SRI LANKA

ජාත්‍යන්තර කම්කරු දිනයේ අභිමානවත් අනභිභවනීය වටිනාකම පක්ෂ පාට දේශපාලනයෙන් අවලස්සන නොකරමු!

 
2024 වසරේ මැයි මස පලමූවැනි දින වන අද දිනය ලෝක කම්කරු දිනයයි. ශතවර්ෂාධික කාලයක් ලොව වටා ශ්‍රමය වගුරුවන කම්කරු ජනතාව මහත් හරසරින් සහ අභිමානයෙන් යුතුව ලෝක කම්කරු දිනය සමරති. 1886 ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී පැය අටක වැඩ මුරයක් ඉල්ලා උද්ඝෝෂණය කළ ඇමරිකානු කම්කරුවන්ට එරෙහිව දියත් කල, අමානුෂික තුච්ච ප්‍රහාරයෙන් එම උද්ඝෝෂණයට නායකත්ව දුන් එකොළොස් දෙනකු ජීවිතක්ෂයට පත්කිරීමත්, තවත් පිරිසක් මරණ දඬුවමට පත් කිරීමත්, තවත් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිරදඩුවමට පත්කිරීමත්, සහ කම්කරුවන් එකසිය තිහක පමණ පිරිසක් ශාරීරික වද හිංසනයට ලක්කර තුවාල සිදුකිරීමත්, ආදී කම්කරු අරගල ඉතිහාසයේ වැදගත් අනුස්මරණීය සිදුවීම් සමරනු සඳහා 1889දී ප්‍රංශයේදී එවකට කම්කරු පන්තියේ ලෝක නායකයකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස් ගේ ප්‍රධානත්වයෙන් පැවැති දෙවන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සෑම වසරකම මැයි පළමුවනදා ලෝක කම්කරු දිනය ලෙස නම් කිරීමේ යෝජනාව සම්මත කෙරිණි.

එදා සිට අද දක්වා වසර 135 ක් ලෝකයේ විවිධ රටවල කම්කරු ප්‍රජාව විසින් ලෝක කම්කරු දිනය මහත් අභිමානයෙන් හා හරසරින් කම්කරු සටන් ඉතිහාසයේ වීරත්වයන් හා මහා ජයග්‍රහණයන් අනුස්මරණය කරමින් සමරති. 

ශ්‍රී ලංකාවේ ලෝක කම්කරු දිනය සැමරීම ප්‍රථම වරට සිදුකර ඇත්තේ 1927 දී යි. මෙරට කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයකු මෙන්ම ඉංග්‍රීසි ගුරුවරයකු වූ ඒ ඊ ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් ලංකාවේ ප්‍රථම මැයි පෙළපාලිය සහ රැළිය 1933 දී පැවැත්වූ බව සඳහන් වේ එම පෙළපාලිය පිටකොටුවේ ප්‍රයිස් පිටියෙන් ආරම්භ කොට ගාලුමූව දොර දක්වා ගමන් කළ බව සඳහන්වේ. එම මැයි දිනයේ තේමා පාඨය වූයේ "රාජ්‍ය පාක්ෂික වෙමු"යන්න බවද සඳහන්වේ. 

නමුත් 1934 පවත්වනු ලැබූ ලංකාවේ දෙවැනි මැයි දින සැමරුම වඩාත් ප්‍රගතිශීලී එකක් විය. එය මක්ස්වාදී සංගමය විසින් සංවිධානය කළ අතර එවකට වාමාංශික නායකයකු වූ දොස්තර සරවනමුත්තූගේ ප්‍රධානත්වයෙන් පිටකොටුවේ ප්‍රයිස් පිටියේ පැවැති එම මැයි රැළියේ ප්‍රධාන කථිකයා එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙකු වූ දොස්තර එස් ඒ වික්‍රමසිංහ බව සඳහන් වේ. එම මැයි දින රැලියේ තේමා පාඨය වූයේ "ජාතික නිදහස සහ සමාන වැටුප් යන්නයි"

1935 දී වැල්ලවත්ත රෙදි මෝලේ සේවක ගැටලුවක් මුල් කරගෙන මැයිදිනය සංවිදානය කෙරුණු අතර ඒ ආසන්න කාලයේදී බිහිවූ ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන නායකයන් හා කොළඹ කම්කරුවන් එහි නායකත්වය ගෙන කටයුතු කළ බව සඳහන් වේ.

ඉන් පසුව ලංකා සමසමාජ පක්ෂයේ කොටසක් කැඩී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගන්නා තෙක්ම තනි පක්ෂයක් ලෙස සම සමාජ පක්ෂයේ මැයි රැළි පැවති අතර පසුව සම සමාජ පක්ෂය වෙනමත් කොමියුනිස්ට් පක්ෂය වෙනමත් 
කොළඹදී මැයි රැළි පැවැත්වූහ.


එම මැයි රැලි සියල්ලේම පොදු ලක්ෂණය වූයේ වෘත්තිය සමිති පෙරටු කරගෙන වාමවාදී දේශපාලන ඉල්ලීම්,හා ජාතික නිදහස වැනි ජාතික ඉල්ලීම් සහ කම්කරු අයිතිවාසිකම් තේමා කරගෙන එම මැයි රැලි පැවැත්වීමයි. පැය අටේ වැඩ දිනය අතිකාල සේවා දීමනා ඉල්ලීම් වලට අමතරව ඉංග්‍රීසි රජය විසින් පනවා තිබූ ජන ජීවිතයට බලපාන අසාධාරණ නීතිරීති ඉවත් කිරීමට බල කෙරෙන උද්ඝෝෂණ සහ පෙළපාළි ලෙස එම මැයි රැළි පැවැත්විණි. 

1946, 1947 වකවානුවේ වෘත්තීය සමති ව්‍යාපාරය දියත් කළ වැඩවර්ජන සහ එම වසර වල මැයි රැළි ජාතික නිදහස් අරගලයේ උණුසුම වැඩි කිරීමට තීරණාත්මක බලපෑම් කළ මැයි.රැළි වීම විශේෂත්වයකි.1948 පසු ස්වදේශියක පාලනය යටතේ පැවැත්වූ මැයි රැළි එවකට කම්කරුවන්ගේ දැවෙන ප්‍රශ්න නියෝජනය කළ කම්කරුවන්ගේ ප්‍රගතිශීලී ඉල්ලීම් මුල් කරගත් ඒ සඳහා නෛතික අනපනත් සකස් කරන ලෙසට බලපෑම් කරන එම ඉල්ලීම් සඳහා වූ වැඩ වර්ජන වලට පෙළඹුමක් ඇති කරන මැයි රැළි විය. එම මැයි රැලි සියල්ලේම ගාමක බලවේගය වෘත්තීය සමිති විය. එම මැයි රැලිවල කම්කරු හඬ මැයි රැළි වේදිකාවෙන් ඔබ්බට ගොස් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කරන වැඩ වර්ජන ඇතුළු මහා අඛන්ඩ අරගලයක් වීමද කැපී පෙනෙන ලක්ෂණයකි. 

එනිසාම 1956 බලයට පත්වූ බණ්ඩාරනායක රජයට පැය අටේ සේවය නීතිගත කිරීමට රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් අයිතිය ලබාදීමට පෞද්ගලික අංශයේ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමය ඇති කිරීම ආදී කම්කරු හිතෛෂී අණ පනත් රැසක් ගෙන ඒමට කටයුතු කිරීමට සිදූවිය. පනස් හයේ එම රජය යටතේම මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරිණි.

එදා එලෙස කම්කරු වෘත්තිය සමති හරහා කම්කරු පන්තියේ සාමූහික කේවල් කිරීමේ බලය උපරිම ලෙස ප්‍රදර්ශනය කල වාමවාදී කම්කරු හිතෛෂී ප්‍රගතිශීලී මැයි රැළි කොළඹ සහ 

වතු ආශ්‍රිත කර්මාන්ත පැවති ප්‍රදේශ වලින් දේශපාලන නායකයන් බිහි කිරීමට ප්‍රබල සාධකයක් විය. එනිසා මැයි දින වේදිකාව කම්කරු අයිතීන් වෙනුවෙන් හඬ නඟන සහ මැයි දිනයෙන් පසුව ඒ වෙනුවෙන්ම අරගල කරන සමාජ දේශපාලන ක්‍රියාවලියක් දෙසට තල්ලු විය.

නමුත් 60 දශකයේන් පසුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන උවමනාවන් නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම හැත්තෑවේ දශකය වන විට ධනේශ්වර වුවමනාවන් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයද බිහිකරගත් වෘත්තිය සමිති පෙරටු කරගෙන මැයි දින පෙළපාළි සහ රැළි පැවැත්වීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් පැවැති මැයි රැලිවල ජීවගුණය දුර්වර්ණ වීමට පටන් ගත් බව සඳහන් කළ යුතුය.

ඒ අනුව අද මැයි දිනය පැවැත්වෙන්නේ එකම රටේ කම්කරු පන්තිය කොලපාට නිල්පාට රතු පාට ආදී වශයෙන් දේශපාලන කණ්ඩායම් කිහිපයකට බෙදී
එකී දේශපාලන පක්ෂවල බලය විහිදා පාන දේශපාලන සංදර්ශන වශයෙනි. හැටේ දශකයට පෙර පැවැති මැයි දින රැළිවල තිබූ කම්කරු පන්ති හිතෛෂී අරගලකාරී දේශපාලන නැඹුරුව ක්‍රමයෙන් බල දේශපාලන නැඹුරුවකට පරිවර්තනය විය. 

ඒ අනුව අද මැයි දිනය ලංකාවේසමරනු ලබන්නේ එහි ආදී කර්තෘවරුන්ගේ සටන් පාඨය වූ "ලෝකයේ කම්කරුවනි එක් වව්"යන සටන් පාඨයෙන් බැහැරව එක් එක් දේශපාලන පක්ෂවල බලය පෙන්වීම සඳහා කම්කරු පන්තිය පක්ෂ පාට අනුව බෙදා වෙන් කරමිනි.
අද එම මැයි දින පෙළපාලිවල සටන් පාඨ ලෙස ප්‍රකාශ වන්නේ කම්කරු පන්තියේ සැබෑ උවමනාවන් සැබෑ අයිතිවාසිකම්වලට නඟන හඬ නොව ඒ ඒ දේශපාලන පක්ෂවල නරි වාදම් ප්‍රකාශ සහ විකාර විහිළු ස්වරූපී සටන් පාට බව දැකගන්නට පිළිවන. 

තවත් ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ මෙම බොහෝ දේශපාලන පක්ෂ මැයි දින සැමරුම පැවැත්වීමට උනන්දු වන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙන වීමයි. කොළඹ රටේ ප්‍රධාන අග නගරයයි. කොළඹ වටා බොහෝ කර්මාන්තා හා ව්‍යාපාර සංවර්ධනයවී ඇති නිසා විශාල ශ්‍රම බලකායක් කොළඹ ස්ථානගත වී සිටී. ඒ නිසා ඔවුන්ගේ පහසුවට කොළඹදී මැයි දින සැමරුම් පවත්වන බව කිව්වත් එය සම්පූර්ණ සත්‍ය නොවේ. 

සැබෑ සත්‍යය නම් බොහෝ දේශපාලන පක්ෂවල ප්‍රධාන මෙහෙයුම් කාර්යාල ඇත්තේ කොළඹයි. ඔවුන්ගේ වෘත්තිය සංගම්වල ප්‍රධාන කාර්යාල ඇත්තේද කොළඹ කේන්ද්‍ර කරගෙනයි. එම දේශපාලන පක්ෂවල සහ වෘත්තිය සමිති වල නායකයන්ගෙන් බහුතරය ජීවත් වන්නේද කොළඹ අවටයි. ඔවුන්ගේ දේශපාලන බල අරගල පොර පිටිය එනිසා නිර්මාණය වී ඇත්තේ ද කොළඹ කේන්ද්‍රවයි. එනිසා ඔවුන් මැයි දින සැමරුම් පැවැත්වීමට සෑම විටම කොළඹ පිට්ටනි බෙදා ගැනීමට කුලල්කා ගනිති. තම පක්ෂයේ මැයි රැළියට හෝ පෙළපාලියට වැඩිම ප්‍රචාරයක් ලබාගත හැක්කේ කොළඹ කේන්ද්‍ර කරගත් මාධ්‍ය මගින් වීමත් කොළඹදී මැයි රැලිය පැවැත්වීමට කුලල්කා ගැනීමට තවත් හේතුවක්ව පවතී . අද ඇතැම් දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති වල මැයි දින සැමරුම් සඳහා විවිධ ජාත්‍යන්තර සංවිධාන වලින් අරමුදල් ලැබෙන හෙයින් ඒවායේ කාර්යාලය කොළඹ කේන්ද්‍ර කර ගෙන පැවතීමද මැයි දින සැමරුම් කොළඹට කේන්ද්‍රිය වීමට බලපා තිබේ.


එවැනි පටු හේතු මත කම්කරු දිනය සැමරීමේ කොළඹ කේන්ද්‍රීය මානසික තත්ත්වය මැයි දිනයේ සැබෑ අරුත තවදුරටත් විකෘති කරමින් පවතී. 

මෙමගින් රට පුරා විසිරී සිටින වැඩ කරන ජනතාවට සිය ජීවන පරිසරයේ සිට මැයි දිනය සැමරීමට ඇති අයිතිය මෙම ඊනියා කම්කරු දේශපාලන නායකයන් කෙළසා නොතිබේද ?

මතුකී ලෙස දේශපාලනය කරණීයවී ඇති මැයි දිනය සැමරීමේදී සිය පටු දේශපාලන අභිලාෂයන් උදෙසා ඔවුන් කරන නොපත්කම් එපමණක් නොවේ.
බොහෝ දේශපාලන පක්ෂ තම පෙළපාලිය හා රැස්වීම සඳහා කොළඹට මිනිසුන් ගෙන්වා ගැනීමට බස් රථ යොදවති. කෑම බීම සපයති. තම දේශපාලන පක්ෂයේ පාට සහිත කමිසක් හැට්ටයක් ආදී ඇඳුම් පැළඳුම් ලබාදෙති. කැප් තොප්පි ලබාදෙති. මත්පැන් ලබාදෙති. තම පක්ෂවල ග්‍රාමීය නායකයන්ට ගෙන්විය යුතු සෙනඟ ගැන ඉලක්ක ලබාදෙති.රට පූරා පෝස්ටර් අලවති ඒ එන පුද්ගලයන් පෙළපාලයේදී කිය යුතු සටන් පාඨ පෙර සකසා දෙති. එම දේශපාලන පක්ෂයේ අභිලාෂයන් එම පක්ෂයේ දේශපාලන පන්ති උවමනාවට සමපාත වන සටන් පාඨ එසේ පෙර සකසා දී ගිරවුන් ලවා කියවන්නාක් මෙන් කියවා ගනිති. 

මේ ලිපිය ලියන මට ගැටවර වයසේදී එක්තරා දේශපාලන පක්ෂයක මැයි දින පෙළපාලියකදී ඇසුණු සටන් පාට අදත් මතක තිබේ. "සීනි නැතුව තේ බොන්නම්". "හාල් නැතුව බත් කන්නම්." "මැතිණි අපට කියනවා නම්" "පිදූරු උනත් අපි කන්නම්" එම ඊනියා සටන් පාඨයි මා ගැටවරයෙකු ලෙස සිටි අවධියේදී ඇසූ දුටු ඒ මැයි දිනය සිහිවනවිට මට අදත් අපේ සමාජ ඇති වහල් භාවය ගැන පිළිකූල් හැඟීමක් ඇතිවේ. දේශපාලන පක්ෂවල වහලුන් ලෙස මැයි දිනය සැමරීමට කම්කරු පන්තිය දක්කමින් ඔවුන්ගේ අභිමානනීය ස්වාධීනත්වය මානූශීය අයිතිය එලෙස සූරා කෑම කොතරම් නින්දිතද ?

රටේ සමස්ත වැඩ කරන ජනතාවට ඔවුන්ගේ වෘත්තීන්වලට අදාල ආවේණික ප්‍රශ්න ගැටළු සේම ජීවන වියදම ඉහළ යාම වෘත්තීය ආරක්‍ෂාව වෘත්තීය සෞඛ්‍ය වැටුප් ප්‍රතිපත්තිය, ආදී පොදු ගැටලු හැමදාමත් පවතී. ඒ සියල්ල කම්කරුවන්ගේ ප්‍රශ්න හා ගැටලුයි. ඒ සඳහා හඬ නගා ඉල්ලීම් කිරීමට ඔවුනට අයිතියක් තිබේ එසේම රටේ නීතියෙන් පනවා ඇති අනපනත් මගීන් එම අයිතීන් ආරක්ෂා කරන ලෙස බලකිරීම ඔවුන්ට අයිතියක් තිබේ එකී ගැටළු වලින් තොරව රැකියාව කිරීමේ අයිතියක් තිබේ. ඉඳන් සැබවින්ම මැයි දිනයේදී සිදුවිය යුත්තේ එලෙස සමස්ත කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සඳහා ඔවුන්ගේ ඉල්ලීම් පෙරදැරි කරගෙන ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමට එක්සත් ඒකාබද්ධ ප්‍රයත්නයක් දියත් කිරීමයි 

නමුත් එය වෙනුවට සිදු වෙන්නේ පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඉටුවිය යුතු සැබෑ යුතුකම් වගකීම් තිරස්චීන ලෙස පැහැර හැර කම්කරුවන්ට බොරු කියා රවටා වංචා කොට මංමුලා කොට දේශපාලකයන්ගේ පැවැත්ම උදෙසා එම කම්කරුවන් ගේ අභිලාෂයන් සූරා කෑමක් නොවේද?

ඉහත තත්ත්වය කොතරම් තිරස්චීන ලෙස අද සිදුවෙනවාද යන්න මෙම මැයි රැළි මෙහෙයවන න්‍යාය පත්‍රවලින් ද මනාවට පැහැදිලි කර ගත හැකියි. බොහෝ මැයි රැළිවල කතිකයන්ගෙන් බහුතරය දේශපාලන පක්ෂවල හා සංවිධානවල නායකයන් වන අතර ඔවුන්ට වෙන්කර ඇති කාලයද ඉතා විශාල එකක් වේ. කම්කරුවන්ගේ ඉල්ලීම් හෝ අභිලාෂයන් ප්‍රකාශ කරන යෝජනාවක් මෙම න්‍යාය පත්‍රවලට ඇතුළත් වෙන්නේ කලාතුරකිනි දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන වෘත්තිය සමිති නායකයකුට හැර සැබෑ කම්කරුවන්ට එම වේදිකාවල ඉඩක් නැත  ඔවුන් ශ්‍රාවකයන් පමණි. 

බොහෝ මැයි දින වේදිකාවල පැවැත්වෙන කතා ඊළඟ මැතිවරණය ඉලක්කර කරගත් ඒවා හෝ ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයට නඟන දේශපාලන චෝදනා වේ.ඒ අතරතුර කම්කරු පන්තිය කෙරෙහි වේදිකාවේ කතා කරන දේශපාලඥයන් ගේ ඊනියා කැපවීම ගැන පුරසාරම් නරි වාදන් කතා සහ දේශපාලන අවලාද දොස්තැබීම් අපහාස උපාස පමණක් නොව දේශපාලන වහසි බස්වලින් මැයි දින කතා පිරී පවතී.

මේ විගඩම් මැයි දින සැමරීම් සංස්කෘතිය නැවැත්වීමට කාලය පැමිණ තිබේ. එය වැඩ කරන ජනතාවද තේරුම්ගත යුතුය අප තවදුරටත් ඇන්දෙනවාද නැත්නම් ඇන්දූනා ඇති කියා සිය අභිමානය ගෞරවය පෙරදැරි කරගෙන තමන් වෙනුවෙන්, තමන් සඳහා, තමන්ට, කැපවෙන තමන්ගේම වෘත්තිය සමති ගොඩනගාගෙන ඒවා පොදු වෘත්තිය ගැටලු වෙනුවෙන් ජාලගත කොට එක්සත් ප්‍රයත්නයන් මගීන් 21 වන සියවසේ ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් උදෙසා ප්‍රශස්ත ඵලදායි යාදෙන්නා වූත් කල්පවත්නාවූත් විසඳුම් සොයන වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන ජීවන සතුට වැඩි කරන තීන්දු තීරණ වලට ප්‍රවේශකත්වයක් ලබා ගන්නා දිනයක් ලෙස මේ දිනය ැමරීමේ ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතුය. 

තවදුරටත් පෝස්ටර් අලවමින් දහස් ගණනෙන් මිනිසුන් කොළඹට රැස් කරමින් නාගසලම් ගසමින් පෙර සූදානම් කල සටන් පාට කියවමින් පක්ෂ පාට වර්ණ කැප් තොප්පි ඇඳුම් ලබාදෙමින් මත්පැන් පොවමින් පරිසරය දූෂණ කරමින් ලක්ෂ ගණනින් මුදල් කාබාසිනියා කරමින් තවත් පිරිසකගේ දේශපාලන අභිලාෂයන් ඉටුකරන්නට මුලා කොට දක්කන පිරිසකගේ මංමුලාවක් ලෙස මැයි දින සැමරුම පැවැත්වීම නවතා දැමිය යුතුය. 
කම්කරු පන්තියට ජයවේවා !

වැඩ කරන ජනතාවට ජය වේවා!

විශ්ව කලා විගමණික සංසදයේ සභාපති
සරත් කුමාර දුල්වල

Post a Comment

0 Comments