුය. 

තවද එතුමන් අභාවප්‍රාප්ත වන විටත් ඒ සඳහා කැපවීමට අවැසි දැවැන්තතම මහජන සේවා ව්‍යාපාරයක් ලෙස සර්වෝදය ගොඩනඟා තිබීමම එය එලෙසම සිදුවන බවට පෙරමග සලකුණකි.

ලියාපදිංචි නාමයෙන් සීමාසහිත ශ්‍රිලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය ලෙස හැඳින්වූවත් "සර්වෝදය" නමින් කා අතරත් ජනප්‍රිය මහජන ව්‍යාපාරය තුළ එතුමාගේ ජනහිත කාමී ගාම්භීර අවිහිංසාවාදී අරගලයේ දර්ශනය ගැබ්ව ඇති බව ඉඳුරාම ප්‍රකාශ කළ යුතුය.

ඒ නියරෙන් ගත්කල සර්වෝදයේ අසාහය නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක සභාපතිවරයාත් අභාවප්‍රාප්ත වන තෙක්ම එහි සම්මානනීය සභාපතිවරයා වුත් ආචාර්ය ඒ.ටී.ආරියරත්න ශූරීන් 1948 නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සමාජ සේවා සමාජ වැඩ ව හා සමාජ සංවර්ධන ක්ෂේත්‍රවල ඉතිහාසයේ කල්පවත්නා අවිහිංසාවාදී අරගල හැරවුම් ලක්ෂයක් ඇතිකළ පුරෝගාමී යුග පුරුෂයා ලෙසද ඉතිහාසයට එක් වනු ඇත.

1948 නිදහසින් පසුව රටේ සංවර්ධනය උදෙසා රාජ්‍ය අංශයත් පුද්ගලික අංශයත් දියත්කළ විවිධ සංවර්ධන ප්‍රතිපත්ති හා උපායන්වල අඩු ලුහුඬුකම් මත නොසලකා හැරීම් වලට, කොන්කිරීම් වලට, අතපසු කිරීම් වලට ලක්ව දරිද්‍රතාවයට, පීඩනයට, හා අසහනයට පත් වූ ජන කොටස් වල සංවර්ධන අයිතිය හා වගකීම ප්‍රමුඛ කරගෙන සාධාරණ සමාජ ප්‍රතිලාභ බෙදීමක් තුළින් සැමට සෙත සැලසෙන සැමගේ දායකත්වයෙන් යූත් සමෝදානික ජාතික නවෝදයක් උදාකරලීමේ දර්ශනය හා වැඩපිළිවෙල රටට හඳුන්වාදී ඒ වෙනුවෙන් තම ජීවිතයම කැප කළ උදාර ආදර්ශමත් සමාජ ක්‍රියාදර නායකත්ව පෞරුෂයේ සන්නාමය ලෙසින් ද ආචාර්ය ඒ.ටී.ආරියරත්නයන් ගේ නාමය ලංකා ඉතිහාසය රන් අකුරෙන් ලියවෙනු ඇත.

1931 දී ගාල්ල උනවටුනේ උපත ලද ඒ ටී ආරියරත්න ශූරීන්ගේ සම්පූර්ණ නම අහංගමගේ ටියූඩර් ආරියරත්නයි. ආරියරත්නයන් සිය ප්‍රාථමික අධ්‍යාපනය උනවටූන බොනවිස්ටා විද්‍යාලයෙන් ලැබූ අතර ද්විතීයක අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙනි. උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ලැබූ ඒ. ටී. ආරියරත්නයන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් Doctor of Letters(D.Litt) උපාධියෙන් සහ පිළිපීනයේ Amelio Aguinaldo college of medicine වෙතින් Doctor of Humanities(D.H) යන ගෞරව උපාධියෙන්ද පිදුම් ලැබීය. 

විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධිය හමාර කල ආරියරත්න සූරීන් කොළඹ නාලන්දා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. සිය දරුවන්ට පන්ති කාමරය තුළින් ලබා දෙන විෂයාන්තර අධ්‍යාපනයට අමතරව සිය සමාජ යුතුකම් හා වගකීම් ගැන අවබෝධයක් හා පරිචයක් ලබා දීමට දැරූ ප්‍රයත්නයක් ලෙස 1958 දී නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතළිස් දෙනෙක් සහ ගුරුවරුන් දොළොස් දෙනකු සහභාගි කරගෙන එවකට ඊනියා කුල පීඩනයට නතුකළ ජනතාවක් ජීවත් වූ කුරුණෑගල කණපලුව ගමේ සිදු කළ ශ්‍රමදාන කඳවුර පසුකාලීනව එතුමන් බිහිකළ "සර්වෝදයේ" ආරම්භක අවස්ථාව ලෙස හඳුන්වා දිය හැකිය. 

අපේ රට සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් 1948 නිදහස් වුවත් චින්තනයෙන්, දිළිඳුබවින්, අසාධාරණයෙන්, අයූක්ත්තියෙන් නිලබලයෙන්, සූරා කෑමෙන්, නිදහස් නොවූ ජාතියක් බවත්, රටක් ලෙස සැමදෙනාට සමාජ ආර්ථික සංස්කෘතික යුක්තිය ඉටුවන උතුම් මිනිසත් ගතිගුණ වලින් හෙබි සමාජයක් ගොඩනගන තෙක් සැබෑ නිදහසක් රටේ සමස්ත ජනතාවට අත් නොවන බව ආදී පාඩම් ඒත්තු ගන්වන්නට ඉගනුම් අවස්ථාවක් එතුමන් එමගින් නිර්මාණය කළ බව සුපැහැදිලිය.

තවද ඊට විකල්ප විසඳුමක් වශයෙන් ශ්‍රමය ශක්තිය එක්සත්කම තුළින් පිළියම් සෙවීමේ අවිහිංසාවාදී අරගලයේ ක්‍රමවේදයන් ද ඔහු හඳුන්වා දුන් බව සුපැහැදිලිය.

නිදහසින් පසු ශ්‍රී ලාංකීය දේශපාලනයේ දක්ෂිණාංශික හා වාම වාදී බෙදුම් තුළින් වාම වෘත්තිය සමිති ගෙන ගිය රැඩිකල් අරගල හමුවේ ඇතිවන පීඩාකාරී සහ වෛරපාර්ශවීය ගැටුම් හා බෙදුම් රේඛාවන් සමාජ සංවර්ධනයට කරන බාධාවන්ට වෛකල්පික විසදුමක් වශයෙන් සාමකාමී අවිහිංසාවාදී අරගල ක්‍රමයක් එමගින් පෙන්වා දීමට ආචාර්ය ආරියරත්න ශූරීන් එමගින් කටයුතු කළ බව සුපැහැදිලිව ගම්‍ය මානවේ.

ඒ සඳහා ආරියරත්න ශූරීන්ට එවකට ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවැති "සර්විස් සිවිල් ඉන්ටර්නැෂනල්" සංවිධානයේ ආභාෂයද හේතු වන්නට ඇතැයි සිතිය හැකි වන්නේ එතුමා නායකත්වය ගත් එම ශ්‍රමදාන ගැන පසු කාලීනව හෙළිවන තොරතුරු අනුව මතුකී සංවිධානයේ වැඩ කඳවුරු ක්‍රමයට වඩාත් සමීප වන බැවිනි.

එතුමන්ගේ මෙම ප්‍රයත්නයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ශ්‍රමදානයේ කටයුතු අගයමින් එවකට අග්‍රාමාත්‍යය ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා සිය බිරිඳ සිරමාවෝ බණ්ඩාරනායක මැතිනිය දූත මෙහෙවරක යොද වමින් එම වැඩපිළිවෙළ අගය කර ඇය අත පණිවිඩයක් එවීමයි.

ඒ අනුව එදා ආරියරත්න මැතිතුමන් ආරම්භ කළ ශ්‍රමදාන අවිහිංසා අරගලය ශ්‍රී ලංකීය සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ක්ෂේත්‍රයේ සැලකිය යුතු වෙනස්කම් වලට මූලික වූ සිද්ධියක් වූ බවද එතුමාට ගෞරව පූර්වකව මෙහි සටහන් කරමි. 

එලෙස ආරම්භ කළ සමාජ සේවා වැඩ කටයුතු තුළ ඒ.ටී.ආරියරත්න ශූරීන් හැටේ දශකයේ නාලන්දා විද්‍යාලීය සමාජ සේවා සංගමයේ උප සභාපතිත්වයට පත්විය. 1959 දී new education s follo ship නමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණු සමුළුවකට ආචාර්ය ඒ.ටී. ආරියරත්න ශූරීන්ට සහභාගි වීමට ලැබුණු අවස්ථාව එතුමාගේ සමාජ සේවා ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් "සර්වෝදය "සංකල්පය සහ දර්ශනය එතුමන් තුළ රෝපණය වීමට හේතුවක් විය. 

එම සමුළුවේදී මහත්මා ගාන්දී තූමන්ගේ දර්ශනයට අනුව සර්වෝදය සංකල්පය හා එහි දාර්ශනික පදනම ගැන මහාචාර්ය ඒ රාමචන්ද්‍රන් පැවැත්වූ දේශනයක් තුලින් ආචාර්ය ආරියරත්නයන් සර්වෝදය දර්ශනය අවබෝධ කරගෙන එය ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් බෞද්ධ දර්ශනයේ එන සතර බ්‍රහ්ම විහරණ ද ඇතුළත් වන සේ විග්‍රහ කරමින් උතුම් මිනිසුන් කෙරන් ප්‍රකට වන යහ පැවැත්මක් ඇති ජීවන ක්‍රමයක් ගොඩනගී මේ අවිහිංසාවාදී අරගලය දෙසට සිය සමාජ සේවා මෙහෙවර දිශාභිමුඛ ගැන්වීම තුළ ශ්‍රී ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය බිහිකළ බව ප්‍රකට වේ. 

එදා එලෙස ආරම්භ වූ සර්වෝදය ශ්‍රමදාන සංගමය හැටේ දශකයේ ශ්‍රී ලංකාවේ පැවැති ග්‍රාමීය දුප්පත්කම කුලපීඩනය ඇතුළු විවිධ පීඩාවන්ට ලක්වූ ගම් නියම් ගම්වල ජනතාවට සහනයක් අස්වැසිල්ලක් වටිනාකමක් ඇගයීමක් ලබාදෙන මෙන්ම ඔවුන්ගේ පිබිදීමක් ඇති කරන ව්‍යාපාරයක් ලෙස අති දැවැන්ත සමාජ මෙහෙවරක් කරන ව්‍යාපාරයක් බවට පත්කිරීමට ආචාර්ය ආරියරත්න ශූරීන්ට හැකි විය. ඒ සඳහා එතුමන් දිවා රෑ නොබලා ඉමහත් වෙහෙසක් දරමින් කටයුතු කළ බව නොරහසකි. එදා සර්වෝදය ව්‍යාපාරය දිවයිනේ ගම් නියම් ගම් සිසාරා පැතිර ගියේ අති මහත් වේගයකිනි. එදා සර්වෝදය ව්‍යාපාරය රටේ පීඩිතයන්ගේ දුක, කඳුළ, හඬ, අයිතිය, හා සංවර්ධන අපේක්ෂාව වෙනුවෙන් පෙනී සිටින නියමුවා විය. 

සර්වෝදය ව්‍යාපාරය වටා ගොනුව සිටි මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත විය. සර්වෝදය ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව දහස් ගණනක් විය. ජනතාවට උපතේ සිට මරණය දක්වා සේවා සපයන මහජන ව්‍යාපාරයක් ලෙස සර්වෝදය ජනතා ආදරයට පත්විය. ජාති ආගම් කුළ භේද ප්‍රතික්ෂේප කරන මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව පෙරදැරි කරගත් අවිහිංසාවාදී ස්වයං උපකාරක නව විකල්ප සංවර්ධන මාදිලියක් ලෙස සර්වෝදය ජනගතකීරීමට ආචාර්ය ආරියරත්න ශූරීන් ආකර්ශනීය නායකත්වයක් ලබා දුන්නේය. 

එම යුග මෙහෙවර තුළ සර්වෝදය විසින් රටට විවිධ අංශයන්ගේ නායකයන් රැසක් බිහි කරන ලද පාසලක්ද විය දේශපාලකයන් වෘත්තිකයන් ආචාර්ය මහාචාර්යවරුන් පර්යේෂකයන් ජනමාධ්‍යවේදීන් නිර්මාණකරුවන් ව්‍යවසායකයන් ආදී වශයෙන් ජන හිතකාමී සර්වෝදය ප්‍රතිපත්ති පිළිගන්නා වෘත්තිකයන් රැසක් බිහි කිරීමට ආචාර්ය ආරියරත්න ශූරීන්ගේ සර්වෝදය ව්‍යාපාරයට ශක්තිය තිබිණි. 

රට තුළ ඇතිවූ සමාජ ආර්ථික සංවර්ධන යුග වෙනස්කම් වලට අනුව විවිධ වූ නායකයන් සර්වෝදය තුළින් බිහිවීම පමණක් නොව එදා මෙදා තුර හැටපස් වසරක ඉතිහාසය තුළ රටේ ඇතිවූ සමාජ ආර්ථික දේශපාලන යුග පෙරළි හමුවේ තම දර්ශනයේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් සර්වෝදය සිය සේවාවන් විවිධාංගීකරණය කරමින් සැමදෙනාගේම සකල ආකාරයේ සාර්ව උදාව සඳහා වූ සිය නොනවතින මෙහෙවරහි අදටත් මහත් වූ අධිෂ්ඨානයෙන් නියැලී සිටී.

ඒ මාහැගි දර්ශනය, ජීවන ක්‍රමය, ජනහිතකාමී උත්තම මිනිසුන් බිහි කරන ලාංකීය මාදලිය නිර්මාණය කළ අසහාය පුරුෂයාට එකී යුග මෙහෙවර වෙනුවෙන් පිදුණු දෙස් විදෙස් සම්මාන රැසකි. 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් පිදෙන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් එතුමා පූදණු ලැබුවේ රට දැය වෙනුවෙන් එතුමා ඉටුකළ මතුකී උදාර මෙහෙවර ජාතික වශයෙන් අගය කරමිනි ශ්‍රී ලාංකීය පුරවැසිකූට ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය ලෙස එම සම්මානය සැලකේ

එයට අමතරව 1969 දී ප්‍රජානායකත්වයට පිදෙන රැමා මැග්සේසේ සම්මානයෙන් එතුමන් පුදනු ලැබිණි.1982දී සාමය හා මානව පැවැත්ම වෙනුවෙන් පිදෙන බෝඩොයින් රාජ්‍ය සම්මානයෙන් බෙල්ජියම් රාජ්‍යය එතුමන් පුදනු ලැබුවේ ජාතීන් අතර හා ආගම් අතර සාමය සංහිඳියාව සහ ගැටුම් නිරාකරණය සඳහා එතුමාගේ "සර්වෝදය" සංකල්පය තුළ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව පදනම කොටගෙන ඉටුකළ සේවය වෙනුවෙනි. ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ සාමය සංහිඳියාව ගොඩනැගීම සඳහා එතුමන් ඉටුකළ යෝධ කර්තව්‍ය වෙනුවෙන් 1992 ජපානය පිරිනමන නිවානෝ සාම ත්‍යාගයෙන් සහ 1996දී මහත්මා ගාන්ධි සාම ත්‍යාගයෙන් (ඉන්දියාව)එතුමන් පුදනු ලැබුවේ සාමය සංවේදියාව විෂයෙහි එතුමන් ඉටුකළ ගෞරවනීය මෙහෙවර ජාත්‍යන්තර ඇගයුමට පාත්‍ර කරමිනි. 

අද එතුමන් අප අතරින් සමුගෙන ඇත. නමුත් "සර්වෝදය" මල්ඵල ගැන්වෙන තෙක් ශ්‍රී ලාංකේය ජනතාව සමඟ සර්වෝදය ව්‍යාපාරය සුජීවත් වනු ඇත. ශ්‍රේෂ්ඨ පැවැත්මක් ඇති උතුම් ජීවන ක්‍රමයක් වන සර්වෝදය උදාවනු නියතය. එහි අනභිභවනීය ගෞරවනීය සන්නාමය ආචාර්ය ඒ.ටී.ආරියරත්නයන්ගේ නාමය වනූඇත ඊට සදාකාලිකව. මල් වැසි වසනු ඇත. ඒ මල් සුවඳින් සිරිලක සුවඳවත් වනු ඇත 
එතුමන්ට නිවන් සුව අත්වේවා! 

විශ්ව කලා විගමනික සංසදයේ සභාපති 
සරත් කුමාර දූල්වල

Post a Comment

0 Comments